Friday 30 November 2012















ජීවිතයට ආදරය කරන ඔබ වෙනුවෙනි!

‘‘රතුපැහැයන් අතර දීප්තිමත් පැහැයක් ලෙසත් උණුසුම් පැහැයක් ලෙසත් ‘‘රතුපැහැය සැලකේ. අනතුරු හැඟවීමේදීත්, උණුසුම් හැගීම් ප්‍රකාශ කිරීමේදීත්, බලය විදහා දැක්වීමේදීත් ආදරය හැඟවීමේදීත් ලොව පුරා ජනතාව රතු පැහැය භාවිත කරයි. ආදරයට සේ ම විනාශය හා ප්‍රචණ්ඩත්වය දැක්වෙන්නේ රතු පැහැයෙනි. ලොව පළමු ඒඩ්ස් රෝගියා හදුනාගත් එක්දහස් නවසිය අසු එකේ දෙසැම්බර් පළමු දා සිහිකර ලෝක ඒඩ්ස් දිනය යෙදෙන හෙට දින එනම් දෙසැම්බර් පළමුවන දා ලොව පුරා බොහෝ ජනී ජනයා රතු පැහැයෙන් සැකසූ රිබන් පටියක් “ආදරය හා රැකවරණයේ අරුතින් පැලඳ සිටිනු ඇත. ඔවුන් ජීවිතයට ආදරය කරන්නැයි අනෙකා ගෙන් ඉල්ලා සිටිනු ඇත. ඉතින් හෙට දිනය වෙනුවෙන්, එනම් දෙසැම්බර් පළමුවනදා HIV/ AIDS වෙනුවෙන් ලිහිණිගේ ලියමන වෙන් කරමි.

රතු රිබන් පටි පැලැදි ඔවුනට එක්ව ලොව පුරා වසංගතයක්ව පැතිර යන එච්අයිවී වෙරසය ගැන සහ ඒඩ්ස් තත්ත්වය පිළිබඳ දැනුම්වත් වන්නැයි මම ද ඔබට ඇරයුම් කරමි. HIV යනු හියුමන් ඉමියුනෝඩෙෆිසන්සි වෛරසයයි. AIDS යනුවෙන් හැදින්වෙන්නේ ඇක්වයර්ඩ් ඉමියුනෝඩෙෆිසන්සි සින්ඩ්‍රොම්හෙවත් නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණයයි. මූලිකව මෙම වෛරසය මගින් සිදු කෙරෙන්නේ මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය කිරීමයි. එම අක්‍රීය වීම නිසා වෙනත් ඕනෑම රෝගයක් වෛරසය ආසාදිත පුද්ගලයාට මාරාන්තික විය හැකියි. උදාහරණයක් වශයෙන් එච්අයිවී වෛරසය ශරීරගත වූ අයෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වුව ද මාරාන්තික වීමට ඉඩ තිබේ.

HIV/ AIDS ඔබටත් මටත් වැදගත්වන්නේ ඇයි? අප්‍රිකානු කොළ වඳුරාගෙන් මිනිසා ට සම්ප්‍රේෂණය වී ඇතැයි සැලකෙන ඒඩ්ස් හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය ඇතිකරන මානව ප්‍රතිශක්ති ඌණතා වෛරස ජීවත්වන්නේ මනුෂ්‍යයන්වන අප තුළ නිසාත් එය තවත් අයෙක් වෙත සම්ප්‍රේෂණය වන්නේද මනුෂ්‍ය වාහකයන් හරහාත් වීම නිසයි. එබැවින් අපි සියලු දෙනාම උපතින් ඒඩ්ස් අවධානමක් දරා සිටින්නෝ වෙමු. එසේ වු අපට HIV/ AIDS ආසාදිතයන්, මෙන් ම HIV/ AIDS නිසා වින්දිතයන් වූ සමාජයේ විවිධාකාර අපවාදයන්ට ලක්වූ අපේ ම සහෝදර ජනතාව නොසලකා හැරිය හැකිදැයි මම ඔබෙන් විමසමි.

මේ සියලු හේතු සාධක සලකා HIV/ AIDS රෝගය වළක්වාලීම සඳහා, වළක්වා ගැනීම සඳහා එක්වන්නැයි ඔබට ඇරයුම් කරමි. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඒඩ්ස් රෝගය සඳහා වන රුධිර පරික්ෂාවට ඔබට යොමුවිය හැකියි. ඔබ ගැබිනි මවක නම් මතු උපදින දරුවාගේ සෞඛ්‍ය සම්පන්න අනාගතය උදෙසා ඔබට රුධිර පරික්ෂණයකට පෙනී සිටිය හැකියි. ලංකාවේ HIV/ AIDS ආසාදිතයින් අතරින් 48‍% කාන්තාවන් වන අතර 52‍% පිරිමින්වේ. එම කාන්තාවන් අතරින් 70% ට පමණ වෛරසය ආසාදනය වී ඇත්තේ සිය ස්වාමියාගෙනි.

ජාතික ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වසරේ මෙතෙක් හමුවී ඇති එච්අයිවී වෛරසය ආසාදනය වූ දෙසීයකට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති අතර , එම වාර්තා වී ඇති පිරිසෙන් පස් දෙනෙක් සිය මවුවරුන්ගෙන් වෛරසය ආසාධනය වූ දරුවන්  වේ. බොහෝ පියවරුන්ගේ නොසැලකිල්ල මවට පමණක් නොව ඇය බිහිකරන කිරිකැටියාට ද මාරාන්තික වන බව බවට අපට තවත් උදාහරණ කුමටද ?
මේ සියලු ආකරයෙන් ඒඩ්ස් ආසාධනය වීම සඳහා උදාහරණ ශ්‍රී ලංකාව සතුව පවතී. කීර්තිමත් ළමා වෙද්‍යයවරියක මෙන්ම දහස් ගණනක් වූ වෙද්‍ය සිසුන්ගේ ගුරුවරියක වූ මහාචාර්ය කාමලිකා අබේරත්ත මහත්මියගේ ජීවිත කතාව ඉන් එක් නිදසුනක් පමණි.

මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ජාති ආගම් කුල පංති හේද නොසලකා මනුශ්‍ය ශරිරයේ ප්‍රතිශක්තිය දුර්වල කිරිමේ කාර්යයේ නියැළෙයි. එසේ ප්‍රතිශක්තිය හීන වූ අපේ සහෝදරයන්ට ජීවත්වීමට ශක්තිය ලැබිය යුතුයි. එම ශක්තියේ ප්‍රභයවය ඇතිවිය යුත්තේ ඔබේත් මගේත් හදවත තුළයි. අප අපගේ නොදැනුවත් බව නිසා තවදුරටත් ප්‍රතිශක්තිය හීන වූ සහෝදරයන්ගේ ජීව ශක්තියට හානි පමුණුවන්නන් නොවිය යුතු ය. එසේ වුවහොත් එය මානව ප්‍රතිශක්ති ඌණතා වෛයිරසයටත් වඩා භයානක සමාජීය වෛරසයක් ලෙස හැඳින්වෙනු ඇත. මේ හේතු සාධකය නිසා අප සැබෑව තුළ දැනුම්වත් විය යුතු වෙමු. සැබෑව තුළ ජීවත් විය යුතු වෙමු.

ජීවිතයට ආදරයට සේ ම අධ්‍යාපනය ද අවශ්‍ය ය. සමාජය පිළිබඳ වන ස්වයං වගකීමක් ඇතිව සමාජ ගරුත්වය ආරක්ෂා කිරීමට ඔබත් මමත් සමාජ වගකීමෙන් බැඳී සිටිමු. ජීවිතය පිළිබඳ වු සුපසන් බලාපොරොත්තු සහිතව මනුෂ්‍යත්වය පිළිබඳ වූ උණුසුම් අපේක්ෂාවෙන් යුතුව HIV/ AIDS වින්දිතයෝ අපදෙස බලා සිටිති. මනුෂ්‍යයන් වීම නිසා ම ඔබේත් මගේත් සහෝදර සහෝදරියන් වූ ඔවුන් වෙත ආදරයත් රැකවරණයත් ලබාදීම සඳහාත්, ඔබේත් මගේත්, මතු පරම්පරාවේත් ආරක්ෂාව සඳහාත් දැනුම්වත් වෙන්නැයි මම ඔබට යෝජනා කරමි. එන්න මේ ඇරයුම ජීවිතයට ආදරය කරන ඔබටයි.

Saturday 24 November 2012













මඟ දෙපස මල්

ළදරු පාසලින් පසු මගේ පාසල් ගමන ඇරඹෙන්නෙ අද අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය හෙවත් එදවස අතුරුගිරිය මහා විද්‍යාලයෙනි‍. නිවසේ සිට පාසලට යන සැතපුමක  දුර  අපි බස් රථයෙන් ගියා නම්  ඒ වෙල  දෙගොඩතලා යන්නට වැසි දිනක් වූයේ නම් පමණි.  සැබවින්ම අපි පාසල් යන්නට  අදි මදි කල  දරුවන් නොවූයේ පාසලට යනතෙක් දැකීමට විදිමට තිබූ  සොභාදහමේ අපූර්ව දායාදයන් නිසා වන්නට ඇත.  අප යන මඟ දෙපස විසිතුරු සුවදැති, සුවද  නැති බොහෝ මල්  අතර  ආ ගිය සුන්දර දවස් ගැන මතකය කැටිව යළි  ලිහිණිගේ ලියමන අකුරු කරමි;

ඒ අසූව දශකය ආරම්භයයි,    පාසලට ඇතුල්වනදා පමණක්  තාත්තා සමඟ ගිය පාසල් ගමන එතැන් සිට තුනේ පංතියේ සිටි අයියාට භාර විණි. අයියා මා කැටිව පාසලට  යන‍්නේ වත්ත පහල නාන ළිද අසලින් ගුරු පාරට ගොඩවීමෙනි; පාරට ගෙඩවන තැන ඇති  ගැට රුක්අත්තන  ගසේ මල් පිපී ඇත්නම් නොවැරදීම  ඉරටු වට්ටිය පිරෙන්නට මට  මල් කඩා දීමට අයියාට සිදුවේ.  කුමාරෝදය හෝඩි පොතේ ඇති ඕලු මලට සමාන සුදු බෙර ඕලු මල් නිරන්තරව  පිපෙන ඕවිටේ ළි‍ඳ හරහා වැටී තිබූ ඇද පොල් කද දිගේ ඇවිද  යන්නට ඇති කැමැත්ත නිසාම  ඕලු මල් පිපෙන සෑම දිනකම වඩා සුන්දර මල් වට්ටියක් මට ලැබේ. අතර මඟ මහ බෝක්කුව අසලින් එකතු වන කිරි ඉද්ද මල් මෙන්ම  චමින්ද අයියලාගේ මානෙල් විලේ නිල් මහනෙල් මල් ද ඉරටු වට්ටියට  එකතුවේ‍. යන මඟ දෙපස නෙක වර්ණයෙන් සැරසි ගදපාන මල් මෙන්ම දීප්තිමත් දම් වර්ණයෙන් දිදුලන හීන් ‍බෝවිටියා මල් වලට ඉරටු  වට්ටියට  පැමිණිමට ඉඩක් නැත්තෙන් එහි සුන්දරත්වය රස විදිමින් අපි  පාසලට පිය මනිමු‍.

අදටත් කිලෝ මීටරයක් පමණ ඉතිරිව ඇති වානේ සංස්ථා තාප්පය වටා ඇති ගුරු පාර දිගේ ගොස් වෙල මැද්දාවෙන් එගොඩහ මහනියරට  ගොඩවී අපි පාසලට පිය මනිමු. පාසලට යාමේ පාර මහ නියර වුවද  මඩ පිරී , තණකොළ වැවී ඇති මහ නියරට ව වඩා නො එරෙන සිනිදු බොරළු වැල්ලෙන් වැසී  ඇති  දිය අගලට බැස, දියට  නැමී ඇති බලු දං ගස් වල  ඉදිණු ගෙඩි සොයමින්. දියපාර දිගේ එන මහ මූණ මල් ගසේ  ඉදිණු ගෙඩි  එකතු කරමින්   දිය හවරිය පදුරු අතර පීනන තිත්තයින්, ගප්පියන්  සමග  හුරතල් වෙමින්  අපි පාසල පෙනෙන මානයෙන් ගොඩගම අතුරුගිරිය  පාරට ගොඩවමු‍.  

පාසලේ අධ්‍යාපන කටයුතු නිමාවීමෙන් පසු අයියලාගේ පංති ඇරෙන තෙක් පාසලේ පොරොත්තු වන අපේ කාලය ගෙවෙන්නේ  පුස්තකාළය ඉදිරි පිට පඩිපෙල දිගේ  දියගොඩ සැමතැන ක්‍රීඩාව කිරීමටත්, පාසල් බිමේ වියලි වෙරළු ඇට  එක්කාසු කිරිමටත්ය,  අද  පාසල් බිමක බේතකට වත් සොයාගත නොහැකි වෙරඵ ඇට සිය දහස් ගනනින්  එසවස පාසල් වතු පිරි තිබිණි. වියලි  වෙරළු ඇට එදවස  කුඩා අපේ රස නහර පිනවන ප්‍රනීත ආහාරයකි. වෙරළු ඇටයේ අහුලා තුන් හුලස් දාර මතට ගලකින් ගසා මද වෙන්කරගන්නට අප දරන මහා මහන්සිය,  රසයෙන් වියලි කොප්පරා බදු, ප්‍රමාණයෙන් මා වී ඇටයක් තරම් වූ වෙරඵ ඇට මදයක් හැපීමෙන් තුරන්වේ.

පහේ ශිෂ්ශත්වයෙන්  පසු අතුරුගිරියට පාසලට සමුදුන් මගේ ඊළඟ නැවතුමිපළ වුයේ පන්නිපිටිය ධර්මපාල.  අතුරුගිරිය පාසලට යනවිටදි මෙන් දිය අගල දිගේ බැස පාසල් යාමට හැකියාවක් නොවුවද මග දෙපස  මලින්  මිදීයාමට හැකියාවක් නොවුයෙන්  සෑම දිනෙකම පින්නේ පිපෙන සොදුරු හීන් බෝවිටියා මල්  පොකුරක් මා ධර්මපාලයෙන් නික්මෙන දා තෙක්ම මා සමඟ ධර්මපාලයට  පැමිණිනි.

තාත්තා කිරි මුදවීම පිනිස ගෙනවිත් තිබු කුඩා මැටි බදුන් දෙකක් පීරිසි මත තබා  වියලි බේදුරු  කොළ දෙකකින් ආවරණය කල හීන් බෝවියා  මල් පොකුර අපේ පංතියේත් විද්‍යාලීය සෞඛ්‍යදාන ඒකකයේත්  අනන්‍යතාව වී තිබිණි. 

එදවස ධර්මපාලයේ විදුහල්පති තුමා වු, මතු ආත්මයෙක වදුහල්පතිවරයෙක් වුවහොත් ධර්මපාලයේ විදුහල්පතිධුරය දැරීමට කැමැත්තෙන් පසුවන්නාවු  එච් එස් කුමාරසිංහ ගුරුපියානන්  විදුහලේ සිටි සෑම දිනකම උදෑසන පාසල් චාරිකාව  සෞඛ්‍යදාන  ඒකකයෙන්  ආරම්භකලේ ඒ   කැලෑ මලක අසිරි සිරිය වින්දනය කරමිනි.

දැන් ගුරු පාර තාර පාර වී  තිබේ.  අතුරුගිරිය පාසලට මෙපිටින් වෙල්යාය පුරන්ව  ගොසිනි.  මහ වේල්ල කැලයට යටවී අහවරය. බෙර  ඕළු  විල තිබූ ඕවිට වටා නිවෙස් හත අටක් සෑදී ඇත. ගමේ දරු දැරියන් පාසල් වෑන්වල, ත්‍රී රෝද රථවල පාසල් එයි. උදෑසන පාසල් ගීය යකඩ කටින් නිවසට ඇසේ.  වානේ සංස්ථා තාප්පය පමණක් අව්වට වේලෙමින් වැස්සය තෙමමින්  නිහඩව නැගී සිටි. අතීතය මා දුටු කිරි සිහිනයක් යැයි හැඟේ
  
මූණ මල් පිපී ඉවුරත
ඇල දියට වැටී හිමිහිට
තාලයට නටා දියරැලි අතර ගිලෙනවා
හීන් පුසුබ පමණක් පවනතේ රැදෙනවා.

ගල් බොරළු ඇනුනු දෙපතුල
උදැසන පිනි බින්දු තවමින්
අකුරු කරන්නට මඟ
හිතේ ඇදෙනවා
මුණ මල් සුවඳ ඉවකර
ගෙවී ගිය අතීතය වෙත 
හිත ඉගිලෙනවා...

ලදුදෙනි වැට කඩොලූ මැදින්
අකුරට මම ගිය කාලේ
මල් සුවදත් නෑ, පොඩි මාළුත් නෑ
දිය හවරිය පදුරුත්
හොරු ගෙනිහිල්ලා
අපේ ළමාවිය කිරි සිහිනයක් වගේ

Thursday 22 November 2012

සුදු සීයා













සුදු සීයා
දිනපතා රැකියාවට යන මඟ ආසන්න නිවෙසක ජීවත්වෙන සුදු සීයව මම අදුන ගත්තෙ බොහොම ළඟකදි. අපි අඳුන ගත්තෙ මඩු ගහක් හින්දා. අපේ පළාතෙ මඩු ගස් නිතර දකින්න තිබුණත් ගෙඩි හැදිල තියෙනව දකින්නෙ බොහොම කලාතුරකින්නෙ. සුදු සීයගෙ ගෙවත්තෙ මඩු ගහ පලදරලා තිබුණා. මහියංගණ, හුන්නස්ගිරිය, මී මුරේ පැත්තට ගිය හැමදාම මඩු පිටි අරගෙන ඇවිත් තිබුණත් හොඳින් වැඩුණු මඩු ගෙඩි ජීවිතේ පළමු වතාවට මම දැක්කෙ සුදු සීයගෙ මඩු ගහෙන්. මම මඩු ගෙඩි ගැන සුදු සීයගෙන් ඇහුවම සුදු සීය කීව පළමු වතාවට ගෙඩි හටගත්තත් මඩු පිටි හදන විදිය එයා දන්නෙ නෑ කියල. ඉතිං මොනරාගල මහේෂට කතාකරල මඩු පිටි හදාගන්න විදිය අහගෙන ඒක සුදු සීයට කිවිව දවසෙ සුදු සීයා මට කිවිවෙ මෙච්චර කල් මම හොය හොයා හිටි දේ හරියට කියා දුන්නෙ ඔය ළමයා කියල.

සුදු සීය පාරම්පරික ගොවි මහත්තයෙක්. එයා මගෙත් එක්ක කියනව මං මගෙ දරුවො හතර දෙනා විශ්වවිද්‍යාලෙ යවලා ඉගැන්නුවෙ මේ පොළොවත් එක්ක ගනුදෙනු කරලා කියල. සුදු සීයගෙ වගාව ලස්සන වෙන්නෙ කාලෙන් කාලෙට වත්තෙ පාට වෙනස් වෙන හින්දා. මාස හය හතකට කලින් මුළු වගා බිම පුරාම අඩි තුනක් විතර උස වැල් වියනක් හැදිල තිබුණා. ටික දවසක් යද්දි ඒ වියනෙන් බිමට ඇදුනු මල් පොකුරුවල පුංචි පුංචි බෝංචි කරල් වගේ ගෙඩි හැදිල තිබුණා. ඒ වැල් වර්ගය, වඳුරු මෑ ගැන මට පාඩමක් කියල දීලා , ඒකෙ නෑදැය වන අවර ගැනත් සුදු සීයා කියල දුන්නෙ හරිම කැමැත්තෙන්.

පර්චස් හත අටක ඉඩමක ගෙවල් හදාගෙන ඉන්න අයට ආසාවට ගහක් කොළක් වැව්වත් හිතේ හැටියට ඒ ගහට හැදෙන්න දෙන්න බෑනෙ, අල්ලපු වහලට කොළ වැටෙනවා, අත්තිවාරමට මුල් ඇදෙනවා වගේ ප්‍රශ්න නිසා දන්නෙම නැතිව ගස් කොළන් කප්පාදු වෙද්දි ඒ කොළ ටික අරගෙන ගිහින් පොළවට පොහොර කරගන්න සුදු සීයා මැලිවෙන්නෙ නෑ.

කොස්, දෙල්, පොල්, පුවක්, මුරුංගා, ඇඹරැල්ල වගේ විසාල ගස් වගේ ම අල , බතල වර්ගත්, මෑ, වැටකොළු, පතෝල , බටු, ආදී එළවළු වර්ගත්, කතුරුමුරුංගා, නිවිති , ගොටුකොළ වගේ පලා වර්ග වගේ ම කෙසෙල්, පැපොල් වගේ පලතුරුත් සුදු සීයා වවන්නෙ හරියට දරුවො හදනවා වගේ ආදරෙන්.
සුදු සීයගෙ වත්තෙ පැපොල් පැහිල තිබුණු දවසක මං සුදු සීයගෙන් අස්වැන්න අලෙවි කරනව ද කියල ඇහුවෙ අපි හැමදාමත් වෙළෙඳ පොළේ මිල දීලා අරගන්න පැපොල්වලට වඩා ගහක සොබාවිකව ඉදෙන ගෙඩියක රහ ගුණ වෙනස් හින්ද විතරක්ම නෙවී පුංචි මන්මිතා දෝණිට අපි ඇහෙන් දැකලා හැදෙන වැඩෙන පලතුරක් රහ බලන්න දෙන්න තියෙනව නම් හොදයි කියල හිතලා.

එවෙලෙ සුදු සීය මට හරි අපූරු උත්තරයක් දුන්නා, “ මගෙ දරුවො හතර දෙනාටම පොඩි දරුවො ඉන්නවා. ඉතින් මේ ගස්වල වසක් විසක් නැතිව හැදෙන පැපොල්, කෙසෙල් ඒ දරුවන්ට දෙනවා මිසක් මම විකුණන්නෙ නම් නෑ.ඒ කතාව ඉවරකරල මම ගෙදර ගියා. පැය බාගයකට විතර පස්සෙ ගේට්ටුවෙ සීනුව වැදුණා. කවුද කියල බැලින්නමි සුදු සීයා. බාගෙට ඉදුණු පැපොල් ගෙඩියක් බාල්දියකට දාගෙන, ඒකටම වේලිච්ච පිදුරු ටිකකුත් දාගෙන පුෂ් සයිකලේ ඇවිල්ලා. ගෙට එන්න කියල අඬ ගැහුවත් ඇට වගයක් ගේන්න යනවා කියලා ගෙට නොවැදී මිදුලෙ තිබුණු පීදුණ පැපොල් ගහ ළඟට ගිය සුදු සීයා ගහ දිහා හොදට බලලා මේක හොඳ ගැහැනු ගහක් , ඒ වුණත් අස්වැන්න හොඳට එන්න ගහේ කඳටත් අව්ව වැටෙන්න ඕනි කියල ගහ වහගෙන තිබුණු කොළ එක රටාවකට නවල කඳට අව්ව වැටෙන්න සලස්වලා ගිහින් එන්නම් කියල ගියා.
ඊයෙ පෙරේදා දවසක දම්පාට මල් පිපුණු බලු නකුට ගස් ගොන්නක් අරගෙන ආව මංජු , මේ හීන් බෝවිටියා නේද කියල ඇහුවා. සිංහල වෙද මහත්තයෙක් බෙහෙත් කැඳකට හීන් බෝවිටියා බොන්න කියල. ඒ හීන් බෝවිටියා නෙවෙයි කියල පහුවදා හීන් බෝවිටියා හොයල දෙන්න මම පොරොන්දු වුණා. ඉස්සර වගේ දැන් අපේ වතුවලත් හීන් බෝවිටියා නෑනෙ, හවස ගෙදර යන ගමන් නිකමට සුදු සීයගෙන් ඇහුවම මගෙ වත්තෙ තියෙනවා. හෙට උදේ එන්නකීවා.

ඊළඟ දවසෙ උදේ මම සූදු සීය එක්ක හීන් බෝවිටියා කඩන්න ගියා. යන අතරමග තියෙන ගස් කොළන් පෙන්නලා සුදු සීය මගෙන් ඒවයෙ නම් ගම් අහනවා. කඩු පහර, ඇත්තඩි, කැබැල්ල, වගේ දේවල්. ඊළඟට සුදු සීය මාව කිරි අගුන වැලක් ළඟට එක්ක ගියා. මේ බලන්න මේ අගුන වැල කිරි කහ පාටයි. අගුන වර්ග පහක් තියෙනවා. ඒ ඔක්කොම මයෙ වත්තෙ තියනවසුදු සීය මට කීවා. මංජුට දෙන්න හීන් බෝවිටියා කඩාගෙන එන ගමන් මට හිතුණා සුදු සීයා කොච්චර ලොකු සම්පතක් ද කියල. කැලේක කොළේක ගස් කොළන් තියෙන්න ඕනි. ඒ විතරක් නෙවී ගස් කොළන් අඳුනන කැලේ කොළේ අඳුනන මිනිසුත් ඉන්න ඕනි කියල මට හිතුණෙ නිකමටම නෙවී. සුදු සීයා වගේ සොබාදහමත් එක්ක ජීවිත්වෙන පරම්පරාව නැති වුණාම, ගහෙන් කොළෙන් ඈත්වුණු පරම්පරාව ගහක් කොළක් අදුනගන්න අන්තර්ජාලෙත් සැරිසරයි නේද කියල මට හිතුණා.

Wednesday 21 November 2012

කළපු ගමන









  
කළපු ගමන

උදේ රැයින් අම්පාරෙන් පිටත් වූ අපට උදෑසන අට වනවිට පානමට පැමිණීමට හැකිවිණි. අප පැමිණෙන විටත් එහි ධීවර සමිතිය අප කළපුව වෙත රැගෙන යාමට අවශ්‍ය බෝට්ටුව සූදානම් කර තිබිණි. පානම ලලිතක්කා අප සමඟ බෝට්ටු සංචාරයට එක්වූ අතර කළපුව පුරා පැතිරුණ කිරල සහ මහ කඩොල් ගසින් සෙවැණි උමං මග දිගේ අප මෝය කට දෙසට යාත්‍රා කළෙමු.
දිගු පාදවලින් බොරු කකුල්කාරයන් සේ නැගී සිටින කඩොලාන ප්‍රජාව අතරින් යාත්‍රා කරන අතර තුර අප නෙත ගැටුණු හබල් ඔරුවකි. කුඩා පවුලක් හා හට්ටි මුට්ටි රාශියක් ද වතුර බෝතල කිහිපයක් ද එහි තිබිණි. මාමා මෝය දිහාද යන්නෙ, අද අපි කළපු යනවාඔරුවේ සිටි පොඩිත්තෙක් අපේ ගමන් සගයා ඇමතූ අතර, “මේ පෝයදා මොක කළපු ගමන්ද? ඔහු පෙරළා විමසන අතර තුරම අපට අතවනමින් ආචාර සමාචාර කරගනිමින් ඔවුහු වෙනතක ඇදී ගියහ. එයාල හේන් කරන කට්ටිය’’ දැයි මම ලලිතක්කාගෙන් විමසා සිටියෙමි. නෑ අද ඒ අයගෙ කළපු ගමන’’ ලලිතක්කා මට උත්තර බැන්දේ මා තුළ තවත් ප්‍රශ්න කීපයක් ඉතිරි කරමිනි.
කළපු ගමන ඒ මොකක් ද ඒ මම පෙරළා ලලිතක්කාගෙන් විමසා සිටියෙමි.අපේ ගමේ හැම පවුලක්ම වගේ අවුරුද්දෙ එක දවසක් දරුවොත් එක්ක කළපුවෙ යනවා. ගොවි ගෙවල්වල කට්ටියට ඔරුවක් නැත්නම් කාගෙන් හරි ඔරුවක් ඉල්ල ගන්නවා. හාල් ටිකක් පොල් ගෙඩියක් අරගෙන ගිහිල්ලා බත් උයළ නාලා කාලා විනෝද වෙලා එනව. ඔය හේන් කනත්තකින් පැණි කොමඩු කාලා, එහෙම තමයි එන්නෙහේන්වල කනතුත් තියෙනවාදැයි බෝට්ටුවෙන් හඬක් නැඟිණි. ‘'නෑ නෑ හේනක අස්වැන්න ගත්තට පස්සෙ කාලයක් ඒක පාළුවට අරිනවා. හේන් කනත්ත කියන්නෙ ඒකයි? ලලිතක්කා කරුණු පැහැදිලි කළා ය.
ආ... පොඩි පික්නික් එකක්... ඉතින් අපිත් යමුකො පොඩි ජොලියක් දාල එන්න..සංජීව පැවසී ය ඔයාල ඉතිං පානම එන්නෙ මේ වගේ වැඩකට, කරදාසි ළිපේ දාලා. එහෙම නෙවෙයි දවසක් දෙකක් අපි එක්ක ඉදල තියෙන විදියට කාල බීල ඉදල යන්න එන්නලලිතක්කා ආරාධනා කළේ හැබෑ ළෙන්ගතුකමකිනි.
අම්පාර දිස්ත්‍රික්යේ ඈත කෙළවරක පුරාණ ගම්මානයක ජන ජීවිතය ආදරෙන් වැලඳ ගැනීමට අපට ඉඩක් නැති හැටි යැයි මට නැවත වරක් සිතුණි. ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවලට වඩා පානම අතිවිශේෂ ගම්මානයකි. මහනුවර යුගයේ වෙල්ලස්ස කැරැල්ල මෙහෙයවා පලාගිය රණවිරුවන්ට සෙවණ දුන් ගම් පියස පානමයි. සිංහල දෙමළ ජනී ජනයා ආවාහ විවාහ වෙමින් බොහෝ අපූරුවට එහි ජීවත්වෙයි. ජීවනෝපාය මාර්ග දෙකකි. කොටසක් හේන් කුඹුරු ආදියේ නිරත වන විට අනෙක් පිරිස ධීවර රැකියාවේ යෙදේ.
කැලේ තැනින් තැන ස්ථාන ගත කරන ලද ගව ගාල් රාශියකි. බොහෝ නිවෙස්වල උදෑසන ආහාරය එළ කිරෙන් පෝෂිත ය. පානම ජන වහරද ඔවුනට විශේෂ වූ යෙදුම්වලින් පොහොසත් වූවකි. අප කිසියම් වෙනස් කමක් විපරියාසයක් ලෙස දකිද්දී ඔවුන් වැඩකට නැති දේ විපරියාසයක් ලෙස හදුන්වයි. එක පවුලේ දරුවන් අතර උක්කු අම්මලා, රාසම්මලා, සිරිවර්ධනලා සෙල්වන් ලා සිටී. සමාජ සහජිවනය අමුතුවෙන් වගා කිරීමට උත්සාහ කිරීම ඔවුනට කරන අසාධාරණයකි.
එහි වැසියෝ පෝය දින ධීවර රැකියාවට නොයති. ගොවීයෝ සිය ගාලේ ළමා වසුපැටියන් කූඩු නොකර අම්මාගේ තනයෙන් ඇති තරම් කිරි උරා බීමට ඉඩ හරිති. නිවෙස්වල ළමා ළපටි සිය සගයන් සමග වෙල් දෙණිවල එල්ලේ ක්‍රීඩා කරමින් ගුඩු පනිමින්, ඇළ දොළ ජඹු ගසමින් ළමා වියේ මිහිර සිත්සේ විඳිති.
'ආන්න මෝය කට' පිරිසේ කෑ කෝ ගැසීමත් සමඟම මම නැවත පියවි ලෝකයට පැමිණියෙමි. කඩොල් කැලේ අතරින් ඉවුරට සේන්දූ වන බෝට්ටුව ඉදිරියේ මනරම් දසුනකි. අහස උසට නොවුණත් සයුර සිප වැලඳ ගන්නා ගංගාව සඟවා ගනිමින් නැඟී සිටින ගල්පර ගොන්නකි. ඈත කළපු ඉවුරේ ළිප්ගල් තුනෙක ඉදෙන බතක සුවඳත් දැනේ. කුඩාවුන් කළපු දියේ කිරල එකතු කරයි. අහස විවිධ වර්ණයෙන් මනරම් සිතුවම් අඳියි.

Tuesday 20 November 2012

සොබාදමේ තතු නොදකින නෙතු












සොබාදමේ තතු නොදකින නෙතු

පෙර පාසල් යන  දවස  හැකි සෑම විමට  ආච්චි අම්මාත් සමඟ සෙල්ලම් කිරීමට  අප නිවසට දිව   එන "නෙතු"  දැන් පාසල් යයි.  එදවස මා නිවෙසේ සිටී නම් හැකි සෑම විටම   අපි දෙන්නා කිසියම් දෙයකට  ඔට්ටු අල්ලන්ට හුරුව සිටියෙමු. පෙර පාසල් ගුරුතුමිය ගේ සුරතලිය වූ "නෙතූ" ඒ දිනවල මා සමඟ හරි හරියට හිටිවන කවි කියන්නියක වෙමින් සිටියා මට මතකය.

" අපේ  ගෙදර ඇවිල්ලා
පුංචි ගිරා පැටියෙක්,
ආචිචි එක්ක කතාවක්
අපිට වැඩක් කරගන්නත් නෑ
හරිම කරදරේ "   

යැයි මා කියුවිට  නෙතු පුංචි මුව අයා හරි අපූරු පිළිතුරු කවියක් කිවා මට  අද මෙන් සිහියට නැගේ,

"අපේ  ගෙදර ඇවිල්ලා
 හරි විසාල අලියෙක්
 එයා මං ආසම නැති කළුම කළු පාටයිග
 කැතයි කැතයි කැතයි
 අපිට හරිම කරදරේ "

වසර හතරක පුංචි දැරිවියක ලෙස, අප අනුකරණය කරමින් භාෂාව මනාව හසුරවන්නට  ඇයට හැකිවූයේ ප්‍රමාණාත්මක වාග් කෝෂයක් ඇය තුළ ඒ වනවිටත් නිර්මාණය  වී තිබු නිසාවෙනි.  ඉදිවෙමින් තිබූ නිවසට  විදුලිබලය ලබාගැනීමට පෙර පදිංචියට ගිය හෙයින් ඒ දිනවල නෙතූගේ ලෝකයට රූපවාහිනියෙන්   දැඩි බලපෑමක් එල්ල වූයේ නැත.  ආච්චී සමග හවසට වෙලට යාමට, පාට පාට මල් රුගෙන විත් සුදු කරදාසියක මල්වල පැහැයෙන් සිතුවම් අදින්නට ඇයට බොහෝ කාල වේලා තිබිණි.  තාත්තා අනුරාධපුරේ සේවය කළ බැවින්  ආච්චි සම  එක්ව තාත්තාට ලියුම් ලිවීමටද ඇයට කාලය තිබූ අතර ලොකු නැන්දා තාම ගෙදර ආවේ නැත යනුවෙන් මා  පිළිබ නෝක්කාඩුද ඒ වායේ ලියවී තිබිණි.

වසර දෙකකට පසු දැන් කාලය වෙනස්ව ඇත. "දෝණී යන් අපේ ගෙදර" යැයි මා හ ගසන විට "අනේ ලොකු නැන්දා මම කාටුන් බලනවා" යැයි ඇය මට පිළිතුර දේ. ඇගේ සතූටට බාධා නෙකාරමින් පැමීණියද, මම ඒ ඔස්සේ සිතන්නට කැමැත්තෙමි. අප, අපේ දරුවන් උදෙසා ප‍්‍රමාණවත් කැප කිරීමක් සිදු කරනවාදැයි අපෙන්ම විමසීමට කාලය පැමිණ ඇතැයි මට සිතේ.

අප, අපේ දරුවන් වෙනුවෙන්  මුළු ජීවිතේම කැප කලෙමු,  දිවා රැය නැතිව වෙහෙස මහන්සියෙන් ඔවුන් වෙනුවෙන් දාබිදු කදුළු හෙලූවෙමු, ය සපුරා සත්‍යයම වුවද,  අපේ  දරුවන් ගේ පරිකල්පණය  වර්ධනය කිරීමට අප ගෙන ඇති පියවර කුමක්ද? වැහි බිදික සීතල,  හීත  සුළගේ ගුමු ගුමුව,  තණ පලසක සිහිල,  මුහුදු රළක කිති කිතිය, අප අපේ  දරුවන් සමග කොපමණ කලකින් බෙදාගත්තාද?  ඔබේ දරුවා ජීවිතය බෙදා ගන්නේ කවුරුන්  සමගද? සොභාදහම සමග ද? ඔබේ වැඩිහිටියන් සමගද? සිය  මිතුරු මිතුරියන් සමග? එසේ නැතහොත් නිවසේ යාවජීව සාමාජික රූපවාහිනිය සමගද?

ප්‍රවේසම් වන්න, වෙනදා කතාකළ සැනින් පැමිණ හුරතල් වන, සියොළඟ දැවටෙමින් සෙනෙහස පාන දූ දරුවන් ගේ ළමා මනස  සියලු  රූපවාහිනී නාලිකාවල  කාටුන් චරිත විසින් අත්පත්කර ගැනීම නිසා දරුවන් රූකඩ මෙන් හැසිරීමට ඉඩතිබේ.

පොත පතින් පරිකල්පණයෙන් ඈත්වන දුවා දරුවන් ගැන  මහත්   වේදනාවෙන් රූපවාහිනිය පිළිබ පැදි පෙළක් රචනා කළ බිතාන්‍ය ජාතික ලේඛක Roald Dahl   (1916-1990) ගේ " Television" eමැති  ලක්ෂාන්ත අතුකෝරල විසින්  පරිවර්ථනය කළ සුප්‍රපකට  පැදිය මට සිහිවේ.  ඉන් කොටසක්  ලිහිණි ගේ ලියමනට  අමුනන්නේ තව දුරටත් අපි අපේ  දරුවන්ගේ ජීවිතවලට මග හසර පෙන්වා දිය යුතුය යන්න ඔබට සිහිකැදවීම පිණිසයි

(ගිය සතියේ දුටුවෙමු එක නිවෙසක
ඇස් ගුලි දුසිමක් බිම මත විසිරුන)
පත් වන තෙක් එමගින් මෝහනයට
ඒ හැම කැළඹිලි අපුල ජරාවෙන්
අත් වන තෙක් මුළුමනින්ම මත් බව
ඔවුහු වාඩි වී සිටිති බලාගෙනත
දෑස් නොසොල්ලා පසු වෙති ඉඳගෙන

හැබෑව, ළමයින් නිසල කරයි එය
ජනේල පඩියෙන් උන් නොපනින ලෙස
කවදාවත් යළි සණ්ඩු ද තල්ලු ද
පයින් පහර දීම ද නොකරන ලෙස
බේසම තුළ ඇති දීසි මදින්ටත්
අහර පිසින්ටත් නිදහස් වෙයි ඔබ

එනමුත් ඔබගේ පෙමැති ළමුන් හට
ඇත්තෙන් මෙය සිදු කරනා දෙය ගැන
කිසි දින හෝ නැවතී ඔබ සිතුවෙද?

එය සිරසේ සංවේදන පල් කර
වනසයි පරිකල්පනයේ මහිමය
එය ඔබ දරුවා අන්ධ මුග්ධ කර
විලංගු ලා අවහිර කර මනැස ද
එහි සී සී කඩ පුරවයි ලට පට

වටහා ගනු බැරි වෙයි යළි එසිතට
මනෝ ලොවක් - සුරඟන දහනක් ගැන
කේජු ලෙසින් මනැස ද ඔද්දල් වෙයි
චින්තන ප්‍රතිභා මළ කා සිර වෙයි
ඔහුට දකිනු මිස සිතනට බැරි වෙයි

............................................
.............................................
එහෙයින් කරුණාකර! - කරුණාකර!
අපි අයදින්නෙමු - යදිනෙමු නෙක වර
යන්න ගොසින් ඔබෙ ටීවී යන්ත්‍රය
ඉතින් වීසි කර දමන්න ඈතට

හැකිය ඔබට තැබුමට එය තිබු තැන
රාක්කයක් බිත්තිය ළඟ සුන්දර
පුරවනු මැන පොත් රාශියකින් එය!

මම ලිහිණි
lihinisara@gmail.com