Tuesday 16 December 2008

ආවෝ... ගියෝ....

අංශුවෙන් අංශුව
ගොඩනැගූ මේ යෝධ තුඹස තුළ
විස ඝෝර සර්පයින් වුව
සිටින්නට පිළිවන

දිවෙන් මුව පිසලමින්
වේයන් තළුමරන
තලගොයා බෝ අහිංසකය

මහා වැස්සට පෙරාතුව
බලන් අර තුඹස දෙස
අහා අරුමය,
නිදහස් වූ ලෝකයක් සොයා ගෙන
ඇදෙන රන්වන් මෙරු රැස
රුං ගාමින් ඉගිළ
ආලෝකයක් සොයායන අසිරිය

සුපෙම්වත් වූ මේ උදෑසන
තණ පලස මත
තෙත බරිත, පියාපත් සියදහස
හැන්දෑකරේ ඉගිළුණු මෙරු........

Tuesday 9 December 2008

ආදරය


මේ මෑත දවසක පාසල් සේවා වෑන් රථයක සේවය කරන රියදුරු මහත්මයෙකුට අපූරු අද්දැකීමකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ වෑන් රථයෙ පාසල් යන්න අවුරුදු 7 පුංචි පුතෙක් තවත් පුංචි දියණියකට ලියුමක් ලියලා තිබුණා. අවාසනාවකට ඒ ලියුම රියදුරු මාමා අතට තමයි අහුවුණේ.

ළමා අකුරෙන් පිටුවක් පිරෙන්න මං ඔයාට ආදරෙයි චූටි නංගි මේ මෝඩ මාම හින්දා මට ඔයාට කිස් එකක්වත් දෙන්න විදියක් නැහැ.

ඒක තමයි ඒ ලියුමේ ලියවිලා තිබුණේ. ඔබ මොකද හිතන්නේ. අපි පුංචි දරුවන්ට ආදරේ කියලා දෙනවා. අම්මට ආදරේ කරන්න, තාත්තට ආදරේ කරන්න, පුංචි නංගිට, මල්ලිට ආදරේ කරන්න උම්මා එකක් දෙන්න අපි පොඩි අයට කියලා දෙනවා. ඒත් එහෙම කියලා දෙන්නේ එක්තරා කාලවකවානුවක් වෙනකම් විතරයි. අවුරුදු 6 , 7 ක් යද්දි ඒක වෙනස් වෙනවා. අර පුංචි කාලේ පෙන්නපු ආදරය උගන්නපු ආදරයට වැට බැදෙනවා. එක පාරටම ගැහැණු පිරිමි කියලා තාප්පයක් බැදෙනවා. කිසිම හේතුවක් කාරනයක් නැතිව ඇතිවන මේ වෙනස්වීම කොහොමද දරුවන්ට දැනෙන්නේ කියලා කවදාවත් කවුරුවත් හිතන්නේ නැතිව ඇති.

පොඞ්ඩක් කරදඩු උස් මහත්වෙච්ච දරුවෙක් අම්මගේ ඔඩොක්කුවේ ඉද ගන්න බත්කටක් කවා ගන්න ගියාම සමහර අවස්ථාවල මේ මොන නාකී හුරතල් ද කියලා දෙමාපියන් අහනවා. ඒ කියන්නේ ළමාවියෙන් යොවුන්වියට පැමිණෙනවා කියන්නේ එකපාරම නාකීවෙනවා කියන අදහසක්. හුරතල් වෙන්න පුළුවන් පොඩි එවුන්ට විතරද? ඇයි වැඩිහිටියන් හුරතල් වුණාම මොකද වෙන්නේ. අපි කවද්ද මේ යතාර්ථය තේරුම් ගන්නේ. මම දකින විදියට, මම හිතන විදියට අපි හිතන පතන විදියේ ක‍්‍රියාත්මක වන විදියේ වැරැුද්දක් තියෙනවා. සංස්කෘතිය, සබ්්‍යත්වය නැති කරනවා කියන නොවෙයි මම මෙතන අදහස් කරන්නේ සමාජය තුළ පවුල තුළ පාසල තුළ අපි සහෝදරකම් වගා කරන්න ඕනේ කියන එක. ආදරය වගා කරන්න ඕන කියන එක.

අනෙක් අය එක්ක තරග කරනවා වෙනුවට සහයෝගයෙන් ජීවත් වෙන්නේ අනෙක් කෙනාව තේරුම් ගන්න අපි අනාගත පරම්පරාවට හුරු කරන්න ඕන. ජීවිත කියන්නේ බෙදා ගන්න තියෙන දේවල් මිසක් මරාගන්න තියෙන දේවල් නෙමෙයි. අපි යහගුණදම් වගා කරනවා කියන්නේ ආදරය සෙනෙහස දයාව, කරුණාව, එකිනෙකා අතර පතුරුවා හරිනවා කියන එක.

අපි දෙයක් අත්පත් කර ගන්න අප සතු කර ගන්න දගලන දැගලිල්ලම අපේ ජීවිතයේ සතුට රදවා ගැනීමටත් තියෙන්න ඕන. මොකද කිසියම් දෙයක් අත්පත් කර ගැනීමෙන් පස්සේ ඒක පැත්තකට දාලා ඔහේ තියෙන්න හරිනවා. ඒකට තිබෙන ආසාව ඉවර කරනවා. නමුත් අපි ජීවිතය බෙදා ගන්න ඕන, ආදරය බෙදා ගන්න ඕන. ඒ බෙදා ගැනීම ඒ අවබෝධය ජීවිත කාලයටම වෙන්න ඕන. ඒක අත්පත් කරගෙන කූඩුවකට දාලා හිරකරලා වහල තියන්න නම් අපි තවදුරටත් ආදරය කිරීමට අවශ්‍යද?

Thursday 4 December 2008

ළඟ පාත - දුර ඈත

ළඟ ළඟ එක සමාන දුර
පිලී දෙකක ගමනක් යන්නේ
අතිනත අතහැර අපි කොයිබද යන්නේ
කොතනක එක්වෙන්නේ .............

පීළි මාරුවෙන ඊළඟ නැවතුම
කෙලවර ළං වන්නේ
නැවත දුරස්වන්නේ
ළඟ, ළඟ දුරවෙන්නේ
දුර නෑ ළං වන්නේ
කොතනද නවතින්නේ .............

තව දුර යනවද
මඟ නවතිනවද
කවුරුත් නෑ දන්නේ
හරියට අපි වාගේ

ක්‍ෂීතිජය ළඟපාතයි,
මිරිගුව දුර ඈතයි

Monday 1 December 2008

අමාවක

සාංකාව සිත උතුරා
වාන් දමන විට
හීන් පොදට පෙති ලෙහෙනා
මල් කැකුලක් ලෙස
හඬ නොනගා බිදී වැටෙයි
හදාගත්තු හිත

ළඟ ඉන්නට
කණාමැදිරි එළිවත් නැතිකොට
දෑස් ඇරන් මං ඉන්නේ
සසර පුරුද්දට
අමාවකට මල්වර වුණු
කුමුදු කැකුලකට
සදබිඳුවක් ඇහැ ගැහෙන්න
ඉඩක් තියෙනවද

ළගින් හිටිය හෙවනැල්ලත්
ඈතට යනකොට
දුරින් තියෙන තනි තරුවට
පෙනේද මගෙ දුක

Thursday 13 November 2008

හරිත නිම්නයේදී





සදාහරිත තණ පලසක නිරුවත් දෙපා කිතිකවන පිණි බිඳු වල අසිරිය අත්දකින්නට නම් ඔබ යා යුත්තේ මහඑළිය දෙසටයි. ඉහට අහස සෙවණිකළ ඒ සොඳුරු නවාතැන්පළ තරම් ආත්මය සන්සුන් කරවන ක්‍ෂේමභූමියක් වෙන කොහිද?






Friday 7 November 2008

හීන කලාලය

මම හීන දකින්නට පටන්ගත්තෙ කවද ඉදල ද කියන්න මමවත් හරියටම දන්නෙ නෑ. පුංචි දරුවො නින්දෙන් හිනා වෙද්දි් හීන දකිනවා කියලනෙ කියන්නෙ. මාත් ඒ දවස්වල ඉදලම හීන දකින්න ඇති. දැනුම් තේරුම් ඇතිව ලෝකෙ දකින්න පටන් ගත්ත දා ඉදලම මට තිබුණ බලාපොරොත්තු වලට මම අද නමක් දෙනව.
''හීන''
හැබෑ වුණු හීන, හැබෑ නොවුණ හීන අතර මම මගේ ලෝකෙ ගොඩනගනව. අනිත් හැමෝම වගේම. මේ මගේ විතරක් නෙවෙයි අපි හැමෝගෙම හීන. අපේ හීන. අපි, අපි කැමති විදිහට දකින මගේ ඔබගේ හීන. විදින්න, මේ මගේත් ඔබේත් හද ගැහෙන රිද්මයයි.

හීන කලාලය

හීන විලට විත් හීන නෙලනවා මං
රටා වියන්නටහීන දකිනවා මං
හීන කලාලෙට පාට පොඟනවා මං
හීන කලාලේ රටා අදිනවා මං
මගේ කලාලේ මගේ රටාවේ
හීන වියනවා මං

දුම්බර මල්ලෙති නැතිවා
තුන්පත් හෙවනැලි නැතිවා
මගේ කලාලේ මගේ රටාවේ
හීන වියනවා මං//

හීන විලට විත් හීන නෙලනවා මං
රටා වියන්නටහීන දකිනවා මං
හීන කලාලෙට පාට පොඟනවා මං
හීන කලාලේ රටා අදිනවා මං
මගේ කලාලේ මගේ රටාවේ
හීන වියනවා මං


කඳුඳුළු එකතුකර රටා අදිනවා මං
මුතුමාල රටාවක් හැඩට මවනවා මං
සිනා එකතුකර රටා අදිනවා මං
පරසතු මල්වැල් රටා වියනයවා මං

මගේ කලාලේ මගේ රටාවේ
හීන වියනවා මං///

ගායනය - කුමාරි සඳලතා මුණසිංහ
නාද රටාව - රෝහණ ධර්ම කීර්ති

Saturday 1 November 2008

පිරිනිවන් මංගල්යය


බලියාග සිරිතේ ඇති ශාන්ති කවි රචනා අතර පිරිනිවන් මංගල්යය කවි එකතුව බුදු රජානන් වහන්සේගේ පිරිනිවන් පෑ අවස්ථාව නිරූපණය කර රචනාවී ඇති අති විශිෂ්ඨ කාව්‍ය නිර්මාණයක් වනවා. ශෝක රසය තීව්රව දනවන මෙම කවි 30 දයාන්නද ගුණවර්ධන මහතා ජේ .ඊ සේදරමන් ගේ බලි යාග විචාරය කෘතියෙන් තෝරාගෙන ඇත්තේ මධුර ජවනිකා වැනි තවත් සුවිශේෂි නිර්මාණයක් රටට දායාද කිරීමේ අරමුණින් වුවත් ඊට පෙර ඔහුගේ අභාවය සිදුවීම නිසා එම නිර්මාණය නොපිපි කුසුමක් බවට පත්වුණා. මේ කවි එකතුව ලබාදුන් වසන්ත ගූණවර්ධන මහතාට ස්තූතියි

(1 )
පන්සාලිස් අවුරුදු අප මුනිදුන් වැඩ හිඳ
චුන්දය දුන් දන් වළදා රෝගය වන් සඳ
ගන් ගා තිර වැටෙනා මෙන් නොපැකිළ එමු හුද
සන්සාරේ අගටම විය මරුවා නෙත් බැද
(2)
එතැන් පටන් තෙමසක් ගත වුනු තැන
සොඳින් එවන් සමවත් මුනි අර ගෙන
ඉතින් පිරිනිවන් පානෙමි සිතු වන
එයින් දෙරණ කම්පාවිය අප මන


(3)
අනද තෙරිඳු වඩිමින් මුනි ළඟ ටා
නැමඳ පතුල බිම හසකර සොද ටා
නොවෙද පොළව කම්පා වුනෙ මෙවි ටා
කිමද ඇසුවෙ මුනිඳුන් ගෙන් එවි ටා

(4)
මහසත් බිහිවුනූ කලටත් එලෙ සේ
ජයගත් දින බෝ මුලදිත් සොද සේ
එමහත් කොට බිම් කම්පා වුනු සේ
අදවෙත් මගෙ පිරිනිවනද මෙලෙ සේ

(5)
එක එක රීදී තොරණින්ද
දෙක දෙක රන් රුවනින් ද
සක දිසි පිළි තොරණින් ද
නෙක රන් තරු විල සේ
දැක දැක වඩින ලෙසින් ද
මහ සඟ සපිරි වරින් ද
සල් උයනේ මුනිනන් ද
වැඩවුන් සඳ මෙලෙ සේ

(6)
සොදින එදන රැසිවන සල්වන මැද
මෙදින පිරිනිවන් පානෙමි කී සඳ
වදින හඬන මහ සඟ දැක ඉකි බිඳ
ඉදින මෙතැන නොම හඬනුව කිය නුද

(7)
තෙරිඳුට අඩ ගසමින් අනද තොප
අඩන්නෙ කිමද මෙදැන්
තෙමසට මුල පෙරදින් නොදැනද
මරු මට කලෙ අයදුන්
සසරට මුනි නොබැදුන් සිරි නැති
සිවි විසි තැන් වඩිමින්
නිමකොට බුදුසිරි දැන් මම යමි
නිවනට අලූයම දින්

(8)
අදසිට කවර බුඳුන් සමඟ හිද
කරනෙමි පැන විසදුන්
මඟතොට ආ සමිදුන් දෙනෙත් අද
නිසල වුනේ මෙලෙසින්
සදවට තරු විලසින් තෙරුන්මැද
වදිනෙමි කවර බුදුන්
අද සිට මගෙ මුනිඳුන් කියන්නද
කාටද අනේ ඉතින්

(9)
සල්වන පිරි නිවනේ මුනිඳු සඳ
දල්වන පහන මෙනේ
මල් දන වැද දෙරණේ අඬන
කඳුළෙන් අලූයම එදිනේ
උල්දිය විල් ලෙසිනේ ගලන මහ
සෙන් කඳුළැලි මැදිනේ
සල් සුවදින් පවනේ සුසුම් හඬ
ලෙවි සැම තැන් ඇසුනේ

(10)
මල් දන නැගී පහන් කියන්
එම මල්ල රජුට මෙවදන්
වල්වැදි සත විලසින් නොයන්
කිව මල්ල රජුගෙ පුරදින්
සල්වන තුළ මුනිඳුන් නිවන් පිරි
කල් දන වැඩ විලසින්
බොල් විය අද මුනි ඳුන් සැනෙන් ගොස්
මල්ල රජුට පවසන්

(11)
මල්ල රජුන් සැට දහසම එවිගස
ගොල්ල සෙනඟ බිසවුන් හා නොවලස
දුල්ල කඳුළු දහරින් තෙමමින් හිස
නිල්ල වරල බිදිමින් එති මඟ බැස

(12)
සල්වන මල් යහනේ දැකලා මුනිදු
සල්වන සොල්වන සේ හැඬු නිරිඳු
සිල්වදනින් ඒ අනුරුද තෙරිදු
මල්ල රජුන් හට පවසයි මෙබදු

(13)
ඔවා අසන් දුක් නිස්පල වන්නේ
යවා සදුන් දර රැස්කර ගන්නේ
දවා සොහොන්කර මුනි රජිදුන්නේ
නිවා ධාතු ගනුවයි පවසන් නේ

(14)
කෙලෙසින් සෑයට මුනිදුන් ලන්නේ
කෙලෙසින් මුනිඳුගෙ ධාතු ලබන්නේ
කෙලෙසින් පෙරමුනි දැවුදැයි වන්නේ
එලෙසින් වදහල මැන තෙරි දුන්නේ

(15)
රන් සළුවෙන් මුනි බඳපොර වන්නේ
නන් සුවදින් තෙල්වත් කරමි න්නේ
රන් තොරණින් රන් දෙණ සරස න්නේ
වන්දනයෙන් දර සෑ කරවන් නේ
(16)
සක්විති රජ පෙර දවනා විලස ට
වික්මැති මුනිදුන්ගේ ගූණ සිහි කොට
දුක් නැතිවම රන් දෙණ ඔසවා සිට
නික් මෙනු මුනිඳුගෙ ආදාහන යට

(17)
සතියක් ගිනිලා සෑය නොදන් නේ
මෙපවත් රහතුන් ගෙන් විමසන් නේ
ගුණයුත් එකසුප් මහ තෙරිඳුන් නේ
අදිටන් විලසින් ඒ සිදුවන් නේ

(18)
නැණ බල තෙරිඳුන් කොතැන සිටින් නේ
ගෙන ඒ සමවත් ලෙනක වෙසෙන් නේ
දැනගත් විට මේ පුවත බුදුන් නේ
එන තෙක් සෑයේ ගිනි නොවදින් නේ

(19)
සිප්පලි ගුහා උන්
එකසුප් තෙරිඳු සැනෙකි න්
සමවත් නැගීයෙමි න්
කොයි ද අප මුනි බලා දිවසි න්

(20)
පිරි නිවන් පා ලා
රන් දෙණ තුළ හොවා ලා
බුදුන් රුව දැක ලා
යන්ට නික්මුණි සැනින් එක ලා

(21)
කුසිනාරාපුර මල්ල රජුන් නේ
වෙසෙනා සැට දහසක් වැසියන් නේ
සැදෙනා අන්දම සල් සෙවනින් නේ
දකිනා මෙන් පිරිනිවන බුදුන් නේ

(22)
සුරපති සෑයට මල්වැසි ලන් නේ
නිමනැති දන වැද මල් අහුලන් නේ
පරසතු මල් කොතනින් අරගන් නේ
ගවුතම මුනිඳුගෙ සොහොනින් ගන් නේ

(23)
නොරහත් තෙර හඬලා වැටෙමින් නේ
සිරිමත් මුනි අපි කෙළෙස දකින් නේ
නොපනත් පැවිදා මෙලෙස සිතන් නේ
එමහත් මැරුණා අපි ජයගන් නේ
(24)
නායක යෙක් නැත අපට ඉතින් නේ
නෑ සැක දැන් අපි ජයගෙන ඉන් නේ
දායක දන්වැට නැත අඩුවන් නේ
ඒ දැක ඇයිදැයි අපි වැලපෙන් නේ

(25)
එබ සට සිතුවයි එකසුප් තෙරිඳු
අදසිට නැතිවෙයි ශාසන මුනිඳු
මතුවට මතුවේ නම් ඒ අවිදු
දහමට සංගායන වෙයි පසිදු

(26)
ගින්දර ඇයි නොවදින්නේ නොකියා
රන්දෙණ කින් මුනි ඉන්නේ නොකියා
මන්ද නිවන්පුර වැඩියේ නොකියා
ඇන්ද සිවුර ඇයි දුන්නේ නොකියා

(27)
සිදු කොට සිරිපා තෙරිඳු දිසාවට
සිරුරට වැන්දයි නළල තබා සිට
අදසිට බුදු දැක්මක් නැත මේ ලෝකෙට
පදසිව් ගාතාවෙන් අදිටන් කොට

(28)
මුනි සිරිපා යුග රන්දෙණ වන් නේ
තනියම සෑයට ගිනි ඇවිළෙන් නේ
මුනි පුද ධාතුව සිව් කොටසින් නේ
එහිවුන ගිනි මැද වැඩ සිට ඉන්නේ

(29)
බුදුන් පිරිනිවි අසා රජ සත් දෙනෙක්
දඹදිව රට පුරා
යොදුන් ගනනින් මුදුන් බලකොටු
සියල් සේනා පිරිවරා
පුදන්නට අප බුදුන් සැමදින
බෙදන් ධාතුව නොමසුරා
රදුන් කොළ හල බසින් පැමිණෙයි
දෝන බමුණා එම වරා

(30)
කුසිනාරා වේට දීප අල්ල කප්ප
විසල් පුර ද
සිරිසාරා පාවා රට රාමාග‍්‍රය
ගෙන තෝරා සාවස්තිය අටක් නගර
බමුණු එස ද
දුනි බේරා ධාතු සැමට සව්
සතනගෙ ආසිරි මැද

දයානන්ද ගුණවර්ධන
(ජේ .ඊ සේදරමන් ගේ බලි යාග විචාරය ඇසුරින් )

Friday 31 October 2008

බදාගැනීම සහ බෙදා ගැනීම



බදාගැනීමයි, බෙදා ගැනීමයි ගැන ලියද්දි චන්දන ගැන කියන්න ඕනි. මොකද මමත් දන්න වොලිබෝල්ව බදා ගත්තටත් මාත් එක්ක බෙදා ගත්තටත්.

වොලිබෝල්ගෙ නම විපුල.පාසලේ විභාගෙට ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත්තරේ නම ලියන්න දැනගෙන හිටියේ නෑ ඉංග‍්‍රීසියෙන්, කොළටික පෙරලල බැලූව. තැනක (වී) අකුරෙන් පටන් ගන්න නමක් තිබුණ. නම ලියන්න ඕනි තැන ඒක බලාගෙන නම ලිව්ව. ටීචර් අහනව කවුද වොලිබෝල් කියල. විපුලත් අහනව කවුද වොලිබොල් කියල? ඔන්න ඔහොමයි වොලිබෝලි බිහිවෙන්නෙ.

කට්ටි පැනල ගෙවල්වල බැල මෙහෙ කරල, අන්තිමට බිල්ඩින් සයිටි එකකදි චන්දනට හමුවෙන වොලිබෝල් අකුරු ඉගෙන ගන්නව. අනිත් අය කියවන පොත් කියවන්න. ඩබල් රූල් පොතේ අන්තිම පිටුවෙ පකෝරිස් කියල ලියල අහුවෙන දවසෙ චන්දන විපුලට කියනව දැන් උඹ අකුරු ඉගෙන ගත්ත ඇති කියල. අම්ම බලන්න ගෙදර ගිහින් වොලිබෝල් වහ බොන්නෙ පුංචිම කාලෙ අම්ම විකිණුව කියන නංගිගෙ තොරතුර දැන ගන්න බැරිව. තමන් වගේම බිහිවෙචිච සහොදරී ගැන රට්ටු කියන කතා දරා ගන්න බැරිව නොවෙයි, ඒ සහෝදරීව හොයාගන්න බැරි වේදනාවටයි වහබොන්නෙ. නැවතුම එතන නොවෙයි තියෙන්නෙ ආරංචිය නංගි ප‍්‍රංසෙ ඉන්නව කියල. අලියොන්ස් එකට යන විපුල ප‍්‍රංස ඉගෙන ගන්නව. මේ වෙනකොට වෙද්‍ය ශිෂ්‍යාවක් වන ඒ සහෝදරී වොලිබොල් බදාගන්න ලංකාවටත් ඇවිත් ගිහිල්ල ඉවරයි

මුලදි හුගක් අයට වොලිබෝල් එක්ක බෙදා ගත්ත දේවල් තිබුණ. උඹ අවජාතකය, උඹේ අම්ම බඩට ආපු දරුව විකුණන් කාපූ එකී. උඹල කැලේ කොලේට හැදුනු එවුන්,.......මේ වගේ තව හුගක් දේවල්. ඊට කාලෙකට පස්සෙ චන්දනටත් ඔහුගේ මිතුරන්ටත් ‍චන්දනව බදාගන්න ඔනි වුණා. ඒ තමන්‍ ගේ කඩේ ‍වෙළදාමට හවුල් වෙන්න ආව අත්උදව් කාරයෙක් විදිහට නෙවෙයි තවත් මනුස්සයෙක් විදිහට. තමන්ගෙ බාල සහෝදරයා විදිහට, ඇස් දෙක පාදගන්න ඕනි වෙනව. ලෝකය දකින්න. ඒ සතුට දුරට වෙලා හදවතින්ම විදින්නත් චන්දනට පුලුවන් වෙලා ති‍යෙනව.දැනෙනවද බදා ගැණිමෙයි. බෙදා ගැනීමෙයි වෙනස.

ලිහිණි

Thursday 30 October 2008

හුදකලාව


පුංචිම කාලේ ඉදල
මම හුදකලාවට කැමතියි
ඒ කවුරුත් මට කරදර කරනවට
මම කැමති නැති හින්ද

හුදකලාව කොච්චර නම් ලස්සනද...................
දේදුන්න වගේ,
ඇදිල මැකිල යනව
මීදුම වාගේ ගලාගෙන ඇවිත්,
නොපෙනී යනව

හුදකලාවෙ ඉන්න
මල් පොහොට්ටුත් එක්ක කතා කරන්න
පිපෙන්න ලංවෙච්ච
බෝවිටියා මල් දිහා බලන් ඉන්න
මම හුගක් ආසයි
ඒ එයාල මගේ කතාවඅහගෙන ඉන්න හන්ද

දිය හවරිය පදුරුත් එක්ක සෙල්ලම්කරන පුංචි මාළු පැටවු
මගෙත් එක්කඒ හිනාවෙන්නෙ,
සෙල්ලම්කරන්න එන්න කියල.

පංති කාමරේ කෙටි බිත්තියෙන්
පිටිටනියට උඩින් පේන
නිල් අහස දිහා මම බලන් ඉන්නෙ,
කාටවත්ම මාව නොපෙනෙන හන්ද
වලාකුළු මගෙ කදුළු උරා ගන්න හින්ද

අදුරෙ ඉදගෙන රැඑළිය කරන
තරු දිහා මම බලාගෙන ඉන්නෙ
කාටවත්ම මගේ ඇස්,
ඇස නොගැටෙන හින්ද

ළගට වඩා දුර යාළු කමට මම කැමති
අනිත් අයට මාව දැනෙන්න පුළුවන් හින්ද
පුංචිම පුංචි දේටත් මගේ හිත රිදෙන්නෙ,
ආදරේ බලාපොරොත්තුවෙන හින්ද.
හැම තිස්සෙම හිනා වෙන්නෙ
අඩන්න බැරි හින්ද
කාෂ්ඨක පොළවට වැටුන
එකම එක වැහි බින්දුවකටත්,
ජීවිතයක් තියෙනව කියල
අනිත් අයට දැනෙනව නම්........

ගැබිබර වෙච්ච මන්දාරම උසුල ගන්න
හුළගෙ පාවෙනවළාකුළු වලට පුළුවන් නම්
ඇයි ......................
එක වැහි බිදුවක් දරාගන්න
මේ වැහි ලිහිනිට බැරි!!!

Wednesday 29 October 2008

Xකිරණ


විශ්වාසය



මම සාමාන්‍යයෙන් මට හිතෙන දේ බොහොම විවෘතව කියන කෙනෙක්, ඒක ඔබට කියල විශෙෂ නැහැ, හැබැයි මම හිතනව ඒ කියන දේ තුළ මම අදහන ජීවිතය තියෙනව කියල, කෙනෙක්ගෙ හොදක් හරි නරකක් හරි ඒ අදාල පුද්ගලයටම කියන්න කියල මට කියල දුන්නෙ මිතුරියක්, ඒ වාගේම ඇය මට කියල දුන්න සැක ඇතිව ජීවත්වෙන්න එපා කියල. ඇය මට කියල දුන්න. කිසියම් දෙයක් ගැන, කෙනෙක් ගැන සැකයක් අවිශ්වාසයක් තියෙනව නම් එතන නිවැරදී, පැහැදිලි සමිබන්ධයක් ගොඩනැගෙන්නේ නැහැ කියල, හැම තිස්සෙම සැකය ඉස්සරහට එනව කියල, වඩා වැදගත් වෙන්නෙ විශ්වාසනීයව ජීවත්වීම කියල මගේ මිතුරිය මට වටහල දුන්න.

අපි වැඩ කරද්දි සමහර අවස්ථාවලදි තව කෙනෙකුගේ හිත රිදෙන්න පුවන්, එයා මොන විදිහට ඒක බාර ගනීවිද දන්නෙ නෑ වගේ හිතිවිලි හිතට වද නොදෙනවාමත් නොවෙයි. ඒ වුනත් අපි හැමදාම කරන්නේ අනෙක් අයගේ හිත් සතුටු කරන්න අපව රවටා ගැමක් නම්, එහෙම නැත්නම් අනිත් අය ගැන හිතල අපි වේදනාවිදිනව නම් ඒකට විසදුමක් තියෙන්න ඕනි. මම කරන්නෙත් එක්තරා විදිහක මානසික විරේකයක්. මේ හැඟීම් හිතේ හිර කරගෙන දුක් විදින්නෙ නැතිව එළියට මුදාහරිනව. හරියට තටුවෙන් ලිහිනු පිහාටුවක් වගේ, මම මගේ හිතිවිලි වලට නිදහස් සුළගෙ පාවෙලා යන්න ඉඩදෙනව. ඒවා කොහේ කොහේ හරි පාවෙලා යාවී. කාගේ හරි අත්ලක මොහොතකට රැදේවි, වැස්ට තෙමේවි, අවිවට වේලේවි, තටු නැතිවට සැහැල්ලූවෙන් පියඹාවි. ඒ තමයි විශ්වාසවන්ත වීමේ සැහැල්ලූව.

අපි සමාජයට, අපට පවුලට විවෘත නම් අපේ හදවත් ඒ වාගේ සැහැල්ලූයි, මොකද සඟවන්න දෙයක් අපේ ජීවිතවල නැති හින්ද, අපේ සමිබන්ධකම් ව්වෘත වුණාම හිත්වල කහට බැදෙන්නෙ නෑ, මොකද හැමදේම කෙලින් කතා කරල විසද ගන්න අපිට හැකියාව තියෙන නිසා. අපේ අඩුපාඩු හොද නරක අපි දන්නව නම් අපට හිතන්න පුළුවන්.

මට මා ගැන විස්වාසයක් තියෙනකොට මම කරන වැඩගැනත් මට ඉබේම විස්වාසයක් ගොඩනැගෙනව. මම විස්වාසැති සගයෙක් කියල. ඒ විස්වාසය නිසාම අපි කරන සියලු දේ ගැන අපි අවට තියෙන දේ ගැන අපි විශ්වාස කරනව. ඔබ මොකද ඒ ගැන හිතන්නෙ, ඔබට ඔබ විස්වාසනීයද? ඔබේ සමීපතමයින් අතර, පවුලේ සාමාජිකයන් අතර, කාර්යාලය තුළ, ඔබ විස්වාසැති සගයෙක් කියල,

ලිහිණි

Monday 27 October 2008

ජීවිතේ


ජීවිතේ වෙලාවකට හරියට හමන සුළඟ වගේ, කොහෙන් හැමුවද? කොහේටද හමාගෙන යන්නෙ කියල කවුරුවත් දන්නෙ නැහැ. ජිවත් වෙන්න ඉහලට අදින හුස්ම පොදත් එක්ක බැදිල තියෙන අපේ ජීවිතේ ඒ හුළං පොද වගේ නොකියම ඇවිත් නොකියම යන්නත් යනව. ඒ වුනත් ඒ නොකියා ඇවිත් නොකියාම නික්මුණාට අපේ ජීවිතවල තියෙන සමහර සමිබන්ධකම් වල දිල පලල මැරෙන තුරාවට අපේ ජීවිතවල මතකයක් ඉතිරි කරනව.

මඩකලපුවෙ කල්ලඩි වෙරල පේන තැනක එක කාන්තාවක් ඉන්නව. ඇය රාජේශ්වරී, 1978 අවුරුද්දෙ සුළි සුළගට මඩකලපුවෙ ඇයගෙ මහ ගෙවල් නැති වෙනව. අම්ම තාත්ත එක්ක කොළඹ ඇවිල්ල ඉන්නකොට 83 කළු ජුලියෙදි කොළඹ ගෙවල් නැතිවෙනවා; ඒ අතර කොහොම හරි කරල බම්බලපිටියෙ හින්දු විද්‍යාලෙ උසස් පෙළ විද්‍යා විෂයන් කරනව. බැදල දරුවට මාස තුනේදි මහත්තය අතුරුදන්වෙනව. ඔහුත් ඈ වගේම උපතින් දමිල. ඒ වෙද්දි නංගිල දෙන්නගෙ මහත්තුරු ආමි එකට ඔත්තුදෙනව කියල එල් ටී ටී ඊ එකෙන් ඝාතනය කරල වසරක් ගතවෙලා නැහැ. නැගනියන් දෙදෙනා අත ගත්තෙ ගන්දරින් මඩකලපුවට සිංහල පවුලක සහෝදරයො දෙදෙනෙක්.

අත දරුවත් රැගෙන ස්වාමියා හොයාගෙන කොළඹ එන ඇයට නවාතැන් හම්බවෙන්නෙ අනාත කදවුරක ටකරං මඩුවක, අවසානයෙ ඇය දරුව රැකගන්න රස්සාවක් හොයා ගන්නව. ඉස්පිරිතාලේ සාත්තු සේවිකාවක් විදිහට, ණය වෙලා ඉඩම් කෑල්ලක් අරගෙන නිවසක් හදනව. අත්වැඩ දීල, සිමෙන්ති අනල, බ්ලොක් ගල් ගහල හදාගත්ත වැඩ නිමා නොවූ නිවස පෙන්නල පළමු වතාවට මේ මගේ ලේ කඳුළු කියල ඇය කියනව, එකම එක දවසක්වත් පදිංචියට යන්න කලින් අත්තිවාරම විතරක් ඉතිරිවෙන්න ඇගේ නිවස; කාටවත් නොකියාම ආව සුනාමිය ගෙනිහින්. රාජේශ්වරී අපිට කියනව, මම තාම ජීවත්වෙනව. මට ඒකට ශක්තිය තියෙනව කියල.

ඇගේ දියණිය දැන් ඒ උසස්පෙළ කරනව මම දන්නව ඈ දිනනව කියල. මොකද ඇයට මොනව නැති වුනත් ජීවිතේ තියෙන නිසා. තමන්ගේ අතේ ඇගිලි අතරෙන් ගිලිහෙන ජීවිතය ඇය අල්ල ගන්නව. මේ එක උදාහරණයක්, හබැයි මේක මම අදහන්නෙ අපට පාඩමක් කියල, මොකද රාජේශ්වරී තමන්ගෙ මතකයන් එක්ක ජීවිතය අත අරින්නේ නැතිව, ජීවිතය වලදාන්නෙ නැතිව එයට මූහුණ දෙණ හින්ද. අපි කීයෙන් කීදෙනෙකුට එහෙම ජීවිතේට මුහුණ දෙන්න පු ළු වන්ද ?

ලිහිණි

හිනාව



හුඟ දවසකින් කාටවත්ම ලියුමක් ලියන්න බැරිවුණා. ආස්රය කරන හුග දෙනෙක් ළග වගේම හුගක් අයගෙ ගෙවල්වලත් දැන් දැන් දුරකථතන තියෙනවනෙ. කියන්න තියෙන දෙයක් කතා කරලම කියන්න පුළුවන්කම තියෙද්දි මොකටද තවත් ලියුම් ලියන්නෙ කියල ඔබට හිතෙන්න පුළුවන්, ඒ වුනත් ලියුමකින් කියන්න පුළුවන් දේවල් දුරකථනයෙන් නම් කො හොමවත් කියන්න බැහැ. ඒ නිසාම මට හිතුන මට කියන්න තියෙන දේවල් හැමෝටම කියවන්න ලියුමක් ලියන්න ඕනි කියල.

කොළඹ හතේ හරියටම කියනව නම් රීඩි ඇවිනිවි එකේ හෙවනට වැවුනු මාරගස්ගොන්න ගාවදි පාර අතුගාන අම්ම කෙනෙක් එක්ක පත්තරකාරියක් කතා කරල තිබුන. 87 අවුරුද්දෙ. දිනය හරියට කියන්න බැරිවුනත් ඒ කතාව මාර්තු 8 වෙනිද ඒ කියන්නෙ ජාත්‍යන්තර කාන්තා දිනේ දවසෙ කාන්තා පත්තරේක පලවෙලා තිබුන. ඇය කියල තිබුණ ජීවිතයෙ සියළු දුක්ක දෝමනස්ස උහුල ගන්න පුළුවන් හිනාවක් නැති මූණු දකින එක තමයි දරා ගන්න බැරි වේදනාව කියල.

ඇය සමාජයෙන් බලාපොරෝත්තුවෙන්නෙ හිනාවක්, මනුස්සකමක්, පිළිගැනීමක්, ඇත්ත මම පිළිගන්නව එදාට වඩා අද සමාජෙ සංකීර්ණයි. එළියට බැස්සහම ආයෙ ගෙදරට එනකම් ජීවිතේ වුනත් විශ්වාස නැහැ. ඔළුවෙත් ප‍්‍රශ්න. ජීවත්වෙන්නෙ කොහොමද? රස්සාවෙ තත්වෙ කොහොමද වාගෙ දාහක් ප‍්‍රශ්න. ඒ වුනත් මට හිතෙන්නෙ අනිත් අය එක්ක හිනාවෙන්න ඒක ප‍්‍රශ්නයක් නොවෙයි.

අර මම මුලින් කියපු පත්තර කෑල්ල කියවද්දි මගේ වයස අවුරුදු දොළහක් විතර ඇති. ඒ සිදුවීම මාව වෙනස් කරා. මූණට මුණ ගැහෙන දැස් එක්ක හිනාවන් හුවමාරු කරගන්න මම පුරුදු වුනා. මොකද ඒ අම්ම කියපු කතාව මටත් අදාල වුණු හින්ද. කා එක්ක වත් අමනාපයක් නැති වුවත් පොළවට ඔරවන එක මම නතර කරා. බස් එකේදි, බස් නැවතුමේදී, පාර මාරුවෙද්දි, මම යන එන හැමතැනකම අදත් මගේ හිනාවට මට පිළිතුරු හිනාවක් ලැබෙනව.

ඒත් සමහර වෙලාවට කෙනෙක් දෙන්නෙක් අහනව හිනාවෙන්නෙ අදනනවද? කියල. මම උත්තර දෙනව. ඔව් මනුස්සයෙක්නෙ කියල. ඒත් මම අද ඔබෙන් අහනව හිනාවෙන්න අදුනන්නම ඕනිද?
ලිහිණි

Saturday 25 October 2008

කඳුළු

ඊයේ පෙරේදා දවසක දුරකතන ඇමතුමක් ලැබුණා. මගේ සොහොයුරියක ගෙන්. ඇය මගෙන් ඇහුවා අපේ කඳුළු නතර වෙන්නේ කවද්ද කියලා. මට දෙන්න තිබුණේ එකම උත්තරයයි. ගංගාවල් ගලාගෙන යනවා හිදෙන්නේ නැහැ. අපේ කඳුළුත් ඒ වගේ. අපි ඉන්නේ ක්‍ෂෙම භූමියක,ඉතින් ගහකොල තියෙනකම් පොලොවේ තෙත රැදෙනවා, දිය උනනවා. අපේ ජීවිතත් ඒ වගේ තමයි. අපි අපේ හැඟීම් අපේ ජීවිත බෙදාගන්න තාක්කල් අපේ කඳුළු නතර වෙන්නේ නැහැ. මොකද සතුටටයි, දුකටයි දෙකටම අපි කඳුළු බෙදා ගන්න හින්දා කියල

ඔබ මොකද හිතන්නේ? ඔබ එකඟ නොවෙන්න පුළුවන්. කඳුළු කියන්නේ වේදනාවක්. කඳුළුත් එක්ක ජීවත් වෙනවා කියන්නේ මොන මූසලකමක්ද? ඔබට එහෙම හිතේවි. ඒ වුණත් කඳුළ කියන්නේ හොඳ යාළුවෙක්. කාත්කවුරුවත් නැති වෙලාවකත් ඇති වෙලාවකත් ජීවිතේ තනියෙන් හුදකලාව දරාගන්න වෙලාවකත් අපිව දරා ගන්න කඳුළු බිංදුවලට පුළුවන්. ඉතින් අපි කොහොමද කඳුළු හෑල්ලූ කරන්නේ.
ජීවිතය විඳගන්න බැරි අසීරුතම බර මහමෙරක් නම් ඒ මහමෙර දියකරන්න පුළුවන් කඳුළුවලට විතරයි. සමහරක් වෙලාවට ඒ කඳුළු හෙලන්නත් අපි හැංගෙන්න ඕන. නාන කාමරයකදී, ළිඳක් ළඟකදි එහෙමත් නැත්නම් කාටත් නොපෙන අඳුරෙදී තමයි අපි මහමෙර දිය කරලා හරින්නේ. කොපුල් තෙමා ගෙන ගලා යන වතුර බිංදුවල හංඟලා අපි ඒ බර නිදහස් කරනවා. මට කඳුළු ගැන මෙහෙම කියන්න හිතුනේ ඇයි? එළියට එන්න පාරක් නැතිව බරට, ඒත් නොවැටි තියෙන කඳුළු බිංදුවක් ඇහැමුළ බරට දැනුන හින්දා. මට හිතෙනවා මගේ කඳුලේ බර ඇයි අනිත් අයට දෙන්නේ කියලා. ඒ වුණත් ඒ කඳුළු තියෙන්නේ බෙදා ගන්න. මගේ කඳුළු වැටන්නේ කලින් ඒ කඳුළු බෙදා ගන්න ඉන්න අයට මාව දැනෙනවා. මට මාව හංඟන්න බෑ.

අපි ජීවිතය බෙදා ගන්නවා නම් සතුටයි දෙකම බෙදා ගන්න ඕන. හැබැයි ඒ සතුටු කඳුළු වගේම දුක් කඳුළු වලටත් වටිනාකමක් දෙන වටිනාකමක් තියෙන අයත් එක්ක. ඔබත් ඔබේ කඳුළු බෙදා ගන්නවද? මහමෙර දියකර හරිනවද? උත්සාහ කර බලන්න ඔබට දැනේවී අප‍්‍රමාණ සැහැල්ලූවක්. හුළගේ පාවෙන කුරුළු පිහාටුවක් වගේ.

ජීවිතේ දරාගන්න බැරි බර දර තියාගෙන යන්න එපා. මොකද මහ මෙර වුණත් දිය කරන්න ඒ බර අපිත් එක්කම දරා ගන්න කඳුළු අපේ ඇහැමුල තියෙන හින්දා... සමීපතමයන්ගේ ඇහැමුල තියෙන හින්දා...

ලිහිණි

Thursday 23 October 2008

My Dear Mother


On one bright day I saw you, clad in a pink saree. I recognized you as soon as I saw you, bearing tears of happiness and sorrow within your eyes. I kept watching standing from afar how tears glow in the Mother's eyes. I raised my head and looked at Mother. When our eyes met, Mother bent her head a little and smiled at me. As we've known for a long time. My little friend stepped on to the poruwa with hopes aligned for a brand new life. We all watched that small Angel with so much love. We all gathered there to give her our blessings and love.

At the same time I wanted to declare my love- to say thank you- at least a moment before the day came to an end - to the Mother who offered strength to that small Angel, to circle this Earth without fear or dependency. I was waiting to tell you that. At one moment I looked for you. But you were nowhere to be found. I felt so sad. I couldn't complete my responsibility. I told my friend. After about an hour by chance I met Mother. I called out Mother's name and asked if it isn't her. At that moment I felt an affectionate bonding. A feeling of "ours and mine." But I wasn't able to convey my feelings to Mother in that exact way. Language was an obstruction between us. But I felt that Mother was touched by the feelings I wanted to express to her.

Actually my dear Mother, my hands are too small to embrace you. Because you heart is that much bigger. You pose love, kindness, compassion as well as happiness, console and blessings. My dear Mother, in our country we are raised to bear our feelings within us. We are hardly driven towards expression. But I know that there is no achievement in hidden love. There are some things that need no expression. Mothers don't speak of their compassion. Mother's only speak of their happiness. But dear Mother, when someone else feels that you give them love, the happiness felt by that person is unbelievably great.

I think that you felt happiness Mother, when you embraced me at that moment. I still experience that happiness until the time of my death. I felt a great console when my head rested on your bosom. I also felt the sound of your cry. I also felt the joy in the tears that left you Mother. On behalf of those who are incapable of sharing joy and sorrow. Dear Mother, you cry for those who cannot cry. You give a smile to others and laugh along with them. That is the specialty I see in you.

To be honest I haven't hugged my own mother in a long time. If I try to do so she will ask me why the old are crawling on their knees. That's our culture. Dear Mother, I would like to tell you from the bottom of my heart that the hour was yours. My friend's wedding was your day. I saw six more eyes shining as bright as yours. My friend's eyes. Her mother's eyes. Your lifetime partner's eyes. My Mother your are the shining light featured in those eyes.

Dear Mother, I want to tell you, that you are the most loving Mother I've seen among many others in this world. I know that there are many boundaries for a women's love. But love for children is common to all. Dear Mother, there are no boundaries for your love. You can give love to the whole world. I know that already you love the whole world. But I want to tell you alone that I feel your love. Dear Mother, we can easily say thank you to someone for their assistance. We can even say thank you very much. But some one's love can only be amended by a similar amount of love. That love cannot be measured anywhere in anyway. That love cannot be valued.
Dear Mother, I wish to tell you, that I found out the vastness of love from you. I thank you for showing that we possess strength to defeat what destiny thrusts upon us. I thank you parents, for giving life to someone like you. Because many others learn life from you. Mother, I respect you. I love you. Because you are loveable

Lihini
Note:Dedicated to a mother who has devoted herself to a child without both arms living in a completely unknown country. This is reminiscent of her love for a child. The letter was written on this child's wedding dedicated to motherhood.

The article was translat by Shashini Ruwanthi Gamageed

Wednesday 22 October 2008

මඟ නොහැරුණු රීදී රැහැන්(කෙටි කතා)


අහස වගේම තෙරක් නැතිව නිල්ම නිල් පාටින් බබලන සාගරය මට හොද යාළුවෙක් වගේ සමීපයි. නිහඩතාවය බිදගෙන බුබුලූ බුබුලු පෙණ කැටිති ගොඩාරියක් වෙරළ ඉම බිඳිල යන හැටි, හීන් වැල්ලෙ සීරුවට ඇදෙන පා සටහන්, රළ බිදෙන මායිමේ මැකිල යනහැටි මට හරියට කවියක් වගේ. සුනාමිය ආවහම මට දැනුනෙ මම හිටිය තැනින් උස්සල පොළේ ගැහැව්ව වගේ හැඟීමක්. ඒ හින්දම වෙන්නැති හුඟ දවසකින් මම මුහුදට ගියේ නැත්තෙ.

අවුරුදු දෙකක් කියන්නෙ ටිකක් දිග කාලයක්. විරාමයකට පස්සෙ මුහුදට යන්න මම ලෑස්තිවුණේ දිය කිඳුරියක් වගේ සතුටින්. හුග කාලෙකින් යාළුව බලන්න යන්න කලින් මම නවාතැනේ කන්ණාඩියෙන් මගේ දෙපා දිහාව බැලුව. මම කැමති ඕනම තැනකට මාව ගෙනියන්න ඒව සැදී පැහැදී හිටියෙ මට යන්න ඕන තැන මම තීරණය කරනකම් වගේ. නොගැඹුරු මුහුද තීරයට මාව අරගෙන යන්න කියල මගේ සිත කිව්වට පස්සෙ ඔන්න මගේ දෙපා වැඩ කරනව. මාව සතුටින් තියන්න දුවන්න පනින්න පීනන්න එයාල මගෙත් එක්ක හරි හරියට වැඩ.

මට මුහුද දාල යන්න දුක හිතුන. හවස ආවේ හරිම ඉක්මනින්. ලස්සන වසිලිස්සා බබායිගා යකින්නගෙ ගෙදර හැංඟිලා ඉන්න කොට අහස කළු කරගෙන ඉර එළිය වසාගෙන අªර ආවලු. ක්ෂිතිජය අදුරුවෙලා ඉර එළිය ඈතට ගියාට, කලූ අදුරක් පලාතම වසාගත්තට, අනේ මට මගෙ යාළුවව දාල යන්න හිත දුන්නෙ නෑ. මට තව පුංචිම මොහොතක් ඇයත් එක්ක ඉන්න ඕන. මේ සීතල ලූණු වතුරට පනින්න මම කොච්චරකල් බලාහිටියද? ඉතිං ඇයි මට හදිස්සියක්?

මම මට විතරක් නෙමෙයි අවට හැමෝටම ඇහෙන්න හයියෙන් හිනාවුණා, ඒ හැමෝම මා දිහා බලන් ඉන්නවත් මම දැක්ක. ඒත් ඒ හැම දේම වෙනස් වෙන්න ගතවුනේ එකම එක නිමේශයක් විතරමයි. ඒ නිමේශයෙ මොන තරම් දේවල් වුණාද? පලාතම අදුරුවුනේ එක පාරට, මේ සියල්ල එක්කම මට දැනුන මුවහත් පිහියක් බත්කෙන්ඩෙ වැදෙනව වගේ හැඟීමක්, ලොකු වේදනාවක්, හරියට විදුලි දහරාවක් මුහුද දෙබෑකරල ඇවිදින් ඇඟට ඇතුල් වුණා වගේ. අනිත් අය මාව වතුරෙන් ගොඩටගන්න කොට මට දැනුන ටිකින් ටික බඩ රිදෙන්න ගන්නව.

වතුරෙන් මාව ගොඩට ගන්නත් දොස්තර කෙනෙක් ගාවට මාව අරන් යන්නත් ඒ හැටි වෙලාවක් උන්නෑ. මාව දොස්තර ගාවට එක්ක යන්න වාහනේට දාගත්තු අන්කල් බුදුන් වැදල වාහනේ එළියට ගත්ත. ඩොක්ටර් තව ලෙඞ්ඩු ගොඩක් දාල ඇවිත් ගිලන් රථයකට මාව දා ගත්ත, ඔක්සිජන් බටේ අල්ලන් හිටිය ඇස්දෙක එක තප්පරේකට හෙල්ලූනේ නැහැ, අම්මයි තාත්තයි දෙන්නත් මා එක්කම.
මරණ බය ඇත්තටම මට ඒක දැනුනද?. මට දැනුනෙ බොහොම සාමකාමී නිරවුල් සැනසීමක්, අඳුරක් තිබුනත් ඒ අඳුර දිහාට මාව තල්ලූවෙලා ගියත් මට වේදනාවක් දැනුන් නෑ, බොහොම සාමකාමී සැහැල්ලූවක් මාව වෙලා ගත්ත. මරණය මේ තරම්ම සැහැල්ලූවක් නම් ඇයි මම එතනට නොයා ඉන්නෙ, මට හිතන්න ඉඩක් හොයා ගන්න කලින්ම කම්මුල පුපුරු ගහන්න කම්මුල් පාරක් වැදුන. කවුද ඔයාට නිදා ගන්න කිව්වෙ, මොකක්ද ඔයාගේ නම, ඔයා අහැරිලා ඉන්න ඕනි, ඔයාට එහෙම නිදාගන්න බැහැ. මම උත්තර දෙන්න හදනව.

මගේ තාත්ති, මගේ අතින් අල්ල ගෙන මට කියනව, මම කරපු දේවල්, තව කරන්න තියෙන දේවල්, මගේ බලාපොරොත්තු ගැන. එයාලගේ ජිවිතවල මට තියෙන තැන ගැන, මම දැනගෙන හිටිය මගේ පවුලෙ නිශ්චිත තැනක් මට තියෙනව කියල. හැබැයි කවදාවත්ම මාව මගේ පවුලට කොච්චර වටිනවද කියල හොයන්න, ඒ ගැන හිතන්න මට උවමනාවක් උන් නෑ මෙච්චර දවසකට, ඉතින් මම කොහොමද එයාලව දාල යන්නෙ.

මරණ බය නොදැනුත් මම හිතනව මට ඒ වේදනාව දැනුනු කියල, ඔව් මම හිතනව මම ඒක දැක්ක මගේ දෙමව්පියන්ගේ ඇස්වල. ඒ ඇස්වල තිබුණු කදුළු, බලාපොරොත්තු, වේදනාව මම මගේ ඇස් දෙකින්ම දැක්ක. මගෙන් අහකට නොගිය හැම ඇහැකම තිබුනෙ ඉල්ලීමක් ධෙර්යමත්වෙන්න, ජීවත්වෙන්න කියන ඉල්ලීම, හදවතේ ගැස්ම දෙගුණ තුන්ගුණ වෙද්දිත් මම කොහොමද මගේ අයව දලා යන්නෙ, මම ඔරසන් කියන්න පටන්ගත්ත. හැමදාම යාඥා පොත බලාගෙන කියපුව මට කටපාඩම් හිටල, මම ජීවත් වෙනව තව දුරටත්, මට එහෙම හිතුණ.

හීනයක් ද .... දිය කිඳුරියක් ..
.. මුහුද වෙරලක්... නාදුනන මාළුවෙක්(ජෙලි ෆිෂ්)... පහරදීමක් ..... දොස්තර කෙනෙක්... ගිලන් රථයක් රෝහලක් ... දැඩි සත්කාර ඒකකයක්, නැවත ජීවිතය ලැබීමක්......

කලින් එන අඳුර කියන්නෙ මොකක්ද? ආලෝකය කොච්චර වටිනවද කියලද? එහෙමත් නැත්නම් වෙනසක් වෙන්න මොහොතක් ගතවෙන්නෙ නෑ කියලද? ඒත් නැතිනම් හැම ආලෝකයක් පසුපසම අඳුරක් තියෙනව කියලද? අදුරට පස්සෙ ආලෝකය එනව කියලද?

මම ජීවිතයේ මරණීය අත්දැකීම වරණියව අත්දුටුව, මම හිතනව මම හින්ද තවත් අයට ඒ අත්දැකීමෙන් ගැලවෙන්න ඉඩ ලැබේවි කියල. මොකද ඒ හරහා තව ගොඩක් අයට මේ අනතුර ගැන දැන ගන්න ඉඩක් ලැබුණ හින්ද, මම හරිම වාසනාවන්තයි, මම දැන් දන්නව මගේ අයට මාව කොච්චර වටිනවද කියල, මම දන්නව වෙනදටත් වඩා මට කරන්න දේවල් තියෙනව කියල, මේ ලෝකය වෙනුවෙන්, අපි වෙනුවෙන්, මම වෙනුවෙන්, ස්තුතිය සියලූ බලවේගයන්ටම, මට නැවතත් ජීවිතය අත්දකින්න ඉඩ සැලසුවාට. සිහිනයක්ව මියදෙන්නට ඉඩනොදී.

ලිහිණී

2007 වසරේ හික්කඩුව නොගැඹුරු මුහුදු තීරයේදී මා මිතුරියක අත්විදි සැබෑ ජීවන අත්දැකීමක් මගේ බසින් නැවත අකුරු කෙරුවා පමණී. මේ සෑම සිතිවිල්ලකම සැබෑ හිමිකාරීත්වය ඇය සතුය.

Tuesday 21 October 2008

දහඅට වංගුවෙදි හමුවුණු අම්මා.... (කෙටි කතා)


හුන්නස්ගිරිය සාම චෛත්‍යය පහුවුණා. බස්එක නතර වුණේ තේ බොන්න. දහඅට වංගුව බැහැලා මහියංගනය, පදියතලාව, මහඔය පහුකරන් අම්පාරට යන්න තව කිලෝ මීටර එකසිය අසූවක් විතර තියෙනවා.මගෙත් එක්ක ආසනය බෙදාගෙන හිටිය අම්මගෙ ඇහැ පියවෙන්න ගත්තා. ගමන් මහන්සිය වෙන්න ඇති. මගදි ඒදලා කටේ දාගත්ත විට හපේ ඒ අම්මගේ කටේ. බස් එක හෙමිහිට කන්ද බහින්න පටන් ගත්තා. දෙපැත්තට පැද්දෙන බස් එක් රිද්මෙට අපිත් දෙපැත්තට තල්ලූ වෙන්න පටන් ගත්තා. අඩ නින්දේ හිටපු අම්මගේ කට කොනකින් බේරුණු කෙළ බිංදු දෙකක් සුදු ඔසරිය තෙත් කෙරුවා. ඇය නින්දෙන් ඇහැරිලා ඒ ගුරුපාට බුලත් පැල්ලම් පිහදාලා දාන්න මහන්සි වුණා. වතුර ඩිංගකින් තෙමපු ටිෂු කඩදාසියක් මං ඈ දිහාට දික් කෙරුවා. කීපවාරයක් පිහදාලා ඒ පැල්ලම යන්තම් වහ ගන්න ඇයට පුළුවන් වුණා. මං වතුර බෝතලය ඇය දිහාට දිගු කරා.

”මොකටද?” ඇය මගෙන් ඇහැව්වා.
”කට හෝදන්න”
මං කිව්වා. ඇය ආදරණීයව හිනා වුණා.
”බැහැ තාම විට කටේ”
ඇය කිව්වා. කටේ තිබුණ බුලත් හපය ඇය තාම රස විඳිනවා. හරියට පුංචි දරුවෝ ලොසින්ජරයක් කටේ තියාගෙන දිය වෙනකම් සූප්පු කරනවා වගේ. මට කම්මැලිකමක් දැණුනා. කියවන්න ගෙනාපු පොත වහලා පැත්තකින් තියලා මං ඈ දිහාට හැරුණා.


”පුතේ අම්පාරට තව හුඟක් දුරද?”
ඇය මගෙන් ඇහුවා.
”කොහොමත් තව පැය හතරක් පහක් යාවී, මගදි චෙක් පොයින්ට් එහෙමත් තියෙනවා නේ, අම්මා හුඟ කාලෙකින්ද අම්පාරේ යන්නේ.”
ඇගේ ඇස් දිලිසුනා.
”හරියටම අවුරුදු විසිහතරකින්. ලොකුඳුට අවුරුද්දක් වෙද්දී මගේ යාළුවෙක් අහ ගියා. දැන් එයාට විසිපහක්”
”එතකොට අද මේ යන්නේ”
”පුතාව බලන්න, කෑම්ප් එකට, දවාලියෙන් යන්න බැරිවුණොත් බලන්න බැරිවෙයිද දන්නේ නෑ. මාස දෙකහමාරකින් දැක්කේ නෑ.”
ඇස් අගින් මතුවෙච්ච කඳුළු බිංදු දෙක ඔසරි පොටින් පිහදාන ගමන් අම්මා උත්තර දුන්නා.


”ආ.. අද එහෙනම් අම්මා හරි සතුටින් යනවා ඇත්තෙ. හරියට වට වන්දනාවේ යනවා වගේ.”
ඇගේ ඇස් හිනාවුණා.
”ඔව්... ඇත්තටම ඊටත් වඩා හුඟාක් සතුටින් මම යන්නේ.”


දහඅට වංගුවෙ වැහි මංදාරම හුළගට ගසාගෙන ගියාට බස්රියේ ඉදිරි වීදුරුවට පුංචි පුංචි වැහි බිංදු වැටෙන්න පටන් ගත්තා. ඇය දිගටම ඇගේ කථාව කියනවා.

”මගේ එකම පුතා, එයාට තව අක්කලා දෙන්නෙක් ඉන්නවා. දෙවෙනියා රට, එයා තාම දන්නේ නෑ මල්ලි හමුදාවට ගියා කියලා.”
”පුතා දන්නවද අද අම්මා එයාව බලන්න එනවා කියලා.”
මං ඇයට බාධා කළා.
”නැහැ එයා මගෙන් හමුදාවට යන්න ඇහුවා. මං කිව්වා පුතා ගියොත් මං මොනවාහරි බීලා ජීවිතේ නැති කර ගන්නවා කියලා. එකම දරුවා නේ. ඒ ගමන අම්මගේ කැමැත්ත නේ කියලා හිටියා. ඊට සති දෙකකට පස්සේ අපේ අයියලාගෙ අහ යන්න ලෑස්තිවුණා. ගම්පහ, එහේ ගිහින් ඒ පුතාලත් එක්ක මැනිං මාර්කට් එකේ බිස්නස් කරනවා කිව්වා. මාසකින් එකහමාරකින් එන්නේ කියලා ඇඳුමුත් ලෑස්ති කරන් ගියෙ, කව්ද දන්නේ මේ විත්තියක්. අපේ අවසරය අරගත්ත විදියට වෙන කාටදෝ කියලා අත්සනක් අරගෙන ගිහින් තියෙන්නේ.”


”දැන් ඉතින් ඕක කිව්වොත් ආයිත් වරද වැටෙන්නේ මයෙ පුතාටම නේ. ඒ ගිහිල්ලා මාස එකහමාරකින් විතර ලියුමක් එව්වා. අම්මා කලබල වෙන්න එපා. මං ඉන්නේ අම්පාරේ කොණ්ඩුවටුවාන් කෑම්ප් එකේ කියලා. සුමාන දෙකක්ම මං ගත්ත කෑමක් උගුරෙන් පල්ලෙහාට ගියේ නෑ. කොයි වෙලේත් මතක් වෙනවා. මං හිටියේ ඇඬූ කඳුළින්.”

ඇය ආයිමත් ඔසරි පටින් කඳුළු පිහදා ගත්තා. අතේ මැණික් කටුවට පල්ලෙහායින් රුපියලේ කාසියක තරමට මතුවෙලා තිබුණ දිය බුබුල මං දැක්කේ එතකොටයි.
”ඊයේ පැණි වළලූ හැදුවා, අතට තෙල් ඩිංගක් වීසි වුණා.”
මගේ බැල්මට ඇය උත්තර දුන්නා.
”ගෙදර සුවදැල් මලක් ඉදිලා තිබුණා. තව පොලොස් අච්චාරුවක් හදාගත්තා දරුවට තියාගෙන කන්න. තව යාළුවොත් ඇතිනේ බෙදා හදාගෙන කන්න.”
පුතා වෙනුවෙන් උස්සන් ආපු කඳමළු ගැනයි ඇය එහෙම කිවේ.


”අම්මා ගෙදරින් ආවේ කීයටද?”
”ඇහැ ඇරුනේ පාන්දර දෙකහමාරට. අම්මටයි ගෙදර අයටයි දවාලට උයලා තියලා පළවෙනි බස් එකට එන්න ආවා. ඒත් අද හතරේ බස් එක නෑ. ඉතින් පහමාරේ බස් එකේ ආවේ නුවරට එනකොට හතයි. අම්පාරේ පළවෙනි බස් එක ගිහිල්ලා. අට වෙනකම් හිටියා මේ බස්එක එනකං.”


නොදනීම හැටනවය හන්දියේ චෙක් පොයින්ට් එකටත් ආවා. දෑතට උස්සාගෙන යන්න බැරි තරම් පුතා වෙනුවෙන් අරන් ආව දේවල් උස්සගෙන බහින්න ලෑස්තිවුණු අම්මගෙ දෑත දිහාට තව දෑතක් දිගු වුණා. අම්ම තනියම නෙමෙයි කියල මට දැනුණේ ඒ වෙලාවෙ. ඒ අම්මයි. තාත්තායි පෝලිමට එකතුවුණා. ආයිත් බස් එකට,

”මං හිතුවා ඔක්කොම පාර්සල් ඇරලා බලයි කියලා. එහෙම වුණානම් ආයේ ඔතන්නත් කරදරයි නේ. පුතා බලන්න කෑම්ප් එකට යනවා කිව්වහම හැදුනුම්පත විතරයි බැලූවේ, පාර්සල් ඇද්දේ නැහැ.” බස් එකට ආපු අම්මා කිව්වා.

”දැන් අද රැ වුණොත් අම්මලා කොහොමද ගමට යන්නේ,? දැනටමත් දෙකහමාරයි.”
මං ආයෙත් ඇහැව්වා.
”මේ වෙසක් මාසෙනේ පුතේ. ඔය තොරණක් යටට වෙලා හරි ඉන්න පුළුවන් නේ. බය හැකක් නෑ. පුතාලගේ තාත්තත් ඉන්නවා නේ.” අම්මා කීවා.
ඊළඟ කඳුළ වැටුණේ මගේ ඇහින්. දුරකතර ගෙවාගෙන තමන්ගේ දරුවව බලන්න එන මේ අම්මයි තාත්තයි රැය පහන් කරන්න සුදානම් වෙලා ඇවිත් තියෙන්නේ නගරේ තොරණ් මඩුවක් යට. හරියට නන්නාදුනන රටක අතරමං වෙච්ච යුවලක් වගේ. අම්ම කෙනෙක්ගේ තාත්ත කෙනෙක්ගෙ ආදරය කොයිතරම් විශාලද? අමිමලා තාත්තලා දරුවන් වෙනුවෙන් විදින වේදනාව ඒ දරුවන්ට දැනෙනවද? තාමත් ඒක මතක් වෙනකොට මගේ ඇහැට කඳුළු උණනවා
.

ලිහිණි

වසරකට එකහමාරකට පෙරාතුව මුණ ගැහුණු මේ අම්මව මම තාමත් හොයනව ඇය කුරුණෑගල මාවතගමට කිට්ටු කටුපිටිය ගමේ කියලයි කිව්වෙ. ඒ අම්මගෙ නම යමුනා.

Monday 20 October 2008

විශ්වය

අපි ලෝකය දකිනවද?, වෙලාවකට මම, මාවම ප‍්‍රශ්න කරනව.
ඒ වෙලාවට මට හිතෙන එකම දේ, අපි තව දුරටත් කුරා කූඹි මිනිස් යන්ත‍්‍ර කියල විතරමයි.


Sunday 19 October 2008

අපි

ජීවිතේ පුරාම
ආදරයම හොයන
ආදරයම විතරක් පතන අපිත්
හරියට මුහුදු රැල්ල ව‍ගේ
වෙරළට හාද්දක් දීල දුර ඈතට යනව...
හමුවීමේ සතුටට
වෙරළ බදා ගන්න රළ ව‍ගේ
අපිත් ආදරේ බදා ගන්නවා.


වෙරළ ඉම බිදිල යන
පෙණ කැටි වගේ
ජීවිතේ බිදිල යද්දි
පිපෙණ සුදු පෙණ බිදු වගේ
ලෝ‍කෙට පේන්න හිනාවෙනව
හයියෙන් විලාප දීල අඩන රළ
වෙරළ ඉම දි සන්සුන් වෙනව වගේ
මේ ඔබත් මාත් නොවේද ?

Saturday 18 October 2008

ලිහිණි සර. . .

අලස සුව විදිමින් නිද්ද්‍රාවක වැතිර සිටි වැහි ලිහිණියක වෙමි. වසරකට පෙරාතුව ඊමේල් හරහා පැමිණි සිහින් වැහි බිංදු නැවත පියා සැරිමට කාළය පැමිණ ඇතැයි මතක් කරමින් කුසීත තටු සෙනෙහසින් පිරිමැද හිතිවිලි කිති කවන්නට පටන්ගති.

නිදහසේ ඉඟිලීමේ සතුට සිතිවිලි සුළංසර සමග මුසුවී ඉමක් නැති සයිබර් කොදෙවේ සැරි සරන්නට දිරිය සපයන ලදි.

අලුත් අහසක සරන ආගන්තුක ලිහිණියට නවාතැන් සපයමින් දිරි සිදුණු පියාපත් ශක්තිමත් කරමින් සුළං සරට මුහුණ දෙන්න‍ට අත්වැල් ඇල්ලුවෝ බොහෝවෙති. එතෙර මෙතෙර සිට විහඟ නදට සවන් දුන්, වෙහෙස පියාපත් පිරිමැදි ඒ සද්ජනයින්ට පළමුව ආචාර කරමි. ඉදින් මේ ලිහිණි ස්වරයයි.