Wednesday 3 November 2010

ධම්පල් සිසු දරු දැරියන්ගේ සෞන්දර්ය පෙළහර



‘‘අප රට අර බල...

ආන්තරාවක...

ඇදි ඇදි යන සැටි...

ඈතින් ඈතට...’’

රටක අනාගතය වන්නේ එ රට දුවා දරුවන්ය. ඔවුන් දැනුමෙන් හැඟුමෙන් පිරිපුන් මිනිසුන් වන දිනෙක ලෝකය වඩා යහපත් වන බව අප විස්වාස කරමු. ඒ අනාගතය වර්තමානයේ බිහිවෙමින් පවතින අයුරු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය භූමියේදී මා නෙත ගැටිනි.

‘‘සංකලන’’ ධර්මපාල දු පුතුන්ගේ හද රිද්මයය සනිටුහන් කෙරෙන ගායනයෙන්, වාදනයෙන් නර්තනයෙන් හැඩගැන්වූ සෞන්දර්ය පෙළහරයි. එළඹෙන නොවැම්බර් මස 03 වැනි බදදා දින මහරගම තරුණසේවා රඟහල වේදිකාවේ කරළියට එන සංකලන සැබවින්ම සංගීතයේත් නර්තනයේත් අපූරු සුසංයෝගයකි.

පස්වන ශේණීයේ සිට උසස් පෙළ දක්වා ඉගෙණුම ලබන දම්පල් දූ දරුවන් අතරින් සියයකට ආසන්න පිරිසකගෙන් සමන්විත පෙර’පර දෙදිග වාද්‍ය වෘන්දය සත්සර රටාවන් ගායයෙන් හා නර්තනයෙන් හැඩගැන්වීමට විද්‍යාලීය සංගීත අංශයේ සහ නර්තන අංශයේ තවත් දු පුතුන් තුන්සියයක් පමණ එක්ව සීටි.ධර්මපාල විද්‍යාලීය විදුහල්පති කේ. ජී. විමලසේන මහතාගේ සහ ආචාර්ය මණ්ඩලයේ මග පෙන්වීමෙන්, ආදී ශිෂ්‍ය සංගමයේ සංවිධාන දායකත්වයෙන් ඉදිරිපත් කෙරෙන ‘සංකලන’ ප‍්‍රසංගය අධීක්ෂණයට ආදී ධර්මපාලීන් වන සංගීතඥ රෝහණ වීරසිංහ, රවි බන්දු විද්‍යාපති, නදික වැලිගොඩපල, නිහාල් වික‍්‍රම එදිරිසූරිය සමගම සමන්ත පෙරේරා වැනි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගේ නොමද දායකත්වය හිමිවී ඇත.

නදික වැලිගොඩපොල ගේ සංගීතය මෙහෙයවීමෙන් වැයෙන ස්වර සමති‍්‍රක‍්‍රමණය කෙරෙමින් හැඟීම් ගැයෙයි. මොහොතකට සිත දැහැන් ගත වෙයි. වේදිකාව මත ‘‘උපතක සතුට’’ ප‍්‍රතිනිර්මාණය වේ. සතුටක උපත මගේ නෙත මුල සිහිල දනවයි. සැබවින්ම ප‍්‍රභාතය පෙරඹරින් නැඟ එයි. ඔව්, ඒ මගේ රටේ දූ දරුවන්ගේ අනාගතයයි.

‘‘මවක පියතුරු තුඩින, ගලන කිරි දුටු විලස - සිත් සතුට පුරවා......

මිනිස්කම මුණ ගැසෙන තවත් මිනිසකුගෙ, නෙත - තුටු කඳුළු උනාවා.....’’

ඉතින් ආදරණීය ධම්පල් දු පුතුන් වෙනුවෙන් ආදී ධර්මපාල සිසුවියක ලෙස මා ඔබට මෙසේ ඇරයුම් කරමි.

‘‘පිපෙන සඳ ජීවිතය සොඳුරු රඟ බිම තූළ

දම්පල් අභිමානය

දු දරු දෙ අත් මත කැටිකොට

විදින්නට එන්න

2010 - 11- 03 බදාදා එනම් අද සවස 6.30 ට

මහරගම තරුණ සේවා රඟහලට ’’


Thursday 21 October 2010

විමසුම්

කොහිවෙද
ඒ පැරණි ලිහිණිය,
බොහෝ විමසුම් සුසුම්
සවනත අසය.
තැපැල් මල්ලේය...
සහෝදර දැත්වල සීතලට නොව
උණුහුමට
හීගඩු පිපේ,
මහා කුනාටුවකට පසුව
ඇතිවන මාරාන්තික නිහඬතාවය
දරාගමි...

මේ එයට මොහොතයි,
දරාගැනීමේ මොහොතයි.....
බලා හිදිමි...
නොදන්නා
දිනයක් වකවානුවක් දෙස
ඇමතුම
එයට රිසි මොහොතක
එළබෙන....

Friday 3 September 2010

කවිමල්



කවිමල්
සත්තකයි මට
නුඹ අලුත් කවියක්

හීන පැතුමක් පුබුදලා
මලක්සේ පෙති විහිදුවා
දිලෙන ඔයනෙතු
ඉරත් මමයැයි, සඳත් මමයැයි
කියනවා මට හැ‍ඟෙනවා.....

පියැසි සිදුරෙන් හොරෙන් ඇවිදින්
ගෙබිම මතමුදු රටා මවනා
සදෙන් බිදුවක් වගේ
හැඟේ සෙනෙහස ඔබේ....

Monday 10 May 2010

ආදරණීය අම්මේ.......

ආදරණීය අම්මේ
හුගක් පැහැබර දවසක රෝස පාට සාරියක් ඇදල, ඇස්වල සතුටත්, දුකත් දරාගෙන හිටිය ඔයාව මම දැක්ක ගමන් අදුරගත්ත. දුරින් අඩිය තියල දුරකට වෙලා හිටිය අම්මගේ ඇස්වල කඳුළු දිලිසෙනව මම බලාගෙන හිටිය. මම ඔලුව උස්සල අම්ම දිහා බැලුව. ඇහැට ඇහැ හමුවුණාම ඔලුව චුට්ටක් නමල ඔයා මගෙත් එක්ක හිනා වුනා. හරියට හුග කාලෙක ඉදල දන්නව වගේ. අලුත් ජීවිතයක අලුත් බලාපොරොත්තු එක්ක මගේ පුංචි යෙහෙලිය පෝරුවට නැගුන. ඒ පුංචි සුරංගනාවිය දිහා අපි හැමෝම බලාගෙන හිටියෙ හරිම ආදරෙන්. ඇත්තටම අපි හැමෝම එතනට ආවේ එයාට අපේ ආශීර්වාදයත් ආදරයත් දීල යන්න.

ඒ එක්කම මට ඕනවෙලා තිබුණ ඒ සුරංගනාවිට පොළොවට පය ගහන්න, බය හැකක් නැතිව ඇවිදින්න, වාරුවක් නැතිව නැගිට්න්න අතදීපු අම්මට ආදරෙයි කියන්න, ස්තුතියි කියන්න. දවස නිමා වෙන්න මොහොතක් හරි තියල ඒක ඔයාට කියන්න මම බලාගෙන හිටිය. එක මොහොතක මම ඔයාව හෙවිව. අනේ ඔයා කොහේවත් හිටියෙ නැහැ. මට හරියට දුක හිතුණ. මට මගේ යුතුකම කරන්න බැරිවුණා. මම මගේ යෙහෙළියකට කිව්ව.

ඊටත් පැයකට විතර පස්සෙ අම්මව මට මුණ ගැහුනෙ අහම්බෙන්. මම අම්මගෙ නම කියල ඒ ඔයා නේද කියල ඇහුව. ඇත්තටම මට ඒ වෙලාවෙ දැනුනෙ බොහෝම සුන්දර ආදරණීය ලෙංගතුකමක්. මගේ කමක්, අපේ කමක්, ඒ වුනත් මට අම්ම ට මගේ හැගීම් ඒ විදිහටම කියන්න බැරිවුණා. භාෂාව අපි දෙන්න අතරට බාධකයක් වුනා. ඒ වුනත් මම කියන්න ඕන වුනු මගේ හැගීම් අම්මට දැනුන කියල මට දැනුණ.

ඇත්තටම ආදරණිය අම්මෙ. ඔයාව බදල වැලදගන්න බැරි තරම් මගේ දෑත් පුංචියි. ඔයාගේ හදවත ඒ තරම් විශාලයි. ආදරය, කරුණාව දයාව විතරක් නෙමෙයි සතුට, සැනසීම, ආශීර්වාදය ඔයාගාව තියෙනව. ආදරණිය අම්මෙ අපේ රටේ අපි හැදිල තියෙන්නෙ හැමදේම ඇතුලු හදවතින් දරාගන්න. අපි දෙයක් ප‍්‍රකාශ කරන්න යොමු වෙන්නෙ හරිම අඩුවෙන්. ඒ වුනත් මම දන්නව හංගපු ආදරයකින් ලැබෙන දෙයක් නෑ කියල. ජීවිතේ සමහර දේවල් එළියට ප‍්‍රකාශ කරන්න ඕනි නෑ තමයි. අම්ම අම්මගේ ආදරය ගැන කරුණාව ගැන කතා කරන්නෙ නැහැනෙ. අම්මගේ සතුට ගැනයි කතා කරන්නෙ. ඒ වුනත් ආදරණීය අම්මෙ, තමන් කෙනෙකුට ආදරෙයි කියන එක ඒ ආදරේ අනෙකාට දැනෙනව කියන එක ආදරේ දෙන කෙනාට දැනුනහම තියෙන සතුට විශ්වාස කරන්න බැරි තරම් විශාලයි.

ඇත්තටම මම මගේම අම්මව හුග කාලෙකින් තුරුළු කරගෙන නැහැ. දැන් මගේ අමිමව මම තුරුළු කරගන්න ගියොත් ඈ මගෙන් අහනව මොකද මේ නාකි දණ ගාන්න හදන්නෙ කියල. ඒ වුනත් එදා ඒ මොහොතෙ අම්ම මාව තුරුළු කර ගත්තහම මගේ හිස අම්මගේ පපුවෙ රැදුනම මට හරි අපුරු සුවයක් දැනුන. ඒ එක්කම අම්මගේ හඳවත ඉකිබිදින හ~ත් මට හොදටෝම දැනුන. ඒත් එක්කම මට දැනුන අම්මගේ ඒ කඳුළ වැටුනෙ සතුටත්, දුකක් බෙදාගන්න හිනාවක් කඳුළක් බෙදා ගන්න තරම් හයියක් නැති අය වෙනුවෙන් කියල. ආදරණීය අම්මේ ඔයා හඬන්න බැරි අය වෙනුවෙන් හඬා වැටෙනව. හිනා වෙන්න බැරි අයට හිනාවක් දීල ඒ අයත් එක්කම හිනාවෙනව. ඒක තමයි මම ඔයා තුළින් දකින විශේෂත්වය.

ආදරණිය අම්මේ මම හදවතින්ම කියනව ඒ ගෙවුණ හෝරාව ඔයාගෙ කියල. මගේ යෙහෙලියගේ මංගල දවස ඔයාගෙ කියල. මම දුටුව ඔයාගේ වාගේම දීප්තිමත් තවත් ඇස් හතරක්. මගේ යෙහෙළියගෙ දීපිතිමත් දෑස. ඒ එක්කම ඔබේ ජීවන සහකරුවාගේ දීප්තිමත් දෑස, ඒ දෑස්වල දි¥ලන ආලෝකය දීප්තිය ඔබයි මගේ අමිමෙ.

ආදරණිය අම්මේ. මට ඔයාට කියන්න ඕන, මම දකින මම දැකපු අම්මල අතර ලෝකෙ ඉන්න ආදරණීයම අම්ම ඔයා කියල. මම දන්නව ගැහැණියකගේ ආදරයේ විවිධ සීමා මායිම් තියෙනව කියල. හැබැයි දරු සෙනෙහස හැම ගැහැනියකටම පොදුයි. ආදරණීය අම්මේ, ඔයාගේ ආදරයට සීමා මායිම් නැහැ. ඔයාට පුළුවන් මුළු ලෝකෙටෙම ඔයාගේ ආදරය දෙන්න. මම දන්නව දැනටමත් ඔයා මුළු ලෝකෙටම ආදරය කරනව කියල. ඒ වුනත් ඔයාගේ ආදරේ දැනෙනව කියල මට ඔයාටම කියන්න ඕන.

ආදරණීය අම්මේ, කෙනෙකුගේ ලැබෙන උදව්වට අපිට හරිම ලේසියෙන් ස්තූතියි කියල කියන්න පුළුවන්, එහෙම නැත්නම් බොහොම ස්තූතියි කියල කියන්නත් පුළුවන්. හැබැයි කෙනෙක්ගෙන් ලැබෙන ආදරයට හිලව් කරන්න පුළුවන් ඒ වාගේම ආදරයක් විතරමයි. හැබැයි ඒ ආදරයට කොතනකදිවත් මොන විදිහටවත් මනින්න බැහැ. ඒ ආදරයට වටිනාකමක් දෙන්න බැහැ.

ආදරණීය අම්මේ මම ඔයාට කියනව හුගක් ආදරෙයි කියල. එක හදවතක ආදරේ කොච්චර විශාලද කියල මම දැනගත්තෙ ඔයාගෙන්. මම ඔයාට ස්තුතියි කියනව, අපිට දෛවය විසින් උරුමකරන දේ මොනවගේ දෙයක් වුනත් ඒ දෙය අභිමවා යන්න ශක්තිය අපිට තියෙනව කියල කියල දුන්නට. මම ස්තුතිවන්න වෙනවා ඔබේ දෙමාපියන්ට, ඔබ වැන්නියකට ජීවිතය දුන්නිසා. ඔබෙන් තව බොහෝ දෙනෙක් ජීවිතය ඉගෙන ගන්න නිසා. අම්මේ මම ඔයාට ගරු කරනව. ආදරේ කරනව ඔබ සැබෑ ගැහැනියක නිසා.

2004 - 08 - 18
උපතින් දෑතක් අහිමි දියණිකට දෑතක් වූ, මවකවූ, ආදරණිය සුදු අම්මා වෙනුවෙන් ලියැවුණු මේ සටහන නැවත පල කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මව්වත් ගුණැති සියළු මව්වරුන් නමටය............

Tuesday 20 April 2010

අවබෝදාත්මක සහෝදරත්වයක් අවශ්‍යව තිබේ.


‍මේ යතාර්ථය අපි පිළිගන්න ලෑස්තිද? අඩුම වශයෙන් පිටස්තරයාගේ මේ ලියවිල්ල තවදුරටත් බෝ කරමු.


සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන් කරන පුංචි ඉල්ලීමක්
http://pitastharayablog.blogspot.com/2010/04/blog-post.html

මේ පොඩි ලිපිය ලියන්න හිතුවේ මා දැනට සිටිනා විශ්වවිද්‍යාලයේම වැඩිදුර අධ්‍යාපනය ලබන යාපනයේ දෙමළ සහෝදරවරුන් කිහිප දෙනෙකු සමග දින කිහිපයක් තිස්සේ වරින් වර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි. අද යාපනයේ වැසියන් විශාල ලෙස පීඩාවට පත්ව සිටිනවා විශාල සංඛ්‍යා වශයෙන් එහාට පැමිණෙන සිංහල සංචාරකයන් හා වන්දනාකරුවන් නිසා. ඒ එතරම් විශාල ජන පිරිසකට අවශ්‍ය පහසුකම් ඒ ප්‍රදේශයේ හිග බැවින්. ඒ නිසා වැසිකිලි ලෙස බාවිතා වන්නේ ඇතැම්විට පොදු ඉඩම් පිට්ටනි වැනි ස්ථාන. ඒ වගේම එකවර විශාල සංචාරක පිරිස් සෑම දිනෙකම අපි ජීවත්වන ප්‍රදේශයේ රෑ දවල් නැතිව සැරිසරන්න ගත්තොත් එය අපගේ එදිනෙදා ජීවිතයට කොතරම් බලපාවිදැයි මෙය කියවන ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇති.

එසේ ම නල්ලූර් කන්දසාමී කෝවිල ඉදිරිපිට පදික වේදිකාවේ කුඩා කඩ දමාගෙන සිටින පිටතින් ගිය වෙළෙන්දන් තමන්ට අවශ්‍ය වැසිකිළි පහසුකම් නැති බැවින් ඒ කටයුත්ත සඳහා බාවිතා කරන්නෙත් කෝවිල් භූමියට අයත් ඉඩමමයි. නමුත් ඒ ගැන නෙවෙයි මම ලියන්න යන්නේ.

යාපනයට යන බොහෝ දෙනෙකුට ඒ ප්‍රදෙශයේ ජීවත්වන අයගේ සංස්කෘතිය ගැන අවබෝධය අඩුකම නිසා දෙමළ වැසියන්ගේ හිත් රිදවන බොහෝ දෑ අද සිදුවෙමින් පවතිනවා. දෙමළ හින්දු අය තම පූජ්‍යස්ථානවල ලිං සලකන්නේ ශුද්ද වූ ස්ථාන හැටියට. ඒ ලිං ජලය නෑමට ඇඳුම් සේදීමට පාවිච්චි කරන්නේ නෑ. නමුත් අද එහි යන සිංහල ජනයා විශාල ලෙස එය සිදුකරනවා. එය හින්දු ජනයා ගේ හිත් දැඩිලෙස පාරවන්නක්. දෙවනුව ඔවුන් පූජ්‍යස්ථාන ගොඩනැගිල්ල තුළ ද ඉන් පිටත ද ගමන් කරන්නේ අපි දාගැබ පැදකුණු කරන ආකාරයටයි. එනම් දකුණු අත නිතරම පූජනීය ස්ථානය දෙසට පවතින ලෙස. වම් අත ඒ දෙසට තිබෙන ලෙස ගමන් කළහොත් ඒය සැලකෙන්නේ ආගමික ස්ථානයට කරන අපහාසයක් ලෙස. මේ ගැනත් එහි යන අයට අවබෝධයක් නෑ. අපේ බුදුපිළිමය ඇති විහාර ගෙට පිටින් පැමිනෙන කෙනෙක් සපත්තු දමාගෙන හෝ තොප්පියක් දමාගෙන ගියොත් එය කොහොම පිළිගනීවිදැ'යි ඔබම හිතන්න.? සාමාන්‍ය හින්දු ජනයාට මේවා සුලු කාරණා නොවෙයි. නමුත් ඒවා වෙනස් කරන්න ඔවුන්ට හැකියාවක් නෑ. පහුගිය දා බුදුදහමට නිගරු කළාය කියා 'අකෝන්'ට රටට ඇතුළුවීම ද තහනම් කළා සේ තම ආගමික විශ්වාසවලට අපහාසවන ලෙස කටයුතු කරන කාට හෝ එරෙහිව කිසිම තීරණයක් ගැනීමට දෙමළ ජනයාට නොහැකි බව අපි හැම දෙනා ම දන්නවා නේ.

තව බොහෝ කරුණු ඇතත් තව එක්කරුණක් ගැන විතරක් සඳහන් කර මේ ලිපිය හමාර කරනවා. ඒ මෑතක සිට උතුරට පැමිණෙන හමුදාවේ පිරිස්වල පවුල්වල අයට නවාතැන් දීමට යාපනයේ වැසියන්ට සිදුවීමයි. මෙය සිදුවන්නේ "හෙට/අනිද්දා අපේ පවුලෙ මෙච්චර පිරිසක් යාපනයට එනවා. දවස් දෙකක් ඒ අයට ඕගොල්ලන්ගෙ ගෙදර නවාතැන් දෙන්න" කියා කරන ඉල්ලීමක් ලෙසට. ඇතම් තැනක මෙය බලය යොදා කළ අවස්ථාත් ඇති බව මාගේ මිත්‍රයන් පැවසුවා. මෙය සිදු වෙනවා ඇත්තේ යාපනයට එන පිරිස්වලට අවශ්‍ය තරම් නවාතැන් පහසුකම් නැතිකම නිසාත් යාපනයට එන තම ඥාතීන් නිසි පහසුකම් නොමැතිව දවස් ගතකිරීමට ඉඩහැරීම යාපනයේ සිටින තමන්ගෙ වගකීම් පැහැර හැරීමක් ලෙස එහි සේවය කරන හමුදා භටයින් සිතන නිසාත් විය හැකියි. නමුත් මහනුවර කොතරම් නවාතැන් ප්‍රශ්න තිබුනත් අම්පාරෙන් එහියන මට නන්නාදුණන ගෙදරක නවාතැන් සකසා දෙන්න එහිසේවය කරන මගේ හමුදා ඥාතියෙකුට බෑ. එහෙම ඉල්ලීමක් කරන්න වත් කවුරුවත් උත්සාහ කරන්නේ නෑ. නමුත් මෙය අද යාපනයේ සිදුවෙමින් පවතිනවා.

මෙය ලියන්න ආසන්නතම හේතුව වුනේ අප අතර සිටින එක් මිත්‍රයෙකුගේ නිවසට පෙරේදා පැමිණි හමුදා බට පිරිසක් තව දින දෙකකින් යාපනයට එන තම ඥාතීන්ට නවාතැන් සපයන ලෙස ඔහුගේ වයෝවෘධ දෙමාපියන්ට පැවසීමයි. මාගේ මිත්‍රයා මෙයින් දැඩි හිත් පීඩාවට පත්ව සිටිනවා. මේ කතාව ඇසූ එක් සිංහල සහෝදරයෙක් කියා සිටියේ ඇයි ඔයා අධිකරණයට යන්නේ නැත්තේ, මේක මානව අය්තිවාසිකම් කඩවීමක් කියායි. නමුත් මාගේ දෙමළ මිත්‍රයාගේ පිළිතුර ඉතාම වැදගත්. ඔහු කීවේ මට අධිකරනයෙන් වත් දෙමළ දේසපාලකයන්ගෙන්වත් මේකට උත්තර හොයන්න ඕන නෑ. ඒකෙන් වෙන්නෙ අපි තව භේදවෙන එක. සිංහල අය අතර මේක සාකච්ඡාවට ගැනිලා මේව නවත්ත ගන්න ක්‍රමයක් ඇතිවෙන එකයි මට ඕන කියායි. යාපනයට එන ජන සංඛ්‍යාව එහි ඇති පහසුකම්වල ප්‍රමානයට සීමා කළහොත් හමුදාවට අපේ ගෙවල් ගන්නට වෙන එක්ක නෑ කියායි.

මේ කියවන හැමගෙන්ම ඉල්ලනවා මේ කාරණයට හැකි ආකාරයෙන් මැදිහත් වෙන්න. මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් හැම ක්‍රියා මාර්ගයක්ම ගන්න. ඔබ දන්නා මාධ්‍යවලට සම්බන්ධ අය ඉන්නවානම් මේ ගැන ලියන්න සාකච්ඡාකරන්න පොළඹවන්න. රජය හෝ එහි යන ජනයා විවේචනය කරන්න නෙවෙයි. එය මගේ මිතුරාගේ බලාපොරොත්තුව නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් දැනුවත් කරන්න.

අප නොදන්නා කාලයේ දෙමළ ජනයා අප රට තුළ අවමානයට ලක්ව ඇත්නම් එයට අපට කරන්නට දෙයක් ඉතිරිව නෑ. ඒත් අප ජීවත්වන කාලය තුළ සිදුවන එවැනි දේ සම්බන්ධයෙන් අපට වගකීමක් තිබෙනවා. මේ කියවන (පෙර ලිපිවල මා ඉදිරිපත් කර ඇති අදහස්වලට පක්ෂ විපක්ෂ) සහෝදර සහොදරියන් හැම කෙනෙක්ම පුලුවන් යමක් කරයි කියල අපේක්ෂා කරනවා.
Posted by පිටස්තරයා-2 at 11:06 AM

Thursday 15 April 2010

ආදරේ සලපතල මළුවක්......

කිසියම් අත්දැකීමක් පද පේලියක් වුනාට පස්සෙ ඒක ගීතයක් කරනව කියන්නෙ වෙනම වැඩක්. එතනදි රචකයාට හැමෝම දන්න බොහොම ප‍්‍රසිද්ද නමක් තියෙනවනම්. එත් නැත්නම් මූල්‍යමය හැකියාව තියෙනවනම් , ඒ දෙකම නැතිවත් අහවලාට කියල ලියා ගත්තොත් ෂුවර් හිටි එකක් තමයි රාවයක් තියෙනව නම් ගැටවක් නෑ. නමුත් මේ කිසිම දෙයක් නැතිව ගීතයක් නිර්මාණය වෙද්දි ඒකෙ බරපැණ දරන්නට ඉදිරිපත්වෙන පාර්ශවයඅනුව බොහෝ දේ තීරණය වෙනව.

ගීතයක් ලියවෙද්දි ගොණුවෙන අදහස් වලට වටිනාකමක් නැති වුණාට ඒක ගීයක් වෙන්න රුපියල් සතවල ලොකු වටකාකමක් තියෙනව... ඊළඟට රූප රචනා කරනව කියන කාර්යයෙදි මිල ස‍්‍රත‍්‍රය ලක්ෂ ගනනක් වෙනව.

මේ හැම දේම කතා අතර අතුරු කතා.
අහල බලන්න.
දැනෙන දේ අවංකවම කියන්න...

ආදරේ
සලපතල මළුවක්
කොයි දෙසින් ආවත්
ගිමන් නිවනා කෙම් බිමක්
දසදෙසින් හමනා.....
සිහිල් මදනල සේ
විඩා නිවමින් සියොළඟම දැවටේ
ආදරේ........ දෝරේ ගලනා ආදරේ

ඛෙදා වෙන්කර ගන්න ඕනෑ නෑ
බදා හිරකර ගන්න ඕනෑ නෑ
දෑල ඉවුරේ පිරී ඉතිරේ
ආදරේ........
දෝරෙ ගලනා ආදරේ

නීල අහසේ නිසසලේ ඇදෙනා
වලා දුහුලේ සැහැල්ලුව රැගෙනා
හමන මදනල කියන රහසයි
ආදරේ........
දෝරේ ගලනා ආදරේ


ආදරේ
සලපතල මළුවක්
කොයි දෙසින් ආවත්
ගිමන් නිවනා කෙම් බිමක්
දසදෙසින් හමනා.....
සිහිල් මදනල සේ
විඩා නිවමින් සියොළඟම දැවටේ
ආදරේ........ දෝරේ ගලනා ආදරේ



හඬ - උපමාලිකා කරුණාරත්න
නාද මාලාව -රෝහණ වීරසිංහ

මෙතනින් අහන්න
http://www.boondi.lk/Convert/Adare%20Salapathala%20Maluwak.wma

Wednesday 24 February 2010

ආදරණීය ප්‍රගීත් අන්කල්




අපි හැමෝම මේ ලියමන අපේ බ්ලෝග් වලට එකතු කරගමු. නිරංජි වෙනුවෙන්. නැතිවේගෙන මැරිගෙන යන මනුස්සකම වෙනුවෙන් මේක ඉල්ලීමක් - ලිහිණි'
ආදරණිය ප්‍රගීත් අන්කල්,

ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත 'ලංකාදිප' පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්ඛෙන්. ඔබ ඒ ලිපිය ඒව්වේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඔබ පළමුවරට පැහැරගෙන ගොස් නිදහස් කළ පසුවයි. අවුරුදු විස්සකින් පසු පළමු වතාවට-

-මම ප්‍රගීත් අන්කල්ට ලියන්න පෙළඹුණේ ඒ සිදුවීම විසින් මා තුළ ඇති කළ කම්පනයයි. අවුරුදු විස්සක් කොයි තරම් දිගු කාලයක්ද?

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට ඒ අගොස්තුවේදී පුවත් පළ වී තිබුණත් ඔබ මා කුඩාකළ දැන සිටි ප්‍රගීත් අන්කල් යැයි මට එක්වරම නොසිතුනේ ළමා විය ගැන මගේ මතකය දුබල නිසා විය හැකියි. ඒත් ඔබේ පින්තුරයක් අහම්ඛෙන් දැක්කාම මට ඔබ කවුදැයි යන වග මතක් වූයේ ඔබේ රුව මගේ ළමාවිය ගැන ඉතිරිව ඇති මතක කැබැලිති අතර විසි වසක් නොනැසී තිබූ නිසායි. ඔබට කතා කළ යුතුයැයි කියන හැඟීමෙන් දින කිහිපයක් තැවුල් විඳි මම අසීරුවෙන් ඔබේ දුරකතන අංකය සොයාගත්දා කොයිතරම් සතුටු වූවාද? ඔබට ලියූ පළමු ඊ මේල් පණිවුඩය මම ලිව්වේ වේදනාබර සතුටකින්. ඔබ විඳි දුක් ගැහැට ගැන ඇසීමෙන් හටගත් වේදනාව යටකොට ළමා වියේ මා දැන සිටි 'ප්‍රගීත් අන්කල්'ට විසි වසරකින් පසු ලියන්නට ඉඩ ලැබීම සතුට කොයිතරම්ද?

ඒත්, නැවතත් ඔබ අතුරුදහන් ප්‍රගීත් අන්කල්!
මේ ලියන මොහොත වනවිට ඔබ ගැන තොරතුරක් නැතිව හරියටම දින 30ක්. ඔබ ගැන සිත නිවෙන පුවතක් දැකීමේ නොමැඩිය හැකි ආශාව මේ දවස් මුළුල්ලේ මා හැර නොයා රැෙඳන්නේ මගේ ළමා කාලය පිළිබඳ ඇති පී්‍රතිමත් මතකයන් අතර ඔබ අදත් ජීවමාන නිසායි. ඔබ ලියා තිබුණා වගේම මම අද, මගේ තාත්තාගේ ඔබ වැනි ආදරණීය මිතුරන්ගේ සෙනෙහස විඳ හැදී වැඩුණු ඒ පුංචි දැරිය නොවේ. සමාජය ගැන දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්. නමුත් දෙවෙනි වතාවේත් අතුරුදහන් වූ ඔබ ගැන යමක් කරන්නට අපි කිසිවෙකු සමත් වී නැහැ. ප්‍රගීත් අන්කල් මට ලියූ වචන මතකද? අද තියන භීෂණකාරීත්වය ගැනත්, ඔබ වැන්නන්ගේ අවදානම් ඉරණම් ගැනත් ඒ ලියූ හැම වචනයක්ම මට කට පාඩම් වන තරම් මම ඔබේ ලියුම කියවා තිඛෙනවා. නමුත් නැවතත් ඔබව පැහැරගෙන යන තුරුත්, ඉන් පසුත් අපට කළ හැකිව ඇති දේ
කොයිතරම් අල්පද?

ප්‍රගීත් අන්කල්, මම ළමා කාලයේදී අත් දුටු අතීත භීෂණයට වඩා අද භීෂණකාරීත්වය වෙනස් කියා ඔබ ලියා තිබූණා මතකද? ඔබ නිදහස්ව ආ දවස්වල ලියූ ඒ වචනවල බැරෑරුම්කම මට දැනෙන්නේ දැන්. මගේ ජිවිතයේ අඳුරුතම කාලය වූ 88-89 සමයේ මාත් - අක්කාත් පණ පිටින් මළවුන් බවට පෙරළු භීෂණයෙන් මට කිසි කලක ගැළවුමක් ලැඛෙතැයි මම හිතන්නේ නැහැ. නමුත් විසි අවුරුද්දකට කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කළ ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු වූ මගේ තාත්තා ගැන මතකයෙන් පෑරෙන අපේ ජීවිත සුවපත් කරන්නට උදව් කළ ප්‍රගීත් අන්කල් වැනි ආදරණීය කාරුණික මිනිසුන්ට විසි අවුරුද්දකට පසුවත් ලංකාව අනාරක‍ෂිත තැනක් වන්නේ ඇයි?

ඒ අතීත ළමා කාලයේ මතකය තවමත් සිහිනයන් වගේ. ප්‍රගීත් අන්කල් අපේ ගෙදරට එන්නේ 80 වැඩ වර්ජනයෙන් පස්සේ. සාලයේ වාඩිවී තාත්තා එක්ක දොඩමළු වන සිහින් සිරුරක් ඇති ඒ ප්‍රගීත් අන්කල් මට තවමත් මතකයි. අපි ඉගෙනගත් ඌව කරඳගොල්ලේ පුංචි ඉස්කෝලයට පුස්තකාලයක් හදන්න තාත්තා එක්ක මහන්සි වුණු ඒ දවස් අන්කල්ට මතකද? ඉස්කෝලේ ළමයින්ට බුදුන් වඳින්නට කියා අපේ ගෙදර ඉස්සරහ තියාගෙන අන්කල්ගේ අතින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවට අදත් ඒ ඉස්කෝලයේ දරුවන් වඳිනවා ඇති. නොදන්නා දුර ඈත ගමක, නොදන්නා මිනිසුන්ගේ දරුවන්ට වඳින්නට රෑ දවල් වෙහෙස වී ඒ බුදු පිළිමය අඹන්නට අන්කල් මහන්සි වූ දවස්වල මගේ තාත්තා ඒ අසළට වී බලා ඉන්නා විදිය මේ ලියන මොහොතෙත් මගේ හිතේ දුක්බර රූපයක් වී ඇෙඳනවා. විසි අවුරුද්දකට පසුව පවා ඒ දුප්පත් ඉස්කෝලයේ පියස්ස යටට එකතු වෙන දරුවන්ට වඳින්නට බුදු පිළිමයක් නෙලු නොදන්නා මිනිසා කොළඹ වීදියක හිටි ගමන් අතුරුදහන් වූ බව කරඳගොල්ලේ දරුවන් කෙසේ නම් දැනගන්නද?

ආදරණීය ප්‍රගීත් අන්කල්,
කිසිදාක අමතක නොවෙන ඒ අඳුරු අතීතය මැද දිලෙන පහන් ආලෝකයක් වැනි ඔබේ මනුෂ්‍යත්වය ගැන මේ ලියූ සියල්ලට වඩා අමතක නොවෙන තවත් දෙයක් මම ලියන්නම්. තාත්තා මුහුණ දුන් රුදුරු මරණයෙන් පසුව භීතියෙන් තැතිගත් නෑ හිත මිතුරන් බොහෝ අය අපේ තාත්තාගේ අළු පවා තියා ගන්න බිය වුණු කාලයක් ඒ. කුඩාවියේ සිටි අක්කාට හෝ මට තාත්තාගේ අවසන් මොහොත පවා දකින්නට ඉඩක් ලැබුණේ නැහැ. අපි උස් මහත් වී වැඩිහිටියන් වූ දවසක අපට දෙන්නට අපේ තාත්තාගේ අළු ළඟ තබාගෙන පරිස්සම් කර දෙන්නට තරම් හදවතක් හා ධෛර්යයක් තිබුණේ ඔබට බව මම දැනගත්තේ ගොඩාක් පසු කාලයකයි. නමුත් ඒ භීෂණයේ කුණාටුවෙන් බිඳී විසිරුණු කැදැල්ලකින් විසිව තැනින් තැන හැදී වැඩුණු අක්කාත්, මමත් ඔබ හමුවන්නට ප්‍රමාද වූ නිසා, ඔබ ඉතා ගෞරවණීය විදියට මගේ තාත්තාගේ අළු කැලණි ග‍ෙඟ් පා කළ බවත් මම දැනගත්තේ ඒ කාලයේදීයි. කොළඹ වීදියක මහ රැයක අතුරුදහන් වූයේ ඒ තරම් උතුම් මනුෂ්‍යත්වයෙන් හෙබි දුර්ලභ මිනිසෙකු බව මිනිස් තෙතමනයක් නොදැනෙන සමාජයකට කියා තේරුම් කර දෙන්නට මට කවදා නම් පුළුවන් වේවිද ප්‍රගීත් අන්කල්?

ආදරණීය ප්‍රගීත් අන්කල්,
මගේ තාත්තා එනතුරු මග බලා ඉන්න තිබුණා නම් ජීවිතය කෙළවර වන තුරුම අපේක‍ෂා අත් නොහැර මට බලා ඉන්න හයිය තිබුණා. භීෂකයින්ගේ දෑතින් විකෘති කළ මගේ තාත්තාගේ කෙසඟ සිරුර ඒ බලාපොරොත්තු මගෙන් උදුරා දැමුවා. ඒත් ප්‍රගීත් අන්කල් නැවත එන බවට අද මගේ විශ්වාසය ශක්තිමත්. කිසි දවසක දැක නැති අන්කල්ගේ පවුලේ අය සමග අන්කල් නැවත එනතුරු බලා ඉඳින මිනිසුන් අතර මමත් රැඳී ඉන්නේ ඒ නිසායි. ඒ ආ දවසක සන්සුන් සිතින් අන්කල් මේ ලිපිය කියවන බව මට විශ්වාසයි. නැවත පෙරළා එන්නට ප්‍රගීත් අන්කල්ට ශක්තියක් වෙන්නේ අපි හැමෝම තුළ ඇවිළෙන ඒ විශ්වාසයයි.

මට ලෝකයක් තරම් ආදරය කළ මගේ තාත්තාගේ අවසන් අළු බඳුන අපි වෙනුවෙන් රැකගන්නට හදවතක් තිබූ ඔබ මගේ තාත්තාගේ ආදරය විසින්ම රැකදෙන බව මට ඒකාන්තයි.

මම, නන්දේගේ දුව
Ruwandi Neranjala | රුවන්දි නෙරංජලා

Friday 1 January 2010

2010


"ඕනෑම මල් ගසකට වාරයක් මෙන්ම අවාරයක්ද ඇත. එය සදාතනිකය. අවාරය යනු , වාරයට පෙර සුදානමකි. ඒ කිසිවක් නිශ්පල කාලයක් නොවේ. නව වසර වාරයන් මෙන්ම අවාරයන්ද සහිත වනු ඇත. එය තේරුම් ගෙන කටයුතු කිරීමට හැකිවේවා."
( අනුෂ්ක තිලකරත්න සොහොයු‍රාගේ අවුරුදු කෙටි පණිවිඩය)