Showing posts with label සංජීවිකා මනෝහාරී. Show all posts
Showing posts with label සංජීවිකා මනෝහාරී. Show all posts

Tuesday, 31 May 2011

නිදර්ශක

කිසිවක්

තවත් කිසිවක් හා

සැසදිය නොහේ

කිසිවෙක්

තවත් කිසිවකු හා

සැසැදිය නොහේ

එපමණකි!

Friday, 27 May 2011

තනියට කඳුළයි හසරැල්ලයි

ආදරේ සුන්දර ගින්දරක් කියල කවුදෝ කියල තිබුණ. ලිහිණි, කාලයකින් දැනෙන නිර්මාණයක් දුටුවෙ නෑ, දැන් ලියන්නෙ නැද්ද කියල අහන, හැමදාමත් අලුත් දෙයක් විදින්න බලාගෙන ඉන්න අයට පහුණු කාලෙ දෙන්න උත්තරත් තිබුනෙ නෑ මට. මොකද වැඩත් එක්ක යුද්ධයක් කිව්වට නොලියා සිටීමට ඒක හේතුවක් කියල පිළිගන්න කවුරුවත් සූදානම් නැති නිසා.
මේ ගීතය ලියවුනේ යමුණා ස්වර්ණමාලි රන්කොත් වෙනුවෙන් ලියවුණු ස්වර රචනාවකට, එහි ස්වර රචනය රවී අලුත්ගේ සොහොයුරාගේ, යමුනා ස්වරණමාලි මගේ පළමු ගීතය "ලිහිණි" ගැයු එයට සාධාරණය ඉටු කළ ශිල්පිණිය. තවත් වැල් වටාරම් ඕනි නෑ.. එහෙම නේද? අහල බලන්න.



තනියට කඳුළයි හසරැල්ලයි වී
ජීවිතයට සිහිලසක් පතා
බදා වැළදගත් ගින්දර සිසිලයි
කියන්නෙ කොහොමද පෙම්බරයෝ//

ජීවිතයම වූ පෙමැති අතීතේ
මඳහස දැවටුන මතක මංපෙතේ //
අතිනත තනියට මතකය කැදවා
සිතිවිලි ඉගීලී හද සැලෙනා//

මට මා අහිමිව නුඹ හිමි වුනදා

හදවත පිරිමැදි මුඳු වීනා තත//
තියුණු සැතක් වී මා රිදවන බව
දැන සිටියේ නෑ පෙම්බරයෝ//

තනියට කඳුළයි හසරැල්ලයි වී
ජීවිතයට සිහිලසක් පතා
බදා වැළදගත් ගින්දර සිසිලයි
කියන්නෙ කොහොමද පෙම්බරයෝ//

Tuesday, 19 April 2011

උපතක සතුට!



අප්‍රේල් 2011ට පැමිණ නික්ම යන්නටත් ආසන්නව ඇත. තනිව ගත් පළමු හුස්මේ සිට අවසානයක් නොදන්නා ගමනක තවත් එක් සැතපුමක් අතීතයට එක්වී හමාරය. මේ සටහන තබන්නේ සතුටක් බෙදා ගැන්මටත්, සතුටක් ලබාගන්නට සහෘදයනට විවෘත ඇරයුමක් ලබාදීමත් අරමුණු කොටගෙනයි.

ගතවු අප්‍රේල් 12 වනදා උදෑසන නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයට ගොස් රුධිරය පරිත්‍යාග කළයුතු යැයි සිතුනේ කවර මොහොතක කුමන හේතුවක් නිසාදැයි මතකයේ නොවේ. ඒ කෙසේ වුව දුරකතනය හරහා පැමිණ ‍බොහෝ සුපැතුම් සමඟ රුධිය දන්දීමට අවශ්‍ය සියලු කොන්දේසි සපුරා තීබීම නිසාවෙන් රුධිරය පරිත්ත්‍යාග කීරිමේ හිමිකම් ලැබිම එදින මා ලද සුවිශේෂි තිළිණයයි.

රටතුළ යුද්ධය පැවති වකවානුවේ නිරන්තරව රුධිර‍ පරිත්ත්‍යාග ශීලීන්ගෙන් රුධිරය ලබාගැනීමේ ව්‍යාපාර පැවත්වුවද වර්ථමානය වනවිට ඒ සඳහා ප්‍රබල යොමුවීමක් දක්නට නැත. ‍ලේ බැංකු වාර්තාවන්ට අනුව මාර්තු අප්‍රේල් යනු රුධිර ගබඩාවේ ඉල්ලුම ට සැපයුම් යන්තම් පිරිමහ ගන්නා කාල වකවානුවයි.

කාල දින වකවානු කෙසේ වේවා ඔබ, ‍ඔබේ රුධිරය පරිත්‍යග කි‍රීමේ කැමැත්තෙන් පසුවේ නම්, කි‍සිවෙක් රුධිරය පරිත්‍යග ශීලීයෙකු වීමට සුදුසු දැයි පිරිස්කා බලන ප්‍රකාශ පත්‍රයට අනුවත්, රුධිර‍යේ හිමොග්ලොබින් ප්‍රතිශතය ප්‍රමාණවත් නම්, ශරිරයේ බර කිලෝ ග්‍රෑම් 50ට වඩා වැඩි නම් අවුරුද්දේ ඕනෑම දිනයක, ඕනෑම මොහොතක ඔබටද රුධිර පරිත්ත්‍යාගගීලියෙකු වීමේ සතුටට හිමිකම් කිව හැකිවනු ඇත.

නාරාහේන්පිට රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ දී එකවර 10 දෙනෙකුට පමණ පමණ ‍රුධිරය පරිත්ත්‍යාග කල හැක. යන්න. පමා නොවන්න, තනිව හෝ හැකිනම් තවත් එක් අයකුවත් කැටිව ගොස් ජීවිතයේ එක් වතාවක් හෝ රුධිරය පරිත්ත්‍යාග කි‍රීමේ නිරාමිස ප්‍රීතිය අත්විදින්න...

Friday, 11 February 2011

කටු සටහන් -01

උපන්දා සිට මියෙන තුරාවට දිනෙන් දින මොහොතින් මොහොත අලූත්වන ජීවිත සටහන් පොතේ කටු ගෑ යළි යළිදු ලියු බොහෝ සටහන් මා මනසේ චි‍්‍රතණය වෙයි. ඉනිදු බොහොමයක් කාලය විසින් ගිලගෙන මතකයෙන් ඈත්කර තැබූවද, දුළන අදුරෙහි පිපෙන සිහිනි තරු කනිණිකා සේ ක්ෂණයකින් ජීවය ලබා නැවත උපදී...

විටක සිනහව ද, තවත් විටෙක කඳුළ ද, සතුටද, වේදනාවද දැවටුන මේ කටු සටහන් අකුරු ලෙස අස්වැද්දීමේ වුවමණාවක් මෑතක සිට මා තුළ පැන නගින්නේ සියල්ල කෙරන් නිදහස් වීමේ, සැහැල්ලූවීමේ වුවමණාව විසින් මා වෙත ඇති කරනු ලැබූ තෙරපීම නිසාද විය හැකියි. කෙසේ වුව ජීවිතේ බොහෝ දේ අභිමුව මහාමේරුව සේ ජීවිතය දරාගනිමියි මට ම සපථකොට සිටි මා වෙත ඵළඹ, බොහෝ අසීරු අවස්ථාවන් වලදී මා දරාගත් ආදරණීයයෙකු ‘‘මම පුංචි ගිනි පුපුරක් වෙද්දි, ඔයා මහා සීතල හිම කන්දක් වෙලා,’’ යැයි පැවසීම මහා මේරුව ජීවිතය හා ග්ලැෂියර ගැන නැවත සිතීමටත් ජීවිතය මා තුළම අලූතින් කුරුටු ගෑමටත් ඇතිකල අති මහත් පෙළඹවීම සෙනහසින් සිහිපත් කරමි.

කටු සටහන්



‘‘තිබිරිගෙය නොවේ ඇරඹුම, සුසානය නොවේ අවසන, ජීවිතය දිගු ගමනක නවාතැන්පොළක් පමණය. මහගම සේකර.” නොමියෙමි.

සැබෑවකි. ජීවියෙකුලෙස, මනුෂ්‍යයකු ලෙස මගේ උපත මා විසින් කරන ලද පූර්ව සුදානමක් තූළ සිදුවූ පිළිසිඳගැනීමක් නිසා සිදුවූවක් නොවේය යනු මගේ අදහසයි. එසේ වුව මනුෂ්‍ය‍යෙකු ලෙස ජීවිතය වැළද ගැනීමට, අතැරයාමට, මඟ හැරයාමට හෝ පලායෑමට මට හැකියාවක් තිබේ. කෙසේවුව ද මා විසින් ගනු ලබන සෑම තීරණයක්ම මගේ හෘද සාක්ෂියට එකඟ විය යුතු යැයි, මගේ ඇතුලාන්තය මට නිරන්තරව හඬගා කියයි.

ජීවිතය, එය කිසි විටකත් මල් පියලි ඇතිරූ සිනිදු සුව යහනක සුවය මවෙතට ළංකල හත්පෙති මල් පෙත්තක් නොවූවද ඒ ගැන දුකක් හෝ තැවුලක් අදටත් මට නොවේ. එදවස ද ලෝකයත් තරමටම ආදරයට ලොබබැදි දැරියක ලෙස ඇය පෙරලා බලාපොරොත්තුවුයේ කෙහෙරැල්ලක දැවටෙන ඇගිලිතුඩක සුවයකි, ආදරණීය ඇමතුමකි, උණුසුම් උකුලක සුවයකි. ඇයගේම වූ හීන අතර සැරිසරන, තනිව සිනහසෙන, තනිව කතාකරන තනිව හඬන ඒ ළදැරිය ඇගේම සිහිනවල තනිව කිමිදෙන්නට ‍්‍රපිය කරන්නියකි,



අදටත් ඉදහිට අතීතයෙන් වර්තමානයට පැමිණ මා මුහුණට එබිකම් පාන ආදරයට ලොබ බැදි ඒ දූගී සිගිත්තිය ගේ පළමු සිහින නගරය වූයේ, චීන මහා පරාප කාරය බඳු උස් තාප්පයකින් වටව තිබූ ඔරුවල වානේ කම්හලයි. වෙල ඉස්මත්තට දිස්වන විශාල යන්ත්‍රෝපකරන, ගොඩනැගිලි, නිරන්තරව අහසට දුම් පිබින උස් චිමිනය හා මුළු කොළඹ නගරයම මැනෙවින් පෙනෙන්නේ යයි පවසන අහසට නැගිය හැකි විවෘත පඩිපෙල සහිත නමක් නැති ගොඩනැගිල්ලට නැගීමේ සිහිනය බොදකර දැමු ගැහැනුකමට එරෙහිව යාමට හැකියාවක් එදවස ඇයට නොවුණි.

කෙසේ වුව තමන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයැයි, අරගල කල යුතුයැයි ඇය උගත්තේ ඒ සිහින නගරය ඇසුරෙනි. දහවල එකොලහටත් සවස තුනටත් නැවත රාත්‍රී එකොලහටත් ගම සිසාරා ඇසෙන කම්හලේ නලා නාදය ඇගේ කුඩා හදවත තුළ සිහින් දෙදරුමක් ඇති නොකෙරුවා නොවේ. අයියාටත් මල්ලීටත් පුතාල වීම නිසාම හිමිවූ පුංචි ගේට්ටුවෙන් ඇතුළට පිවිසීමේ වරය දුවක වීම නිසාම ගිලිහීයාමත්, පියා පසුපස එල්ලී ගොස් එහි ඇතුළු වීමේ වරය ලබාගැණීම උදෙසා වන බෙරිහන්දී හඩාවැටීමට එරෙහිව අම්මාගේ අතපුරා වදින කම්මුල් පහරවල වේදනාවත්, හිතුවක්කාරී දඩබ්බර එකියෙකැයි යන ලෝක අපවාදයේ මතකයත් තවමත් ඇය හා රැදී සිටී.

Thursday, 15 April 2010

ආදරේ සලපතල මළුවක්......

කිසියම් අත්දැකීමක් පද පේලියක් වුනාට පස්සෙ ඒක ගීතයක් කරනව කියන්නෙ වෙනම වැඩක්. එතනදි රචකයාට හැමෝම දන්න බොහොම ප‍්‍රසිද්ද නමක් තියෙනවනම්. එත් නැත්නම් මූල්‍යමය හැකියාව තියෙනවනම් , ඒ දෙකම නැතිවත් අහවලාට කියල ලියා ගත්තොත් ෂුවර් හිටි එකක් තමයි රාවයක් තියෙනව නම් ගැටවක් නෑ. නමුත් මේ කිසිම දෙයක් නැතිව ගීතයක් නිර්මාණය වෙද්දි ඒකෙ බරපැණ දරන්නට ඉදිරිපත්වෙන පාර්ශවයඅනුව බොහෝ දේ තීරණය වෙනව.

ගීතයක් ලියවෙද්දි ගොණුවෙන අදහස් වලට වටිනාකමක් නැති වුණාට ඒක ගීයක් වෙන්න රුපියල් සතවල ලොකු වටකාකමක් තියෙනව... ඊළඟට රූප රචනා කරනව කියන කාර්යයෙදි මිල ස‍්‍රත‍්‍රය ලක්ෂ ගනනක් වෙනව.

මේ හැම දේම කතා අතර අතුරු කතා.
අහල බලන්න.
දැනෙන දේ අවංකවම කියන්න...

ආදරේ
සලපතල මළුවක්
කොයි දෙසින් ආවත්
ගිමන් නිවනා කෙම් බිමක්
දසදෙසින් හමනා.....
සිහිල් මදනල සේ
විඩා නිවමින් සියොළඟම දැවටේ
ආදරේ........ දෝරේ ගලනා ආදරේ

ඛෙදා වෙන්කර ගන්න ඕනෑ නෑ
බදා හිරකර ගන්න ඕනෑ නෑ
දෑල ඉවුරේ පිරී ඉතිරේ
ආදරේ........
දෝරෙ ගලනා ආදරේ

නීල අහසේ නිසසලේ ඇදෙනා
වලා දුහුලේ සැහැල්ලුව රැගෙනා
හමන මදනල කියන රහසයි
ආදරේ........
දෝරේ ගලනා ආදරේ


ආදරේ
සලපතල මළුවක්
කොයි දෙසින් ආවත්
ගිමන් නිවනා කෙම් බිමක්
දසදෙසින් හමනා.....
සිහිල් මදනල සේ
විඩා නිවමින් සියොළඟම දැවටේ
ආදරේ........ දෝරේ ගලනා ආදරේ



හඬ - උපමාලිකා කරුණාරත්න
නාද මාලාව -රෝහණ වීරසිංහ

මෙතනින් අහන්න
http://www.boondi.lk/Convert/Adare%20Salapathala%20Maluwak.wma