ඉපදෙන
හැම ගැහැනියක්ටම, පිරිමියෙක්ටම උපතේදී තමන්ගේ මව හෝ පියා විසින් දෙනු ලබන නමට අමතරව
හැදින්වෙන පොදු සංඥාර්ථ නාමයක් තියෙනවා. “මනුස්සයා” කියලා. මනුස්සයා කිව්වම ඒක එකයි. හැබැයි ඒ මනුස්සයා කියන වදනට එකතුවෙන
නිපාත, උපසර්ග විශේෂණ පදවලින් එහි අර්ථය විවිධාකාර
ලෙස වෙනස් වෙනවා. ද, නරක, දක්ෂ, අදක්ෂ, ලෝභ, පරිත්‍යාගශීලී, පසන්, සුපසන්, එවැනි අර්ථ කීපයක්,
භානු ප්‍රසන්න පෙරේරා, අද අපි අතර නැතත් අර මං කලින් කිව්ව විදියට මනුස්සයෙක් කියන අර්ථයෙන්
ගත්තම උත්තම මනුස්සයෙක්. භානු ගෙ දෙමව්පියන් ඔහුගෙ නමට “ප්‍රසන්න” කියල කොටසක් එකතු කරල තිබුණා.
භානු ක්‍රියාවෙන් වගේම හැසිරීමෙනුත් තමන්ගෙ දෙමාපියන් දී තිබුණු නමේ අර්ථය
සම්පූර්ණ කරගත්ත මිනිහෙක්.
අපේ ජීවිත කාලය තුළ අපි හැමදාම දැකපු භානුට තිබුනෙ හරිම
අව්‍යාජ හිනාවක්, හරිම “ප්‍රසන්න” සිනාවක්, භානුව දන්න හදුනන අයට ඒ ජීවිත කාලෙ පුරාම හිනාවක් නැතිව භානුට තරහ
ගිහින් හිටපු දසුනක් මවාගන්න පුළුවන් වෙයි කියල හිතන්න බෑ. ඒ තරමටම “භානු ප්‍රසන්න” නිරහංකාර සරල ජීවිතයක් ගත
කළා. කවුරුම හරි කෙනෙක් භානු ළඟට ඇවිල්ල තමන් කරන්න යන මොකක් හරි වැඩක් ගැන කියල, උදව්වක් ඉල්ලුව නම් කවමදාවත් ඒ උදව්ව භානු අතින් පැහැර හැරුනෙ නෑ. ඒ
උදව්ව කරන්න යන්න තිබුණෙ, කතරගමටද, අනුරාධපුරේට ද, යාපනේටද කියන එකත් භානුට
වැදගත් වුනේ නෑ. අද උදේ කොළඹ ඉන්න භානුට සවස දුර ඇමතුමක් දුන්නම ඉන්නෙ අනුරාධපුරේ
කිව්වම අපි පුදුම නොවුණෙ ඒ නිසා. භානු දුර ඈත වැඩක් භාර ගත්තත් ඒක ළඟ පාත වැඩක්
වෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ.
එත්
තවත් සමහර අය කිව්වෙ භානු හරිම සංකීර්ණ චරිතයක් කියල. එහෙම කියන්න හේතු තිබුණා.
තමන් වටේ ඉන්න තමන් ඇසුරු කරන හැමෝම එක්ක කතා බහ කරද්දි ඒ තනි, තනි පුද්ගලය එක්ක කතා
කරන්න, ඒ හැමෝගෙම හද දොර යතුර මොකක්ද කියල භානු
හොදාකාරවම දැනගෙන හිටියා. දේශපාලන චරිතත් එක්ක දේශපාලනය ගැන කතා කරන්න, සංගීතය ජීවිතය වෙච්ච මිනිස්සු එක්ක සංගීතය ගැන කතා කරන්න, කලාව ගැන කතා කරන්න කැමති මිනිස්සු එක්ක කලාව ගැන කතා කරන්න වගේම, මේ කිසිම දෙයක් ගැන රුචිකත්වයක් නැති මනුස්සයෙක් එක්ක ඔහු කැමති ඕනෑම
දෙයක් ගැන කතා කරන්න භානු දැනගෙන හිටියා.
ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන
කියමන භානු බොරුවක් කියල ඔප්පු කලා. අභිරූපණ ශිල්පියෙක්, අංගරචනා ශිල්පියෙක්, කැමරාකරුවෙක්, කලා අධ්‍යක්ෂකවරයෙක්, තිර රචනා
ශිල්පියෙක්, රූපවාහිනී, ගුවන්විදුලි වැඩසටහන් නිශ්පාදකවරයෙක්, වේදිකා
නාට්‍ය ශිල්පියෙක්, වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක්, රචකයෙක්, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක්, නිශ්පාදකවරයෙක්. මේ හැමදේටම වඩා භානු, යහපත්
මනුස්සයෙක්, උණුසුම් සහෝදරයෙක් දක්ෂ ගුරුවරයෙක්.
භානු ගෙ අන්තිම කෙටි චිත්‍රපටයෙ සංගීතය සහ රඟපෑම ඇරෙන්න අනෙක් සෑම අංශයක්ම
නිර්මාපකය වුනේ භානු.
අවුරුදු හතළිස් දෙකක කෙටි
ජීවිත ගමන නිමා කරල පහුගිය විසිතුන් වෙනිදා භානු යළි නොඑන්නම කාටවත්ම නොකියා
ගිහින් තිබුණා. ඒ ආරංචිය දරාගන්න බැරිව විශ්වාස කරන්න බැරිව, විසිතුන්වෙනිද උදේ ඉදල, දවල් එකොළහ, දොළහ, එක වෙනකම් විවිධ තැන්වල
විවිධාකාරයෙන් භානුව ඇසුරු කරපු සහෘදයො එකසිය පනහක් දෙසීයක් විතර හෝමාගම රෝහලට ආව
ගියා. ජීවත් වුනත් මැරුණු මිනිසුන් සිය දාස් ගානක් ඉන්න රටක, මැරුණත් මැරුණයි කියල විස්වාස කරන්න බැරි මිනිහෙක් වෙන්න පුළුවන් අතේ
ඇඟිළි ගාණටත් අඩු පිරිසකට විතරයි. භානු ඇත්තටම මිය ගිහිල්ලත් ජීවත් වෙනවා.
හැමදාමත් වගේ මියගියවුන් පිළිබඳ වේදනාව ජීවත්වන්නවුන්ට ඉතිරි කරල භානු යන්න
ගිහින්.
මාසයක් දෙකක් තිස්සෙ සුව නොවෙමින්
තිබුණු කැස්ස හෙම්බිරිස්සාව වෙනද වගේම ඔහු ගණන් අරගෙන නොතිබුණු නිසා වෙන්න ඇති, ඒ පෙනහළු දෙකම අක්‍රීය කරන්නට වෛරසයකට පුළුවන් වෙලා තිබුණේ.
සම්පත් පෙරේරා ඇමිණූ පද කීපයක් ජුනි
විසිහය වැනි බදාදා හැන්දෑ වරුවෙ කොට්ටාව කනත්තෙ ශෝකී බටනලා හඩත් සමග ඒකාත්මිකවූ
ගිටාරයේ තත් බිදුණු හඩ සමඟ මුසුවුණා. ඒ ශෝකී හඩ භානු ප්‍රසන්න සහෘදය වෙනුවෙන්
එතැනට ඇවිත් හිටි හැමෝගෙම නෙත මුල කදුළක් එකතු කළා. භානු වෙනුවෙන්, ලියවුණු, භානු වෙනුවෙන් ගීතවත්වුණූ, භානු වෙනුවෙන් ගැයුණු ඒ පද පේළි හතර භානු ගැන සදාතනික මතකයක් ඉතිරිකරල
හැමෝගෙම හදවත්වල තැන්පත් වුණා.
“අදුරු වළාවක වැසුනට සද මඬල
නතර නොවේ ඉන් ගලනා සඳ එළිය
අතැර
ගියත් අප ඇස රඳවා කඳුළ
නිතර
ගැවසෙමින් ඇත ඔබ අප අතර”
මේ සටහන ලියවෙන අද භානුගෙ සුන්දර අව්‍යාජ හිනාව මගේ
ඇස් ඉදිරියේ සැබෑවට පෙනිල නොපෙනී ගිහින් මාස කීපයක් වෙනවා. සරමක් කුර්තාවක් ඇදගෙන
ලස්සන හිනාවක් අරගෙන මගේ මංගල්ලෙට ආපු උඹ මේච්චර ඉක්මනට යනවා කියල දන්නව නම්, තරිඳි කියනව වගෙ අනේ යන්න එපා භානු අයියේ කියල කියන්න තිබුණා. එත් එදා
දවසෙ සුන්දරම මතකය, මට විතරක් නෙවෙයි අපි හුඟක්
දෙනෙකුට ඉතිරි කරලා නුඹ යන්නම ගිහින්. උඹේ අර සුන්දර හිනාව විතරක් මතකයේ ඉතිරි
කරල. ඇත්තටම භානු අයියේ අර සිරිමල් කියනව වගේ “ මිනිසත්කමට නුඹ උපමාවක්”
No comments:
Post a Comment