Wednesday, 27 July 2016

අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ



කාලෙකට පස්සෙ කොළඹින් ටිකක් දුර බැහැරට යන්න ලැබිච්ච අවස්ථාව ගැන අපි දෙන්න හිටියෙ හරිම සතුටකින්. අපි යන්න බලාපොරොත්තු වුණේ බොරලංකඩ ගමට‍, දවසකට දෙපාරක් තුන්පාරක් ඉහළට පහළට දුවන බස් රථය ගැන අවබෝධයක් නැති නිසාම ත්‍රීවීල් එකක් කතා කරගෙන අපේ ගමන යන එක කොයිකටත් හොඳයි කියල අපි තීරණය කළා. හැටන් බස් එකින් ඇවිත් දෙහිඕවිටින් බැහැල දැරණියගල බස් එකට නැඟලා උඩබාගේ හන්දියෙන් අපිව බස්සන්න කියල‍ රියදුරු මහත්තයට කීවා‍. මිනිත්තු විස්සකින් විතර අපි ගමනාන්තයට ළඟා වුණා. තවමත් උදෑසන අටට ළංවෙලා නෑ‍‍. තුනී මීදුම් වළාවක් රබර් ගස් අතරින් පෙරී එමින් තිබුණා‍. පාරෙන් අනිත් පැත්තෙ කන්ද උඩ පන්සල‍. පරිසරයෙ තිබුණෙ හරිම නිස්කාන්සු බවක්. මහ ලොකුවට නැතත් අත්‍යවශ්‍ය හැම දෙයක්ම ඒ පුංචි කඩමණ්ඩියෙ තිබුණා‍. අපි වීල් එකක් එනකම් බලාගෙන හිටියා‍‍.
පරිසරයෙ තිබුණු නිස්කාන්සුව තීව්‍ර කරමින් පන්සල දිහාවෙන් නිතර සවනත නොගැටෙන අමයුරු ගීයක් ඇසුණා. රූපවාහිනී යන්ත්‍ර ගෙදර සාලෙ ආක්‍රමණය නොකළ හැත්තෑව අසූව දශකවල අපිට ළඟම මාධ්‍ය වුණේ ගුවන්විදුලිය. ඒ බොහෝ උදෑසනවලදී උදා ගී වැඩසටහනින් නිතර සවනත රැඳුණු ඒ ළයාන්විත හඩ අපේ සවන් පත් ළඟ නින්නාද දුන්නා‍. උඩබාගේ හන්දියට නුදුරින් පන්සල ඉහත්තාවේ තියෙන පුංචි පාසල අපිව ආයෙත් අපේ ළමා කාලේට අරගෙන ගියා‍‍.
මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය

මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය
ආදරය කරුණාව දයා උතුරා ගලන

මා සිතෙහි ශිල්ප හා ගුණ දහම් ඇත රැදී

ගුරු දෙගුරු හිත මිතුරු හා අවට සියලු දෙන

මා හැදෙන හැටි බලා සිටිති ආදරයකින්
මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය

මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය
පරිසරය මා රකී රකිමි මම පරිසරය

ලෝකයට බර නොවී වැඩ පිණිස මම හැදෙමි
වාසනාවන්තවූ අනාගතයක් කරා

පාසලින් මඟ දකින හොඳම දරුවා මමයි ///
දැරණියගල ගිහින් ආවට පස්සේ අපේ පළමු කටයුත්ත වුණේ නැවත නැවතත් රසවිදී ඒ ගීතය සොයා ගැනීම‍. අන්තර්ජාලය බොහොම ඉක්මනට ඒ වැඩේ කරල දුන්නත් ගීයේ හිමිකාරීත්වය සොයා ගන්න සෑහෙන මහන්සියක් වුණා.
ඒ ආනන්දනීය හඬේ හිමිකාරීය වුණේ ප්‍රවීණ ගායිකා නාලනී රණසිංහ. ගීතය ලිව්වෙ හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙක් වු සමරවීර වීරවන්නි මහත්තයා කියන ඔත්තුව දුන්නෙ බන්දුල නානායක්කාරවසම් සොහොයුරා‍‍‍. අන්තිමට නාලනී රණසිංහ ශිල්පිණිය අමතන්න අවස්ථාවක් ලැබුණා‍. ඒ සොදුරු පද වැලට ස්වර රටාවෙන් ජීවය ලබාදී තිබුණෙ ආනන්ද ජයසිංහ මහතා බවත්, ඔහු එවකට සංගීත අංශයේ ප්‍රධානියාව සිටි බවත් ඇයගෙන් දැනගන්න ලැබුණා. නාලනී රණසිංහ සහ ඇගේ ගීත ගැන කතාකරන්න බොහෝ දේ තිබුණත් ඊට කලින් නමක් නොදන්න පාසලේ විදුහල්පතිතිතුමාට ස්තුතී කරන්න අවශ්‍යයි කියල මතක් වුණා. හිමිදිරියේ පාසලට එන පුංචි දුවා දරුවන්ගේ ආදරණීය හිත් දයාවෙන් කරුණාවෙන් පුරවන්න, ඒ ජීවිතවලට අරුතක්, අරමුණක් දෙන්න ගන්න පුංචි උත්සාහය ඇත්තටම අගේ කරන්න අවශ්‍යයි.
ගතවුණු ජනවාරී හතර වැනිදා, පාසල අලුතින් පටන්ගත්ත දවස‍. එදා අපි දෙන්නා පාසල් කීපයකටම ගියා‍. බස්නාහිර පළාත ඇතුළෙ, එළවළු පලතුරු පැළ වගයක් බෙදා දෙන්න‍. ඉන් එක් පාසලක් ප්‍රාථමිකයක්. විදුහල්පතිතුමා සර් කියල තරුණ ගුරුවරයකු අමතලා ළමයි කීප දෙනෙක් ඉල්ලා සිටියා‍.‍
තුන්වන ශ්‍රේණියේ තරම පොඩි පුතාල දහයක් විතර ආවා ඒ වැඩේට උදවු වෙන්න. හැබැයි ඒ පුංචි පුතාලට මුල්ගුරුතුමයි පංතිභාර ගුරුතුමයි ඇමතූ විදියට අපි දෙන්නා මූණට මූණ බලාගත්තා.

‍“මෙහෙ වරෙල්ලා, මේව ගිහින් තියාපල්ලා, මුන්ව හදන්න බෑ සර්, මූ තමයි සර් පැෂන් වැල කාපු එකා ” ආදී වශයෙන් ඒ දරුවන්ව ගුරුවරුන් විසින් ආමන්ත්‍රණය කෙරෙද්දි, ශිෂ්‍යයනුත්, ඒ වගේම කතා කළා.
“ අද පංතියෙ කොල්ලො කීයද සර්? ලොකු සර් ඒ විදියට අහනකොට උත්තර ලැබු‍ණෙ දරුවන්ගෙන්.
“ කොල්ලො අටයි, කෙල්ලො පහයි සර්” ලොකු සර් මූ ගස්නැග්ගා, ලාවුළු ගහේ අත්ත කැඩුවා” දරුවො ගිරව් වගේ කතා කරන්න ගත්තා.
අපේ පහුගිය කාලය දැනට වැඩිය හොඳයි නෙ. පංතියෙ වැරදිවලට කොහොම බැණුම් ඇහුවත් පිට මිනිස්සු ඉස්සරහා පුතේ, දරුවනේ කියල අපිට ගුරුවරු කතා කළා නේද කියල චන්නයි මමයි කතා වුණා.
ඒ පාසල ගැන මතක් වෙද්දි ඒ දරුවො ගැන ඇත්තටම කනගාටුවක් හිතනවා. ඒ අතින් උඩබාගේ දරුවො වාසනාවන්තයි කියල හිතන හිතිවිල්ල සාධාරණයි කියල හිතෙනකොට අනේ ලංකාවේ සියලුම පාසල් දරුවන්ගේ මුවින් “පාසලින් මඟ දකින හොඳම දරුවා මමයි” කියල ගැයෙන දවසක් ගැන මම හීන දකිනවා‍

ලිහිණි

1 comment:

Anonymous said...

makasih atas artikelnya,


visit our website href="https://ittelkom-jkt.ac.id/"