Monday, 9 February 2009

මිමිණෙන සෙනෙහස



දවස් තාමත් තුරුණුයි
මේ පෙමැති සිසිරය සිහිලයි
හේමන්තයද නුදුරුයි
මට හීත දැනෙනවා
හුස්ම පොද මිදෙනවා...................
ඒ වුනත් තාම නෑ නොවැ
උණූහුමක් .................

පේ‍්‍රමයෙන් ආතුර වෙලා
හේමන්තයත් ආවද කලින්
දොර හැර බලන්නට අවැසියි
ඒ වුනත් තාම නෑ නොවැ
ඇමතුමක්,..............

මන්දාරමම පිණි බර වෙලා
හුළගට ඇවිත් මුතු හිම කැට්ති
කොපුළත වැදෙයි කදුළැලි වගේ
ඒ වුනත් තාම නෑ නොවැ ඇමතුමක්,
පේ‍්‍රමයෙන්.............

Sunday, 8 February 2009

අවකාශය,


මම ඉඩක් හොයන්න පටන් ගත්ත. යාළුවොත් එක්ක කතා කරන්න, මොහොතක් නැවතිලා හිතන්න. පොතක් පතක් කියවන්න ඉඩක්. කොළඹ නගරෙ පුරාම මගේ හිත ඉගිල්ලුණා. යාළුවෙක් එක්ක කතා කරන්න තැනක්? එකපාරටම මතක් වුනේ මහජන පුස්තකාලේ, දැන් ඒකත් හිර කූඩුවක් වෙලානේ, ඉස්සර නම් ශ‍්‍රවනාගාරෙ ඉදිරිපස තණ බිස්සෙ කස ගහක් පාමුල වාඩි වෙන්න ඉඩක් තිබුණ. පතුල රිදෙන්න කස ඇට ඇණුනට ඒ හෙවන විඳගන්න ඉඩදීල ගහ ඉරමුවාකරල හෙවනක් හදල දුන්න. දැන් ඒව තහනම් කලාප වෙලා. කෙටි යකඩ වැට පැනල තණ බිස්සට පය තියන්න කළින් මුර හමුදාව කඩාගෙන පනිනව. ප‍්‍රශ්න කීරිම් ''ඇයි ඔතන. අයින් වෙන්න,. අයිඩින්ටිය තියෙනවාද?, පුස්තකාලේ ප්‍රවේශපත තියෙනවද? නැත්නම් කරුණාකරල යන්න එළියට.''

හ්ම්... එතනින් නික්මිලා පුස්තකාලේ ආපනශාලාවට ආව. ඒක හරියට දුම් ගැහුණු අදුරු ගුහාවක් වගේ පුස්ගඳ ගහනව. අවුරුදු දොළහකට පහළොවකට කලින්නම් හවස 6.30 විතර වෙනකම්, විවිධ මතිමතාන්තර එක්ක තේ කෝප්ප හරි හරියට ගැටුණූ තැනක නටඹුන් විතරයි එතන ඉතිරිවෙලා තිබුනෙ, පුස්තකාලේ පොත් බැහැරදෙන අංශයට ගියා. එතනත් විශේෂ වෙනස්කම් කිසිවක් සිදුවෙලා තිබුනෙ නැහැ. අනිත් හැමතැනම වගේ අඳුර අරක්ගෙන තිබුනා.මම හිතන්න පටන් ගත්තා. අවකාශය, ඉඩ, ඒක කොහෙද තියෙන්නේ? අපේ මනස් තුළ හිතන්න අවකාශයක් ඉඩක් ඉතිරිවෙලා තියෙනවාද? අපි අවට අපි ජිවත්වෙන තැන්වල අපට ජිවත්වෙන්න හිතන්න පොළඹවන අවකාශයක් නිර්මාණය වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් අපි අවට තියෙන අවකාශය අපි විසින්ම අහුරාගෙන ද තියෙන්නේ ?

ඔබට හිතෙන්න පුළුවන් මේ දේවල් කිසිම අර්ථයක් නැති දේවල් කියලා. ඒ වුනත් මට හිතෙනවා යම් පමණකට අපි මේ පරිභෝජනවාදි සමාජය තුළ පරිභෝජන භාණ්ඩ වෙලා කියලා. අපි හිතන්නෙ පතන්නෙ නෑ. මොකද අපි වෙනුවෙන් හිතලා අපි වෙනුවෙන් වැඩ කරන වෙළඳ ආයතන අපේ ඔළුගෙඩි පුරවලා තියෙන හින්දා. ඒ එක්කම අපි හිතනව නමි දැන් හිතන්න පටන් ගන්නේ ටීවී. එකේ රේඩියෝ එකේ පත්තරේ යන දේවල් එක්ක. අපි හිතනකොට මාධ්‍යඅපි වෙනුවෙන් හිතලා ඉවරයි. අපිට හිතන්න දෙයක් ඉතුරු කරලා නෑ.

පහුගිය දිනවල නිරන්තරව ඇස ගැටෙන වෙළෙද දැන්වීමක් තිබුණ. තමන්ගෙ පුතා නැන්දම්මලාගේ ගෙදර යන බව දැනගෙන තමන් බලන්න නාවට දුක්වෙන මවක් කේන්තියෙන් පුතාට දුරකථන ඇමතුමක් ගන්නවා. එහා පැත්තෙන් ඇහෙන්නෙ මව්ට ආමන්ත‍්‍රණය කරන ගීතයක්. අර අම්මගෙ කේන්තිය වාෂ්පවෙලා යනවා. දරුදුක ඉස්මතු වෙනවා. මොනවද අපේ සමාජය ප්‍රවර්ධනය කරන්නෙ?

හිස් අවකාශය අතරින් අපේ හිත් හිස්වෙලා කියලා විතරයි මට දැනෙන්නේ. ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ. ඉස්සර වගේ නෙමෙයි කලාවෙන් සංස්කෘතියෙන් පොතපතින් අපි ඈත්වෙලා. අපේ සම්බන්ධකම් ඒ කියන්නෙ මව්පිය දුදරු, සොහොයුරු සොහොයුරියන්, ස්වාමි භාර්යා, මේ හැම සම්බන්ධකමක්ම ඈත්වෙලා. මේ හැම එකක්ම නමට විතරක් එහෙම නැත්නම් අවශ්‍යතාවයන්ට විතරක් සීමාවෙලා. මේ මට හිතෙන හැටි. ඔබ කොහොමද මේ ගැන හිතන්නේ.

Thursday, 5 February 2009

වචන


වචන කියන්නෙ, බොහෝ දේ කියන, ඒවගේම බොහෝ දේ නොකියන අකුරු, සමහර වෙලාවට මේ අකුරු හුගක් දුර්වලයි. තවත් සමහරවෙලාවට ඒව හරි ශක්තිමත්, කොන්කී‍්‍රට් වලටත් වැඩිය. අනිත් එක ඒව එළියට දැම්මට පස්සෙ ආයේ ඇදල ගන්නත් බෑ. කතාවට කියන්නෙ පනින්න පෙර හිතා බලන්න කියල. ඒ වගේම තමයි කියන්න කලිනුත් හිතා බලන්න ඕනි.

මොකද වචනවලට ඝාතන කරන්න පුළුවන් හින්ද. හුගක් දෙනෙක් චරිත ඝාතනය කරන්නෙ අකුරුවලින් වචන මුවහත් කරගෙන. ඔබ අහල තියෙනවද එක රාජනියෝගයක් ගැන. එහි තිබිල තියෙන්නෙ අණක්, මරණිය දඩුවමක් පිළිබඳව රාජඥාවක්. එහි සිංහල අදහස වන්නෙ, මරන්න එපා. නිදහස් කරන්න යනුවෙන්. නමුත් අවසාන මොහොත තුළ පෝරකය අභියස එය කියවා ඇත්තේ, මරන්න, එපා නිදහස් කරන්න කියල. ඒ අනුව වචන අතරෙ තිබුණු කොමාව හැලිල නිදහස මරණයෙන් කෙලවර වුණා. ඉතින් වචන කියන්නෙ දෙපැත්ත කැපෙන ආයුධ. බොහොම පරිස්සමන් අන්අයටත් තමාටත් හානියක් නොවෙන තැනට පාවිචිකළයුතු දේවල්.

තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි අපි ගණුදෙනු කරන අය එක්ක තියෙන දැන හදුනා ගැනීම. අපි හැම මොහොතෙම ජීවත්වෙන්නෙ කිසියම් ගණුදෙනුවක් එක්ක. පවුලෙ අය වේවා, හිත මිතුරන් වේවා. ඒ හැම දෙනා එක්කම තියෙන ගණුදෙනුව සන්නිවේදනය හරහා ප‍්‍රක්ශේපණය වෙනවා. ඒ මෙවලම තමයි භාෂාව.

දෙවැනි කාරනේ අපි කා එක්කද ගනුදෙණු කරන්නෙ කියන එක. ඒ වගේම මොන වගේ ගනුදෙනුවක්ද සිදුවෙන්නෙ කියන එක. මේ සම්බන්ධව මම දන්න එක් සිදුවීමක් තිබෙනවා. විදේශ රටක උසස් අධ්‍යාපනය හදාරන සොහොයුරියකට ඇමතූ මිතුරෙක් ඇයට කියලා තිබුණා මහන්සිවෙලා පාඩම් කරලා උසස් ප‍්‍රතිඵල අරගන්න කියලා. මොකද ඒ ප‍්‍රථිඵල අනුව සමහර අවස්ථාවලදී දුෂ්කර සේවය සඳහා යාමට ඉඩ ඇති බවයි. එයින් ඔහු අදහස් කරේ සේවා කාලය තුළ දුෂ්කර සේවයෙන් නොයෙදිය යුතු බව නෙමෙයි. ඇය අදක්‍ෂ බවට අදහසකුත් නෙමෙයි. ඇත්තටම ඔහු පවසා තිබුණේ තමන්ගේ කුඩා නැගණියට සෙනෙහසින් කරන ආයාචනයක්. ඇගේ යහපත අපේක්‍ෂාවෙන් ඔහු පැවසු ඒ වදන් ඇය භාරගෙන තිබුණේ තරමක් වෙනස් විදියකට. ඒය කිසියම් සමච්චලයක ස්වරූපයකට ඇය භාර අරන් තිබුණා. ඉතින් මේ අනුව කියන්න තියෙන්නේ අපි කතා කිරීමේදී කතා කරන්නේ මොනවද කතා කරන්නේ කාත් එක්කද මොන පදනමක් අනුව ද කියන තැන ඉදලා කතා බහා කරන්න ඕනේ කියලා.

මොකද අපි කටින් වචන එළියට දැම්මට පස්සේ ඒ වචනවලට අරුත් දනවන්නේ එයට සවන් දෙන අය. බොහෝවිට සිහිනෙන් හෝ අපේක්‍ෂා නොකළ ප‍්‍රතිචාර අපේ වචන හරහා අනෙක් අයට සංනිවේදනය විය හැකියි. ඉතින් හිතන්න කියන්න පෙරත් දෙතුන්වරක්වත් හිතන්න.

Wednesday, 4 February 2009

ගුරු ගීතය

ආදරණීය දුයිශෙන්
මම තාම මඟ බලන් ඉන්නවා
කදු මුදුනේ පොප්ලර් ගහ පාමුල
අල්තීනායි
තාම මඟ බලන් ඉන්නවා

වසත් සීත සුළඟට
උණූසුමට ගොම පිදුරු එක්කරන්
අපේ දුප්පත් පුංචි පාසල
පෙනෙන නොපෙනෙන
දුරින් ඉදගෙන
අල්තිනායි,
තාම මඟ බලන් ඉන්නවා

කැලෑමල් සුවද ගෙන
හමා ඒන මද සුළඟ
අතීතෙය සුවඳ සිහි කරනවා
තණ බිමේ පිණි කැටිති දිලෙනවා
කඳුළු සේ දියවෙලා ගලනවා
කවමදාවත්ම මට කියන්නට බැරි වූණ
ගුරුගීය මම තනිව ගයනවා ///

පුපුරු


කනාමැදිරියෙක්මි
අදුරෙහි සැරිසරන
ආලෝක පුංඡයකි
අදුරට ලොබ බදින
හෙවනැති අමාවක
නැතිවට රීදී සඳවත
දිදුලමි මොහොතකට
ගිනි පුපුරක් ලෙසට
තිතක්වුව එය
ආ(ලෝකයකි)