Monday, 28 October 2013

හැමදාම බොමු


 

කිලෝමීටර සිය ගණනක් දුර ගෙවාන මගේ යෙහෙළියක් කොළඹ මහ රෝහලට ආවේ ඇගේ ඥාති සොයුරියක ගෙ දුක සැප බලන්න. නිතර හමු නොවෙන නිසා ම අපි දෙන්නත් අතර මඟක මුණ ගැහුණා. නංගිට කොහොමද දැන් ඒ මගේ පළවෙනි ප්‍රශ්නෙ. "කියන්න තරම් ගුණයක් නෑ. සතියකට වරක් ලේ පිරිසුදු කරනවා. වකුගඩුවක් බද්ද කරන්න ඕනෙලු. ඒත් නංගිගෙ අසනීපත් එක්ක ඒකත් කරන්න අවදානම්ලු. මොනවා කරන්නද ලිහිණි, විහින් හදා ගත්ත ලෙඩ." මගේ මිතුරියගේ පශ්චත්තාපය පවුලෙ එකම දරුව ගැනයි, ඇය වෙනුවෙන් දිවා රෑ නැතිව කැපවෙන වැලපෙන මවුපියන් ගැනයි.

ඇගේ රෝග ඉතිහාසය ගැන තරමක් දුරට දැනුවත්කමත් තියෙන නිසා ම අනිත් අයටත් ඒ අවබෝධය ලබාදෙන්න මට වගකීමක් තියෙනවා කියල යටි හිත මාව කොනිත්තන්න පටන්ගත්තා. අපි ඇයට නමක් දෙමු. ඇය දිදුළි. පවුලෙ එකම දරුවා. අම්ම තාත්ත ඇහැක් වගේ තමයි දිදුළිව බලාගත්තෙ. දිදුළිගෙ ගෙදර ගබඩා පහසුකම් තිබුණා. ඉතිං අමතර අදායමත් ලබන්න මේ හිස් ඉඩ බදු ගත්තෙ පැණී බීම සමාගමක්, තමන්ගෙ ගෙදර හිතූ හිතූ පාටින් පැණි බීම තොග ගණන් තියෙන කොට නොබී ඉන්න පුළුවන් කාටද? මේ කෙළි පොඩිත්ති කාන්දමක් වගේ අර පැණි බිමවලට ඇදිල ගියා. ඒ අම්මට තාත්තට තියා කාටවත් ම පැණි බීම ඇබ්බැහියෙන් දිදුළිව බේර ගන්න බැරිවුණා. දැනට අවුරුදු කිපෙකට කලින් දිය වැඩියාව දිදුළිව වෙලා ගත්තා. අවුරදු දොළහ දහතුන වයසෙ දරුවෙක් වෙලා හැමදාම ඉන්සියුලින් එන්නත් කරගන්න ඇයට සිදු වුණා. දැන් අලුත් ම තත්ත්වය, ඇය වකුගඩු රෝගියෙක්, දිය වැඩියාව නිසා තවත් අතිරේක සංකූලතා රාශියකින් පීඩා විදින දරුවෙක්. ඇගේ අසනීපයට මූල බීජය කුමක්ද? මම ටිකක් ඒ ගැන හොයලා බලන්න හිතුවා.

වකුගඩු රෝග හඳුන්වන දෙවිදියක් තියෙනවා. වෛද්‍ය විද්‍යාවෙදි මෙය හඳුන්වන්නෙ වකුගඩු අකරණය කියලා, එයත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තීව්‍ර වකුගඩු අකරණය, අනෙක කාලික වකුගඩු අකරණය හෙවත් නිදන්ගත වකුගඩු අකරණය, දිදුළිට වැළදිලා තියෙන්නෙ කාලික එහෙමත් නැත්නම් නිදන්ගත වකුගඩු අක්‍රීය වීම, වකුගඩු අක්‍රීය වීමට බලපාන හේතු ගොඩයි. දියවැඩියාව හෝ අධික රුධිර පිඩනය, නිරන්තර මුත්‍රා ආසාදනය, වකුගඩු ගල්, සර්ප දෂ්ඨන , වස විෂ පානය, ඒ දිග ලිස්ට් එකෙන් කිහිපයක්. ඉතින් දිදුළිගෙ රෝගයට බලපාලා තියෙන හේතු සාධකේ ඇස් පනාපිට මට පේන්න ගත්තා.

ඒ එක්කම අනාගත ළමා පරම්පරාව හරහාත් මේ මාරාන්තික අනතුර වැටිලා තියෙනවා කියලත් මට පේන්න පටන්ගත්තා. මොකද අපි දැන් සොබාවික දේ පරිභෝජනයෙන් ඈත්වෙලා කෘත්‍රිම පරිභෝජන රටාවකට බොහොම වේගයෙන් ඇදී යමින් ඉන්න නිසා. රූපවාහිනිය එක්ක ගෙදර සාලෙට එන වෛයිවාරන්න කෑම බීම, ණය පත අරගෙන සුපිරි වෙළෙද සලට ගොඩවෙලා කූඩයක් පිරෙන්න එළවළු මාළු අරන් එන අම්ම තාත්තා එක්ක ගෙදරට එනවා. පණුවෙක් කොළයක් කාලා නැති කොළ මිටියක්, පණුවෙක් විදල නැති බෝංචි කරල්, හොද සනීපෙට හැදිච්ච එළවළු ලස්සනට බත් පතට එකතු වෙනවා. ඉස්සර නම් පැණි දොඩමකින්, පැෂන් ගෙඩියකින් බීම හැදුණු ගෙදර, කෑම මේසේ පාට පාට ලස්සන බෝතල්වලින් එන පැණි බීමවලින් පිරෙනවා. අවුරුද්දට, නත්තලට විතරක් නෙවෙයි, අම්මගෙ උපන්දින උත්සවේටත් මේ පැණි බීම අත්‍යවශ්‍ය වෙනවා. අම්මා, තාත්තා එක්ක සුපර් මාකට් එකට යන පොඩිත්තො තම තමන්ගෙ කැමැත්ත ඉල්ලලා හඬා වැටෙන කොට අම්මලා, තාත්තලට මේ දේවල් අරන් නොදී බැරි වෙනවා. ඉතින් අපි දැනුවත්ව රස කාරක කියන වහ කාරක අපේ ගෙදර කෑම මේසෙට එක්කර ගන්නවා. දරුවොත් සතුටින් පිනා යනවා. ඊට පස්සෙ අපේ වකුගඩු අපි විසින්ම නාස්තිකර ගන්නවා.

මේ ගැන හොයද්දි මම දැන ගත්තා, අපි අහාරයට ගන්නා කෘත්‍රිම වර්ණකවල පැහැය ඉවත් කිරීමට පමණක් වකුගඩු සාමාන්‍ය ප්‍රමාණයට වඩා පනස් ගුණයක් වේගයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒ ආහාර වර්ණ ඉවත්කිරීම සඳහා පමණයි. ඊට අමතරව ශරීරය පිරිසුදු කිරීම සඳහා, ශරිර ගත වස විස මුත්‍රා මාර්ගයෙන් පෙරා ඉවත්කිරීම සඳහා මේ නොනවතින යන්ත්‍රය දිනකට කී වරක් ක්‍රියාත්මක වනවා ඇත්ද?

ඔබ දන්නවාද මෙම රෝගය වයස් තරාතිරමක් නොමැතිව මිනිස් සිරුරේ සැඟවී පවතින බව. රෝග ලක්ෂණ දැනෙනා විට වකුගඩු 40 % - 60% දක්වා අක්‍රිය වී අවසන් බව, රෝග ලක්ෂණ නොමැතිව නිසා වසර ගණනක් සිට වකුගඩු රෝගීන් රෝගය තමන්ට ඇත්දැයි නොදැන සිටින බව.


වර්තමාන සංඛ්‍යාලේඛන අනුව රජරට පළාතේ මේ තත්ත්වය මාරාන්තික වසංගතයත් වෙලා, එකම ගෙදර තාත්තා මිය ගිහින්, පුතා අසාධ්‍ය තත්ත්වයෙ ඉදිද්දි, අම්මා වකුගඩු රෝගී සායනයට යනවා. මේ තත්ත්වය බරපතළ සමාජ ප්‍රශ්නයක් ජාතික ප්‍රශ්නයක් වෙලා ඉවරයි. එහෙම තත්ත්වයක් තියෙද්දි, අපේ දරුවන්ට කෘත්‍රිම රස කාරක, වර්ණ කාරක අඩංගු ක්ෂණික ආහාරපාන තව දුරටත් ලබා දෙනවාද කියලා නැවත නැවතත් හිතන්න ඉඩක් හොයාගන්න වෙනවා.

3 comments:

Il mondo di una povera pazza said...

අහන්න ලැබීමත් දුකයි. පව් අහිංසක ළමයි.

ඒත් සන්ජි ඒ නම් ළමෙක් කියලා හරි සමාව දුන්නැකි. ඔය පාට බීම බොන කීදෙනෙක් අපි අතරේම ඉන්නවද? ඒ අයවත් හරියට දැනුවත් කරන්න ඔයාලට පුළුවන් නම් ලොකුම දෙයක්.
ආපහු බ්ලොග් එකට පණ ගැහිලා එන එක දකින්නත් ආසයි...

Lishan kasun sri said...

ඊටත් වඩා ප්‍රවේණි ගතව මේ රුදුරු රෝග තත්ත්වය ශරීර ගතව සිටින්නන් එන්න එන්නම ඉහළ යනවා.., නිදසුනක් හැටියට මගේ පියාගේ පියා ඒ කියන්නේ සීයා වයස 40 සිටම දියවැඩියා රෝගියෙන් පෙළුනෙක්ලු., මෙන්න මේ හේතුව නිසා මගේ පියා ඉතාම ප්‍රවේසම් වුවත් වයස සමඟ එන රෝගී තත්ත්වයක් නිසාදෝ මේ වනකොට මේ තත්ත්වය පාලනය සඳහා බෙහෙත් භාවිතා කරනවා. ඉතින් මේ තත්ත්වය අපටත් නො ඒවියි කියා අප කෙසේද සිතන්නේ.., හොඳම ක්‍රමය නම් මේ කාලයේ සිටම ආහාර පාන භාවිතය සීමා කිරීමයි..!
කාලෙකට පස්සේ කෝම්න්ටුවක් දාන්න හිතුන ලියමනක්..!!
ස්තූතියි ලිහිණි අක්කේ,
ජය!

දේශක යා said...

ඔබ දන්නව නේ ජලජ පැලෑටී ඒ කියන්නේ කොහිල, කොළ වර්ග, නෙළුම් අල හෙමත් ආහාරයට ගැනීම මේකට ප්‍රධාන සාධකයක් කියලා. මට ඒක මතක නැහැ නෙළුම් අල වලට ඒ විස සහිත රසායනය වැඩි වශයෙන් උරා ගන්න බවක් කියනවා.

ජීවිතේ කියන්නේ අපි හිතන පතනම දේ නෙමෙයි අප මත බලෙන් පටවන දේත් අයිතියි. දැං කාලේ කැකුළු හාල් කන එකත් අගුණයි. මොකද කැකුළු හාල් සුද්ද නොකරම ඒකෙත් ඔය විස තැන්පත් වෙලා තියෙනවා..

මේක එම්බෙඩඩ් මෝඩ් කරානං නරකෙයි..