Tuesday 31 May 2011

නිදර්ශක

කිසිවක්

තවත් කිසිවක් හා

සැසදිය නොහේ

කිසිවෙක්

තවත් කිසිවකු හා

සැසැදිය නොහේ

එපමණකි!

Friday 27 May 2011

තනියට කඳුළයි හසරැල්ලයි

ආදරේ සුන්දර ගින්දරක් කියල කවුදෝ කියල තිබුණ. ලිහිණි, කාලයකින් දැනෙන නිර්මාණයක් දුටුවෙ නෑ, දැන් ලියන්නෙ නැද්ද කියල අහන, හැමදාමත් අලුත් දෙයක් විදින්න බලාගෙන ඉන්න අයට පහුණු කාලෙ දෙන්න උත්තරත් තිබුනෙ නෑ මට. මොකද වැඩත් එක්ක යුද්ධයක් කිව්වට නොලියා සිටීමට ඒක හේතුවක් කියල පිළිගන්න කවුරුවත් සූදානම් නැති නිසා.
මේ ගීතය ලියවුනේ යමුණා ස්වර්ණමාලි රන්කොත් වෙනුවෙන් ලියවුණු ස්වර රචනාවකට, එහි ස්වර රචනය රවී අලුත්ගේ සොහොයුරාගේ, යමුනා ස්වරණමාලි මගේ පළමු ගීතය "ලිහිණි" ගැයු එයට සාධාරණය ඉටු කළ ශිල්පිණිය. තවත් වැල් වටාරම් ඕනි නෑ.. එහෙම නේද? අහල බලන්න.



තනියට කඳුළයි හසරැල්ලයි වී
ජීවිතයට සිහිලසක් පතා
බදා වැළදගත් ගින්දර සිසිලයි
කියන්නෙ කොහොමද පෙම්බරයෝ//

ජීවිතයම වූ පෙමැති අතීතේ
මඳහස දැවටුන මතක මංපෙතේ //
අතිනත තනියට මතකය කැදවා
සිතිවිලි ඉගීලී හද සැලෙනා//

මට මා අහිමිව නුඹ හිමි වුනදා

හදවත පිරිමැදි මුඳු වීනා තත//
තියුණු සැතක් වී මා රිදවන බව
දැන සිටියේ නෑ පෙම්බරයෝ//

තනියට කඳුළයි හසරැල්ලයි වී
ජීවිතයට සිහිලසක් පතා
බදා වැළදගත් ගින්දර සිසිලයි
කියන්නෙ කොහොමද පෙම්බරයෝ//

Tuesday 19 April 2011

උපතක සතුට!



අප්‍රේල් 2011ට පැමිණ නික්ම යන්නටත් ආසන්නව ඇත. තනිව ගත් පළමු හුස්මේ සිට අවසානයක් නොදන්නා ගමනක තවත් එක් සැතපුමක් අතීතයට එක්වී හමාරය. මේ සටහන තබන්නේ සතුටක් බෙදා ගැන්මටත්, සතුටක් ලබාගන්නට සහෘදයනට විවෘත ඇරයුමක් ලබාදීමත් අරමුණු කොටගෙනයි.

ගතවු අප්‍රේල් 12 වනදා උදෑසන නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයට ගොස් රුධිරය පරිත්‍යාග කළයුතු යැයි සිතුනේ කවර මොහොතක කුමන හේතුවක් නිසාදැයි මතකයේ නොවේ. ඒ කෙසේ වුව දුරකතනය හරහා පැමිණ ‍බොහෝ සුපැතුම් සමඟ රුධිය දන්දීමට අවශ්‍ය සියලු කොන්දේසි සපුරා තීබීම නිසාවෙන් රුධිරය පරිත්ත්‍යාග කීරිමේ හිමිකම් ලැබිම එදින මා ලද සුවිශේෂි තිළිණයයි.

රටතුළ යුද්ධය පැවති වකවානුවේ නිරන්තරව රුධිර‍ පරිත්ත්‍යාග ශීලීන්ගෙන් රුධිරය ලබාගැනීමේ ව්‍යාපාර පැවත්වුවද වර්ථමානය වනවිට ඒ සඳහා ප්‍රබල යොමුවීමක් දක්නට නැත. ‍ලේ බැංකු වාර්තාවන්ට අනුව මාර්තු අප්‍රේල් යනු රුධිර ගබඩාවේ ඉල්ලුම ට සැපයුම් යන්තම් පිරිමහ ගන්නා කාල වකවානුවයි.

කාල දින වකවානු කෙසේ වේවා ඔබ, ‍ඔබේ රුධිරය පරිත්‍යග කි‍රීමේ කැමැත්තෙන් පසුවේ නම්, කි‍සිවෙක් රුධිරය පරිත්‍යග ශීලීයෙකු වීමට සුදුසු දැයි පිරිස්කා බලන ප්‍රකාශ පත්‍රයට අනුවත්, රුධිර‍යේ හිමොග්ලොබින් ප්‍රතිශතය ප්‍රමාණවත් නම්, ශරිරයේ බර කිලෝ ග්‍රෑම් 50ට වඩා වැඩි නම් අවුරුද්දේ ඕනෑම දිනයක, ඕනෑම මොහොතක ඔබටද රුධිර පරිත්ත්‍යාගගීලියෙකු වීමේ සතුටට හිමිකම් කිව හැකිවනු ඇත.

නාරාහේන්පිට රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ දී එකවර 10 දෙනෙකුට පමණ පමණ ‍රුධිරය පරිත්ත්‍යාග කල හැක. යන්න. පමා නොවන්න, තනිව හෝ හැකිනම් තවත් එක් අයකුවත් කැටිව ගොස් ජීවිතයේ එක් වතාවක් හෝ රුධිරය පරිත්ත්‍යාග කි‍රීමේ නිරාමිස ප්‍රීතිය අත්විදින්න...

Tuesday 1 March 2011

නයන්තා

ජීවිතේ මහ දුකක්
සිනාවෙන්නට හැකියි
බොහෝ සීමිත දවස්
ආ පයට ආ මඟම
දුක’අතැර ඉක්මනින්
"නයන්තා" නෙතුපියා
ජීවිතෙන් සමුඅරන්...

දයාබර සොයුරියේ නුඹට නුඹ ප්‍රාර්ථනීය සැනසීම ලැබේවා,

Wednesday 23 February 2011

කටු සටහන් -02 සුන්දර දවස්

සේයා රූ - සුජීව අබේණායක


ජීවිතයේ බොහෝ අසුන්දර මතකයන් අතරින් පෙරි විත් මුවමදහාස නංවන අති සුන්දර දවස් වෙත කි‍මිදෙමි.‍ අතීතෙයන් එන ඒ සො‍ඳුරු මතකයන් සිහිවන සෑම මොහොතක්ම මා සිත රමණීය මිහිරියාවකින් ඇළලේ.
එදවස, අම්මාට රැකියාව ලැබී නොතිබිණි, වානේ සංස්ථාවේ සේවය කළ තාත්තා සිය සේවා මුරය නිමාකොට ගෙදර එනතෙක් අවදිව බලාසිටින්නට අයියාත් මමත් අපමණ උත්සාහ දැරීමු, එළඹ තිබුනේ 1980 වර්ෂයයි. ගෙමිදුලේ සුදුවැලි පිරුණු මහ සියඹලාව පාමුල අම්මා දුනුකේ පැදුර එළයි. විශාල සියඹලාව පින්න වලකාලන හෙවනක් වැනිය. බිළිදු මල්ලීව උකුලේ හොවා ගන්නා ඇය දෙපසට අයියාත් මමත් එක්වෙමු.

එබදු සමහර සැදෑවරු ගතවූයේ විවිධ ජනකවි හා ළමා ගී ඇසුරේ ගොඩනැගෙන ළමා මණ්ඩපයකිනි. කරුණාරත්න අබේසේකර මාමාගේ ගුවන් විදුලි ළමාපිටියත් සුමනා ජයතිලක නැන්දාගේ හඳ මාමා වැඩසටහනත්, කුඩා දරුවන්වූ අපවෙත පිරිනැමුණු රස ගුලාවකි, දමයන්ති ජයසුරිය, ඉන්දීවරී ආරියසිංහ, රෝහිණි ජයසිහ, ලංකා රාජිනී ගුණසේකර ගැයු "ලියුං කාරයෙක් ඇවිදින්", "වතුසුදු අරලිය ගසක පිපෙනවා", "බල්ල පිදුරු කන්නෙත් නෑ", " මගේ පිගානේ ඉන්නා මාළු කූරියෝ" ආදී ගීත බොහොමයක මුල අල්ලා දෙන්නේ අම්මායි. මේ සංගීත සන්ධ්‍යාවන්ට අමතරව සඳ ඇති බොහෝ රාත්‍රීන්හිදී අපේ ප්‍රියතම ක්‍රීඩාව වන්නේ පන්සල් සෙල්ලමයි. කෝම්පිට්ටු වෙහෙර වටා වලාකුළු බැම්ම බැදෙන්නේ මයිඤොක්කා කොළ නටුවේ දම්වැල්වලිනි. චෛත්‍ය මළුවට සිවුවනක් පිරිසට පැමීණීම‍ට වාහල්කඩ සතරක්ද සැදේ, සැන්දෑවේ පිපෙන කහපැහැති සීනි ‍ඉද්ද මල් ‍චෛත්‍යවටා රටාවකට තැන්පත්වෙයි. අවසන අප දන්නා සියළුම ගාථා කියා හැකි අයුරින් බුදුන් වදින්නෙමු. මේ සියල්ල නිර්මාණය වන්නේ අපි ඇසුදුටු දෑ ඇසුරින් මිස ව්‍යවහාරික බුද්ධියකින් නොවේ.

සියල්ල මෙසේ වන අතරම, සිහින් සුළං සමඟ විත් අප වටා දැවටෙන සියඹලා මල්පෙති එකින් එක පැදුරෙන් ඇහිද කටේ දමා ගැනීමටද අපි අමතක නොකරමු. නෙල්ලි ගෙඩියක බදු සිහින් ඇඹුලකින් දිවඟ තෙත්වේ. රාත්‍රිය එළඹිමත් සමග ම අම්මා අප තිදෙනාවද රැගෙන ගෙට වදී. කුප්පි ලාම්පුවේ ලා කහ ආලෝකය මුළු නිවසම ආලෝකවත් නොකරයි. එනිසාම පොල්අතු වහලයේ සිහින් සිදුරු තුළින් පෙරී විත් ගොම පිරිමඩනා ලද ගෙබිමට වැටෙන සඳ එළිය බිදු මද අඳුරේ කැපී ‍පෙනෙයි.ඒ සඳ එළිය දිගේ නලියන දුහුවිලි අංශු අත්ලට ගුළිකර ගන්නට අප වෙහෙ‍සෙමු. සඳ එළිය අපට කීකරු නොවී ගෙබිමේ නොයෙක් තැන්වලට සක්මන් කරයි.

එම අත්දැකීමම වඩාත් සුන්දරව විදීමේ තවත් ස්වරූපයක් අපවෙත තිබිණි. ඒ දෑස් තදින් වසා කළු ඉංගිරිව තෙරපාගෙන සිට අදුරට දෑස් විවර කළවිට දෑසින් අ‍‍‍ඳුරට නිකුත්වන අධෝරක්ක වර්ණාවලිය දෙස බලා සිටීමයි. කවදා කවුරු කෙසේ සොයා ගත්තේ දැයි නොදන්නේ නමුදු එය බොහෝ දෙනාගේ පොදු අත්දැකීමක් බව දනිමි. මේ ක්‍රීඩා වන් දෙක අවසන් වන්නේ නොදන්නා මොහොතක නිදිපැදුරේ දෑස් පියවෙනතෙක් ගෙබිමේ සිට වහලටත් වහල සිට ගෙබිමටත් දූවිලි අංශුදිගේ දැස් දිවයෑම හෝ කළු ඉංගිරියාව තෙරපමින් දෑස් අරිමින් වහමින් ‍අදුරේ සුන්දරත්වය අත්විදීමයි.

Monday 21 February 2011

අතීතය



මූණ මල් පිපී ඉවුරත
ඇල දියට වැටී හිමිහිට
තාලයට නටා දියරැලි අතර ගිලෙනවා
හීන් පුසුබ පමණක් පවනතේ රැදෙනවා.

ගල් බොරළු ඇනුුනු දෙපතුල
උදැසන පිනි බින්දු තවමින්
අකුරු කරන්නට ආ මඟ
හිතේ ඇදෙනවා
මුණ මල් සුවඳ ඉවකර
ගෙවී ගිය අතීතය වෙත
හිත ඉගිලෙනවා...

ලදුදෙනි වැට කඩොලූ මැදින්
අකුරට මම ගිය කාලේ
මල් සුවදත් නෑ, පොඩි මාළුත් නෑ
දිය හවරිය පදුරුත්
හොරු ගෙනිහිල්ලා...

Friday 11 February 2011

කටු සටහන් -01

උපන්දා සිට මියෙන තුරාවට දිනෙන් දින මොහොතින් මොහොත අලූත්වන ජීවිත සටහන් පොතේ කටු ගෑ යළි යළිදු ලියු බොහෝ සටහන් මා මනසේ චි‍්‍රතණය වෙයි. ඉනිදු බොහොමයක් කාලය විසින් ගිලගෙන මතකයෙන් ඈත්කර තැබූවද, දුළන අදුරෙහි පිපෙන සිහිනි තරු කනිණිකා සේ ක්ෂණයකින් ජීවය ලබා නැවත උපදී...

විටක සිනහව ද, තවත් විටෙක කඳුළ ද, සතුටද, වේදනාවද දැවටුන මේ කටු සටහන් අකුරු ලෙස අස්වැද්දීමේ වුවමණාවක් මෑතක සිට මා තුළ පැන නගින්නේ සියල්ල කෙරන් නිදහස් වීමේ, සැහැල්ලූවීමේ වුවමණාව විසින් මා වෙත ඇති කරනු ලැබූ තෙරපීම නිසාද විය හැකියි. කෙසේ වුව ජීවිතේ බොහෝ දේ අභිමුව මහාමේරුව සේ ජීවිතය දරාගනිමියි මට ම සපථකොට සිටි මා වෙත ඵළඹ, බොහෝ අසීරු අවස්ථාවන් වලදී මා දරාගත් ආදරණීයයෙකු ‘‘මම පුංචි ගිනි පුපුරක් වෙද්දි, ඔයා මහා සීතල හිම කන්දක් වෙලා,’’ යැයි පැවසීම මහා මේරුව ජීවිතය හා ග්ලැෂියර ගැන නැවත සිතීමටත් ජීවිතය මා තුළම අලූතින් කුරුටු ගෑමටත් ඇතිකල අති මහත් පෙළඹවීම සෙනහසින් සිහිපත් කරමි.

කටු සටහන්



‘‘තිබිරිගෙය නොවේ ඇරඹුම, සුසානය නොවේ අවසන, ජීවිතය දිගු ගමනක නවාතැන්පොළක් පමණය. මහගම සේකර.” නොමියෙමි.

සැබෑවකි. ජීවියෙකුලෙස, මනුෂ්‍යයකු ලෙස මගේ උපත මා විසින් කරන ලද පූර්ව සුදානමක් තූළ සිදුවූ පිළිසිඳගැනීමක් නිසා සිදුවූවක් නොවේය යනු මගේ අදහසයි. එසේ වුව මනුෂ්‍ය‍යෙකු ලෙස ජීවිතය වැළද ගැනීමට, අතැරයාමට, මඟ හැරයාමට හෝ පලායෑමට මට හැකියාවක් තිබේ. කෙසේවුව ද මා විසින් ගනු ලබන සෑම තීරණයක්ම මගේ හෘද සාක්ෂියට එකඟ විය යුතු යැයි, මගේ ඇතුලාන්තය මට නිරන්තරව හඬගා කියයි.

ජීවිතය, එය කිසි විටකත් මල් පියලි ඇතිරූ සිනිදු සුව යහනක සුවය මවෙතට ළංකල හත්පෙති මල් පෙත්තක් නොවූවද ඒ ගැන දුකක් හෝ තැවුලක් අදටත් මට නොවේ. එදවස ද ලෝකයත් තරමටම ආදරයට ලොබබැදි දැරියක ලෙස ඇය පෙරලා බලාපොරොත්තුවුයේ කෙහෙරැල්ලක දැවටෙන ඇගිලිතුඩක සුවයකි, ආදරණීය ඇමතුමකි, උණුසුම් උකුලක සුවයකි. ඇයගේම වූ හීන අතර සැරිසරන, තනිව සිනහසෙන, තනිව කතාකරන තනිව හඬන ඒ ළදැරිය ඇගේම සිහිනවල තනිව කිමිදෙන්නට ‍්‍රපිය කරන්නියකි,



අදටත් ඉදහිට අතීතයෙන් වර්තමානයට පැමිණ මා මුහුණට එබිකම් පාන ආදරයට ලොබ බැදි ඒ දූගී සිගිත්තිය ගේ පළමු සිහින නගරය වූයේ, චීන මහා පරාප කාරය බඳු උස් තාප්පයකින් වටව තිබූ ඔරුවල වානේ කම්හලයි. වෙල ඉස්මත්තට දිස්වන විශාල යන්ත්‍රෝපකරන, ගොඩනැගිලි, නිරන්තරව අහසට දුම් පිබින උස් චිමිනය හා මුළු කොළඹ නගරයම මැනෙවින් පෙනෙන්නේ යයි පවසන අහසට නැගිය හැකි විවෘත පඩිපෙල සහිත නමක් නැති ගොඩනැගිල්ලට නැගීමේ සිහිනය බොදකර දැමු ගැහැනුකමට එරෙහිව යාමට හැකියාවක් එදවස ඇයට නොවුණි.

කෙසේ වුව තමන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයැයි, අරගල කල යුතුයැයි ඇය උගත්තේ ඒ සිහින නගරය ඇසුරෙනි. දහවල එකොලහටත් සවස තුනටත් නැවත රාත්‍රී එකොලහටත් ගම සිසාරා ඇසෙන කම්හලේ නලා නාදය ඇගේ කුඩා හදවත තුළ සිහින් දෙදරුමක් ඇති නොකෙරුවා නොවේ. අයියාටත් මල්ලීටත් පුතාල වීම නිසාම හිමිවූ පුංචි ගේට්ටුවෙන් ඇතුළට පිවිසීමේ වරය දුවක වීම නිසාම ගිලිහීයාමත්, පියා පසුපස එල්ලී ගොස් එහි ඇතුළු වීමේ වරය ලබාගැණීම උදෙසා වන බෙරිහන්දී හඩාවැටීමට එරෙහිව අම්මාගේ අතපුරා වදින කම්මුල් පහරවල වේදනාවත්, හිතුවක්කාරී දඩබ්බර එකියෙකැයි යන ලෝක අපවාදයේ මතකයත් තවමත් ඇය හා රැදී සිටී.

Wednesday 9 February 2011

දිදුළන අන්ධකාරය





සිහිනයක මල් පිපී
රා‍්‍රතිය ඇස් හරී
තරු කිනිති පරවෙලා
මඟ සොයන්නට බැරි
කනාමැදිරියො නැතී
අන්ධකාරය දිදුළයි

මඟ කියනු කිසිවෙක් නැතී
මඟ අසන්නට රිසිනැතී
දිදුළන අන්ධකාරය
වැයෙනා හද ස්වරයයි

කළුවරට පෙම්බැදී
මල් සුවද විදගමි
සිහිනයක කිමිදෙනා
කොපුළතක දවටමි

අදුර තූළ වැතිරෙමි
හිරුට දහවල දෙමි
දුලන අදුරම වෙමි
එළියේ සැඟවී ගමි

2011- 02- 09

Tuesday 1 February 2011

ජීවිතය අන්තැනක


ජීවිතය අන්තැනකය

එසේවුව ලෙහී විසිරෙයි සිනහව

සඟවා පපුතුර කොනිතිලන

රිදවුම...


නොහැක්කේ මන්ද මට

වසා දමනට

කරදරකාර කරාමය

හැකි සෑම විටකම

කඳුළු වතුරම වගුරන...


පස් මහ බැලූම් නැතිවම

ගුලිකොට දමමි ඉවතට

නූපදින්නයි සිනහව

කඳුඵ ගර්භාෂ ඇතුළත


දන්නා කෙනෙක්

කියා දෙනවද හනිකට

වසාලන්නනේ කෙලෙසද

කඳුළු උතුරා ගලන

ජීවිතේ කරාමය