Monday 11 February 2013

බැචියන්ගෙ බත් ගෙඩි

පුංචිලෑ ගෙදරට ගිහින්  එන්න  ඕනැකම තිබුණත් පහුණු කාලේ එක එක දිගට තිබුණු වැඩ කටයුතුත් එක්ක දවසින් දවස ඒ ගමන අතපහු වෙලා තිබුණා. පහුන ඉරිදාවක තවත් ඥාතීන් පිරිසකුත්  එක්ක අපේ ගෙදර අයත් පුංචිලෑ ගෙදර යන්න දාගත්තා.  අපේ ගෙදර අයට එහෙට එන්න කියල මම සරසවියේ ඉදන් කෙළින්ම පුංචිලෑ ගෙදරට ගියා. කටට රහට විවිධ කෑම හදන අතරේ, ලොකු දූ බත් ටිකක් කමුද? කියල අහපු පුංචි අම්ම මං හා කියන්නත් කලින් බත් බෙදල තිබුණා. රතු කැකුළු බත්, වට්ටක්ක දළු මාළුවක් එක්ක රාත්‍රියට සූදානම් කරපු හතු මාළුවයි, අල කිරි හොදියි පුංචි අම්ම  බත් එකට බෙදල තිබුණා. ඒත් ඒක හදන විදිය පුංචි දැනගෙන හිටියෙත් නෑ . ඇගේ වත්තේ වට්ට්ක්ක වැලක දළු නෙලාගෙන ගිය අසල්වැසි අම්ම කෙනක් තමයි ඒක උයල තිබුනේ.

කොස් ඇටත් එක්ක පොල් පොඩ්ඩක් අඹරල දාල   දාල කොළ පාට රැකෙන්න රසට උයල තිබුණු වට්ටක්ක දළු මාළුව රහ බලන්න උයන විදිය දැනගෙන අනිත්  අයටත් කියන්න ඕනෙ කියල හිතුනෙ ඊයේ පෙරේද දවසක කොළඹ හතේ වැටකත් ලස්සනට දිග ඇදෙන වට්ටක්ක වැලක් දැක්කට පස්සේ. ඉතින් මං ඒ ගැන අහගන්න මගේ පැරණි සරසවි  සඟයෙකුට කතා කලා. අන්තිමට සරසවියේ සහෝදරත්වයේ මතක ගැන ලියන්න ඕනේ කියල මගේ හිත කිව්වා.

අපි හිටියේ කොළඹ සරසවියෙ සුජාතා ජයවර්ධන නේවාසිකාගාරේ නව ගොඩනැගිල්ලේ,  ඒකෙ තට්ටු හතරක  කාමර හතලිස් හතරක එක කාමරේක හය දෙනා බැගින් හැට දෙසිය හැට ගානක් ළමයි හිටියා. ලංකාවේ හතී කොණ ඉදල එන කට්ටිය. මහව, ආණමඩුව, පුත්තලම, අනුරාධපුරය, අම්පාර, බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑළිය, ගාල්ල මාතර, බෙලිඅත්ත.  අක්කරේපත්තුව, යාපනය තිරිකුණාමලය  වගේ රටේ නන් දෙසින් ආපු සිංහල දෙමල මුස්ලිම් ළමයි, නීතිය කළමණාකරණය, විද්‍යාව, කලාව හදාරන ළමයි, දුවන පනින, පීනන ක්‍රීඩා කරන ළමයි, ලියන කියවන ළමයි,  මේ හැමෝම අපේ නේවාසිකාගාරෙ හිටියා. පේරාදෙණිය තරම් සොභාවික සුන්දරත්වය අතින් අනූන තැනක් නොවූවත්, සෑම සරසවි නේවාසිකාගාරයක්ම විවිධ මත ගැටෙන, සංස්කෘතීන් මුණගැහෙන, නව සබදකම් තරවෙන සොඳුරු නවාතැන්  පලක් කියලයි මට හිතෙන්නේ. ඒක පේරාදෙණියට වැඩිය රුහුණ හොදයි, ඊට වඩා කොළඹ හොදයි වගේ ජනප්‍රිය කතිකාවෙන් එහාට ගිය දෙයක්.

කොහොමත් ඉතින් සරසවිය කියන්නෙ අපි අපේ ජීවිතේ බොහෝ දේවල් බෙදා ගත්ත තැනක්නේ. උපාධි සහතිකය විතරක් නොවෙයි, ජීවිතය, ආදරය, සහයෝගය වගේ තවත් බොහෝ දේවල් අපි ඉන් ඉගෙන ගත්තා. වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයක් වුණු අපේ මේ පුංචි රටේ හැම බිම් අඟලකටම යන්න බැරි වුණත් රටේ හතර කොනෙන් ආපු සහෝදර බැම්ම අපිව එකට එකතු කරා.


සමහර විට නමවත් අහල නැති. එහෙම නැත්නම් නම විතරක් අහල තිබුණු කෑමක රස බලන්න අපට අවස්ථාව සැලසුනේ සරසවි නේවාසිකාගාරෙදි විතරමයි.  කොල්ලු ආනම, අල කොළ ඇඹුල, ඕලු දඩු මැල්ලුම, තැල් කොල ඇඹුල අපි රහ බැලුවෙ අපේ සරසවි සඟයන්නෙ බත් ගෙඩියෙන්.  හැම සතිඅන්තයේම නැතත් හුඟ වෙලාවට මාසෙකට වරක් වත්  සිකුරාදා හවස කෝච්චියෙන් හරි බස් එකේ හරි ගෙදර යන ළමයි  ඉරිද හවස හය වෙන්න කලින් නේවාසිකාගාරයට එන්න උත්සාහ කරනවා.

ඉතිං හැම කාමරේකටම හැම සති අන්තයේම කවුරුහරි ගෙදර  ගිහින් එනවා. කාමරේ හැමෝටම බඩ පිරෙන්න නැතත් හිත පිරෙන්න  තියෙන  විදියට කන්න යමක් හොයල හදල එවන්න බොහෝ විට ජීවිතේ කවමදාවත් අපිට මුණ නොගැහෙන අපි නොදන්න අපේ යෙහෙලියන්ගෙ අම්මල අමතක කරන්නෙ නෑ. ඒක බත් ගෙඩියක්, රටකජු මුලක්, අඹ, දිවුල් මල්ලක් වෙන්න පුළුවන්.

දිවුල් සම්බෝලේ මම  පළවෙනි වතාවට රස බැලුවෙ චුටි බබා ගෙන්. මහව ඉදල සරසවි ආ ඇය පහුණු කාලෙ මොරවැව පාසලේ ඉගැන්නුවා. අද කොහේද දන්නෙ නෑ. ආණමඩුවෙ මල්පානව චන්දිලගෙ ගෙදර වත්ත පුරාම කරඹ තියෙනවා. අහල පහල පුංචි වැව් දියේ ඕන හැටිය ඕලු තියෙනවා. ඔලු දඩු ( ඕලු කොළ සහ මල්වල නැටි)  කඩල කොහිල දල්ලෙ නූල අරිනව වගේ පිට පොත්ත ඇරල, හීන් වෙන්න ලියල ලුණු දියේ දාල  මිරිකල පොලුයි, රතුලූණුයි එක්කර හදන සමබෝලෙ මතක් වෙනකොට දැනුත් බත් පිගානක් කන්න හිතෙනවා. චන්දිගෙ අම්ම බත් හැළිය ළිපෙන් බාපු ගමන්, ඇතුල් බතකට බත් එක බෙදනව විගහට නිවෙන්න. ඊට පසුවයි ඇය දරුවන්ට බත් බෙදන්නේ.

ඇඹිලිපිටියේ සුරංගි, දැන් කොහේහරි උසාවියක නීතිඥවරියක් වෙන්න ඕනෙ. ඇගේ බත් ගෙඩියෙ නොවරදින කෑම අලකොළ ඇඹුල,  ඇය කියා දුන් විදියට අල කොළ ඇඹුල හදන්නෙ වෙල් අල කොල (හබරල ගොබ ) දිගහැරෙන්ට කලින් නෙලාගෙන දවසක් පවනෙ තියෙන්නට හැරල අරගෙන. මුලින් අල කොළ හොදින් සෝදල  දිග ඇරල සත්තු ඉන්නවද බලල එක මිටට ගැට ගහල පැහුණු උණුවතුරට දාල අරගෙන තරමක කෑලි වලට කපා ගෙන පැත්තකින් තියා ගන්නවා.

ඇඹුල ඒදන හට්ටියට අරගෙන  උකු මිටිකිරි එක්ක, මිරිස් කුඩුකහතුනපහඋළුහාල්කරපිංචාරම්පෙලුණු රතු ළූණුගොරකාසුදුළූණු ඔක්කොම එකතු කරල හොද්ද ලිප තියල එය උතුරාගෙන එන විට කපාගත් අල කොළ එකතු කරනවා. මදගින්නේ තරමක් වෙලා උයා ළිපෙන් බා ගත් පසු හොද්දට දැමූ ගොරකා කෑල්ල අයින් කරන්නත් මතක තියා ගන්න ඕනෙ. තවත් වැඩි රහක් ඕනේනම් කරපිංචා කොළයක් අබ ස්වල්පයක් එක්කාසු කරල තෙම්පරාදු කරගන්නත් පුළුවන්.

මේ අතීත මතක ලිව්වෙ වට්ට්ක්ක දළුවක් නිසානේ.  ඒක හදන විදියත් ලියා තියන්නම්. අපි මාළුව කිවිවට පැරනි ගමේ ඇත්තො වට්ටක්කා දළු මාළුවට කීවේ නියඹලාව කියලලු, සිනිදුවට පොල්අඹරල හදන එළවළු වලට ගම්තුලානෙ ඇත්තො කියන්නෙ එහෙමලු, මෙන්න හදන විදිය.

වට්ටක්කා දළු හරියෙන් වෙන්න කරටි ටිකක් අවශ්‍යයි, මෝදුවෙන දල්ලක් එක්ක ළපටි දළු දෙකක්  විතර හිටින්න කඩා ගත් වට්ටක්කා කරටි හොදින් සෝදා,  දියබේරුනාට පසු රේණු කෙදි හැර  දඬු වල බූව පිහියකින් යන්තමට අයින් කර  තරමක ලොකු කැබලි හිටින්න කපාගන්න ඕනේ. තලාගත් කොස් ඇට ටිකකුත් මේකට එකතු කරගන්න පුළුවන්නම් පංකාදු පහයි. මැටි  හට්ටියකට වට්ටක්ක දළුයි කොස් ඇටයි , අමු මිරිස්, රතු ලූණු අවශ්‍ය පමණත් රම්පෙ කරපිංචා එක්කර ඒකටම ලුණු, කහ , තුනහප, උම්බලකඩ එකතු කරගන්න ඕනේ.  මේ සියල්ල දියකිරි සවල්පයක් එක්කර වැහුම් ඇර මදගින්නේ උයාගන්න අවශ්‍යයි. පොල් කිරි මිරිකා ගැනීමට පෙර අඹරා ගැනීම සඳහා පොල් මිටක් මෙන්ම මිටිකිරි ද පසෙකින්  තබාගත යුතුයි. අවසානයට ගම්මිරිස්  ඇට ස්වල්පයක්, සුදු ලූණු බික් දෙකක් තුනක්, අබ ටිකක්, කුරුඳු කෑල්ලක් සහ හෝදලා ගත්තු හාල් මිටක් සමඟ සිනිදු වට ගුලියක් සේ අඹරාගත් පොල් යොදා මිශ්‍රණය කලින් වෙන් කල මිටිකිරි සමඟ එක්කර ලිපේ ඇති වට්ටක්කා දළු මාළුව ඉදී ගෙන එද්දී එයට එක්කරගත යුතුයි. මතක තියාගත යුතු වැදගත්ම දේ වට්ටක්ක දළු මාළුව වැහුම් ඇර කොළපාට රැකෙන සේ උයා ගැනීමයි.

Friday 1 February 2013

ප්‍රතිචාර

http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2013/02/01&id=2013/02/01/b13020111
තුන්කාලේ නෝනා

ටොම්සන් මහත්තයා අහස දිහා බලා ගෙන හිටියේ ඈත ඉඳන් පියාඹා ගෙන එන කුරුල්ලෙක් දිහා ය. කුරුල්ලෙක් ද කිරිල්ලියක් ද කියලා කියන්ඩත් බෑ. මෙන්න බොලේ අහසේ ඉඳන් ආපු මොකා හරි ටොම්සන් මහත්තයා ළඟට පාත් වෙච්චි ගමන් මැවුණේ ගෑනු පරාණයක්. ඇඳ ගෙන හිටියේ තුන් කාලකුයි, ටී ෂර්ට් එකකුයි.
මේ ටොම්සන් මහත්තයා වෙන්ඩ ඇති... මං ආවේ විශ්වවිද්‍යාලේ පැත්තේ ඉඳලා...
ඉතින් මොකද අප්පේ මේ කලබලේ.. ටිකක් හති ඇර ගන්ඩකෝ..
‘... හති තමයි... මං ගියා විශ්වවිද්‍යාලෙකට...
‘... කොහෙද? ’
කොහෙද කියන්නේ.. මේ ලංකාවේම තමයි....
‘... මේ විදිහට ඇඳ ගෙන ද ගියේ?’
‘... ඔව්, මේ තුන්කාල තමයි ඇඳ ගෙන ගියේ... ඇයි මොකද? නරකද? අපි මේ ඉන්නේ පශ්චාත් නූතනවාදී යුගයේ... මේ විශ්වවිද්‍යාලවල තවමත් තියෙන්නේ අවිද්‍යාව නේ... නැතිනම් තුන්කාල ඇන්දා කියලා අපිව එලවා ගනීවියැ...
‘... අනේ නෝනා... හරියට කියන්ඩකෝ ඉතින් මාව හම්බ වෙන්ඩ ආවේ ඇයි කියලා..
‘... මං ආවේ මේ විශ්වවිද්‍යාල පාලනය කරන ලොක්කට විරුද්ධව පෙත්සමක් ගහන්ඩ...
කාටද?'
මං දන්නේ නෑ කාටද කියලා... මේ නවීන කාලේ, පශ්චාත් නූතන කාලේ විශ්වවිද්‍යාලෙට තුන්කාල ඇඳ ගෙන ගියා කියලා එහෙම අපිව එලවන්න පුළුවන්ද? කෝ කාන්තා අයිතිවාසිකම්... ?’
‘... මං හිතෙන්නේ නෝනා.. මේකේ වැරැද්ද තුන්කාල ඇඳපු එකයි.. මං හිතන්නේ ඔය විශ්වවිද්‍යාලේ අනුමත ඇඳුම තුන්කාලේ කලිසම නෙවෙයි.. කාලේ කලිසම... එතකොට නේ මේක පශ්චාත් නූතන වාදයට අයිති වෙන්නේ...
මට නම් ලැජ්ජයි ටොම්සන් මහත්තයා, මේ ලංකාවේ තවමත් මෙහෙම මිනිස්සු ඉන්න එක ගැන.. දැන් බලන්ඩකෝ... එංගලන්තේ, එක ඡායාරූප ශිල්පියෙක් ආරාධනා කෙරුවා මිනිස්සුන්ට ගෑනුන්ට ලෝකේ ලොකු ම නිරුවත් පින්තූරය ගන්ඩ එන්ඩ කියලා.. ආවානේ දහස් ගණනින් ගෑනු මිනිස්සු නිරුවතින්... අන්න නියම සමාජය...
ඒක හරි නෝනා... ඉතින් නෝනත් එහෙම යන්ඩකෝ.. එතකොට කවුරුවත් එලවන එකක් නෑ...
ටොම්සන් මහත්තයා මට කොචොක් කරනවද? නැත්නම් ඇත්තටම ද එහෙම කියන්නේ..
‘.. මං මොකට ද කොචොක් කරන්නේ නෝනා.. මේ ලෝකේ මිනිස්සුන්ට ගෑනුන්ට සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවානේ.. ඔය පශ්චාත් නූතන වාදයට කර ගහ ගෙන ඔක්කොම කණපිට කියලා හිතුවාට, මේ සමාජය තවමත් එහෙම කණපිට ගැහිලා නෑ.. දැන් බලන්ඩ... නෝනා හිතනවා ඔය තුන්කාල තමයි හොඳම ඇඳුම කියලා.. අම්මලත් තුන්කාලේ අම්මලා.. ළමයි අතින් අල්ලා ගෙන ඉස්කෝලේ එක්ක යනවා..
‘.. අන්න බලන්ඩ.. ඉස්කෝලෙට තුන්කාල හොඳයි.. විශ්වවිද්‍යාලෙට හොඳ නෑ..
‘.. ඔව්, ඒක හින්දනේ ඉස්කෝලවල දැන් බෝඩ් ගහලා තියෙන්නේ මේ පුදබිමට පැමිණෙන විට සංවර ඇඳුමක් ඇඳ ගෙන එන්න කියලා.. මොකද එහෙම බෝඩ් ගහන්නේ? ඉස්සර තිබුණ ද එහෙම බෝඩ්..? ඒ කාලේ අම්මලා තාත්තලා දැන ගෙන හිටියා, තැනට ගැළපෙන විදිහට අඳින්නේ කොහොමද? තැනට ගැළපෙන විදිහට හැසිරෙන්නේ කොහොමද කියලා... දැන් ඉන්න ගෑනුන්ට තමන්ගේ ශරීරය ගැනවත් ගෞරවයක් නෑනේ.. තුන්කාල ඇඳ ගෙන පාර දිගේ ඇවිදින කොට ශරීරයේ හැටි කොහොම ද අනික් අයට පේන්නේ කියලා දන්නවද? හරියට මස් කඬේට අරන් යන මස් පරුවතයක් වගේ.. ඒක තමයි අද මෝස්තරේ. කොහෙන් හරි පිටරටකින් ආවා නම් ආයේ මොනවද?,
‘... ටොම්සන් මහත්තයටත් අමු කැවිලා වගේ.. මං ආපු ගමනින් වැඩක් නෑ වගේ...
‘... මට ඉස්සෙල්ලා නෝනා අමු කාලා වගේ.. නැතිනම් මේ වගේ මස්තබාල්දු ඇඳුමක් සංවරශීලී ඇඳුමක් කියලා හිතන්නේ නෑනේ...
‘... අනේ යන්ඩ ටොම්සන් මහත්තයා.. ටොම්සන් මහත්තයාටත් තියෙන්නේ අපි ලස්සනට ඉන්නවාට. ඉරිසියාව.. මං යන්ඩ ඕනෑ.. පශ්චාත් නූතනවාදී සමාජයක් තියෙන රටකට... එතකොට මේ වගේ ප්‍රශ්න මොකක් වත් ඇති වෙන්නේ නෑ...
එහෙම නෙවෙයි නෝනා... ඉස්සෙල්ලම ගිහින් කණ්ණාඩියෙන් හරියට බලන්ඩ තමන් කවුද කියලා..? ඊට පස්සේ කල්පනා කරන්ඩ තමන් ඉන්න සමාජය මොකක්ද කියලා.. මේක නිකම් යල් පැන ගිය සමාජයක් තමයි... ඒ වුණාට ඒක විනාශ කරන්ඩ එපා... ඒක යල් පැන ගිය හැටියට ම එහෙමම තිබුණාවේ... නෝනා යන්ඩ අර නිරුවත් පින්තූර ගන්ඩ නිරුවතින් යන්න පුළුවන් රටකට... එතකොට හරි...
‘... එතකොට කියන්නේ මේ තුන්කාලේ කලිසම හොඳ නෑ අපිට....
‘... හොඳ ඇති. ඒකනේ අඳින්නේ... තමන් කැමති නම් පාරෙ තොටේ අලෙවි භාණ්ඩයක් වෙන්ඩ... එහෙම ඇඳ ගෙන යන්ඩ.. විශ්වවිද්‍යාලවල විතරක් නෙවෙයි. ජාතික අධ්‍යාපන ආයතනයෙත් ගේට්ටුවෙන් ඇතුළු වෙන්ඩ දෙන්නේ නෑ තුන් කාල ඇඳ ගෙන ආවොත්... අද ඒ විදිහට ඇඳුම්වලට නීති දාන්න සිද්ද වෙලා තියෙන්නේ ඇයි.? නෝනලා වගේ පශ්චාත් නූතනවාදී යුගයේ අයගේ පශ්චාත් භාගය නිසා..
ටොම්සන් මහත්තයා දිහා රවා ගෙන බලා හිටපු නෝනා ආයෙත් කිරිල්ලියක් වගේ අහසේ පියාඹා ගෙන ගියා..
‘.. මං හිතන්නේ පශ්චාත් නූතන වාදී රටක් හොයා ගෙන යනවා වෙන්ඩැති..කියා ටොම්සන් මහත්තයා සැනසුම් සුසුමක් හෙළුවා ය.
බන්දුල පී දයාරත්න
bandulapdaya@hotmail.com