Friday, 1 March 2013

සොබාදමේ දරුවෝ

( සේයා රූ- අමල්ක අමරසිංහ )
මගේ තුන්මැසි දියණියගේ
රසවත් සිහිනය දිගේ
සිනහ කුමරි නටන කලට
දිටිමි සියලු රූ ඇගේ

සිරිමා ලේකම්ගේ ගුරුතුමිය සිංහල පාඩම අවසන් කරමින් සිටින්නී ය. පාඩම ඈට වසඟ නොවනු කවුරුද? ” පද්‍ය පංතියයි. ශ්‍රී චන්ද්‍රරත්ත මානවසිංහ ශූරීන්ගේ ඒ අති රමණිය පද සංකල්පනාව සිංහල පෙළ පොත සඳහා කවුරුන් විසින් තෝරා ගන්නා ලද්දක්දැයි කිව නොහැකි නමුත් කුඩා අපි ඊට වසඟ වී අහවර ය. පාඩම අවසානයේ ඇගයීම් අභ්‍යාස කිහිපයකි. සිලිලාර යනු කුමක්ද, මගේ නංගී ගැන පැදි පෙළක් ලියන්න ආදී වශයෙනි.
ජීවිතයේ පළමු වරට කවි පංතියක් ලීවීම! එය කෙතරම් අසීරු අභ්‍යාසයක් ද? කෙතරම් නම් අපූරු අභ්‍යාසයක් ද? වහා පොත දිග හරිමි. නොසැලකිල්ලක මහත, අභ්‍යාස පොතේ අවසාන පිටුව ද අහවරව තිබිණ. මිතුරියකගෙන් කොළයක් ඉල්ලා සිටිමි. තනිරූල් පොතේ මැදි පිටුවෙන් ගලවාගත් කොළ දෙකක් ඈ මා අත තබයි. ඉතින් මා ලියන්ට උත්සාහ කරමි. පංතියේ දක්ෂයන් කරබාගෙන අනෙකාට පෙනෙතැයි සඟවා ගෙන කවි පබදියි.

මමද කවක් පබදන්නට උත්සාහ කරමි. ණයට ඉල්ලාගත් කොළ දෙකෙන් එකක් කවි කුරුටුවලින් නාස්තිව අහවර ව තිබේ. ළමයින් පෙළ සැදී ලියු කවි රැගෙන ගුරු මේසය අසළ ය. මගේ නංගී... මම තාමත් ඇය ගැන සිතමි. ඇගේ සිඟිති දඟකාරකම් මටත් හොරා කොළයේ සටහන් වෙයි.. අවසන මම කවක්යැයි නොදන්නා සටහන් කොළයක් පිටු ඉවර වූ සිංහල අභ්‍යාස පොතේ අවසන් පිටුවට එක්කර ගුරු මේසය අසලට යමි.
කුමකින් කුමක්වේදැයි සිත දෙගිඩියාවෙනි. අලංකාර පිටකවරින් හැඩවු පොත් ගත් දෑත් අතර කවියක් ලියූ කොළයක් රැගත් දෑතක්, ඒ එසේ වුව ජීවිතයේ මුල් වරට ලියූ කව ගුරුතුමීට නොපෙන්වා සිටීමට ද නොහැකිය.

ටීචර් පොත ඉවරයි, හෙට අලුත් පොතක් ගේන්නම්පැනයක් අසන්නටත් කලින් උත්තර බැදගෙනම මා ඇය අසළ ය. කාරුණික සිනහවකින් මුව සරසාගත් ඇය ඉහේ සිට පාදය තෙක් විමසුම් ඇසකින් මදෙස බලා සිටී. මේක ලිව්වේ ඔයාද?” “ඔව් ටීචර්” “පොතකින් පත්තරේකින් බලල මතක තියාගත්ත කවියක් ද?” “නෑ ටීචර් මං මයි ලිව්වෙ, මගේ නංගි ගැනයි මම ලිව්වේ” “එහෙමද? හොඳයි... ළමයි මෙන්න අහගන්න... දයානන්ද ලියපු කවි පංතිය.. පංතිය මීයට පිම්බාසේ නිහඬ ය. මෙතෙක් කලක් පංතියේ සිටීදැයි නොදැන සිටි දරුවෙකුගේ නිර්මාණාත්මක උපත එදවස එසේ පන්නිපිටිය ධර්මපාල විදු පියසේ අරලිය ගස් පාමුල පංති කාමරයක දී සිදුවිණි.

අම්මගෙ සාරියක් ඇදන්
බෝනික්කගෙ ගුරුතුමී වී
ගෙදරට සිරියාව ගෙනෙන
මගේ නංගියා

මගේ පොඩි මල් පාත්තියේ
පිපෙන පිපෙන මල් කඩමින්
අම්මාගෙන් බැනුම් අසන
මගේ නංගියා

පුංචිදේට තරහ වෙලා
පොඩි ඇස්වල කඳුළු පෙරා
අයියගෙ තුරුලටම දුවන
මගේ නංගියා

කාගෙත් ආදරය ලබා
ගෙදරට හිරු එළිය වෙලා
හැමදාමත් හිනාවෙන්න
මගේ නංගියා....

ඒ සියල්ල අතීතයේ තබා වර්තමානයට පැමිණෙමි. සරසවිය හා එහි සිසු සිසුවියන් පිළිබඳ මෑත සති අන්තයක සරසවි ආචාර්යවරයෙක් හා අප අතර ඇතිවූ කතාබහකට යොමුවෙමි. සරසවිය දැන් දැනුම සොයායන තැනක්වත්, දැනුම උත්පාදනය වන තැනක් වත් නොවෙයි. දැන් ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඕනෙ, යමක් අහල ඒක නැවත ඒ විදියට වමාරල විභාගෙ පාස් වෙන්න විතරයි. සංවාද කරන්න, සාකච්ඡා කරන්න මතවාද ගොඩනඟන්න ඔවුන්ට උවමනාවක් නෑ. එහෙම දේකට අවශ්‍ය ශාරීරික මානසික සමබරතාවය අලුත් පරම්පරාවෙන් ගිලිහිලා ගිහිල්ලා. ළමයින්ට අවශ්‍ය උපාධිය පාස්කරල රජයේ රැකියාවක් කරන්න විතරයි.

එය එසේ වුයේ ඇයිදැයි විමසමි. දරුවන් පවුලෙන් ඈත ය. අම්මලා දරුවන්ගෙන් බොහෝ ඈත්ව සිටිති. ගුරුවරුන් පරිකල්පනයෙන් ඈත ය. එවන් පරිසරයක ගොඩනැ‍ඟෙන දරුවන් පිළිබඳ ව වගකිව යුත්තේ, වගවිය යුත්තේත් අප අපම ය. පළමුව අම්මා සහ පවුල වෙතිනුත් දෙවනුව පාසල් මවුන් වෙතිනුත් සංවේදී සන්වේදනාව, හෘදය සංවේදී ක්ෂිර දහරාවක්ව දරුවන් වෙත ගලා යුතු ය. ගුරු දෙගුරුන් පරිකල්පනයෙන්, සන්නිවේදනයෙන් ඈත්වූ කල, තමා අවටැති දේ පමණක් දන්නා යාන්ත්‍රික මිනිසකු බිහිවීම වැළැක්විය නොහැක්කකි.

අපි සොබාදමේ දරුවන් වූයෙමු. වෙලේ දුවන පනින, ගස් ගද ගහන, මඩ නාන, හිතුවක්කාරකම්වලට කෝටු පාර වැදුණු දරුවන් වූයෙමු. ජීවිතයේ පාර අසාගෙන, පාර සොයාගෙන යන දරුවන් වූයෙමු. තෙත හිත, ඉගෙනීමේ අසාව, සොයා බැලීමේ කුතුහලය ඇත්තෝ වුයෙමු.

අපි සොබාදමේ දරුවන් තැනිය යුතු වෙමු. පොත පතට පෙම්බදින්නෝ විය යුතු වෙමු. දරුවන්ට ආදරය කරන්නෝ වෙමු. ඒ වර්තමානයේත් අනාගතයේත් අප වගකීමයි. රටක අනාගත දැයේ දරු මුණුපුරන් වේ නම් ඔවුන් යහගුණයෙන්,සෙනෙහසින් හෘදය සංවේදී කිරිමේ යුතුකම හා වගකීම ආදරණිය අම්මේ තාත්තේ ඔබ මා සතු වගවීමයි.

ඉතින් මේ සටහන මෙසේ අකුරු කරන්නට යෙදෙන  දවස මට සුවිශේෂ වේ. උපන්දා සිට මෙතෙක් අතීතයට එක්වූ දිවියේ ස්වර්ණමය මතකයන් කැටි කළ එක් රිදී ජුබිලියක් පසුගියදා යෙදී තිබිණි. මතක මංපෙත දිගේ ඇවිද යමි. පන්නිපිටිය ධර්මපාලය, එසේ නැතහොත් කුඩා කල මගේ සිහින පාසල , මගේම පාසල වී පසුගිය පෙබරවාරී පහලොස් වනදාට වසර විසි පහක් සැපිරිණි. ජීවීතෙන් හරි අඩක දුර ආපසු හැරී බලමි. සැබවින්ම ධර්මපාලය පරිකල්පනයේ තෝතැන්නක් වුයේ ළමා මනස පරිකල්පනයෙන් පුබුදු කළ, දරුවන්ට ආදරය කළ, ජීවිතය කියාදුන් ගුරු මවුපියවරුන් එහි නිවැසියන් වූ නිසාය.

1 comment:

තිස්ස දොඩන්ගොඩ said...

ෂහ් කොපම්ණ ලස්සන සිතුවිළිද?
"සොබාදමේ දරුවෝ"
ජය!