Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Friday, 11 February 2011

කටු සටහන් -01

උපන්දා සිට මියෙන තුරාවට දිනෙන් දින මොහොතින් මොහොත අලූත්වන ජීවිත සටහන් පොතේ කටු ගෑ යළි යළිදු ලියු බොහෝ සටහන් මා මනසේ චි‍්‍රතණය වෙයි. ඉනිදු බොහොමයක් කාලය විසින් ගිලගෙන මතකයෙන් ඈත්කර තැබූවද, දුළන අදුරෙහි පිපෙන සිහිනි තරු කනිණිකා සේ ක්ෂණයකින් ජීවය ලබා නැවත උපදී...

විටක සිනහව ද, තවත් විටෙක කඳුළ ද, සතුටද, වේදනාවද දැවටුන මේ කටු සටහන් අකුරු ලෙස අස්වැද්දීමේ වුවමණාවක් මෑතක සිට මා තුළ පැන නගින්නේ සියල්ල කෙරන් නිදහස් වීමේ, සැහැල්ලූවීමේ වුවමණාව විසින් මා වෙත ඇති කරනු ලැබූ තෙරපීම නිසාද විය හැකියි. කෙසේ වුව ජීවිතේ බොහෝ දේ අභිමුව මහාමේරුව සේ ජීවිතය දරාගනිමියි මට ම සපථකොට සිටි මා වෙත ඵළඹ, බොහෝ අසීරු අවස්ථාවන් වලදී මා දරාගත් ආදරණීයයෙකු ‘‘මම පුංචි ගිනි පුපුරක් වෙද්දි, ඔයා මහා සීතල හිම කන්දක් වෙලා,’’ යැයි පැවසීම මහා මේරුව ජීවිතය හා ග්ලැෂියර ගැන නැවත සිතීමටත් ජීවිතය මා තුළම අලූතින් කුරුටු ගෑමටත් ඇතිකල අති මහත් පෙළඹවීම සෙනහසින් සිහිපත් කරමි.

කටු සටහන්



‘‘තිබිරිගෙය නොවේ ඇරඹුම, සුසානය නොවේ අවසන, ජීවිතය දිගු ගමනක නවාතැන්පොළක් පමණය. මහගම සේකර.” නොමියෙමි.

සැබෑවකි. ජීවියෙකුලෙස, මනුෂ්‍යයකු ලෙස මගේ උපත මා විසින් කරන ලද පූර්ව සුදානමක් තූළ සිදුවූ පිළිසිඳගැනීමක් නිසා සිදුවූවක් නොවේය යනු මගේ අදහසයි. එසේ වුව මනුෂ්‍ය‍යෙකු ලෙස ජීවිතය වැළද ගැනීමට, අතැරයාමට, මඟ හැරයාමට හෝ පලායෑමට මට හැකියාවක් තිබේ. කෙසේවුව ද මා විසින් ගනු ලබන සෑම තීරණයක්ම මගේ හෘද සාක්ෂියට එකඟ විය යුතු යැයි, මගේ ඇතුලාන්තය මට නිරන්තරව හඬගා කියයි.

ජීවිතය, එය කිසි විටකත් මල් පියලි ඇතිරූ සිනිදු සුව යහනක සුවය මවෙතට ළංකල හත්පෙති මල් පෙත්තක් නොවූවද ඒ ගැන දුකක් හෝ තැවුලක් අදටත් මට නොවේ. එදවස ද ලෝකයත් තරමටම ආදරයට ලොබබැදි දැරියක ලෙස ඇය පෙරලා බලාපොරොත්තුවුයේ කෙහෙරැල්ලක දැවටෙන ඇගිලිතුඩක සුවයකි, ආදරණීය ඇමතුමකි, උණුසුම් උකුලක සුවයකි. ඇයගේම වූ හීන අතර සැරිසරන, තනිව සිනහසෙන, තනිව කතාකරන තනිව හඬන ඒ ළදැරිය ඇගේම සිහිනවල තනිව කිමිදෙන්නට ‍්‍රපිය කරන්නියකි,



අදටත් ඉදහිට අතීතයෙන් වර්තමානයට පැමිණ මා මුහුණට එබිකම් පාන ආදරයට ලොබ බැදි ඒ දූගී සිගිත්තිය ගේ පළමු සිහින නගරය වූයේ, චීන මහා පරාප කාරය බඳු උස් තාප්පයකින් වටව තිබූ ඔරුවල වානේ කම්හලයි. වෙල ඉස්මත්තට දිස්වන විශාල යන්ත්‍රෝපකරන, ගොඩනැගිලි, නිරන්තරව අහසට දුම් පිබින උස් චිමිනය හා මුළු කොළඹ නගරයම මැනෙවින් පෙනෙන්නේ යයි පවසන අහසට නැගිය හැකි විවෘත පඩිපෙල සහිත නමක් නැති ගොඩනැගිල්ලට නැගීමේ සිහිනය බොදකර දැමු ගැහැනුකමට එරෙහිව යාමට හැකියාවක් එදවස ඇයට නොවුණි.

කෙසේ වුව තමන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයැයි, අරගල කල යුතුයැයි ඇය උගත්තේ ඒ සිහින නගරය ඇසුරෙනි. දහවල එකොලහටත් සවස තුනටත් නැවත රාත්‍රී එකොලහටත් ගම සිසාරා ඇසෙන කම්හලේ නලා නාදය ඇගේ කුඩා හදවත තුළ සිහින් දෙදරුමක් ඇති නොකෙරුවා නොවේ. අයියාටත් මල්ලීටත් පුතාල වීම නිසාම හිමිවූ පුංචි ගේට්ටුවෙන් ඇතුළට පිවිසීමේ වරය දුවක වීම නිසාම ගිලිහීයාමත්, පියා පසුපස එල්ලී ගොස් එහි ඇතුළු වීමේ වරය ලබාගැණීම උදෙසා වන බෙරිහන්දී හඩාවැටීමට එරෙහිව අම්මාගේ අතපුරා වදින කම්මුල් පහරවල වේදනාවත්, හිතුවක්කාරී දඩබ්බර එකියෙකැයි යන ලෝක අපවාදයේ මතකයත් තවමත් ඇය හා රැදී සිටී.

Wednesday, 9 February 2011

දිදුළන අන්ධකාරය





සිහිනයක මල් පිපී
රා‍්‍රතිය ඇස් හරී
තරු කිනිති පරවෙලා
මඟ සොයන්නට බැරි
කනාමැදිරියො නැතී
අන්ධකාරය දිදුළයි

මඟ කියනු කිසිවෙක් නැතී
මඟ අසන්නට රිසිනැතී
දිදුළන අන්ධකාරය
වැයෙනා හද ස්වරයයි

කළුවරට පෙම්බැදී
මල් සුවද විදගමි
සිහිනයක කිමිදෙනා
කොපුළතක දවටමි

අදුර තූළ වැතිරෙමි
හිරුට දහවල දෙමි
දුලන අදුරම වෙමි
එළියේ සැඟවී ගමි

2011- 02- 09

Tuesday, 1 February 2011

ජීවිතය අන්තැනක


ජීවිතය අන්තැනකය

එසේවුව ලෙහී විසිරෙයි සිනහව

සඟවා පපුතුර කොනිතිලන

රිදවුම...


නොහැක්කේ මන්ද මට

වසා දමනට

කරදරකාර කරාමය

හැකි සෑම විටකම

කඳුළු වතුරම වගුරන...


පස් මහ බැලූම් නැතිවම

ගුලිකොට දමමි ඉවතට

නූපදින්නයි සිනහව

කඳුඵ ගර්භාෂ ඇතුළත


දන්නා කෙනෙක්

කියා දෙනවද හනිකට

වසාලන්නනේ කෙලෙසද

කඳුළු උතුරා ගලන

ජීවිතේ කරාමය