Sunday, 31 March 2013


සංග මාම මාව බලන්න ආව

සියල්ල අවසන මාස හතරකට පසුව නිම්තක මනුල් ජයවික්‍රම නම් ශාන්ත පීතර විද්‍යාල යේ වයස අවුරුදු 15 න් පහල  ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නා සිය කුමර දිවියට සමුදී තිබිණි.  පසුගිය බ්‍රහස්පතින්දා සවස බොරැල්ල  පොදු සුසාන භූමියේ දී නාම මාත්‍රය අප අතර ඉතිරි කර ගිය ඒ සිඟිති පුතුට සැනසීම පතමු.




Friday, 29 March 2013

නිරුවත් සිතිවිලි


http://www.dinamina.lk/baddaramalla/2013/03/26/lihini.jpg
Add caption

මිනිස්සු අමනුස්සකම් හංගගෙන ඉන්නෙ, දරාගෙන ඉන්නෙ කොච්චර අමාරුවෙන් ද කියල දැනෙන්නෙ පාරට බැස්සහම. මේක තවත් එක කාන්තාවකගේ දෘෂ්ටියක් විතරක් වෙන්නත් පුළුවන්, ඒ වුණත් අනේ මන්දා පිරිමියෙක් දැක්කහම ගැහැනුන්ගෙ හිතිවිලිත් කුපිත වෙනවද කියලා. මේ කතා මෙහෙම කියන්න ලැඡ්ඡා බය ගෑවිලාවත් නැත්ද කියල අහන අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් කියන්න තියෙන දේ නොකියා හිටින්න බැරි තරමටම අපේ සමාජයේ මනුස්සකම පිරී ඉතිරී තියෙන හින්ද මේ කතා කියන්නම වෙනවා.
අපි වැඩට යන්න එන්න බස් එක තෝර ගන්නෙ ඒ සඳහා වෙන විකල්පයක් නැති හින්දා, අපි සල්ලි ගෙවුවත් අනුන්ගෙ බස්නෙ, ඉතින් හෙට යන්න තියෙන ගමනක් අද යනවයි කියල හිත හදාගෙනමයි බස් නැවතුමට යන්නෙත්.
බස් නැවතුමට යනකම් එනකම් මඟ දිගට මුණ ගැහෙන සමහරක් පිරිමි පරාණ බලාගෙන ඉන්නෙ කොයි වෙලේද ගෑනියෙක්ගෙ රෙද්ද වචනවලින් ගලවන්නෙ කියලා. කෑලි, බඩු , අයිටම්, පාර, මල් තව එක එක ජාති, ඒ විතරක් නම් මදෑ නෑදැකම්,අක්කෙ, නංගියෙ, තව සමහර වෙලාවට පාරක් තොටක් අහන්නත් එනවා.
ඊළගට බස් නැවතුම. කෙල්ලෙක් හරි ගෑනියෙන් හරි තනියම නම් ඉන්නෙ. පාරෙ යන ත්‍රී‍වීලර් මෝටර් සයිකල්, කාර් වෑන් ඔය ඔක්කොම වාහනවල නළාව නාද වෙනවා. මට තේරෙන්නෙ නැහැ මොකක් ද ඒ අය වළක්වා ගන්න හදන අනතුර කියල. ඒ අතර බොහොම ආදරණිය ඇමතුම් හෙමත් නැතිවා නොවෙයි. එන්න, යන්න, ආතල් ගන්න කතන්දර ගොඩයි. මම මේ කියන කතාව ගමට විතරක් නෙවෙයි කොළඹටත් එක වගේම අදාළයි.

මම මේ කතාව මෙහෙම කියනකොට සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේ කියන දේ ඇත්තමද කියල? කොහෙද ඉතින් ගෑනු යන්නෙ එන්නෙ පිරිමි කරකවලා අත ඇරලනෙ, ඔක්කොම එළියෙ දාගන යන්න ඇති. විනයත් චාරයක් නැතිව යනකොට ඔහොම වෙලා මදි කියල හිතන අයත් ඇති.
විනයක් හික්මීමක් නැති මිනිස්සු ඉන්න ලෝකෙ ඕවා එච්චර හිතන්න දේවල් නෙවෙයි තමන් පරිස්සම් වුණාම ඉවරයි කියල හිතන අයත් ඇති. නමුත් තමන් ඇරෙන්න අනිත් අයට මොනව වුණත් කමක් නෑ කියල හැමදේම දිහා ඇස්කන් වහන් බලාගෙන ඉන්න අයට තමන් ඉන්න සමාජ දිහා ඇස් කන් ඇරලා බලන්න කියල කියන්න මට අවශ්‍යයි.
පාසල් වෑන් රියක යන පුංචි පුතෙක් පහුගිය දිනක ඔහුගේ සොයුරියගෙ කාන්තා ඇදුම් කිහිපයක් සොරාගෙන සිටිද්දී මවුපියන්ට හසුවුණා. තමන් එකට පාසල් යන වෙනත් පාසලක අයියෙක් ගෙ ඉල්ලීමට තර්ජනයට බියෙන් ඔහු තමන්ගෙ සොයුරියගෙ ඇදුම් සොරාගෙන ගොස් තිබුණා. අම්මල තාත්තල අපේ දරුවො ආරක්ෂිතයි කිසි කරදරයක් නෑ කියල හිතන් ඉන්නව නම් අන්න වැරදෙන එක තැනක්.
ඇගේ පුතාව පාසලේ නේවාසිකාගාරයෙන් ඉවත් කරගත් අම්මෙක් පහුගිය දාක මට කතා කළා. අනේ මිස් මම දරුවව හොස්ටල් එකේ නතර කරේ මට තියෙනවට නෙවෙයි. දරුවගේ අනාගතේ හදන්න. අන්තිමට දරුවා නතරකරන්න වුණෙ මානසික රෝගී සායනයක. ඇත්තම කීවොත් පුංචි ඔපරේශන් එකක් කරලා අසනීපෙ සනීප වුණාට පස්සෙ මාස හයක් විතර මානසික සායනයට දරුවව ගෙනියන්න වුණා. ඇස් කෙවෙණිවලින් කඳුළු බිඳු කඩා වැටෙද්දි ඇය මා එක්ක කිව්වා.
ඒ විතරක් නෙවෙයි ඇගේ දරුවව අපයෝජනයට ලක්වුණු දරුවත් සමාජයෙන් අපයෝජනයට ලක්වුණු දරුවෙක් බව පසුව හඳුනාගෙන තිබුණා. ඉතිං මේ සර්කල් එක එහෙම නැත්නම් මේ චක්‍රය නවතින්නෙ කෙහෝද කියල හිතනඑත. නවත්වන්නෙ කොහෙන්ද කියල හිතන එක මහ භාරදූර වැඩක් මං හිතන්නෙ. ඒ ගැන හිතන්න ගියාම මට හිතෙනවා මිනිස්සු ඉපදුනේ ඕපපාතිකව ද කියල? කොහොමද කියන්නෙ මෙහෙම මිනිස්සු තමන්ගෙ අම්මලව නංගිලව අක්කලව අදුනනවයි කියලා.
පාර තොටේ ගෙදර යන්න හරි වෙන ගමනක් යන්න හරි බසයක් එනකම් තැග් ගැහෙන, එදිනෙදා ජීවිතය පිරිමහ ගන්න විවිධ උවමනා එපාකම්වලට ගෙදරින් එළියට බහින දැරියක්, යුවතියක්, කාන්තාවක් කාගේවත් ලිංගික දඩයමක් වෙනව නම්, මිනිස්සු හිතනවා නම් තමන්ගෙ පවුලෙ ගෑනු උදවිය ඇරෙන්න අනිත් ගෑනු උදවිය නිදහස් ලිංගික කලාපෙක පරිහරණෙට සැදී පැහැදී සිටිනවා කියලා ඒ අමනුසස්යන්ට අපි ආමන්ත්‍රණය කළයුත්තේ කොහොමද?

Friday, 1 March 2013

සොබාදමේ දරුවෝ

( සේයා රූ- අමල්ක අමරසිංහ )
මගේ තුන්මැසි දියණියගේ
රසවත් සිහිනය දිගේ
සිනහ කුමරි නටන කලට
දිටිමි සියලු රූ ඇගේ

සිරිමා ලේකම්ගේ ගුරුතුමිය සිංහල පාඩම අවසන් කරමින් සිටින්නී ය. පාඩම ඈට වසඟ නොවනු කවුරුද? ” පද්‍ය පංතියයි. ශ්‍රී චන්ද්‍රරත්ත මානවසිංහ ශූරීන්ගේ ඒ අති රමණිය පද සංකල්පනාව සිංහල පෙළ පොත සඳහා කවුරුන් විසින් තෝරා ගන්නා ලද්දක්දැයි කිව නොහැකි නමුත් කුඩා අපි ඊට වසඟ වී අහවර ය. පාඩම අවසානයේ ඇගයීම් අභ්‍යාස කිහිපයකි. සිලිලාර යනු කුමක්ද, මගේ නංගී ගැන පැදි පෙළක් ලියන්න ආදී වශයෙනි.
ජීවිතයේ පළමු වරට කවි පංතියක් ලීවීම! එය කෙතරම් අසීරු අභ්‍යාසයක් ද? කෙතරම් නම් අපූරු අභ්‍යාසයක් ද? වහා පොත දිග හරිමි. නොසැලකිල්ලක මහත, අභ්‍යාස පොතේ අවසාන පිටුව ද අහවරව තිබිණ. මිතුරියකගෙන් කොළයක් ඉල්ලා සිටිමි. තනිරූල් පොතේ මැදි පිටුවෙන් ගලවාගත් කොළ දෙකක් ඈ මා අත තබයි. ඉතින් මා ලියන්ට උත්සාහ කරමි. පංතියේ දක්ෂයන් කරබාගෙන අනෙකාට පෙනෙතැයි සඟවා ගෙන කවි පබදියි.

මමද කවක් පබදන්නට උත්සාහ කරමි. ණයට ඉල්ලාගත් කොළ දෙකෙන් එකක් කවි කුරුටුවලින් නාස්තිව අහවර ව තිබේ. ළමයින් පෙළ සැදී ලියු කවි රැගෙන ගුරු මේසය අසළ ය. මගේ නංගී... මම තාමත් ඇය ගැන සිතමි. ඇගේ සිඟිති දඟකාරකම් මටත් හොරා කොළයේ සටහන් වෙයි.. අවසන මම කවක්යැයි නොදන්නා සටහන් කොළයක් පිටු ඉවර වූ සිංහල අභ්‍යාස පොතේ අවසන් පිටුවට එක්කර ගුරු මේසය අසලට යමි.
කුමකින් කුමක්වේදැයි සිත දෙගිඩියාවෙනි. අලංකාර පිටකවරින් හැඩවු පොත් ගත් දෑත් අතර කවියක් ලියූ කොළයක් රැගත් දෑතක්, ඒ එසේ වුව ජීවිතයේ මුල් වරට ලියූ කව ගුරුතුමීට නොපෙන්වා සිටීමට ද නොහැකිය.

ටීචර් පොත ඉවරයි, හෙට අලුත් පොතක් ගේන්නම්පැනයක් අසන්නටත් කලින් උත්තර බැදගෙනම මා ඇය අසළ ය. කාරුණික සිනහවකින් මුව සරසාගත් ඇය ඉහේ සිට පාදය තෙක් විමසුම් ඇසකින් මදෙස බලා සිටී. මේක ලිව්වේ ඔයාද?” “ඔව් ටීචර්” “පොතකින් පත්තරේකින් බලල මතක තියාගත්ත කවියක් ද?” “නෑ ටීචර් මං මයි ලිව්වෙ, මගේ නංගි ගැනයි මම ලිව්වේ” “එහෙමද? හොඳයි... ළමයි මෙන්න අහගන්න... දයානන්ද ලියපු කවි පංතිය.. පංතිය මීයට පිම්බාසේ නිහඬ ය. මෙතෙක් කලක් පංතියේ සිටීදැයි නොදැන සිටි දරුවෙකුගේ නිර්මාණාත්මක උපත එදවස එසේ පන්නිපිටිය ධර්මපාල විදු පියසේ අරලිය ගස් පාමුල පංති කාමරයක දී සිදුවිණි.

අම්මගෙ සාරියක් ඇදන්
බෝනික්කගෙ ගුරුතුමී වී
ගෙදරට සිරියාව ගෙනෙන
මගේ නංගියා

මගේ පොඩි මල් පාත්තියේ
පිපෙන පිපෙන මල් කඩමින්
අම්මාගෙන් බැනුම් අසන
මගේ නංගියා

පුංචිදේට තරහ වෙලා
පොඩි ඇස්වල කඳුළු පෙරා
අයියගෙ තුරුලටම දුවන
මගේ නංගියා

කාගෙත් ආදරය ලබා
ගෙදරට හිරු එළිය වෙලා
හැමදාමත් හිනාවෙන්න
මගේ නංගියා....

ඒ සියල්ල අතීතයේ තබා වර්තමානයට පැමිණෙමි. සරසවිය හා එහි සිසු සිසුවියන් පිළිබඳ මෑත සති අන්තයක සරසවි ආචාර්යවරයෙක් හා අප අතර ඇතිවූ කතාබහකට යොමුවෙමි. සරසවිය දැන් දැනුම සොයායන තැනක්වත්, දැනුම උත්පාදනය වන තැනක් වත් නොවෙයි. දැන් ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඕනෙ, යමක් අහල ඒක නැවත ඒ විදියට වමාරල විභාගෙ පාස් වෙන්න විතරයි. සංවාද කරන්න, සාකච්ඡා කරන්න මතවාද ගොඩනඟන්න ඔවුන්ට උවමනාවක් නෑ. එහෙම දේකට අවශ්‍ය ශාරීරික මානසික සමබරතාවය අලුත් පරම්පරාවෙන් ගිලිහිලා ගිහිල්ලා. ළමයින්ට අවශ්‍ය උපාධිය පාස්කරල රජයේ රැකියාවක් කරන්න විතරයි.

එය එසේ වුයේ ඇයිදැයි විමසමි. දරුවන් පවුලෙන් ඈත ය. අම්මලා දරුවන්ගෙන් බොහෝ ඈත්ව සිටිති. ගුරුවරුන් පරිකල්පනයෙන් ඈත ය. එවන් පරිසරයක ගොඩනැ‍ඟෙන දරුවන් පිළිබඳ ව වගකිව යුත්තේ, වගවිය යුත්තේත් අප අපම ය. පළමුව අම්මා සහ පවුල වෙතිනුත් දෙවනුව පාසල් මවුන් වෙතිනුත් සංවේදී සන්වේදනාව, හෘදය සංවේදී ක්ෂිර දහරාවක්ව දරුවන් වෙත ගලා යුතු ය. ගුරු දෙගුරුන් පරිකල්පනයෙන්, සන්නිවේදනයෙන් ඈත්වූ කල, තමා අවටැති දේ පමණක් දන්නා යාන්ත්‍රික මිනිසකු බිහිවීම වැළැක්විය නොහැක්කකි.

අපි සොබාදමේ දරුවන් වූයෙමු. වෙලේ දුවන පනින, ගස් ගද ගහන, මඩ නාන, හිතුවක්කාරකම්වලට කෝටු පාර වැදුණු දරුවන් වූයෙමු. ජීවිතයේ පාර අසාගෙන, පාර සොයාගෙන යන දරුවන් වූයෙමු. තෙත හිත, ඉගෙනීමේ අසාව, සොයා බැලීමේ කුතුහලය ඇත්තෝ වුයෙමු.

අපි සොබාදමේ දරුවන් තැනිය යුතු වෙමු. පොත පතට පෙම්බදින්නෝ විය යුතු වෙමු. දරුවන්ට ආදරය කරන්නෝ වෙමු. ඒ වර්තමානයේත් අනාගතයේත් අප වගකීමයි. රටක අනාගත දැයේ දරු මුණුපුරන් වේ නම් ඔවුන් යහගුණයෙන්,සෙනෙහසින් හෘදය සංවේදී කිරිමේ යුතුකම හා වගකීම ආදරණිය අම්මේ තාත්තේ ඔබ මා සතු වගවීමයි.

ඉතින් මේ සටහන මෙසේ අකුරු කරන්නට යෙදෙන  දවස මට සුවිශේෂ වේ. උපන්දා සිට මෙතෙක් අතීතයට එක්වූ දිවියේ ස්වර්ණමය මතකයන් කැටි කළ එක් රිදී ජුබිලියක් පසුගියදා යෙදී තිබිණි. මතක මංපෙත දිගේ ඇවිද යමි. පන්නිපිටිය ධර්මපාලය, එසේ නැතහොත් කුඩා කල මගේ සිහින පාසල , මගේම පාසල වී පසුගිය පෙබරවාරී පහලොස් වනදාට වසර විසි පහක් සැපිරිණි. ජීවීතෙන් හරි අඩක දුර ආපසු හැරී බලමි. සැබවින්ම ධර්මපාලය පරිකල්පනයේ තෝතැන්නක් වුයේ ළමා මනස පරිකල්පනයෙන් පුබුදු කළ, දරුවන්ට ආදරය කළ, ජීවිතය කියාදුන් ගුරු මවුපියවරුන් එහි නිවැසියන් වූ නිසාය.

Monday, 11 February 2013

බැචියන්ගෙ බත් ගෙඩි

පුංචිලෑ ගෙදරට ගිහින්  එන්න  ඕනැකම තිබුණත් පහුණු කාලේ එක එක දිගට තිබුණු වැඩ කටයුතුත් එක්ක දවසින් දවස ඒ ගමන අතපහු වෙලා තිබුණා. පහුන ඉරිදාවක තවත් ඥාතීන් පිරිසකුත්  එක්ක අපේ ගෙදර අයත් පුංචිලෑ ගෙදර යන්න දාගත්තා.  අපේ ගෙදර අයට එහෙට එන්න කියල මම සරසවියේ ඉදන් කෙළින්ම පුංචිලෑ ගෙදරට ගියා. කටට රහට විවිධ කෑම හදන අතරේ, ලොකු දූ බත් ටිකක් කමුද? කියල අහපු පුංචි අම්ම මං හා කියන්නත් කලින් බත් බෙදල තිබුණා. රතු කැකුළු බත්, වට්ටක්ක දළු මාළුවක් එක්ක රාත්‍රියට සූදානම් කරපු හතු මාළුවයි, අල කිරි හොදියි පුංචි අම්ම  බත් එකට බෙදල තිබුණා. ඒත් ඒක හදන විදිය පුංචි දැනගෙන හිටියෙත් නෑ . ඇගේ වත්තේ වට්ට්ක්ක වැලක දළු නෙලාගෙන ගිය අසල්වැසි අම්ම කෙනක් තමයි ඒක උයල තිබුනේ.

කොස් ඇටත් එක්ක පොල් පොඩ්ඩක් අඹරල දාල   දාල කොළ පාට රැකෙන්න රසට උයල තිබුණු වට්ටක්ක දළු මාළුව රහ බලන්න උයන විදිය දැනගෙන අනිත්  අයටත් කියන්න ඕනෙ කියල හිතුනෙ ඊයේ පෙරේද දවසක කොළඹ හතේ වැටකත් ලස්සනට දිග ඇදෙන වට්ටක්ක වැලක් දැක්කට පස්සේ. ඉතින් මං ඒ ගැන අහගන්න මගේ පැරණි සරසවි  සඟයෙකුට කතා කලා. අන්තිමට සරසවියේ සහෝදරත්වයේ මතක ගැන ලියන්න ඕනේ කියල මගේ හිත කිව්වා.

අපි හිටියේ කොළඹ සරසවියෙ සුජාතා ජයවර්ධන නේවාසිකාගාරේ නව ගොඩනැගිල්ලේ,  ඒකෙ තට්ටු හතරක  කාමර හතලිස් හතරක එක කාමරේක හය දෙනා බැගින් හැට දෙසිය හැට ගානක් ළමයි හිටියා. ලංකාවේ හතී කොණ ඉදල එන කට්ටිය. මහව, ආණමඩුව, පුත්තලම, අනුරාධපුරය, අම්පාර, බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑළිය, ගාල්ල මාතර, බෙලිඅත්ත.  අක්කරේපත්තුව, යාපනය තිරිකුණාමලය  වගේ රටේ නන් දෙසින් ආපු සිංහල දෙමල මුස්ලිම් ළමයි, නීතිය කළමණාකරණය, විද්‍යාව, කලාව හදාරන ළමයි, දුවන පනින, පීනන ක්‍රීඩා කරන ළමයි, ලියන කියවන ළමයි,  මේ හැමෝම අපේ නේවාසිකාගාරෙ හිටියා. පේරාදෙණිය තරම් සොභාවික සුන්දරත්වය අතින් අනූන තැනක් නොවූවත්, සෑම සරසවි නේවාසිකාගාරයක්ම විවිධ මත ගැටෙන, සංස්කෘතීන් මුණගැහෙන, නව සබදකම් තරවෙන සොඳුරු නවාතැන්  පලක් කියලයි මට හිතෙන්නේ. ඒක පේරාදෙණියට වැඩිය රුහුණ හොදයි, ඊට වඩා කොළඹ හොදයි වගේ ජනප්‍රිය කතිකාවෙන් එහාට ගිය දෙයක්.

කොහොමත් ඉතින් සරසවිය කියන්නෙ අපි අපේ ජීවිතේ බොහෝ දේවල් බෙදා ගත්ත තැනක්නේ. උපාධි සහතිකය විතරක් නොවෙයි, ජීවිතය, ආදරය, සහයෝගය වගේ තවත් බොහෝ දේවල් අපි ඉන් ඉගෙන ගත්තා. වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයක් වුණු අපේ මේ පුංචි රටේ හැම බිම් අඟලකටම යන්න බැරි වුණත් රටේ හතර කොනෙන් ආපු සහෝදර බැම්ම අපිව එකට එකතු කරා.


සමහර විට නමවත් අහල නැති. එහෙම නැත්නම් නම විතරක් අහල තිබුණු කෑමක රස බලන්න අපට අවස්ථාව සැලසුනේ සරසවි නේවාසිකාගාරෙදි විතරමයි.  කොල්ලු ආනම, අල කොළ ඇඹුල, ඕලු දඩු මැල්ලුම, තැල් කොල ඇඹුල අපි රහ බැලුවෙ අපේ සරසවි සඟයන්නෙ බත් ගෙඩියෙන්.  හැම සතිඅන්තයේම නැතත් හුඟ වෙලාවට මාසෙකට වරක් වත්  සිකුරාදා හවස කෝච්චියෙන් හරි බස් එකේ හරි ගෙදර යන ළමයි  ඉරිද හවස හය වෙන්න කලින් නේවාසිකාගාරයට එන්න උත්සාහ කරනවා.

ඉතිං හැම කාමරේකටම හැම සති අන්තයේම කවුරුහරි ගෙදර  ගිහින් එනවා. කාමරේ හැමෝටම බඩ පිරෙන්න නැතත් හිත පිරෙන්න  තියෙන  විදියට කන්න යමක් හොයල හදල එවන්න බොහෝ විට ජීවිතේ කවමදාවත් අපිට මුණ නොගැහෙන අපි නොදන්න අපේ යෙහෙලියන්ගෙ අම්මල අමතක කරන්නෙ නෑ. ඒක බත් ගෙඩියක්, රටකජු මුලක්, අඹ, දිවුල් මල්ලක් වෙන්න පුළුවන්.

දිවුල් සම්බෝලේ මම  පළවෙනි වතාවට රස බැලුවෙ චුටි බබා ගෙන්. මහව ඉදල සරසවි ආ ඇය පහුණු කාලෙ මොරවැව පාසලේ ඉගැන්නුවා. අද කොහේද දන්නෙ නෑ. ආණමඩුවෙ මල්පානව චන්දිලගෙ ගෙදර වත්ත පුරාම කරඹ තියෙනවා. අහල පහල පුංචි වැව් දියේ ඕන හැටිය ඕලු තියෙනවා. ඔලු දඩු ( ඕලු කොළ සහ මල්වල නැටි)  කඩල කොහිල දල්ලෙ නූල අරිනව වගේ පිට පොත්ත ඇරල, හීන් වෙන්න ලියල ලුණු දියේ දාල  මිරිකල පොලුයි, රතුලූණුයි එක්කර හදන සමබෝලෙ මතක් වෙනකොට දැනුත් බත් පිගානක් කන්න හිතෙනවා. චන්දිගෙ අම්ම බත් හැළිය ළිපෙන් බාපු ගමන්, ඇතුල් බතකට බත් එක බෙදනව විගහට නිවෙන්න. ඊට පසුවයි ඇය දරුවන්ට බත් බෙදන්නේ.

ඇඹිලිපිටියේ සුරංගි, දැන් කොහේහරි උසාවියක නීතිඥවරියක් වෙන්න ඕනෙ. ඇගේ බත් ගෙඩියෙ නොවරදින කෑම අලකොළ ඇඹුල,  ඇය කියා දුන් විදියට අල කොළ ඇඹුල හදන්නෙ වෙල් අල කොල (හබරල ගොබ ) දිගහැරෙන්ට කලින් නෙලාගෙන දවසක් පවනෙ තියෙන්නට හැරල අරගෙන. මුලින් අල කොළ හොදින් සෝදල  දිග ඇරල සත්තු ඉන්නවද බලල එක මිටට ගැට ගහල පැහුණු උණුවතුරට දාල අරගෙන තරමක කෑලි වලට කපා ගෙන පැත්තකින් තියා ගන්නවා.

ඇඹුල ඒදන හට්ටියට අරගෙන  උකු මිටිකිරි එක්ක, මිරිස් කුඩුකහතුනපහඋළුහාල්කරපිංචාරම්පෙලුණු රතු ළූණුගොරකාසුදුළූණු ඔක්කොම එකතු කරල හොද්ද ලිප තියල එය උතුරාගෙන එන විට කපාගත් අල කොළ එකතු කරනවා. මදගින්නේ තරමක් වෙලා උයා ළිපෙන් බා ගත් පසු හොද්දට දැමූ ගොරකා කෑල්ල අයින් කරන්නත් මතක තියා ගන්න ඕනෙ. තවත් වැඩි රහක් ඕනේනම් කරපිංචා කොළයක් අබ ස්වල්පයක් එක්කාසු කරල තෙම්පරාදු කරගන්නත් පුළුවන්.

මේ අතීත මතක ලිව්වෙ වට්ට්ක්ක දළුවක් නිසානේ.  ඒක හදන විදියත් ලියා තියන්නම්. අපි මාළුව කිවිවට පැරනි ගමේ ඇත්තො වට්ටක්කා දළු මාළුවට කීවේ නියඹලාව කියලලු, සිනිදුවට පොල්අඹරල හදන එළවළු වලට ගම්තුලානෙ ඇත්තො කියන්නෙ එහෙමලු, මෙන්න හදන විදිය.

වට්ටක්කා දළු හරියෙන් වෙන්න කරටි ටිකක් අවශ්‍යයි, මෝදුවෙන දල්ලක් එක්ක ළපටි දළු දෙකක්  විතර හිටින්න කඩා ගත් වට්ටක්කා කරටි හොදින් සෝදා,  දියබේරුනාට පසු රේණු කෙදි හැර  දඬු වල බූව පිහියකින් යන්තමට අයින් කර  තරමක ලොකු කැබලි හිටින්න කපාගන්න ඕනේ. තලාගත් කොස් ඇට ටිකකුත් මේකට එකතු කරගන්න පුළුවන්නම් පංකාදු පහයි. මැටි  හට්ටියකට වට්ටක්ක දළුයි කොස් ඇටයි , අමු මිරිස්, රතු ලූණු අවශ්‍ය පමණත් රම්පෙ කරපිංචා එක්කර ඒකටම ලුණු, කහ , තුනහප, උම්බලකඩ එකතු කරගන්න ඕනේ.  මේ සියල්ල දියකිරි සවල්පයක් එක්කර වැහුම් ඇර මදගින්නේ උයාගන්න අවශ්‍යයි. පොල් කිරි මිරිකා ගැනීමට පෙර අඹරා ගැනීම සඳහා පොල් මිටක් මෙන්ම මිටිකිරි ද පසෙකින්  තබාගත යුතුයි. අවසානයට ගම්මිරිස්  ඇට ස්වල්පයක්, සුදු ලූණු බික් දෙකක් තුනක්, අබ ටිකක්, කුරුඳු කෑල්ලක් සහ හෝදලා ගත්තු හාල් මිටක් සමඟ සිනිදු වට ගුලියක් සේ අඹරාගත් පොල් යොදා මිශ්‍රණය කලින් වෙන් කල මිටිකිරි සමඟ එක්කර ලිපේ ඇති වට්ටක්කා දළු මාළුව ඉදී ගෙන එද්දී එයට එක්කරගත යුතුයි. මතක තියාගත යුතු වැදගත්ම දේ වට්ටක්ක දළු මාළුව වැහුම් ඇර කොළපාට රැකෙන සේ උයා ගැනීමයි.

Friday, 1 February 2013

ප්‍රතිචාර

http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2013/02/01&id=2013/02/01/b13020111
තුන්කාලේ නෝනා

ටොම්සන් මහත්තයා අහස දිහා බලා ගෙන හිටියේ ඈත ඉඳන් පියාඹා ගෙන එන කුරුල්ලෙක් දිහා ය. කුරුල්ලෙක් ද කිරිල්ලියක් ද කියලා කියන්ඩත් බෑ. මෙන්න බොලේ අහසේ ඉඳන් ආපු මොකා හරි ටොම්සන් මහත්තයා ළඟට පාත් වෙච්චි ගමන් මැවුණේ ගෑනු පරාණයක්. ඇඳ ගෙන හිටියේ තුන් කාලකුයි, ටී ෂර්ට් එකකුයි.
මේ ටොම්සන් මහත්තයා වෙන්ඩ ඇති... මං ආවේ විශ්වවිද්‍යාලේ පැත්තේ ඉඳලා...
ඉතින් මොකද අප්පේ මේ කලබලේ.. ටිකක් හති ඇර ගන්ඩකෝ..
‘... හති තමයි... මං ගියා විශ්වවිද්‍යාලෙකට...
‘... කොහෙද? ’
කොහෙද කියන්නේ.. මේ ලංකාවේම තමයි....
‘... මේ විදිහට ඇඳ ගෙන ද ගියේ?’
‘... ඔව්, මේ තුන්කාල තමයි ඇඳ ගෙන ගියේ... ඇයි මොකද? නරකද? අපි මේ ඉන්නේ පශ්චාත් නූතනවාදී යුගයේ... මේ විශ්වවිද්‍යාලවල තවමත් තියෙන්නේ අවිද්‍යාව නේ... නැතිනම් තුන්කාල ඇන්දා කියලා අපිව එලවා ගනීවියැ...
‘... අනේ නෝනා... හරියට කියන්ඩකෝ ඉතින් මාව හම්බ වෙන්ඩ ආවේ ඇයි කියලා..
‘... මං ආවේ මේ විශ්වවිද්‍යාල පාලනය කරන ලොක්කට විරුද්ධව පෙත්සමක් ගහන්ඩ...
කාටද?'
මං දන්නේ නෑ කාටද කියලා... මේ නවීන කාලේ, පශ්චාත් නූතන කාලේ විශ්වවිද්‍යාලෙට තුන්කාල ඇඳ ගෙන ගියා කියලා එහෙම අපිව එලවන්න පුළුවන්ද? කෝ කාන්තා අයිතිවාසිකම්... ?’
‘... මං හිතෙන්නේ නෝනා.. මේකේ වැරැද්ද තුන්කාල ඇඳපු එකයි.. මං හිතන්නේ ඔය විශ්වවිද්‍යාලේ අනුමත ඇඳුම තුන්කාලේ කලිසම නෙවෙයි.. කාලේ කලිසම... එතකොට නේ මේක පශ්චාත් නූතන වාදයට අයිති වෙන්නේ...
මට නම් ලැජ්ජයි ටොම්සන් මහත්තයා, මේ ලංකාවේ තවමත් මෙහෙම මිනිස්සු ඉන්න එක ගැන.. දැන් බලන්ඩකෝ... එංගලන්තේ, එක ඡායාරූප ශිල්පියෙක් ආරාධනා කෙරුවා මිනිස්සුන්ට ගෑනුන්ට ලෝකේ ලොකු ම නිරුවත් පින්තූරය ගන්ඩ එන්ඩ කියලා.. ආවානේ දහස් ගණනින් ගෑනු මිනිස්සු නිරුවතින්... අන්න නියම සමාජය...
ඒක හරි නෝනා... ඉතින් නෝනත් එහෙම යන්ඩකෝ.. එතකොට කවුරුවත් එලවන එකක් නෑ...
ටොම්සන් මහත්තයා මට කොචොක් කරනවද? නැත්නම් ඇත්තටම ද එහෙම කියන්නේ..
‘.. මං මොකට ද කොචොක් කරන්නේ නෝනා.. මේ ලෝකේ මිනිස්සුන්ට ගෑනුන්ට සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවානේ.. ඔය පශ්චාත් නූතන වාදයට කර ගහ ගෙන ඔක්කොම කණපිට කියලා හිතුවාට, මේ සමාජය තවමත් එහෙම කණපිට ගැහිලා නෑ.. දැන් බලන්ඩ... නෝනා හිතනවා ඔය තුන්කාල තමයි හොඳම ඇඳුම කියලා.. අම්මලත් තුන්කාලේ අම්මලා.. ළමයි අතින් අල්ලා ගෙන ඉස්කෝලේ එක්ක යනවා..
‘.. අන්න බලන්ඩ.. ඉස්කෝලෙට තුන්කාල හොඳයි.. විශ්වවිද්‍යාලෙට හොඳ නෑ..
‘.. ඔව්, ඒක හින්දනේ ඉස්කෝලවල දැන් බෝඩ් ගහලා තියෙන්නේ මේ පුදබිමට පැමිණෙන විට සංවර ඇඳුමක් ඇඳ ගෙන එන්න කියලා.. මොකද එහෙම බෝඩ් ගහන්නේ? ඉස්සර තිබුණ ද එහෙම බෝඩ්..? ඒ කාලේ අම්මලා තාත්තලා දැන ගෙන හිටියා, තැනට ගැළපෙන විදිහට අඳින්නේ කොහොමද? තැනට ගැළපෙන විදිහට හැසිරෙන්නේ කොහොමද කියලා... දැන් ඉන්න ගෑනුන්ට තමන්ගේ ශරීරය ගැනවත් ගෞරවයක් නෑනේ.. තුන්කාල ඇඳ ගෙන පාර දිගේ ඇවිදින කොට ශරීරයේ හැටි කොහොම ද අනික් අයට පේන්නේ කියලා දන්නවද? හරියට මස් කඬේට අරන් යන මස් පරුවතයක් වගේ.. ඒක තමයි අද මෝස්තරේ. කොහෙන් හරි පිටරටකින් ආවා නම් ආයේ මොනවද?,
‘... ටොම්සන් මහත්තයටත් අමු කැවිලා වගේ.. මං ආපු ගමනින් වැඩක් නෑ වගේ...
‘... මට ඉස්සෙල්ලා නෝනා අමු කාලා වගේ.. නැතිනම් මේ වගේ මස්තබාල්දු ඇඳුමක් සංවරශීලී ඇඳුමක් කියලා හිතන්නේ නෑනේ...
‘... අනේ යන්ඩ ටොම්සන් මහත්තයා.. ටොම්සන් මහත්තයාටත් තියෙන්නේ අපි ලස්සනට ඉන්නවාට. ඉරිසියාව.. මං යන්ඩ ඕනෑ.. පශ්චාත් නූතනවාදී සමාජයක් තියෙන රටකට... එතකොට මේ වගේ ප්‍රශ්න මොකක් වත් ඇති වෙන්නේ නෑ...
එහෙම නෙවෙයි නෝනා... ඉස්සෙල්ලම ගිහින් කණ්ණාඩියෙන් හරියට බලන්ඩ තමන් කවුද කියලා..? ඊට පස්සේ කල්පනා කරන්ඩ තමන් ඉන්න සමාජය මොකක්ද කියලා.. මේක නිකම් යල් පැන ගිය සමාජයක් තමයි... ඒ වුණාට ඒක විනාශ කරන්ඩ එපා... ඒක යල් පැන ගිය හැටියට ම එහෙමම තිබුණාවේ... නෝනා යන්ඩ අර නිරුවත් පින්තූර ගන්ඩ නිරුවතින් යන්න පුළුවන් රටකට... එතකොට හරි...
‘... එතකොට කියන්නේ මේ තුන්කාලේ කලිසම හොඳ නෑ අපිට....
‘... හොඳ ඇති. ඒකනේ අඳින්නේ... තමන් කැමති නම් පාරෙ තොටේ අලෙවි භාණ්ඩයක් වෙන්ඩ... එහෙම ඇඳ ගෙන යන්ඩ.. විශ්වවිද්‍යාලවල විතරක් නෙවෙයි. ජාතික අධ්‍යාපන ආයතනයෙත් ගේට්ටුවෙන් ඇතුළු වෙන්ඩ දෙන්නේ නෑ තුන් කාල ඇඳ ගෙන ආවොත්... අද ඒ විදිහට ඇඳුම්වලට නීති දාන්න සිද්ද වෙලා තියෙන්නේ ඇයි.? නෝනලා වගේ පශ්චාත් නූතනවාදී යුගයේ අයගේ පශ්චාත් භාගය නිසා..
ටොම්සන් මහත්තයා දිහා රවා ගෙන බලා හිටපු නෝනා ආයෙත් කිරිල්ලියක් වගේ අහසේ පියාඹා ගෙන ගියා..
‘.. මං හිතන්නේ පශ්චාත් නූතන වාදී රටක් හොයා ගෙන යනවා වෙන්ඩැති..කියා ටොම්සන් මහත්තයා සැනසුම් සුසුමක් හෙළුවා ය.
බන්දුල පී දයාරත්න
bandulapdaya@hotmail.com