Friday, 7 December 2012

සංගා ඔව් , ඔබ සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක්!

 

කාන්තාවක් වුණාම අනිවාර්යයෙන් ම අවුරුදු දාසයේ දා හතේ ගන්න තිබුණු ප්‍රතිශක්තිකරණ එන්නතක් මම අර ගත්තෙ නෑනෙ කියල මතක් වුණේ සති දෙකකට තුනකට කලින්. ඒක තවත් කල් අරින්න හොඳ දෙයක් නෙවෙයි අපි පුද්ගලික රෝහලකින් ඉක්මනට විදගමු, හෙට උදේ කොළඹට එන්න. එහෙම කීවේ මගේ මිතුරිය. ඉතින් නොවැම්බර් මාසෙ විසිතුන් වැනිදා නොරිස් නකැනල් පාරේ පුද්ගලික රෝහලකට අපි දෙන්න ගොඩවුණා. 

වෛද්‍යවරයා මුණගැහිල, ඔසු සලෙන් එන්නත අරගෙන අපි බාහිර රෝගි අංශයට ආවා. පොඩ්ඩක් වෙලා අරගෙන පොත්වල ලියල බිල් කඩල එන්නත දෙන්න විනාඩි දහයක් විතර ගියා. ඔක්කොම හරි කියල නැඟිටල එන්න සුදානම් වෙද්දි, හෙදියක් විරෝධය ප්‍රකාශ කළා. මිස් ඔයා තව විනාඩි විස්සක් මෙතන ඉන්න ඕනි. දැන්ම යන්න බෑ... තව විනාඩි ගාණකින් පොඩිත්තිගෙ පෙර පාසල ඇරෙනවා. ඇය අම්මව හොයන්න හොඳටෝම ඉඩ තියෙනවා. “මම බබාව අරගෙන එන්නම් ඔය ඉන්න” කියල මගේ යෙහෙළිය කිව්වා.

ඉතින් යන්ත්‍ර ස්‍රත්‍ර සවි කරපු උස්සන්න හරවන්න පුළුවන් ඇඳන් තියෙන, බැලු බැලූ අත වයර්, ටිවී මොනිටර් තියෙන ඊසීජී යන්ත්‍ර සවි කරපු විශාල ශාලාවක පුටුවකට වෙලා වට පිට විසිතුරු බල බල ඉන්න මට වෙලාව තිබුණා. මා ඉදිරියේ තිබුණ දොර විවර වෙලා තිබුණෙ රෝගීන් ඇතුළත් කිරීමේ අංශයේ පිළිගැනිම නිලධාරිනි ඉන්න ඉසව්වට. ඒ එක්කම වම් පැත්තට තිබුණු දොර රථවාහන අංගනය දෙසට විවරවෙලා තිබුණා.

එහෙම වෙලාවට වෙලාව යන්නෙත් හරි හෙමින්. එක පාරටම රෝහල ඇතුළෙ පොඩි කසු කුසුවක් ගියා. කට්ටිය හැරි හැරි බලනවා. ඒ අතර වාහන අංගනය දෙසට ගිය පැජරෝවක හිටි තරුණ කෙල්ලො කොල්ලො ටිකක් උඩ පනිනව වගෙත් දැක්කා. රෝහල් පරිසරයෙ තිබුණෙ තරමක් අසාමාන්‍ය තත්ත්වයක්. මම වටපිට බැලුවා. ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇඳපු බොහොම සාමාන්‍ය පුද්ගලයෙක් පිළිගැනිමේ නිළාරිනියන් දෙදෙන ගාව නැවතිලා කිසියම් දෙයක් විමසමින් හිටියා. 

ම්.. විශේෂ පුද්ගලයෙක් රෝහලට ඇවිත්. මම ඔහු හඳුනා ගත්තා. කුමාර් සංගක්කාර. මුළු ලෝකෙම හඳුනන අපේ ක්‍රිකට් ක්‍රීඩකයා. ඇත්තටම කියනවා නම් ඔහු සුවිශේෂ වුණේ රෝහලට පැමිණ සිටි ජනී ජනයාට, රෝහල ඔහුට සුවිශේෂ තැනක් වග අපට දැනුණෙ නෑ. අපි වගේ කිසියම් උවමනාවකට ඔහු රෝහලට එන්න ඇති.

ඊළඟට මම දැක්කා පුටුවක වාඩිවෙලා හිටිය දියණියක් නැඟිටලා වැඩිහිටියෙකුට යමක් කියනවා. “ඔව් ඒ එයා තමයි”. ඒ එක්කම ඇය විකිරණ ප්‍රතිකාර අංශය දෙසට යනවත් මං බලාගෙන හිටියා. ඊළග තත්පර දෙක, තුනේ අර දියණියත් එක්ක වැඩිහිටියො කීප දෙනෙක් සංගව වට කරගත්තා. පිළිගැනිම් නිලධාරිනීන් එක්ක කතාව නතර කරල අර නිරහංකර හිනාව එක්කම සංග ඔවුන් දිහාට හැරුණා. 

“අනේ අපට පොඩි උදවුවක් කරනවද? ” “විනාඩියකට” “එයාව එම් ආර් අයි එකට ගන්න ලෑස්ති කරල තියෙන්නෙ ” එහෙ මෙහෙ වන අංග චලනත් එක්ක ඒ වගේ වචන දෙක තුනක් මගේ සවනට වැටුණා. එතන හිටි එක කාත්තාවකගෙ නෙතින් කදුළු දෙපේළියක් ගලනවත් මං හොඳාකාරව දැක්කා. ඊළග මොහොතෙ සංගා ඔවුන් සමඟ විකිරණ ප්‍රතිකාර අංශය දෙසට පිය මනිමින් හිටියා. මගෙ විනාඩි විස්ස ගෙවෙන්න තවත් වෙලාව තියෙනවා.

තවත් විනාඩි පහ හයකින් සාත්තු සේවකයන් විකිරණ අංශය දෙසින් රෝගියෙක් සහිත ඇඳක් තල්ලුකරගෙන ආවා. සංගා ඊට මොහොතකට කලින් පිළිගැනිමේ කවුළුව ළඟට ආවා. රෝගි සයනය මත පුංචි පුතෙක් වැතිරිලා හිටිය. අවුරුදු දහයක විතර, එයාගෙ ශරීරයට සවිකරන විවිධ වර්ගයේ වෛද්‍ය උපකරණ රාශියක් ඔහුගෙ තනියට ඇද මෙට්ටය පුරා තිබුණා. හීන් අතේ පිරිත් නූල් පිරිලා තිබුණා. සංගා එක්ක ඇතුළට ගිය කට්ටිය ඔහුව වට කරගෙන හිටියා. පුංචි දුවත් එක්ක හිටි කාන්තාව ගෙදර ගිහින් එන්නම් පුතේ කියල ඔළුව අතගෑවා.

සංගා ආයෙත් ඇඳ පාමුලට ආවා. පුංචි පැටියගෙ මූණ දිහා බලලා “ගෙට් වෙල් සූන් ”කිව්වා. ඇත්තටම දුර හිටියත් මගෙ ඇහැටත් කදුළක් ඉනුවා. ඒ සිඟිත්තගෙ ජීවිත කාලය පුරා ම “සංගක්කාර මාමා මාව බලන්න ආවා” කියන සතුට තියේවි. පුංචි පුතෙකුට මොහොතකට සිනාවක් දෙන්න පුළුවන් වුණා කියන සතුට සංගට තියේවි. දරුපැටව් දෙන්නා තුන්දෙනාගෙ අනාගතයට හෙණ ගහල යද්දි දවසින් දවස් තරුණවෙන්න දඟලන තාත්තල එක්ක බලද්දි, අන්න තාත්තල කියන්න, අන්න මනුස්කම දන්න නියම මහත්තුරු කියන්න පුළුවන්කම අපි වගේ ප්‍රේක්ෂකයන්ට තියේවි. මට එහෙම හිතුණා.

මේ සටහන මෙහෙම ලියවෙද්දි මං ආයෙත් අන්තර්ජාලයට ගොඩවුණා. සංගක්කාර 2011 අවුරුද්දෙ එම්සීසී ක්‍රිකට් සම්මාන උළෙලදි කරපු කතාව අහන්න. නිරවුල්ව පැහැදිලව ජාතියක, ක්‍රීඩාවක, අතීතය වර්තමානය සහ අනාගතය ගැන සංග කතා කරා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් මගේ වගකීම වන්නේ මේ සොඳුරු ක්‍රීඩාව තවදුරටත් පොහොසත් කිරීමයි. මේ ක්‍රීඩාවට යමක් එකතු කරමින් එය පෝෂණය කරමින් මෙහි සාර උරුමය අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉතිරි කර දීමයි. මම එය ඉටු කරන්නෙ මගේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව මුදුන්මල්කඩ ලෙස තබා ගනිමින් හැකිතාක් හොඳින් සහ සාධාරණව ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ගැන සාඩම්බරයෙන් ධනාත්මකව ලෝකයට කතා කළ හැකි හඬක් බවට පත්වෙමින්.

විවිධ ජාති. ආගම්, කුල, ජනවර්ගයන්ට අයත් ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ විවිධත්වය තුළ එකමුතුව මේ ජයග්‍රාහී අවස්ථාව සමරනවා. ඔවුන් මගේ පදනමයි, ඔවුන් මගේ පවුලයි, මම ක්‍රිඩා කරන්නේ ඔවුන් වෙනුවෙන්. ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ආත්මය ඔවුන්ගේ ආත්මයයි. මගේ සියලු ජනතාව මා සමඟයි. මම ද්‍රවිඩ, මම සිංහල, මම මුස්ලිම්, මම බර්ගර්, මම බෞද්ධයෙක්, මම හින්දු බැතිමතෙක්, මම මුසල්මානුවෙක්, මම කිතුනුවෙක්, මම අදටත් සැමදාටමත් සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක්”

සංගා කියපු අන්තිම වචන දෙක තුන මම නැවත නැවතත් ප්‍රතිවාදනය කළා. ඔව්, සංගා ඔබ ශ්‍රී ලාංකික අපට සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක්,

මම මේ කතාව ලියන්න පටන් ගත්තෙ රෝහලින්නෙ, ඉතිං මමත් මුළු හිතින් ම ඒ පුංචි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි ඉක්මනින් සනීපවෙලා “සංගා” වගේ දක්ෂ, නිරහංකාර පුරවැසියෙක් වෙන්න, අපේ කොල්ලෙක් වෙන්න” කියන සුබපැතුමත් නම නොදන්නා ඒ සිඟිති පුතුට දෙන්න මම කැමතියි.

5 comments:

Naleen Dilruksha said...

මේ පෝස්ට් එක කියවගෙය යද්දී දෑසට කඳුළු ආවා.සංගා හොඳ මහත්තයෙක් ඒ වගේම තමා මහානමත් ඔය වගේමයි. මා ඒ ගැන පෞද්ගලිකවම දන්නවා. එයත් ඔය වගේම තමා.
මම සමකය වටේ ලියන නලින්

Unknown said...

සංගා ඔබ ඕබේ ශ්‍රී ලාංකීය බව ලෝකෙට කියල දුන්නේ 2011
ඔබ නැවතත් එය ප්‍රදර්ශනය කලා ඔබට තුති
මට මතක් වෙනවා මගේ ලොකු පුතා සමෙර්සෙට් ක්‍රීඩා ශාලාවේ
පෝලිමේ ඉඳලා ගියා සනත් ජයසූරිය ගෙන් අත්සන ගන්න
මොකකක් ද එක කීඋවේ පොඩි උන්ට අත්සන ඕනේ නෙහෙ කියලා
එදා ඉඳලා අපිට සනත් එපා
ඔන්න ලංකාවේ කමට පුංචි එකා අහ ගත්ත දේ
සමන්

Sabith said...

මෙන්න මිනිස්සු!

වකා - WAKA said...

ඔව්, ඇත්ත...මේ තමයි නියම මිනිස්සු !

(දිණමිනෙත් දුටුවා ඔබ ලියූ ලිපිය. දැන් අහම්බෙන් ඔබේ බ්ලොග් අඩවියත් දුටුවා)

උමා(දසුන්) said...

සංගා කියන්නේ අපිට රජෙක් .....නැද්ද?