Tuesday, 21 October 2008

දහඅට වංගුවෙදි හමුවුණු අම්මා.... (කෙටි කතා)


හුන්නස්ගිරිය සාම චෛත්‍යය පහුවුණා. බස්එක නතර වුණේ තේ බොන්න. දහඅට වංගුව බැහැලා මහියංගනය, පදියතලාව, මහඔය පහුකරන් අම්පාරට යන්න තව කිලෝ මීටර එකසිය අසූවක් විතර තියෙනවා.මගෙත් එක්ක ආසනය බෙදාගෙන හිටිය අම්මගෙ ඇහැ පියවෙන්න ගත්තා. ගමන් මහන්සිය වෙන්න ඇති. මගදි ඒදලා කටේ දාගත්ත විට හපේ ඒ අම්මගේ කටේ. බස් එක හෙමිහිට කන්ද බහින්න පටන් ගත්තා. දෙපැත්තට පැද්දෙන බස් එක් රිද්මෙට අපිත් දෙපැත්තට තල්ලූ වෙන්න පටන් ගත්තා. අඩ නින්දේ හිටපු අම්මගේ කට කොනකින් බේරුණු කෙළ බිංදු දෙකක් සුදු ඔසරිය තෙත් කෙරුවා. ඇය නින්දෙන් ඇහැරිලා ඒ ගුරුපාට බුලත් පැල්ලම් පිහදාලා දාන්න මහන්සි වුණා. වතුර ඩිංගකින් තෙමපු ටිෂු කඩදාසියක් මං ඈ දිහාට දික් කෙරුවා. කීපවාරයක් පිහදාලා ඒ පැල්ලම යන්තම් වහ ගන්න ඇයට පුළුවන් වුණා. මං වතුර බෝතලය ඇය දිහාට දිගු කරා.

”මොකටද?” ඇය මගෙන් ඇහැව්වා.
”කට හෝදන්න”
මං කිව්වා. ඇය ආදරණීයව හිනා වුණා.
”බැහැ තාම විට කටේ”
ඇය කිව්වා. කටේ තිබුණ බුලත් හපය ඇය තාම රස විඳිනවා. හරියට පුංචි දරුවෝ ලොසින්ජරයක් කටේ තියාගෙන දිය වෙනකම් සූප්පු කරනවා වගේ. මට කම්මැලිකමක් දැණුනා. කියවන්න ගෙනාපු පොත වහලා පැත්තකින් තියලා මං ඈ දිහාට හැරුණා.


”පුතේ අම්පාරට තව හුඟක් දුරද?”
ඇය මගෙන් ඇහුවා.
”කොහොමත් තව පැය හතරක් පහක් යාවී, මගදි චෙක් පොයින්ට් එහෙමත් තියෙනවා නේ, අම්මා හුඟ කාලෙකින්ද අම්පාරේ යන්නේ.”
ඇගේ ඇස් දිලිසුනා.
”හරියටම අවුරුදු විසිහතරකින්. ලොකුඳුට අවුරුද්දක් වෙද්දී මගේ යාළුවෙක් අහ ගියා. දැන් එයාට විසිපහක්”
”එතකොට අද මේ යන්නේ”
”පුතාව බලන්න, කෑම්ප් එකට, දවාලියෙන් යන්න බැරිවුණොත් බලන්න බැරිවෙයිද දන්නේ නෑ. මාස දෙකහමාරකින් දැක්කේ නෑ.”
ඇස් අගින් මතුවෙච්ච කඳුළු බිංදු දෙක ඔසරි පොටින් පිහදාන ගමන් අම්මා උත්තර දුන්නා.


”ආ.. අද එහෙනම් අම්මා හරි සතුටින් යනවා ඇත්තෙ. හරියට වට වන්දනාවේ යනවා වගේ.”
ඇගේ ඇස් හිනාවුණා.
”ඔව්... ඇත්තටම ඊටත් වඩා හුඟාක් සතුටින් මම යන්නේ.”


දහඅට වංගුවෙ වැහි මංදාරම හුළගට ගසාගෙන ගියාට බස්රියේ ඉදිරි වීදුරුවට පුංචි පුංචි වැහි බිංදු වැටෙන්න පටන් ගත්තා. ඇය දිගටම ඇගේ කථාව කියනවා.

”මගේ එකම පුතා, එයාට තව අක්කලා දෙන්නෙක් ඉන්නවා. දෙවෙනියා රට, එයා තාම දන්නේ නෑ මල්ලි හමුදාවට ගියා කියලා.”
”පුතා දන්නවද අද අම්මා එයාව බලන්න එනවා කියලා.”
මං ඇයට බාධා කළා.
”නැහැ එයා මගෙන් හමුදාවට යන්න ඇහුවා. මං කිව්වා පුතා ගියොත් මං මොනවාහරි බීලා ජීවිතේ නැති කර ගන්නවා කියලා. එකම දරුවා නේ. ඒ ගමන අම්මගේ කැමැත්ත නේ කියලා හිටියා. ඊට සති දෙකකට පස්සේ අපේ අයියලාගෙ අහ යන්න ලෑස්තිවුණා. ගම්පහ, එහේ ගිහින් ඒ පුතාලත් එක්ක මැනිං මාර්කට් එකේ බිස්නස් කරනවා කිව්වා. මාසකින් එකහමාරකින් එන්නේ කියලා ඇඳුමුත් ලෑස්ති කරන් ගියෙ, කව්ද දන්නේ මේ විත්තියක්. අපේ අවසරය අරගත්ත විදියට වෙන කාටදෝ කියලා අත්සනක් අරගෙන ගිහින් තියෙන්නේ.”


”දැන් ඉතින් ඕක කිව්වොත් ආයිත් වරද වැටෙන්නේ මයෙ පුතාටම නේ. ඒ ගිහිල්ලා මාස එකහමාරකින් විතර ලියුමක් එව්වා. අම්මා කලබල වෙන්න එපා. මං ඉන්නේ අම්පාරේ කොණ්ඩුවටුවාන් කෑම්ප් එකේ කියලා. සුමාන දෙකක්ම මං ගත්ත කෑමක් උගුරෙන් පල්ලෙහාට ගියේ නෑ. කොයි වෙලේත් මතක් වෙනවා. මං හිටියේ ඇඬූ කඳුළින්.”

ඇය ආයිමත් ඔසරි පටින් කඳුළු පිහදා ගත්තා. අතේ මැණික් කටුවට පල්ලෙහායින් රුපියලේ කාසියක තරමට මතුවෙලා තිබුණ දිය බුබුල මං දැක්කේ එතකොටයි.
”ඊයේ පැණි වළලූ හැදුවා, අතට තෙල් ඩිංගක් වීසි වුණා.”
මගේ බැල්මට ඇය උත්තර දුන්නා.
”ගෙදර සුවදැල් මලක් ඉදිලා තිබුණා. තව පොලොස් අච්චාරුවක් හදාගත්තා දරුවට තියාගෙන කන්න. තව යාළුවොත් ඇතිනේ බෙදා හදාගෙන කන්න.”
පුතා වෙනුවෙන් උස්සන් ආපු කඳමළු ගැනයි ඇය එහෙම කිවේ.


”අම්මා ගෙදරින් ආවේ කීයටද?”
”ඇහැ ඇරුනේ පාන්දර දෙකහමාරට. අම්මටයි ගෙදර අයටයි දවාලට උයලා තියලා පළවෙනි බස් එකට එන්න ආවා. ඒත් අද හතරේ බස් එක නෑ. ඉතින් පහමාරේ බස් එකේ ආවේ නුවරට එනකොට හතයි. අම්පාරේ පළවෙනි බස් එක ගිහිල්ලා. අට වෙනකම් හිටියා මේ බස්එක එනකං.”


නොදනීම හැටනවය හන්දියේ චෙක් පොයින්ට් එකටත් ආවා. දෑතට උස්සාගෙන යන්න බැරි තරම් පුතා වෙනුවෙන් අරන් ආව දේවල් උස්සගෙන බහින්න ලෑස්තිවුණු අම්මගෙ දෑත දිහාට තව දෑතක් දිගු වුණා. අම්ම තනියම නෙමෙයි කියල මට දැනුණේ ඒ වෙලාවෙ. ඒ අම්මයි. තාත්තායි පෝලිමට එකතුවුණා. ආයිත් බස් එකට,

”මං හිතුවා ඔක්කොම පාර්සල් ඇරලා බලයි කියලා. එහෙම වුණානම් ආයේ ඔතන්නත් කරදරයි නේ. පුතා බලන්න කෑම්ප් එකට යනවා කිව්වහම හැදුනුම්පත විතරයි බැලූවේ, පාර්සල් ඇද්දේ නැහැ.” බස් එකට ආපු අම්මා කිව්වා.

”දැන් අද රැ වුණොත් අම්මලා කොහොමද ගමට යන්නේ,? දැනටමත් දෙකහමාරයි.”
මං ආයෙත් ඇහැව්වා.
”මේ වෙසක් මාසෙනේ පුතේ. ඔය තොරණක් යටට වෙලා හරි ඉන්න පුළුවන් නේ. බය හැකක් නෑ. පුතාලගේ තාත්තත් ඉන්නවා නේ.” අම්මා කීවා.
ඊළඟ කඳුළ වැටුණේ මගේ ඇහින්. දුරකතර ගෙවාගෙන තමන්ගේ දරුවව බලන්න එන මේ අම්මයි තාත්තයි රැය පහන් කරන්න සුදානම් වෙලා ඇවිත් තියෙන්නේ නගරේ තොරණ් මඩුවක් යට. හරියට නන්නාදුනන රටක අතරමං වෙච්ච යුවලක් වගේ. අම්ම කෙනෙක්ගේ තාත්ත කෙනෙක්ගෙ ආදරය කොයිතරම් විශාලද? අමිමලා තාත්තලා දරුවන් වෙනුවෙන් විදින වේදනාව ඒ දරුවන්ට දැනෙනවද? තාමත් ඒක මතක් වෙනකොට මගේ ඇහැට කඳුළු උණනවා
.

ලිහිණි

වසරකට එකහමාරකට පෙරාතුව මුණ ගැහුණු මේ අම්මව මම තාමත් හොයනව ඇය කුරුණෑගල මාවතගමට කිට්ටු කටුපිටිය ගමේ කියලයි කිව්වෙ. ඒ අම්මගෙ නම යමුනා.

5 comments:

අමල් ඉෂාන්ත said...

දෙමාපියන්ගේ ආදරයට ඉමක් කොනක් නෑ. ළමයෙක්ට තරවටු කරලා ඊට පස්සේ ඔවුන් විඳවනවා. වසර ගණනාවකට පසු මගේ නෙතඟට කඳුලක් ඉනුවා මේ කථාවට......
සාපවේවා මේ කුරිරු යුද්ධයට, ත්‍රස්තවාදයට

TV said...

ඔබට මේ අම්මා හොයාගන්න ඕනෙද ? මම ලබන සතියේ මවතගම යනවා....හොයලා මම දන්වන්නම්.....මම කුරුණෑගල රුවන්

gkt1234 said...

කදිම සටහන. යුද්ධය නිසා රටේ නිර්මාණය වී ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඇති උප සංස්කෘතියක් මනාව පැහැදිලි වෙනවා.

nidhahasa said...

මේ නූතන ලංකාවේ ඛේදවාචකය. දකුණේ අන්තවාදී දේශපාලනය විසින් ගොඩ නංවා උතුරේ ම්ලේඡ්චත්වය විසින් බිලිගත් ලංකාව එයින් මිදෙන දවස කවද්ද? මේක කියවන කොට 89 අම්ම ලා මතක් වුනා.

අක්කණ්ඩි said...

යුද්ධය නිසා එහෙ මෙහෙ වුණු ජිවිත කොයි තරම්ද? අපිට එහෙම හිතුණට යුද්ධය නිසාම පොහොසත් වුණු අයට ඔය වගෙ අම්මලා,දරුවො ගැන මතක්වෙන්නෙ නැහැ. දැන් ඉතින් යුද්ධෙ ඉවර වෙලත් සිදු වෙන දේවල් අනුව මට දැනෙන්නෙ තවමත් අපි යුද්ධය කෙරෙන රටක ඉන්නව කියලා ලංකාවට ආවම.
කෙසේ වෙතත් අපූරු නිර්මාණයක්.