Wednesday, 4 December 2013

කල්පණීගේ කල්පනා




අහසෙ තියෙන්න තරු ගනින්න යන්නද අම්මේ
හදහාමිගෙ රුව දකින්න යන්නද අම්මේ
වළාකුලේ පාවෙන්ට යන්නද අම්මේ
ඉගිල්ලිලා අහස දෙසට යන්නද අම්මේ //

තරුකැට ටික ටික අමුණා ඔබ හිස පලදන්නම්
වළාකුලේ කෑලි අරන් තෝඩු හදන්නම්
තෝඩු දෙකක කනට දමා හැඩද බලන්නම්// 

අහසෙ තියන තරු මට නම් හරිම ලස්සනයි
හදහාමිගෙ රුවත් ඒ වගෙම ලස්සනයි
වළාකුලක් අනේ අම්මෙ හරිම ලස්සනයි
අම්මාගේ මුහුණත් මට හරිම ලස්සනයි.

අහසෙ තියන තරු ගනින්න.....

මේ සොඳුරු පදවැලේ හිමිකාරීණි ඞී .ජී. දිනූෂී කල්පණී. ඇය මට හමුවුනේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගල්තලාව ගමේ ඇගේ නිවසසේදීයි. අබාධ සහිත කාන්තාවන් ගේ සංගමයෙන් දියත් කෙරුණු   උතුරු මැද හා නැගෙනහිර පලාතේ අබාධිත කාන්තාවක් විසිපස්දෙනෙක්ගේ ජීවිත කතා ඇතුළත් කෘතියකට කල්පණිගේ ජීවිත  කතාවත් ඇතුළත් වුණා. 

උපතින් ඇතිවූ ස්නායු අබාධිත තත්ත්වයක් නිසා අනෙක් අයගේ උදව් උපකාර නැතිව දෙපයින් ඇවිදගත නොහැකි වුවත්, දිනුෂි කල්පණී එවැනිම අනෙක් ආබාධ සහිත තරුණ තරුණියන්ට අභියෝගයක් වෙමින් දෙපයින් නැගී සිටීමට,  මට හමුවන විටත් උත්සාහ දරමින් සිටියා. සිය නිවසටම පැමිණන රෝද පුටු පරිත්‍යාග ශීලීන්ට කල්පණී පැවසුවේ ඇයට  රෝද පුටුවකට  සීමාවූ ජීවිතයකින් ප‍්‍රයෝජනයක්  නැති බවයි.

ශාරීරික අබාධ සහිත බව ජීවිතයට ගැටලුවක් වුණත් සහජ දක්ෂතා රාශියක් ඇත්තියක ලෙස මම ඇය හදුනා ගත්තා. ගී පද රචනයට වගේම ගීත ගායනයටත් කල්පණී උපන් හැකියාවක් දැක්වූවා. සිය දෙමව්පියන් හැරුනවිට  ඇය වඩාත් ආදරයට කරන්නේ සංගීත විෂයට වුනත් ඇගේ පාසලේ සංගීත විෂය ඉගෙනීම පහසුකම් තිබුනෙ නෑ. 

කල්පණී තම ජීවිතයේ ලැබූ විශාලම භාග්‍යය ලෙස සලකන්නේ නිමල් චන්ද්‍රටසිරි සහ ඞී. ජී මාලනී  දෙමව්පියන් ගේ නිම්මා නැති සෙනෙහසයි.  පවුලේ එකම දරුවා වෙනුවෙන් ඇපකැපවූ ඔවුන් සිය දියනියගේ අනාගත අභීවෘර්ධිය පිණිස ඇයට අවශ්‍ය සියළුම වුවමණා එපාකම් ඉටුකරන්නට හදවතින්ම බැදී සිටියා.  1991 වසරේ සැප්තැම්බර් 07 වනදා ඇය ඉපදුන දින සිට අද දක්වාම ඇගේ සියලූ  ඕනෑ එපාකම් සපුරාලමින් අදටත් ඇගේ සෙවනැල්ල සේ ඔවුන් නැගී සිටිනවා.

කල්පණී ගැන රටට කියන්න ආසන්න හේතුව මේ කිසිවක් නෙවෙයි. පසුගිය දවසක කොළඹ  බ්‍රිතාන්‍ය විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී වේදිකා ගතවුණු  “Eternal Returnz  එහෙමත් නැත්නම්  “ අවසන්වී නොවී දැල්වී, නිවී දැල්වෙන අලෝකය හෙවත් මට අනුව එය “සදාකාලික පුනරාගමනයක්”,  කල්පණී සහ පිරිස විසින්  වේදිකාවේ නීරූපණය කළා.  නර්තන ශිල්පිල නාට්‍යය අධ්‍යක්ෂක මහේෂ් උමගිලිය ගේ  “විරංගා කලායතනන යේ ඉදිරිපත්කිරීමක් වූ   එම වේදිකා නාට්‍ය යේ සුවිශේෂිතම  චරිතය නිරූපණය  කළේ අරලගංවිල  සිටි  පැමිණි කල්පණී.  නාට්‍ය අවසාන ජවනිකාවේ උච්චතම අවස්ථාවේදී දීප්තිමත් රතුරෝස මල් කළඹක් රැගෙන පැමිණී කල්පණී බොහෝ දුර ගමනක් යාමට පැමිණි අනෙකුත් ගමන් සගයන් කරා පැමිණ තම අතැති මල් කළඹින් එක් මල බැගින් පිරිනමා ඔවුන් සිහිසුන් කරමින් තමන්ට වඩාත් ගැලපෙන ස්ථානය සොයා ගැනීමට වෙහෙසුනා. අවසන ඇය  සිය අතැති අවසාන රතුරෝස මල පේක්ෂකාගාරයට දිගුකලා. 

අබාධිත බව කොන්කිරිමකට මිස පිළිගැනීමකට ලක් නොවක සමාජයකල  අබාධිතයින් කිසියම් වු දිනක තමන් වෙනුවෙන් අරගල කිරිමට ඇති ඉඩත්, ඒ වෙනුවෙන් ඔවුනට ඇති හිමිකමත්  ප්‍රේක්ෂක අප ඉදිරියේ දිගහැරූ මහේෂ් උමගිලිය නාට්‍ය  අවසානයේ ප්‍රේක්ෂකයින්ට පැවසුවේ අබාධිත පුද්ගලයින් විසින් ඉල්ලා සිටිනු ලබන රතුරෝස මලකින් සංකේතවත් වන ආදරය කරුණාව දයාව සහ පිළිගැනීම ඔවුනට ලබාදීමට, ඔවුන්ගේ ආදරය  අපි විසින් පිළිගැනීමට, අප කොතෙක් දුරට සූදානම් දැයි තමන්ගෙන්ම විමසිය යුතු කාලය එළඹ ඇති බවයි.

ශාරීරික ආබාධිත කල්පණි සමග එම නාට්‍යට එක්වූ අනෙක් නාට්‍ය ශීල්පීන් වන ශ්‍රවනාබාධිත ඉන්දික, මේනකා, දිනුෂා සහ කුෂාන් වෙතින් හැකි උපරිම දක්ෂතාවන් කැපවීම සහ පුහුණුවෙන් උකහාගෙන සමාජ දැක්මක් උදෙසා සිය නිර්මාණය ඉදිරිපත් කළ මහේෂ්  උමගිලිය ඇතුළු  නාට්‍ය නිෂ්පාදක පිරිවරට  මගේ ප්‍රණාමය කල්පණි සහ සමස්ත ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මගේ ප්‍රණාමය දක්වන ගමන්, කල්පණී ගේ  ඉල්ලීමක් මම  ඔබට ඉදිරිපත් කරන්න කැමතියි.

‘‘මම ඔයාල හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්න කැමතියි,  ඔබ ආබාධිත අයෙක් නම් අබාධිත බව සදාකාලික රෝගයක් කර නොගෙන යන්තම් හෝ හැකියාවක් ඇතිනම් දෙපයින් සිටගෙන ජීවිතය දිනන්න කියලා.  දෙපයින් හිටගෙන කියල මම අදහස් කරන්නෙ, තමන්ගෙ ශක්තිය, තමන්ගෙ ආත්ම විශ්වාසය. ඒ දෙක තියනව නම් අපිට අනිත් අයට වගේම බොහෝ දේ කරන්න පුළුවනි. අපි අභියෝග භාරගනිමු, අභියෝග ජයගනිමු. ඒ වගේම සමාජයෙන් මම ඉල්ලා සිටිනවා. අපිත් ඔබ වගේමයි, වෙනස් කොට සැලකීමක් අපිට එපා. අනුකම්පාවක් එපා. අපි ජීවිතේ බෙදාගමු.’’  ඒ දිඹුලාගල ගල්තලාව ගමේ දිනූෂි කල්පණිගේ ආදරණිය ඇරයුමයි.

2 comments:

කතන්දර කාරයා said...

ඔය ඉල්ලීම ගැන කියවෙන පාඨයක්.

Don't Dis my ability!

කතන්දර කාරයා said...

http://www.dontdismyability.com.au/

!