Monday, 11 February 2013

බැචියන්ගෙ බත් ගෙඩි

පුංචිලෑ ගෙදරට ගිහින්  එන්න  ඕනැකම තිබුණත් පහුණු කාලේ එක එක දිගට තිබුණු වැඩ කටයුතුත් එක්ක දවසින් දවස ඒ ගමන අතපහු වෙලා තිබුණා. පහුන ඉරිදාවක තවත් ඥාතීන් පිරිසකුත්  එක්ක අපේ ගෙදර අයත් පුංචිලෑ ගෙදර යන්න දාගත්තා.  අපේ ගෙදර අයට එහෙට එන්න කියල මම සරසවියේ ඉදන් කෙළින්ම පුංචිලෑ ගෙදරට ගියා. කටට රහට විවිධ කෑම හදන අතරේ, ලොකු දූ බත් ටිකක් කමුද? කියල අහපු පුංචි අම්ම මං හා කියන්නත් කලින් බත් බෙදල තිබුණා. රතු කැකුළු බත්, වට්ටක්ක දළු මාළුවක් එක්ක රාත්‍රියට සූදානම් කරපු හතු මාළුවයි, අල කිරි හොදියි පුංචි අම්ම  බත් එකට බෙදල තිබුණා. ඒත් ඒක හදන විදිය පුංචි දැනගෙන හිටියෙත් නෑ . ඇගේ වත්තේ වට්ට්ක්ක වැලක දළු නෙලාගෙන ගිය අසල්වැසි අම්ම කෙනක් තමයි ඒක උයල තිබුනේ.

කොස් ඇටත් එක්ක පොල් පොඩ්ඩක් අඹරල දාල   දාල කොළ පාට රැකෙන්න රසට උයල තිබුණු වට්ටක්ක දළු මාළුව රහ බලන්න උයන විදිය දැනගෙන අනිත්  අයටත් කියන්න ඕනෙ කියල හිතුනෙ ඊයේ පෙරේද දවසක කොළඹ හතේ වැටකත් ලස්සනට දිග ඇදෙන වට්ටක්ක වැලක් දැක්කට පස්සේ. ඉතින් මං ඒ ගැන අහගන්න මගේ පැරණි සරසවි  සඟයෙකුට කතා කලා. අන්තිමට සරසවියේ සහෝදරත්වයේ මතක ගැන ලියන්න ඕනේ කියල මගේ හිත කිව්වා.

අපි හිටියේ කොළඹ සරසවියෙ සුජාතා ජයවර්ධන නේවාසිකාගාරේ නව ගොඩනැගිල්ලේ,  ඒකෙ තට්ටු හතරක  කාමර හතලිස් හතරක එක කාමරේක හය දෙනා බැගින් හැට දෙසිය හැට ගානක් ළමයි හිටියා. ලංකාවේ හතී කොණ ඉදල එන කට්ටිය. මහව, ආණමඩුව, පුත්තලම, අනුරාධපුරය, අම්පාර, බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑළිය, ගාල්ල මාතර, බෙලිඅත්ත.  අක්කරේපත්තුව, යාපනය තිරිකුණාමලය  වගේ රටේ නන් දෙසින් ආපු සිංහල දෙමල මුස්ලිම් ළමයි, නීතිය කළමණාකරණය, විද්‍යාව, කලාව හදාරන ළමයි, දුවන පනින, පීනන ක්‍රීඩා කරන ළමයි, ලියන කියවන ළමයි,  මේ හැමෝම අපේ නේවාසිකාගාරෙ හිටියා. පේරාදෙණිය තරම් සොභාවික සුන්දරත්වය අතින් අනූන තැනක් නොවූවත්, සෑම සරසවි නේවාසිකාගාරයක්ම විවිධ මත ගැටෙන, සංස්කෘතීන් මුණගැහෙන, නව සබදකම් තරවෙන සොඳුරු නවාතැන්  පලක් කියලයි මට හිතෙන්නේ. ඒක පේරාදෙණියට වැඩිය රුහුණ හොදයි, ඊට වඩා කොළඹ හොදයි වගේ ජනප්‍රිය කතිකාවෙන් එහාට ගිය දෙයක්.

කොහොමත් ඉතින් සරසවිය කියන්නෙ අපි අපේ ජීවිතේ බොහෝ දේවල් බෙදා ගත්ත තැනක්නේ. උපාධි සහතිකය විතරක් නොවෙයි, ජීවිතය, ආදරය, සහයෝගය වගේ තවත් බොහෝ දේවල් අපි ඉන් ඉගෙන ගත්තා. වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයක් වුණු අපේ මේ පුංචි රටේ හැම බිම් අඟලකටම යන්න බැරි වුණත් රටේ හතර කොනෙන් ආපු සහෝදර බැම්ම අපිව එකට එකතු කරා.


සමහර විට නමවත් අහල නැති. එහෙම නැත්නම් නම විතරක් අහල තිබුණු කෑමක රස බලන්න අපට අවස්ථාව සැලසුනේ සරසවි නේවාසිකාගාරෙදි විතරමයි.  කොල්ලු ආනම, අල කොළ ඇඹුල, ඕලු දඩු මැල්ලුම, තැල් කොල ඇඹුල අපි රහ බැලුවෙ අපේ සරසවි සඟයන්නෙ බත් ගෙඩියෙන්.  හැම සතිඅන්තයේම නැතත් හුඟ වෙලාවට මාසෙකට වරක් වත්  සිකුරාදා හවස කෝච්චියෙන් හරි බස් එකේ හරි ගෙදර යන ළමයි  ඉරිද හවස හය වෙන්න කලින් නේවාසිකාගාරයට එන්න උත්සාහ කරනවා.

ඉතිං හැම කාමරේකටම හැම සති අන්තයේම කවුරුහරි ගෙදර  ගිහින් එනවා. කාමරේ හැමෝටම බඩ පිරෙන්න නැතත් හිත පිරෙන්න  තියෙන  විදියට කන්න යමක් හොයල හදල එවන්න බොහෝ විට ජීවිතේ කවමදාවත් අපිට මුණ නොගැහෙන අපි නොදන්න අපේ යෙහෙලියන්ගෙ අම්මල අමතක කරන්නෙ නෑ. ඒක බත් ගෙඩියක්, රටකජු මුලක්, අඹ, දිවුල් මල්ලක් වෙන්න පුළුවන්.

දිවුල් සම්බෝලේ මම  පළවෙනි වතාවට රස බැලුවෙ චුටි බබා ගෙන්. මහව ඉදල සරසවි ආ ඇය පහුණු කාලෙ මොරවැව පාසලේ ඉගැන්නුවා. අද කොහේද දන්නෙ නෑ. ආණමඩුවෙ මල්පානව චන්දිලගෙ ගෙදර වත්ත පුරාම කරඹ තියෙනවා. අහල පහල පුංචි වැව් දියේ ඕන හැටිය ඕලු තියෙනවා. ඔලු දඩු ( ඕලු කොළ සහ මල්වල නැටි)  කඩල කොහිල දල්ලෙ නූල අරිනව වගේ පිට පොත්ත ඇරල, හීන් වෙන්න ලියල ලුණු දියේ දාල  මිරිකල පොලුයි, රතුලූණුයි එක්කර හදන සමබෝලෙ මතක් වෙනකොට දැනුත් බත් පිගානක් කන්න හිතෙනවා. චන්දිගෙ අම්ම බත් හැළිය ළිපෙන් බාපු ගමන්, ඇතුල් බතකට බත් එක බෙදනව විගහට නිවෙන්න. ඊට පසුවයි ඇය දරුවන්ට බත් බෙදන්නේ.

ඇඹිලිපිටියේ සුරංගි, දැන් කොහේහරි උසාවියක නීතිඥවරියක් වෙන්න ඕනෙ. ඇගේ බත් ගෙඩියෙ නොවරදින කෑම අලකොළ ඇඹුල,  ඇය කියා දුන් විදියට අල කොළ ඇඹුල හදන්නෙ වෙල් අල කොල (හබරල ගොබ ) දිගහැරෙන්ට කලින් නෙලාගෙන දවසක් පවනෙ තියෙන්නට හැරල අරගෙන. මුලින් අල කොළ හොදින් සෝදල  දිග ඇරල සත්තු ඉන්නවද බලල එක මිටට ගැට ගහල පැහුණු උණුවතුරට දාල අරගෙන තරමක කෑලි වලට කපා ගෙන පැත්තකින් තියා ගන්නවා.

ඇඹුල ඒදන හට්ටියට අරගෙන  උකු මිටිකිරි එක්ක, මිරිස් කුඩුකහතුනපහඋළුහාල්කරපිංචාරම්පෙලුණු රතු ළූණුගොරකාසුදුළූණු ඔක්කොම එකතු කරල හොද්ද ලිප තියල එය උතුරාගෙන එන විට කපාගත් අල කොළ එකතු කරනවා. මදගින්නේ තරමක් වෙලා උයා ළිපෙන් බා ගත් පසු හොද්දට දැමූ ගොරකා කෑල්ල අයින් කරන්නත් මතක තියා ගන්න ඕනෙ. තවත් වැඩි රහක් ඕනේනම් කරපිංචා කොළයක් අබ ස්වල්පයක් එක්කාසු කරල තෙම්පරාදු කරගන්නත් පුළුවන්.

මේ අතීත මතක ලිව්වෙ වට්ට්ක්ක දළුවක් නිසානේ.  ඒක හදන විදියත් ලියා තියන්නම්. අපි මාළුව කිවිවට පැරනි ගමේ ඇත්තො වට්ටක්කා දළු මාළුවට කීවේ නියඹලාව කියලලු, සිනිදුවට පොල්අඹරල හදන එළවළු වලට ගම්තුලානෙ ඇත්තො කියන්නෙ එහෙමලු, මෙන්න හදන විදිය.

වට්ටක්කා දළු හරියෙන් වෙන්න කරටි ටිකක් අවශ්‍යයි, මෝදුවෙන දල්ලක් එක්ක ළපටි දළු දෙකක්  විතර හිටින්න කඩා ගත් වට්ටක්කා කරටි හොදින් සෝදා,  දියබේරුනාට පසු රේණු කෙදි හැර  දඬු වල බූව පිහියකින් යන්තමට අයින් කර  තරමක ලොකු කැබලි හිටින්න කපාගන්න ඕනේ. තලාගත් කොස් ඇට ටිකකුත් මේකට එකතු කරගන්න පුළුවන්නම් පංකාදු පහයි. මැටි  හට්ටියකට වට්ටක්ක දළුයි කොස් ඇටයි , අමු මිරිස්, රතු ලූණු අවශ්‍ය පමණත් රම්පෙ කරපිංචා එක්කර ඒකටම ලුණු, කහ , තුනහප, උම්බලකඩ එකතු කරගන්න ඕනේ.  මේ සියල්ල දියකිරි සවල්පයක් එක්කර වැහුම් ඇර මදගින්නේ උයාගන්න අවශ්‍යයි. පොල් කිරි මිරිකා ගැනීමට පෙර අඹරා ගැනීම සඳහා පොල් මිටක් මෙන්ම මිටිකිරි ද පසෙකින්  තබාගත යුතුයි. අවසානයට ගම්මිරිස්  ඇට ස්වල්පයක්, සුදු ලූණු බික් දෙකක් තුනක්, අබ ටිකක්, කුරුඳු කෑල්ලක් සහ හෝදලා ගත්තු හාල් මිටක් සමඟ සිනිදු වට ගුලියක් සේ අඹරාගත් පොල් යොදා මිශ්‍රණය කලින් වෙන් කල මිටිකිරි සමඟ එක්කර ලිපේ ඇති වට්ටක්කා දළු මාළුව ඉදී ගෙන එද්දී එයට එක්කරගත යුතුයි. මතක තියාගත යුතු වැදගත්ම දේ වට්ටක්ක දළු මාළුව වැහුම් ඇර කොළපාට රැකෙන සේ උයා ගැනීමයි.

8 comments:

Kathandara Karaya said...

මාත් කාල තියෙනවා ඔහොම බත් ගෙඩි!

හැබැයි තමන්ගේ අත තියෙන පැත්තේ තියෙන වෑංජනය විතරයි කන්න ලැබෙන්නේ. ඇහි පිය ගහන කොට සේරම ඉවරයි.

(ඔය කියන කාමරයක් කොච්චර ලොකුද, කොහොමද හය දෙනෙක් හිටියේ? බන්ක් බෙඩ් තියෙන්න ඇති? මේ කියන නේවාසිකාගාරය අර සේරම් ප්ලේස් එකේ තියෙන එකද?)

වකා - WAKA said...

ලස්සන මතකයක් අක්කේ... :)

malee_msg said...

අඩේ නියමයි අක්කේ..! කටට කෙලත් ආවා හලෝ!!!

ලිහිණි said...

ඉස්සර කිව්වෙ බුලර්ස් නේවාසිකාගාරය කියල. පුංචි කාමරයක්, ඇදන් කොන්ක්‍රීට්,හරියට බිත්තියට හයි කරපු රාක්ක වගේ, දෙක දෙක තුනක්, ස්ටඩි රූම් එක කොමන් රූම් එකක්, පොඩි මේසයක් , පුටු දෙකක් ඇදුම් රැක් එකක් එක්ක අඩි දොළහක් දිග අඩි 3 විතර පළල බැල්කනි එකක් තිබුණ. සීඅර් ඇන්ඩ් එෆ් සී ග්‍රව්‍රන්ඩ් එක එක පැත්තකට මියිම ටවලා තිබුණ.ඇත්තටම ඒක හර්ම සුන්දර මතකයක්..

Il mondo di una povera pazza said...

උදේ ඇඳේ ඉඳන්ම කියෙව්වේ. හිතාගන්න පුළුවන්නේ එතකොට දවස.

මේ කතාව ලියන්නේ අතුරු කතාවක් විදියට.
මේකේ මට කැමති දෙයක් ලියන්න අවසර ගන්න ඕනේ නෑ කියලා මම දන්න හින්දා (ඊට වඩා දුර ගමනක් ඉන්ටර්නෙට් වයර් අස්සේ බ්ලොග් අස්සේ ෆෝරම් අස්සේ චැට් අස්සේ අපි තරම් උසට ගෙවපු ටෙලිෆෝන් බිල් අස්සේ තියෙන හින්දා එහෙම අයිතියක් මට තිබුනා කියලා මම විශ්වාස කරනවා.)

ලිවීම කියන්නේ නිකම් පපඩම් කනවා වගේ වෙන ඔයාලට මේ වගේ තව කොයි තරම් දේවල් ලියන්න පුළුවන්ද?

ඒත්

මම වගේ කොහේටවත් නැති එකෙක්ව මේ වගේ අකුරු අස්සේ වචන අස්සේ මේ අද ඉන්න තැනට ගෙනාවට බොහොම පින් සන්ජි ඔයාට.

කෑම ගැන කීවොත් වට්ටක්කා කොළ මෙහේ මම යන ගමේ පොලේ ඉඳලා හිටලා විකුනන්න තියෙනවා. මාත් පොඩි කාලේ වගේම අදටත් ගමේ රටේ ගියාම ඔය ගස් වැල කොළ ගෙඩි දැක්කම අනේ මේව කන්න පුළුවන් නේද කියලා අහන හින්දාම බෝනස් පිටින්ම ඔය අතීත කෑම අදටත් අනිත් අයට වඩා කෑමේ පිනේ මහිමෙන් එක පාරට පොප් අප් වෙලා වට්ටක්කා කොළ ගෙදර අරන් ආවා. ඒත් මම ඒවා උයන්න දන්නවයි. ගෙදරට කෝල් එකක් ගත්තම එයා හදන ක්‍රම කීපයක් කියලා කොස් ඇට කතාවක් කීවම මම කිවුවා ඕනේ නෑ ඉන්නවකො මම හදන්න කියලා මාත් කොළ ටික හෝදලා ළුෞනු ගෙඩියක් දාලා වේලිච්ච මිරිස් කරලකුත් රන් වන් පාට වෙනකම් තෙලේ දාලා කොළ ටික දැම්මා. ඒ කාලෙක ඉඳන් මම ආසාවෙන් එහෙම බත් කාපු එළවළුවක් තිබුනා නම් ඒ තමයි වට්ටක්කා කොළ.
ඇත්තම කියනවා නම් අර අතීතේ රහ මතක් කරමින් කන කෑම මේ තරම් අපිට දැනෙන්නේ ඇයි ?



Naleen Dilruksha said...

සොදුරුම මතකයන් අපව තව තවත් ජීවත් කරවනවා

අකලංක said...

අපිටනම් හොරෙන් දොරවල් වහගෙන තමා බත්ගෙඩි දිගාරින්නෙ. අපිට නමකුත් වැටිලා තිබ්බා සුනාමි කියලා

Gayani Wedage said...

කෝ අනේ මගේ කොමිට්ටුව

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)