Tuesday 28 January 2014

ප්‍රශ්නයක් පිලිතුරක් මරණයක්...?

ඉඳලා හිටලා කතාකරලා දුක සැප අහන යාළුවෙක් බොහොම දුක්බර ආරංචියක් ගෙනාවා. සුනිල් අයිය වහබීල නැතිවෙලා කියලා. මට පුදුම හිතුණා ජීවිතේ දරාගෙන ජීවත්වෙන්න ඕන සුනිල් අයියා වගේ මිනිස්සු ප්‍රශ්නවලින් මිදිල යන්න ජීවිතේ නැති කරගන්නවා තරම් සරල වෙන්නෙ කොහොමද කියලා? එකපාර ප්‍රශ්නනෙකින් ගැලවිලා යන්න ජීවිතේ නැතිකර ගන්න එක උත්තරයක් නම් මේ ලෝකේ මිනිස්සුත් නැතිවෙයි කියල මට හිතුණා. මොකද හැම මනුස්සයකුට ම තමන්ගෙ විදියට මූණ දෙන්න ගැටලු තියෙනවානේ.

සුනිල්  අයියයි කුසුම් අක්කයි කසාද බැන්දෙ ආදර සබඳතාවයකින්.ඒ දෙන්නට ඉන්නෙ දූලම දෙන්නෙක්. කුසුම් අක්කා දරුවො දෙන්නව ඇස් දෙක වගේ බලාගත්තා. මහ ලොකු ආදායමක් නැතිවුණත් පිරිමහගෙන ජීවත්වෙන්න ආදායමක් ඒ පවුලට තිබුණා. හත්දෙනෙක් ඉන්න පවුලේ වැඩිමලා වුණු කුසුම් අක්කට අනිත් සහෝදර සහෝදරියො හැමෝමත් උදවු කළා.

එහෙමත් එකේ ජීවිතේ දාලා යන්න සුනිල් අයියට හිත් දුන්නෙ ඇයි කියල මම හොයල බැලුවා. චතුරි එහෙමත් නැත්නම් සුනිල් අයියගේ පොඩි දූ ඉපදුණු දවස්වල ඉඳල ටිකක් අසනීපෙන් හිටි දරුවෙක්. නිතර නිතර කලන්තෙ හැදෙන ගතියක්, තුවාලයක් වුණාම රුධිරය කැටි ගැසීම ප්‍රමාදවීම නිසා අධික රුධිර වහනයට ගොදුරුවීම වගේ රෝග ලක්ෂණ ගණනාවකින් මේ දැරිවිය පීඩා වින්දා. කුසුම් අක්කා ඇස් දෙක වගේ පොඩි දූගේ පස්සෙන් ඉදලා ඇයව පරිස්සම් කළා. ළමා රෝහලින්, කොළඹ මහ රෝහලින්, වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් අවශ්‍ය පරීක්ෂණ කරලා ඒ සම්බන්ධව ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලැබුණු උපදෙස්, ප්‍රතිකාර නිසි විදියට ලබාගත්තා. චතුරි පාසල් ගියා. අනිත් දරුවො වගේ දුවන පනින ක්‍රීඩා කරන්න නොගියත්, චෙස් සෙල්ලම් කළා. ‍කොටින්ම කියනවා නම් සාමාන්‍ය දරුවෙක් විදියට ඇය ඇගේ වැඩ කොටස කරගෙන ගියා.

දවසින් දවස දියුණු වෙන ලෝකේ අනාගතේ දවසක චතුරිගෙ අසනීපයට නිසි ප්‍රතිකාරයක් හොයාගන්න පුළුවන් කියල බලාපොරොත්තුවකුත් අපි හැමෝගෙම හිත්වල තිබුණා. මේ හැමදේම අතරෙ සුනිල් අයිය වහ බීලා තිබුණා. ඒකට හේතුව වුණේ චතුරිගෙ අසනීපය මව්පියන්ගේ ජානවල දුර්වලතාවක් නිසා ඇති වූ අසනීප තත්ත්වයක් බව වෛද්‍යවරුන් විසින් සොයාගැනීමයි. ඒ විතරක් නෙවෙයි අනාගතේ දවසක විවාහ දිවියකට ඇතුළත් වුණත් දරුවෙක් බිහිකීරීම ඇගේ ජීවිතයට තර්ජනයක් විය හැකියි කියලත් වෛද්‍යවරු කියල තිබුණා. සුනිල් අයිය‍ට ජීවිතේ නැති කරගන්න ආසන්නම හේතුව වෙලා තිබුණෙ ඒක.

සුනිල් අයිය ජීවිතේ දාල ගිහින් ඉවරයි. ඒත් කුසුම් අක්කට පුළුවන්ද ඒ තීරණේ ගන්න. මම ඒ ගැන හිතුවා. පහුගිය දවසක දකුණු පළාතේ අම්මා කෙනෙක් තමන්ගෙ දරු දෙන්නටත් මේ විදියට කරන්න කියලා තුන්දෙනාම ගෙල වැලලාගෙන මිය ගිහින් තිබුණු ප්‍රවෘත්තියත් මට මතක් වුණා. වර්තමානෙ ජීවත්වෙන මිනිස්සුන්ට දෙයක් දරාගැනීමේ හැකියාව අඩුවෙලා ගිහින්ද? ඇයි එහෙම වෙන්නෙ.

ඉස්සර වගේ නෙවෙයි දැන් හැමදේම ක්ෂණිකයි කියල මට හිතෙන්නේ. ඇත්ත මිනිස් හිත හරි ඉක්මණට කැඩිලා බිඳිලා යන සබන් බෝලයක් වගේ තමයි. මේ ඉපදෙන හිතිවිල්ල ඊළඟ තත්පරයෙදි මිය යනවා. ඒ වුණත් ජීවත් වෙනකොට, ජීවිතේට ප්‍රශ්න එනකොට අපිත් සබන් බෝල වගේ බිඳිලා විසිරිලා ක්ෂය වෙලා යන්න ඕනෙද? ඇයි අපිට බැරි ජීවත්වෙන්න, ජීවිතේ දිහා සුබවාදීව බලන්න.

මේ හැමදේම වෙන්න අපි පරිකල්පනයෙන් ඈත් වීමත් එක හේතුවක් වෙන්න බැරිද? මට දැනෙන විදියට අපි පරිකල්පනයෙන් ඈත් වෙනකොට ජීවිතෙත් අපෙන් ටික ටික ඈතට යනවා. හැමදේම කලින් සූදානම් කරලා තියපු දේවල්. අලුත් විදියට දෙයක් දකින්න විඳින්න අපි සූදානම් නෑ. අනිත් හැමදේම වගේ වර්තමාන ලෝකේ මිනිස් ජීවිතෙත් පාරිභෝගික භාණ්ඩයක් වෙලා.

අපි දැන් හුරුවෙලා තියෙන්නෙ ක්ෂණික ලෝකෙකට. විනාඩි දෙකෙන් හැදෙන නූඩ්ලස්, ඉඳිආප්ප වගේ අපේ ජීවිතවලට එන ප්‍රශ්නවලට උත්තරත් අපි ඉදිරියේ මැවිලා තියෙන්න ඕනෙ කියල අපි හිතනවද? විනාඩි දෙකෙන් හදන නූඩ්ලස් වගේ. ජීවිතේ ප්‍රශ්න ගැන අපිට තීන්දු තීරණ අරගන්න පුළුවන්ද? ඒක අපි අනිත් අයට කරණ කොච්චර අසාධාරණයක්ද? ඇයි අපි ඒ ගැන හිතන්නෙ නැත්තෙ. හිතන්න මොහොතක් අපිට අපි ගැන අපේ ජීවිත පවත්වාගෙන යාම හෝ නොයෑම ගැන තනි තීරණ ගන්න පුළුවන්දගැටලුවකට මුහුණ දුන්විට අනේ මේකට උත්තර හොයනවට වඩා මියැදෙන එක හොඳයි කියල කෙනකුට හිතෙන්න පුළුවන්. ඒක මනුෂ්‍ය ස්වභාවය වුණත් අපි බැඳිලා ඉන්න යුතුකම් වගකීම් එක්ක ඒ තීරණේ කොච්චර වලංගු ද කියල හිතලා බලන්නම වෙනවා. 

දරුවගේ අසනීප තත්ත්වෙ දරාගන්න බැරිවෙච්ච සුනිල් අයියා මියදෙන්න කලින් කියල තිබුණා එයාගෙ ජානවල දෝෂයක් නිසා දුව අසනීප වීම දරාගන්න බැහැ, දරුවෙක් නැති අනාගතේ කෙල්ලට දුක්විඳින්න වෙයි. ඒක දකිනවට වඩා මරණය හොඳයි කියලා. දැන් ඒ දරුපවුල ගැන හොයල බලන්නෙ කවුද? මෙතුවක් දෙන්නෙත් එක්ක බෙදාගත් ජීවිතය තනියම කරගහගෙන යන්න කුසුම් අක්කට කොච්චර ශක්තියක් තියෙන්න ඕනෙද? අම්මල මහමෙර උසුලනවා කියන එක ඇත්ත ‍කියලා මට මේවෙලාවෙ හිතුණන්, මට අනුව සුනිල් අයියා කියන්නෙ තමන්ගෙ වගකීම යුතුකම මඟ හැරදාපු පරාජිතයෙක්.

අසනීපෙන් ඉන්න දරුවෙක් ගැන හිතලා දිවි නහගන්නවට වඩා ඒ දරුවගේ අනාගතය වෙනුවෙන් ඒ පුංචි හිත ශක්තිමත් කරන්න, හැම කුරුල්ලකුටම පියාඹන්න බැහැ, බිම ඇවිදින කුරුල්ලොත් ඉන්නවා කියල දෙන්න ඒ තාත්තා ජීවත් වුණා නම් කොච්චර වටිනවද? දරුවගේ අසනීපෙ නිසා මනසින් බිඳ වැටුණු සුනිල් අයියට එයාගේ දරුවට වගේ ම තවත් දරුවො ඉන්නවා. ජීවිතේ කියන්නෙ ප්‍රශ්නවලින් පලායාම නෙවෙයි. උත්තර හොයාගැනීම කියලා, කියා දෙන්න කෙනෙක් හිටියා නම් සමහරවිට ඔහු තාමත් ජීවතුන් අතර සිටින්නත් පුළුවන්.


3 comments:

කතන්දර Kathandara said...

අතිශය දුක්බර කතාවක්.

මිනිස්සු ප්‍රශ්නවලින් පලා යනවා. ජීවත්වෙන අය දුක් විඳිනවා.

අපට කළහැකි යමක් තිබේ නම් ඊමේලයකින් දන්වන්න.

D.G.M බස්සා said...

:(

D.G.M බස්සා said...

හිමීට පරණ කතා ටිකත් කියවන්න ගත්තා. ඇයි මේක බ්ලොග් එක හංගල වගේ තියන්නෙ? මෙව්වා අනිත් අයත් දැණ ගතයුතු , ජීවිතවල කතන්දර