Tuesday, 9 December 2008

ආදරය


මේ මෑත දවසක පාසල් සේවා වෑන් රථයක සේවය කරන රියදුරු මහත්මයෙකුට අපූරු අද්දැකීමකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ වෑන් රථයෙ පාසල් යන්න අවුරුදු 7 පුංචි පුතෙක් තවත් පුංචි දියණියකට ලියුමක් ලියලා තිබුණා. අවාසනාවකට ඒ ලියුම රියදුරු මාමා අතට තමයි අහුවුණේ.

ළමා අකුරෙන් පිටුවක් පිරෙන්න මං ඔයාට ආදරෙයි චූටි නංගි මේ මෝඩ මාම හින්දා මට ඔයාට කිස් එකක්වත් දෙන්න විදියක් නැහැ.

ඒක තමයි ඒ ලියුමේ ලියවිලා තිබුණේ. ඔබ මොකද හිතන්නේ. අපි පුංචි දරුවන්ට ආදරේ කියලා දෙනවා. අම්මට ආදරේ කරන්න, තාත්තට ආදරේ කරන්න, පුංචි නංගිට, මල්ලිට ආදරේ කරන්න උම්මා එකක් දෙන්න අපි පොඩි අයට කියලා දෙනවා. ඒත් එහෙම කියලා දෙන්නේ එක්තරා කාලවකවානුවක් වෙනකම් විතරයි. අවුරුදු 6 , 7 ක් යද්දි ඒක වෙනස් වෙනවා. අර පුංචි කාලේ පෙන්නපු ආදරය උගන්නපු ආදරයට වැට බැදෙනවා. එක පාරටම ගැහැණු පිරිමි කියලා තාප්පයක් බැදෙනවා. කිසිම හේතුවක් කාරනයක් නැතිව ඇතිවන මේ වෙනස්වීම කොහොමද දරුවන්ට දැනෙන්නේ කියලා කවදාවත් කවුරුවත් හිතන්නේ නැතිව ඇති.

පොඞ්ඩක් කරදඩු උස් මහත්වෙච්ච දරුවෙක් අම්මගේ ඔඩොක්කුවේ ඉද ගන්න බත්කටක් කවා ගන්න ගියාම සමහර අවස්ථාවල මේ මොන නාකී හුරතල් ද කියලා දෙමාපියන් අහනවා. ඒ කියන්නේ ළමාවියෙන් යොවුන්වියට පැමිණෙනවා කියන්නේ එකපාරම නාකීවෙනවා කියන අදහසක්. හුරතල් වෙන්න පුළුවන් පොඩි එවුන්ට විතරද? ඇයි වැඩිහිටියන් හුරතල් වුණාම මොකද වෙන්නේ. අපි කවද්ද මේ යතාර්ථය තේරුම් ගන්නේ. මම දකින විදියට, මම හිතන විදියට අපි හිතන පතන විදියේ ක‍්‍රියාත්මක වන විදියේ වැරැුද්දක් තියෙනවා. සංස්කෘතිය, සබ්්‍යත්වය නැති කරනවා කියන නොවෙයි මම මෙතන අදහස් කරන්නේ සමාජය තුළ පවුල තුළ පාසල තුළ අපි සහෝදරකම් වගා කරන්න ඕනේ කියන එක. ආදරය වගා කරන්න ඕන කියන එක.

අනෙක් අය එක්ක තරග කරනවා වෙනුවට සහයෝගයෙන් ජීවත් වෙන්නේ අනෙක් කෙනාව තේරුම් ගන්න අපි අනාගත පරම්පරාවට හුරු කරන්න ඕන. ජීවිත කියන්නේ බෙදා ගන්න තියෙන දේවල් මිසක් මරාගන්න තියෙන දේවල් නෙමෙයි. අපි යහගුණදම් වගා කරනවා කියන්නේ ආදරය සෙනෙහස දයාව, කරුණාව, එකිනෙකා අතර පතුරුවා හරිනවා කියන එක.

අපි දෙයක් අත්පත් කර ගන්න අප සතු කර ගන්න දගලන දැගලිල්ලම අපේ ජීවිතයේ සතුට රදවා ගැනීමටත් තියෙන්න ඕන. මොකද කිසියම් දෙයක් අත්පත් කර ගැනීමෙන් පස්සේ ඒක පැත්තකට දාලා ඔහේ තියෙන්න හරිනවා. ඒකට තිබෙන ආසාව ඉවර කරනවා. නමුත් අපි ජීවිතය බෙදා ගන්න ඕන, ආදරය බෙදා ගන්න ඕන. ඒ බෙදා ගැනීම ඒ අවබෝධය ජීවිත කාලයටම වෙන්න ඕන. ඒක අත්පත් කරගෙන කූඩුවකට දාලා හිරකරලා වහල තියන්න නම් අපි තවදුරටත් ආදරය කිරීමට අවශ්‍යද?

7 comments:

G.S.N. Supun Budhajeewa said...
This comment has been removed by the author.
G.S.N. Supun Budhajeewa said...

සමාවෙන්න, කලිං පෝස්ට් එක ලියමින් ඉන්න ගමන් වැරදීමකින් පබ්ලිෂ් වුනා, මෙන්න සම්පූර්ණ එක :

---
උඹ වැරදි නෑ මල්ලි, අපේ සංස්කෘතිය කියල සමහරු හඳුන්වන දේට අභියෝග කරන්න පොඩි වයසෙදි උඹ නිර්භීත වෙච්ච එක ගැන සතටුයි.

එක්කෙනෙකුට ආදරේ කරන්න කලිං මුළු ලෝකෙම එක්ක යාළුවෙන්න. එතකොට සහතික වෙන්න පුළුවන් උඹ කළේ නිවැරදිම තේරීම කියල.

සමහරවිට ඔයා කරපුදේට සමහරවිට අම්මයි තාත්තයි බනින්න ඇති නේද ? (ඒ බැනුං හොඳයි මලේ, අර නංගියගේ අම්මට හරි තාත්තට හරි අහුවුනා නම්, බඩුම තමා !). ගණන් ගන්න එපා, ඔයා අම්මටයි තාත්තටයි ආදරේකරනවට ඒ ගොල්ලො කැමතිනම්, ඔයා ඒ නංගිට ආදරේ කරනවට ඒ ගොල්ලො අකමැතිවෙන්න හේතුවක් නෑනේ ? නේද ?

ලංකාවේ අනාගතේ හිතනවටත් වඩා ආලෝකමත් !

Derick Widanalage said...

මම නම් ඇත්තටම අම්මා ලඟ හුරතල් වෙන්න තවත් ආසයි... ගෙදර ගියහම අම්මට කියල බත් කටක් කවා ගන්න... ලඟට වෙල එක එක දේවල් කතා කර කර ඉන්න මම නම් හරිම කැමතියි... ඒත් මගේ මල්ලි නම් හිනවෙනව නාකි හුරතල් කියල...

G.S.N. Supun Budhajeewa said...

Derick Widanalage කියන කතාව ඇත්ත. අම්මලා අරම කියන්නෙත් ආදරේට මිසක් එහෙම හුරතල් වෙනවට අකමැති නිසා නොවේ.

---
දැන් බ්ලොගර් වල තියනව නේද වර්ඩ්ප්‍රෙස් වල වගේ පෝස්ට් එක යටින් කමෙන්ට් බොක්ස් එකක් දාන්න හැකියාව ? අනේ එකත් දමලා මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න බැරිද ?

සරත් ගුණතුංග said...

ලිහිණි, ඔබේ සටහනට මමත් ප්‍රතිචාරයක් දක්වන්න ඕන කියල මටත් හිතුන.

මට පේන්නෙ මෙන්න මේ විදියටයි.
දැන් කුඩා කාලේ හැදෙන දරුවන්ට බොහොම මානසික තර්ජන තියෙනවා. ප්‍රථම කාරණය තමයි රූප වාහිනිය. ඒකෙ පෙන්වන නානා ප්‍රකාර විකාර ලමයින් ඉගෙන ගන්නවා. ඒ අන්දමට හැදෙන්න යනවා. ඒක නවත්වන්න බැහැ. ලමයි වෙන අන්දමේ පරිසරයක හැදුනොත් ඒ පරිසරයේ දකින දේවල් ඉගෙන ගන්නවා. ඒක තමයි ලමයාගේ සංස්කෘතිය. මහා චාර්ය සිසිල් හෙල්මන් Culture Health and Illness නම් වූ අනගි ග්‍රන්ථයේ කියල තියෙන්නෙ Culture is the lens through which an individual looks at the world කියල. තර්කානුකූලව බලන කොට අපට වුනත් පේනව ලමයි ඉගෙන ගන්නෙ දකින දේවල්. ටික කලකට ඉස්සර ඇමෙරිකාවෙ අවුරුදු හතක ලමයෙක් එයාගෙම පන්තියෙ අවුරුදු හතක ගෑනු ලමයෙකුට තාත්තගෙම පිස්තෝලය අරගෙන ඇවිත් වෙඩිතිබ්බ. වැරදි කාරයො ලමයි නෙවෙයි, වැඩි හිටියො, ඒ ලමයින්ට හැදෙන්න සුදුසු පරිසරයක් දුන්නෙ නැති නිසා.

malee_msg said...

පුද්ගලිකව මම හැමදාමත් ආසයි පොඩි එකෙක් විදියට ජිවත් වෙන්න තාමත් මම එහෙමමයි... අම්‍මා වෙලාවකට කියනවා.. දැන් ඔයා අවුරුදු**ක ‍ලොකු ලමයෙක් කියලා...ඒත් මම තාමත් බබා කියලා ඒ වෙලාවට මම අම්මට කියනවා.අර පොඩි පිරිමි ලමයට ඊලගට සිද්ධ වුනේ මොන මොනවද දන්නේ නෑ.. අනිවාර්යෙන්ම එයා ජිවත් වෙන පරිසරයත් එක්ක එයාට දැනුනු දෙයක් වෙන්න ඇති පොඩි එකා ලොකු ‍එකෙක් වගේ කරන්න ඇත්තෙ...හරි ද වැරදිද කියන්න තරම් මට දැනුමක් නෑ.. .ඒත් ඒ දරුවා ගැන දුකයි

har said...

‍මොනව නැතත් ඒ ළමයා හැදී වැඩෙන පරිසරයත් එක්ක ඔළුවට ආපු දෙයක්, මේවගේ දේවල් පොඩි කාලෙදිම ඔළුවට එනව කියන්නෙ ලංකාවෙ ඉදිරි අනාගත පරපුර ගැන තව දුරටත් සිතන්න වෙනව. රූපවාහිනීයත් මෙයට හේතුවක් වෙන්න ඇති.