Sunday, 3 May 2009

මිනිසා නොමිනසා බවට රූපාන්තරණය වීම



දන්නෙ නෑ කොහෙන්ද පටන් ගන්නෙ කියල. නිමා කරන්නෙ කියල. ඒ වුණත් හැම තිස්සෙම ඇස් මුලට එකතුවෙන කදුළු වලට වැටෙන්න ඉඩ අරින්න ඕනි. සිංහල දරුවො මෙචිචර මරා දැම්ම, දෙමල දරුවන් මෙච්චර මරා දැම්ම කියල ගණනින් ගණන එකතු කරල, මේ දරුවා ගැන කතා කලා මේ දරුවා ගැන කතා නොකලාය කියන තැනින් එහාට..............

පසු ගිය මාස කිහිපය පුරාම සාපේක්ෂව කුඩා දරුවන් රැසක් මරා දමලා තිබුණ. හරිම පහසුවෙන්, අම්මෙක් දරු දෙන්නත් එක්කම ළිංපතුලෙදි භවය අතැර ගිහින් තිබුණ. ගිය සතියේ තාත්තෙක් දරු දෙන්න එක්කම කඹ පොටවල හයිය බලල තිබුණ. ගාල්ල, අක්මීමණ, සපුගස්කන්ද, තිරිකුණාමලය, මඩකලපුව මේ හැම තැනම දරුපැටවුන්ට එකම එක පොදු සාධකයක් බලපාල තිබුණ. හුස්ම හිරවීම එහෙම නැත්තම් හුස්ම හිර කිරීම; ඒ එකම සාධකය. ‍ඒ හිර කරපු අත් සිංහලද දෙමලද මුස්ලිම්ද? නම වර්ෂාද? සුමල්ද? හද ගැහුනෙ සිංහල, සිංහල කියලද? නැත්නම් දෙමළ, දෙමළ කියලද? කියන එක මට වැදගත් නෑ. වැදගත් එකම දේ, මුදලට, කෑදරකමට, කප්පම් ගැනීමට, ඉඩම් ආරවුලට, පොඩි එකෙක්ගෙ විහිලුවකට තත්ත්පර ගණනාවකින් මිනිහ තිරිසනාවීම විතරයි. දර කෝටු කඩනව වගේ පහසුවෙන් දරුවන්ගේ ‍බෙල්ල කඩලදාල හුස්ම හිරකරන්න තරම් මිනිසා තිරිසනා වීම විතරයි.

මේ සියල්ල ‍ මෙහෙම වෙද්දි‍ ර‍‍ටේ වඩා ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහන ‍වෙලා තියෙන්නෙ සෙත් පිරිත්. ඒක වර්තමානෙ රූපවාහිනී මාධ්‍ය සලකා බැලුවහොත් වන්නි මෙහෙයුම වෙන්නත් පුළුවනි.ඉතින් මේ තරමට බුදු බණ අහන රටක, පවුල් පිටින් සමාජය සමුළ ඝාතනය කරන රටක, තාත්තලට දාව දූල දරුවො බිහිකරන රටක, වයස අවුරුදු තුනේ හතරේ දරුවන් තම අසල්වාසීන් ගෙන්, පවුලේ වැඩිහිටියන් අතින් අතවරර විදින රටක, යුද්ධයට; දිනන පරදින ‍දෙපිලේම මිනිසුන් බිලිවන රටක, ජන්දය කිට්ටු වෙනකොට විරුද්ධ පාක්ෂිකයයින් උන්ඩයට බිලිවෙන රටක, මරණය පිළිබදව ලියවෙන සටහන් තුළ අහිමිවන ජීවිත නොව ලිවී‍මේ අතිමානුෂිකක්වයම සොයන රටක , ප්‍රතිවිරුද්ධ මත දරන්නන් ත්‍රස්තවාදින් වන රටක, අනාගතය මොනවගේ වෙයිද? ඔබට මොකද හිතෙන්නෙ.

5 comments:

Il mondo di una povera pazza said...

කාලයක් තිස්සෙම මමත් මේ කියන දේවල් හරහා හිතුවා. මට නම් ඉතිරි උනෙ කළකිරිම විතරයි. මිනිස්කම් ඉතිරිවෙලාද කියලා පසුතැවීමක්.

ඒ අස්සේ එකිනෙකාට චොදනා කරගන්න මොන තරම් මහන්සි වෙනවාද කියලත් දැනුනා. අද කොහේදි හරි කියෙව්වා මැරෙන මිනිස්සු ගාන වැඩි වෙන තරමට මේ මිනිස්සු සතුටු වෙනවා කියලා. කොහේ මැරුනත් ඒ මැරෙන්නෙ අපේම මිනිස්සු අපේම ළමයි කියල හිතන්න අපි කවදා පුරුදු වේද?

think.......... said...

හැම දේකටම මුල මිනිසුන්ගෙ බුද්ධියේ අඩු කම... ඔබම පොඩ්ඩක් හිතල බලන්න.... ඔබ ඇසුරු කරන අය, ඇසුරු කළ අය ගැන... මිනිස් වෙසින් හිටියට ඒ හැම දෙනෙක්ම මිනිසුන් ද... සදාචාරයක් නැති අය කොච්චර ඉන්නවද...?? මේ හැම දේකටම මිනිසුන්ගේ ගුණ ධර්ම ඇති කිරීම වැදගත්... අපි හිතනවට වඩා වෙනස් අධ්‍යාපන රටාවක් මේ හැමෝටම ලැබෙන්න ඕන නේද...???

Anandawardhana said...

යුගයක රජයන දෘශ්ටිවාදය පාලක පන්තියේ දෘශ්ටිවාදයයි කියල මාක්ස් කිව්ව නෙව. දැන් රජයන දෘශ්ටිවාදවලින් එකක් තමයි ඕනෑ ම අර්බුදයක් මරා දැමීමෙන් විසඳන්න පුලුවන් බව. මේ රටේ "ජාතික ව්‍යාපෘතිය" වෙන්නෙත් 50000ක් මරා හෝ "යුද්ධය" ඉවරයක් කිරීමයි. සමාජ වාතාවරනය එන්න එන්න ම ක්ශතික (traumatic) හා තිරිසන් තත්වයකට පත් වෙද්දී තනි තනි මිනිස්සු ප්‍රශ්න සමග පොරබදන්නෙත් ඉවසිලිවන්තව නෙමෙයි.

මේ ලමයි මරන ගෑනු සහ මිනිස්සු ගිය සුමානෙ ඉපදුන අය නෙමේ නෙ. එනිසා මේවා ඔවුන් උපතින් ගෙන ආ "කලු" "බුද්ධිමත් නොවන" ලක්ශන නෙමෙයි. මේවා පවත්නා යුදමය සහ අපේක්ශාභංග වාතාවරනය විසින් උරුම කර දුන් මනෝගතීන්, මිනීමරු මනෝභාවයන් බවයි මට හිතෙන්නෙ. මේ මරන සිදු වුන පවුල්වල සමාජ පසුබිම බැලුවත් ඉතාම පීඩිත සහ අවවරප්‍රසාදිත කොටස් බව පේනවා. මෙවැනි ප්‍රවනතා මුලින් ම කාන්දු වෙන්නෙ එවැනි පිරිස් අතරට තමයි.

මේක ලමුන් බිලිඳුන් දිහාවට විතරක් නෙමෙයි තමුන් ම දිහාවටත් එල්ල වෙනව දකින්න පුලුවන් ඉහල යන සියදිවි නසා ගැනීම් ප්‍රමානය බැලුවම. නමුත් දැන් ඒවා පත්තරවල ලියන එකත් අඩු වෙලා මොකද ඒකෙන් දැන් ඒ තරම් "ගතියක් ලැබෙන්නෙ නැති නිසා". තව ටික දවසකින් ලමා මරනවලටත් ඕක වේවි. ඉදිරියේ දී මේ තත්වය තවත් වැඩි වේවි කියලයි බලනකොට පේන්නෙ :(

kasun said...

සෙත් පිරිත් නම් හැම තැනම. ඒත් වපුරන්නේ වෛරයම තමයි. ජාති-ආගම් කුල මේ හැම බෙදුම් රේඛාවනුත් එක්කම, මිනිස්සු එන්න එන්නම දරුණු විදියට ආත්මාර්තකාමී වෙලා.
අනෙකාගේ වේදනාවන් ගැන තිබිය යුතු සංවේදීකම එන්න එන්නම අඩුවෙනවා.
මේකට යුද්ධය එක හේතුවක් වෙන්න ඇති. එකම හේතුව ඒක කියල මම විශ්වාස කරන්නේ නෑ.
ඒත් ක්‍රමයෙන් ඉහල යන ප්‍රචන්ඩත්වයට යුද්ධය සෘජු හේතුකාරකයක් තමයි. හැම පැත්තෙන්ම පෙන්වන්නේ මරණය, හා විනාශකාරීත්වය. බුද්ධ පුත්‍රයන්ය කියා ගන්න උනුත් වපුරන්නේම වෛරය.

හැමදේම වගේ හිත රිදවන දේවල්, මේ විකාර මැද ඔලුව අවුල් නොවී තියෙන එකත් පුදුමයක්

-බිன்ku- said...

:'(

ඔව්වා ගැන කතා කරලා වැඩක් නෑ කලකිරිමක් මිස. කියන්න ඕන දේ අනිත් අය කියලා ඇතිනේ!