Saturday, 24 January 2009

කාකාස සහ කාසේ

උස් මිටිකම් කියන්නෙ එකක්, දැන උගත්කම් කියන්නෙ තවත් එකක්, මේ දෙකම තියෙන්නෙ උසස් මනසක් තියනවා කියන මනුසතා ළඟ, ඒ කියන්නෙ හෝමෝසේපියන් කියන අපි ළඟ කියලයි කියන්නෙ. කොහොම උනත් මේ උස්මිටිකම් දැන උගත්කම් සමහර වෙලාවට හරි හම්බකරගන්න පුළුවන්. මේ දෙකම තියෙනව වුනත් මනුස්සකම්, ඒක අපි ළග තියෙනවද?
කාර්යාල කාර්ය සහායක සහ කාර්යාල සේවක කියන්නෙ එකම තැනක චරිත දෙකක්. හැබැයි මේ චරිත දෙකේම රගපාන්නෙ එකම අවයව තියෙන මනුස්සයො කියල, මනුස්සයින්ට අමතක වෙනව. අපි කාකාස තමයි හැබැයි අපිට කාසෙ නැහැ කියල, කාකාස කෙනෙක් මට ළඟදි දවසක කිව්ව. කාරනේ හොයල බැලූවම එයා කිවෙ අපිට කාසේ හෙවත් ක්‍ෂය රෝගය නැහැ කියල. අනෙක් අතට කාසේල, කාකාසේල ගැන එහෙම හිතනව ඇති කියන අදහසත් එතන තියෙනව.
ළඟදි සේවාස්ථානයෙන් ඉවත්වෙලා වෙනත් ආයතනයකත් මානව සමිපත පිළිබඳවම සේවය කරන්න යන්න ලැස්ති වෙචිච මහත්මයෙක් එහෙනම් මම යනව කියල අනිත් කට්ටියට ආචාර සමාචාර කරල යන්න ආවා. ඉතින් අපේ කාර්යාල කාර්යය සහායක ඇත්තොත් බලාගෙන ඉදල තියෙනව එතුමට සුභපතන්න. අවුරුදු ගණනාවක්ම එකම ආයතනයෙ එකම අංශයෙ එකට සේවය කරපු කෙනෙක්නෙ, වට රවුමෙි ගිහිල්ල අවසානෙට මේ තමන් එක්ක එක ආයතනයේ සේවය කරපු කාකාසෙලා තමන්ට සුභපතන්න බලාගෙන ඉන්න විත්තිය දැක්කහම මේ මහත්තයට ඒක දරාගන්න බැරිවුනා. එක තැන ගල් ගැහැණ. තමන් සමුගෙන යන්න ආව නෙවෙයි වගේ හැසිරිලා, දිගඇරල තිබුණ තිබුණු පත්තර මේසෙ ළඟ මොහොතක් නතරවෙලා ඉදල නොකියම යන්න ගියා.
අපි කාකාස තමයි ඒ වුණාට අපිට කාසෙ නැහැ අනිත් අයට බෝවෙන්න. අත්වල හොරිත් නැහැ, කියල ඔහු මගෙන් සමු අරන් ගියා. අර කූඹී කිව්ව වගේ අනේමන්ද අපේ අයගෙ නිරුවත කොහොම වහගන්නද කියල. මනුස්සකම් මැරිච්ච එහෙම නැත්නම් මැරීගෙන යන සමාජයක අපි පරිණාමය වෙන්නෙ මනුස්සකම මරා දමාගෙනද?

Monday, 12 January 2009

හඩනු පෙම්බර දේශය

හවස දුරතතනය දිගේ ඇවිත් හදවතේ පතුලම කොනිත්තපු ටිමිරාන්ගෙ බිදුන කටහඩ තාමත් ඇහෙනව. " ඒ කවිය මම ලිවිවෙ මගෙ යාලුව වෙනුවෙන්. සුනෙතුයි මමයි එක ගාමන්ටි පැක්ටරියෙ වැඩකලා. එයා පුත්තලමෙ. සුනෙත් ආමි එකට ගියාට පස්සෙ තොරතුරක් නැති නිසා ළගදි දවසක මම එයාගේ අක්කට එස් එම් එස් එකක් යැව්ව. සුනෙත්ගෙ ‍‍පෝන් නොම්බරේ ඉල්ලල. එදා රැ සුනෙත් ගෙ අක්ක මට උත්තර ලියල තිබ්බ. මල්ලි නැතිවුණා. මිනිය ගන්නෙ හෙට කියල. තාමත් ඒ එස් එමිඑස් එක මගේ පෝන් එකේ තියෙනව." අවසානෙට ටිමිරාන් මට එහෙම කිවිව. මේ ටිමිරාන් සුනෙත් ට ලිවිව කව.

හඩනු පෙම්බර දේශය

මේ කතාවේ වීරයාගේ
ලේ පැල්ලම් තැවරුනේ
පිට පැත්තේය
මේ කවිය
සියලු දන
"රස නොවිද"
විදගත යුතුව ඇත්තේ
ඒ නිසාය.................
පාලම් ඇන්ද මත සිට
ජිවිතේ ගැන හීන තේරුව
අලුත් හීනෙකට වී
පාලමෙන් එතෙරවුණු
වීරයා මියගිය කතාවේ
පාලම් ඇන්ද පාලුය..................

ඔහු මගේ
සොඳුරුතම මිතුරාය
කෙලවරක් නැති හීනවල
නිමවුම් කරුවාය
ශෝක රස ලා ලියන
සමරු කවියක යළි නොඑන
නිමිතිකරුවාය..............

පෙම්බැන්ද දෙරණට
ඇණ ගැසූ දින හදවත
හීනයක මළගම
ඔහු නොලී කවි තුළින්
මට හමුවිය

තරු පටි මකරන්ද යට
ඔප කලත් මරනය
ජීවිතය උදෙසාම
කළ සටනක
සිහින් කෙදිරුම
ඇසෙන්නේ
"යුද්ධයට වෙඩි තියන"
මිනිසුන්ට පමණය...................

කවිපද තුළින් වුව
සෙල්වෙඩි රිංගලා යන
මල් වෙඩි ගොලුවෙලා යන
තැන තැන සුසුම්ලන,
හඩනු පෙම්බර දේශය
පිරිමි පුතුනගෙ
ලෙයින් හේදෙන

ටිම්රාන් කීර්ති

මේ මොහොතේ ලසන්ත මිය ගිහින්. නාදුනන වෙඩික්කරැවෙක් අතින්. හෙට කුමක් විය හැකිද? මරණය කා සොයා පැමිණෙනු ඇත්ද? සැබෑවයි මාටින් නිමොලර් පියතුමා පැවසු පරිදි ගොලුවූ සමාජයක බිහිරන් ගේ ඉරණම ගැන කවර කතාද? තවත් එක් ජර්මණියක්, ගසා තීරයක් ඉරාකයක්, වියටිනාමයක් ?????

Tuesday, 6 January 2009

රන් කහවණු


ටිකක් රෑ වෙනකල් ඔෆිස් එකේ වැඩ කරල ගෙදර යන්න කොටුවෙන් බස් එකට නැග්ග. ඒ වෙත්දිත් සෑහෙන පිරිසක් බස් එකේ හිටිය. ඒ අතර දරුවො දෙන්නෙකුයි අම්ම කෙනෙකුයි හිටිය. දුවට අවුරුදු 18 ක් ඇති. පුතාට අවුරුදු 10 ක් විතර. අනේ ඒ වුනත් ඒ ගෑනු මනුස්සය ගේ අතේ තිබුණු රත්තරං වළලූ දෙකේ දීප්තියෙන් වැලමිට දක්වා පැතිරුණු පිළිස්සුමි කැළල් වැහුනෙ නෑ.

මුළු බස් එකේම ඇස් අර තරුණ ගෑනු ළමය දිහාවටයි යොමු වෙලා තිබුනෙ. පැහැපත්බව, රූමත්බව ගෑණු ළමයෙකුට ආභරණයක් තමයි. සමාන්‍යයෙන් දකින කෙනෙක් දෙවරක් හැරිල බලන සුන්දර කමක් උපතින් ඈට ලැබිල තිබුණ. නමුත් ඇගේ සුන්දරකමට ලැබුණු ප‍්‍රතිචාර ඇය දරා ගත්තෙ දෙකලවා අතර මුහුණු සඟවා ගනිමින්. ඒ එක්කම අර අසරණ අම්මත් පුංචි පුතාත් ඒ හැමෝගෙම ඇස් කොන් බැලූම් විද දරා ගත්ත. බස්රථය ඔවුන්ගේ ගමනාන්තයට ආවම ඇය බසයෙන් බැස ගත්තෙ නයි හුබහක් ළගින් පැනල දුවන හා පැටියෙක් වගේ.
ඔබ මොකද හිතන්නෙ අර අසරන අමිමයි දරු දෙන්නයි ගැන. රට රස්සාවකට ගිය ඇය දියනියකුත් ඒක්කම ඇවිත්, ඉතින් ඒක ඇගේ වරදක්ද? ජයට මගුලක් කාල විදේශිකයෙක් බැන්දහම ඒ ලැබෙන දරුවො සුජාතයි. ඒත් එහෙම නොවෙන අය. තරුණියකගේ හෝ තරුණයකු ගේ අතගත්න අයගේ දරුවනට විදේශීය ඌරුවක් ලැබීම ගරුකටයුතු වීමටත් අනෙකාට එසේ නොසැලකීමටත් ඇති සීමාව කුමක්ද?
තමන්ගෙ කුසට අවසරයකින් හෝ අනවසරයකින් පැමිණි ශූක්රාණුවක් යුක්තාවක් හා එක්විම වැලැක්වීමට අපොහොසත්වීම නිසා භ‍්‍රෑනයකුට ගර්භාෂයක් සැපයීම නිසා, රෝහලක තම බිළිදිය අතරමං නොකර හදාවඩා ගැනීම නිසා, මේ අයෝමය ගැහැණිය ගේ කුසින් උපන් දියණිය කිසියම් දිනක තමා මෙලොවට බිහිකලේ කුමක් නිසාදැයි විමසුවහොත් ඇය දෙනු ලබන පිළිතුර කුමක්විය හැකිද?

ඔබට දැනුනාද කිසිවක්, මේ සමාජයේ අපි තාමත් ගල් යුගයටත් එහායින් ඉන්නෙ කියල. රෙදි ඇන්දට අපි ඉන්නෙ නිරුවතින්. අර තරුණ සොයුරිය තනිව සිටියානම් ඇය තවත් එක් විදේශීය තරුණියක් පමණක් විය හැකියි. මේ කියන මොහොත තුළත් ඇයත්, එවැනිම තවත් සොයුරු සොහොයුරියනුත් සමාජයේ නිරුවත් දෙනෙත්තූළින් නිකුත්වන වෙඩි උණ්ඩ වර්ෂාවන්ට ගොදුරු වෙමින් සිටිනවා. හිතන්න ඔබේ දෙනෙතිනුන් ඔවුන්ට වෙඩි උණ්ඩ එල්ලවනවාද?

Thursday, 1 January 2009

සුභ අලුත් අවුරුද්දක් වෙිවා

කලු කපුටා සුදුවන තුරු මොල් ගහේ දළුලන තුරු
එකසිය විස්සක් දෙසිය විස්සක් ආයුබෝ වේවාකියල කියන කියමනට
පුංචි දෙයක් එකතු කරන්න ඔිනි’

යුධගිනි නිවෙන - හද ගිනි නිවෙන
රිය අනතුරු අඩුවන - රෝ දුක් නිවෙන
එකිනෙකා කෙරෙහි
අවබෝධය සෙනෙහස ගොඩ නැගෙන
ආදරය පිරී ඉතිරෙන
සුභ අලුත් අවුරුද්දක් වෙිවා