Saturday, 24 November 2012













මඟ දෙපස මල්

ළදරු පාසලින් පසු මගේ පාසල් ගමන ඇරඹෙන්නෙ අද අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය හෙවත් එදවස අතුරුගිරිය මහා විද්‍යාලයෙනි‍. නිවසේ සිට පාසලට යන සැතපුමක  දුර  අපි බස් රථයෙන් ගියා නම්  ඒ වෙල  දෙගොඩතලා යන්නට වැසි දිනක් වූයේ නම් පමණි.  සැබවින්ම අපි පාසල් යන්නට  අදි මදි කල  දරුවන් නොවූයේ පාසලට යනතෙක් දැකීමට විදිමට තිබූ  සොභාදහමේ අපූර්ව දායාදයන් නිසා වන්නට ඇත.  අප යන මඟ දෙපස විසිතුරු සුවදැති, සුවද  නැති බොහෝ මල්  අතර  ආ ගිය සුන්දර දවස් ගැන මතකය කැටිව යළි  ලිහිණිගේ ලියමන අකුරු කරමි;

ඒ අසූව දශකය ආරම්භයයි,    පාසලට ඇතුල්වනදා පමණක්  තාත්තා සමඟ ගිය පාසල් ගමන එතැන් සිට තුනේ පංතියේ සිටි අයියාට භාර විණි. අයියා මා කැටිව පාසලට  යන‍්නේ වත්ත පහල නාන ළිද අසලින් ගුරු පාරට ගොඩවීමෙනි; පාරට ගෙඩවන තැන ඇති  ගැට රුක්අත්තන  ගසේ මල් පිපී ඇත්නම් නොවැරදීම  ඉරටු වට්ටිය පිරෙන්නට මට  මල් කඩා දීමට අයියාට සිදුවේ.  කුමාරෝදය හෝඩි පොතේ ඇති ඕලු මලට සමාන සුදු බෙර ඕලු මල් නිරන්තරව  පිපෙන ඕවිටේ ළි‍ඳ හරහා වැටී තිබූ ඇද පොල් කද දිගේ ඇවිද  යන්නට ඇති කැමැත්ත නිසාම  ඕලු මල් පිපෙන සෑම දිනකම වඩා සුන්දර මල් වට්ටියක් මට ලැබේ. අතර මඟ මහ බෝක්කුව අසලින් එකතු වන කිරි ඉද්ද මල් මෙන්ම  චමින්ද අයියලාගේ මානෙල් විලේ නිල් මහනෙල් මල් ද ඉරටු වට්ටියට  එකතුවේ‍. යන මඟ දෙපස නෙක වර්ණයෙන් සැරසි ගදපාන මල් මෙන්ම දීප්තිමත් දම් වර්ණයෙන් දිදුලන හීන් ‍බෝවිටියා මල් වලට ඉරටු  වට්ටියට  පැමිණිමට ඉඩක් නැත්තෙන් එහි සුන්දරත්වය රස විදිමින් අපි  පාසලට පිය මනිමු‍.

අදටත් කිලෝ මීටරයක් පමණ ඉතිරිව ඇති වානේ සංස්ථා තාප්පය වටා ඇති ගුරු පාර දිගේ ගොස් වෙල මැද්දාවෙන් එගොඩහ මහනියරට  ගොඩවී අපි පාසලට පිය මනිමු. පාසලට යාමේ පාර මහ නියර වුවද  මඩ පිරී , තණකොළ වැවී ඇති මහ නියරට ව වඩා නො එරෙන සිනිදු බොරළු වැල්ලෙන් වැසී  ඇති  දිය අගලට බැස, දියට  නැමී ඇති බලු දං ගස් වල  ඉදිණු ගෙඩි සොයමින්. දියපාර දිගේ එන මහ මූණ මල් ගසේ  ඉදිණු ගෙඩි  එකතු කරමින්   දිය හවරිය පදුරු අතර පීනන තිත්තයින්, ගප්පියන්  සමග  හුරතල් වෙමින්  අපි පාසල පෙනෙන මානයෙන් ගොඩගම අතුරුගිරිය  පාරට ගොඩවමු‍.  

පාසලේ අධ්‍යාපන කටයුතු නිමාවීමෙන් පසු අයියලාගේ පංති ඇරෙන තෙක් පාසලේ පොරොත්තු වන අපේ කාලය ගෙවෙන්නේ  පුස්තකාළය ඉදිරි පිට පඩිපෙල දිගේ  දියගොඩ සැමතැන ක්‍රීඩාව කිරීමටත්, පාසල් බිමේ වියලි වෙරළු ඇට  එක්කාසු කිරිමටත්ය,  අද  පාසල් බිමක බේතකට වත් සොයාගත නොහැකි වෙරඵ ඇට සිය දහස් ගනනින්  එසවස පාසල් වතු පිරි තිබිණි. වියලි  වෙරළු ඇට එදවස  කුඩා අපේ රස නහර පිනවන ප්‍රනීත ආහාරයකි. වෙරළු ඇටයේ අහුලා තුන් හුලස් දාර මතට ගලකින් ගසා මද වෙන්කරගන්නට අප දරන මහා මහන්සිය,  රසයෙන් වියලි කොප්පරා බදු, ප්‍රමාණයෙන් මා වී ඇටයක් තරම් වූ වෙරඵ ඇට මදයක් හැපීමෙන් තුරන්වේ.

පහේ ශිෂ්ශත්වයෙන්  පසු අතුරුගිරියට පාසලට සමුදුන් මගේ ඊළඟ නැවතුමිපළ වුයේ පන්නිපිටිය ධර්මපාල.  අතුරුගිරිය පාසලට යනවිටදි මෙන් දිය අගල දිගේ බැස පාසල් යාමට හැකියාවක් නොවුවද මග දෙපස  මලින්  මිදීයාමට හැකියාවක් නොවුයෙන්  සෑම දිනෙකම පින්නේ පිපෙන සොදුරු හීන් බෝවිටියා මල්  පොකුරක් මා ධර්මපාලයෙන් නික්මෙන දා තෙක්ම මා සමඟ ධර්මපාලයට  පැමිණිනි.

තාත්තා කිරි මුදවීම පිනිස ගෙනවිත් තිබු කුඩා මැටි බදුන් දෙකක් පීරිසි මත තබා  වියලි බේදුරු  කොළ දෙකකින් ආවරණය කල හීන් බෝවියා  මල් පොකුර අපේ පංතියේත් විද්‍යාලීය සෞඛ්‍යදාන ඒකකයේත්  අනන්‍යතාව වී තිබිණි. 

එදවස ධර්මපාලයේ විදුහල්පති තුමා වු, මතු ආත්මයෙක වදුහල්පතිවරයෙක් වුවහොත් ධර්මපාලයේ විදුහල්පතිධුරය දැරීමට කැමැත්තෙන් පසුවන්නාවු  එච් එස් කුමාරසිංහ ගුරුපියානන්  විදුහලේ සිටි සෑම දිනකම උදෑසන පාසල් චාරිකාව  සෞඛ්‍යදාන  ඒකකයෙන්  ආරම්භකලේ ඒ   කැලෑ මලක අසිරි සිරිය වින්දනය කරමිනි.

දැන් ගුරු පාර තාර පාර වී  තිබේ.  අතුරුගිරිය පාසලට මෙපිටින් වෙල්යාය පුරන්ව  ගොසිනි.  මහ වේල්ල කැලයට යටවී අහවරය. බෙර  ඕළු  විල තිබූ ඕවිට වටා නිවෙස් හත අටක් සෑදී ඇත. ගමේ දරු දැරියන් පාසල් වෑන්වල, ත්‍රී රෝද රථවල පාසල් එයි. උදෑසන පාසල් ගීය යකඩ කටින් නිවසට ඇසේ.  වානේ සංස්ථා තාප්පය පමණක් අව්වට වේලෙමින් වැස්සය තෙමමින්  නිහඩව නැගී සිටි. අතීතය මා දුටු කිරි සිහිනයක් යැයි හැඟේ
  
මූණ මල් පිපී ඉවුරත
ඇල දියට වැටී හිමිහිට
තාලයට නටා දියරැලි අතර ගිලෙනවා
හීන් පුසුබ පමණක් පවනතේ රැදෙනවා.

ගල් බොරළු ඇනුනු දෙපතුල
උදැසන පිනි බින්දු තවමින්
අකුරු කරන්නට මඟ
හිතේ ඇදෙනවා
මුණ මල් සුවඳ ඉවකර
ගෙවී ගිය අතීතය වෙත 
හිත ඉගිලෙනවා...

ලදුදෙනි වැට කඩොලූ මැදින්
අකුරට මම ගිය කාලේ
මල් සුවදත් නෑ, පොඩි මාළුත් නෑ
දිය හවරිය පදුරුත්
හොරු ගෙනිහිල්ලා
අපේ ළමාවිය කිරි සිහිනයක් වගේ

4 comments:

Gayani Wedage said...

සුන්දර මතකයක මිහිරි සටහන්.ජය..!!

රතී, said...

ගොඩක් හොඳට අකුරැ කරලා තියෙන ලස්සන කතාවක්...කියෙව්වා...මාත් ඈතට ගියා වගේ..

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

Naleen Dilruksha said...

හරිම ලෙංගතු ලියැවිල්ලක් අදමයි ආවේ මේ ඉසව්වට. දැන් හැමදාම එන්නම්.
එන්න සමකය වටේ රවුමක් යන්න

Chandana said...

මතකයන් අවදි කරන්න සමත් වුනු ලිපියක්.