Tuesday, 9 April 2013

මගේ ආදරේ...



මොකක්ද මේ ආදරය කියන්නේමම හිතන්නේ ඒකට නිර්වචන දෙන්න බෑ. ඔබ හැමදෙනාට ම ඒ ගැන විවිධ නිර්වචන තියෙන්න පුළුවන්. ඔව් ලෝකය පැවතෙන්නේ ආදරය නිසා. ඒත් ඒක ඇතුවත් බැරිනැතිවත් බැරි  තවත්  එක දෙයක් විතරයි. වෙලාවකට මට හිතෙනවා ආදරය කියන්නේ විඳවීමක් කියලා. මොකද     ආදරය විඳිනවා වෙනුවට විඳවන අය වැඩියි. ඒක ලබා ගන්න විදියයිබෙදාගන්න     විදියයි හරිම වෙනස්. ඒ කියන්නේ අපි ආදරය කරන විදියයි ආදරය බලාපොරොත්තු   වෙන විදියයි වගේ ම ඒ ආදරය ලබා ගත්තට පස්සේ ඒක රැක ගැනීමයි ආදරය දරා      ගැනීමයි පරස්පර විරෝධී වෙනවා.
       
පුංචි කාලයේ ගෙදර වැලි මිදුලට වෙලා තාත්තා ගෙදර එනකම් බලන් හිටි කාලේ     හරිම සුන්දරයි. ඒ කාලේ මට ආදරය ගැන ලෝබකමක් තිබුණා. මොකද අම්මගේ ආදරය අවධානය යොමු වෙන්නේ අයියටයි මටයි දෙන්නටම වැඩිය මල්ලිට. ඉතින් එතකොට පුංචි දරුවා කාලේ ම ආදරය වෙනුවෙන් ලෝබකමක් අයිතිකර ගැනීමේ උවමනාවක් මට තිබුණා. සමහර වෙලාවට මවුපියන් මට වඩා අනෙකාට ආදරය කරනවා කියල හිතෙන්නෙ ඒ අය අපිත් එක්ක කරන ගනුදෙනුවට අදාළ වටපිටාව එක්ක. ස්ත්‍රීපුරුෂභාවය එතනදි වැදගත් තැනක් අත්පත් කරගන්නවා කියල ආපස්සට හැරිල බලද්දි හොඳින් ම දැනෙනවා. ගැහැනුකම සමහර අවස්ථාවන්වල දී බෙදීම් ඇති කරනවා. ඉඳ හිට දවසක තාත්තා අයියව හෝ මල්ලිව වානේ සංස්ථාවට එක්ක ගියා. ඉතින් පාසල් යනකොට චීන මහා ප්‍රකාරෙ වගේ පේන තාත්තගෙ රාජධානිය බලන්න යන්න මටත් ආසාවක් ඇතිවෙන එක අරුමයක් නෙවෙයිනෙ. නෑ නෑ ගෑනු ළමයි ඕවයෙ යන්නෙ නෑ කියල අම්මා වතාවක් සැර දැම්මයින් පස්සෙ ඒ කාරණාව ලත් තැනම ලොප් වුණා විතරක් නෙවෙයි අනේ මාව එක්ක ගියෙ නෑනේ කියන නෝක්කාඩුව හිතේ පැලපදියම් වුණා. සමහර අවස්ථාවවල දී අයියලා මල්ලිලා එක්ක පුංචි පහේ රන්ඩු සරුවල් ඇතිවෙද්දි ඒ නෝක්කාඩුත් ඒ පිටින් ගිය වෙලාවල් තිබුණා.

නමුත් ඒ හැඟීම අද මගෙන් ඇත්වෙලා. දැන් මම ලෝකෙට ම ආදරය කරනවා. ඒ ආදරය මොන විදියට ලෝකය දැක්කත්. මං හිතන්නේ ඒක අපි හැමෝට ම පොදු දෙයක්. දැන් මට හිතෙන්නෙ ආදරය කියන්නේ නිර්වචනයක් දෙන්න බැරි දෙයක්. මොනරාගල ඉඳන් කොළඹ එද්දි බස්රියේ අත්දැකීම් මා එක්ක බෙදාගත් මහේෂි හරි අපූරු කතාවක් කිව්වා. අක්කේ අද බස්එකට අහිකුණ්ඨික පවුලක් නැග්ගාඅත දරුවකුත් එක්කකවුරුවත් සීට් එකක් දුන්නෙ නෑ. මම ඒ දරුවව අරගත්තා. මගේ උකුළෙ එයා නිදාගත්තා තණමල්විලින් බහිනකම්. බස්එකේ මිනිස්සු මා දිහා බැලුවෙත් අමුතු සතෙක් දිහා බලනවා වගේ” මට සතුටක් දැනුණාමහේෂාට දිරියක් තිබුණු එකගැන ඒ දරු පැටියා දරු පැටියෙක් කියන හැඟීම දනවන්න. මොකද ඒ මුළු බස් රියේ සෙනඟ අතර ඒ අම්මටතාත්තට මහේෂාට ඇරෙන්න ඒ දරුවව පේන්නෙ අහිකුන්ඨීක පැටියෙක් විදියට නිසා.

අර ගීතයක තියෙනවා ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට තරම් කියලා. ඒත් ජීවිතය කියන්නේ ආදරය සහ වෛරය අතර දෝලනය වෙන දෙයක් දදැනෙන්නේ නෑ මට කොහොමද ලෝකයට ම ආදරය කරන්නේ කියලා.

මොකද අපි ලෝකයට ම ආදරය කරද්දි ලෝකය අපේ ආදරය දකින හැටිඒක විඳින හැටි හරිම වෙනස්. බොහෝ වෙලාවට ආදරය කියන්නෙ අතිශය පුද්ගලික හිමිකමක් විදියට දකින අය වැඩියි. පෙම්වතුන් පෙම්වතියන් ඇසුරෙදි මේ තත්ත්වය හරිම සීමාකාරී වෙනවා. ඔයාට ලෝකයක් ඉන්න පුළුවන්එත් මට ඉන්නෙ ඔයා විතරයි කියන හැඟීම එක්ක” ආදරේ තමන් සතු කරගන්න දරන වෙනස ඇතුළෙ ලෝකය එක්ක සෙනෙහස දයාව බෙදාගන්න බලාපොරොත්තු වන ආදරය හුදකලා වෙනවා. මම ය මාගේ ය කියන මමංකාරය ඇතුළෙ අනෙකා හිරකාරයකු බවට පත්වෙන්න ඉඩ තියෙනවා. මම කැමතියි එහෙම නොවෙනවා නම්. මොකද ආදරේ කියන්නෙ කොටු කරලාකම්බි ගහලාහිරකරන්න පුළුවන් දෙයක් නොවෙන හින්දා.
කාල් මාක්ස් කියලා තියෙනවා මිනිසුන් මනුෂ්‍යත්වය ළඟා කර ගත යුත්තේ අන්‍යෝන්‍ය පරිපූර්ණත්වය තුළින්” කියල . මම විශ්වාස කරනවා මනුෂ්‍යත්වය කියන්නෙ අනෙකා වටහා ගැනීමසහයෝගයෙන් දරාගැනීම කියලා.

දහසක් මල් පිපෙන බිමක දහසක් මත ගැටෙන දිනක ලෝකය එක යායක් වෙන්න සෙනෙහස දෝරගලා යා යුතුමයි....

2 comments:

Naleen Dilruksha said...

ආදරේ කියන්නෙ කොටු කරලා, කම්බි ගහලා, හිරකරන්න පුළුවන් දෙයක් නොවෙ//
මේ ටික නම් ඇත්ත තමා..

තිසර said...

ආදරය කියන එක අපි ජීවිතේදි ප්‍රධාන වශයෙන් අත්විඳින්නේ ආත්මාර්ථකාමී අර්ථයෙන්. නමුත් ටිකක් හිතුවහම මේ ආත්මාර්ථයම පුළුල් කරන්න ගන්න පුළුවන්, 'මම' කියන තැන ඉඳලා 'මාත් අයිති වන මගේ සමාජය' වගේ තැනකට. ඒ නිසා අපිට සමාජයට ආදරය කරන්න පුලුවන් වෙන්නේ ඒ සමාජයට අපිවත් අයිති බව දැනුනොත් තමයි. සමාජයකට අයිතිවීම කියන හැඟීම පටු වෙන්න වෙන්න මේ ආත්මාර්ථයත් පටුවෙනවා. එතැනදි තමයි අපි හැමෝම අනෙකාව නොසලකා සම්පූර්ණයෙන් 'මම' කියන හැඟීමෙන් වැඩ කරන්නේ. ආගම්, ජාති, කුල භේද වල අවසාන ඵලය වෙන්නේ ඒ වගේ තත්වයක්.

ලෝකයට ආදරය කරන්න හොඳම විදිහ තමයි මේ 'මම' කියන අර්ථය පුළුල් කරගැනීම. 'මම' කියන්නේ තමන්, තමන්ගේ පවුල් වල අය, මිතුරන්, අසල්වාසීන්, රටවැසියන්, සහ පොදුවේ මිනිසුන් ලෙස හිතන්න උත්සාහ කරන්න ඕනේ. ඔය ඉතිං 'මම' හිතන විදිහ.....