Friday, 8 May 2009

බුද්ධ වර්ෂ‍ 2553

සාමකාමී, ආගන්තුක සත්කාරයේ ලැදී මිත්‍රශීලී ධාර්මික ජනතාවක් සිටින ධර්මද්වීපයේ 2553 වන බුද්ධවර්ෂ‍යේ ආරම්භය සනිටහුන් කරමින්; දිට්ට ධම්ම වේදනීය කර්මය වෙන කවරදාටත් වඩා හොදින් පෙන්නුම් කෙරෙමින් පවතින රටක, එම කර්මය මෙන්ම කර්ම විපාකයද නෙතින් දකින, කනින් අසන එම දුකෙහි කොටස්කාර සමාගමයේද, එසේ කර්ම විපාකය පල දෙනවුන් ‍දෙසබලා එම විපාක ඵලයෙහි සතුට බෙදාගන්නා භුක්ති විදින්නන්ගේ සමාගමයේද අනාරාධිත නිත්‍ය සාමාජිකත්වය ලැබූ රටවැසියෙකුගේ දැක්ම;
නීතියෙහි කන්‍යාවගේ දෑස් බැද පොලිසිය තොවිල් නැටීම ලිපිය තුළ කතාබහ කෙරෙන්නාවූ සිදුවීම් පසුගිය කාලය පුරාවටම තැනින් තැන විවිධ වේශයෙන් නිරන්තරව සිදුවෙමින් පවතී, අක්මීමන කවීන් රශ්මික හා තනුජා අයිරාංගනී ගේ ඝාතන සිදුවූයේ වර්ෂා දැරිය‍ගේ ඝාතනය සිදුවී යන්තම් මසක් ඉක්මයද්දීය, එහි කෙළවර වර්ෂා ඝාතන සැකකරුවන් සියලුම දෙනා නඩු නැතිවම උන්ඩයට ගොදුරුවූ අතර කවින් හා තනුජාගේ ඝාතනවල සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක්, පොලිස් වෙඩි පහරින් මියගියේ පොලිසියට වෙඩි තැබීමට කළ උත්සාහයකදීය. අනෙකා නාදුනන පුද්ගලයින් විසින් ඝාතනය කෙරිනි. එයින් දෙසතියක් යන්නටත් පළමුව නැවතත් මඩකලපුවේ කෝට්ටමු‍ණෙයි කුඩා දැරියක ඝාතනය කෙරැණු අතර එහි සැකකරුවන් යැයි සැකකල පුද්ගලයින් පොලිසියට වෙඩි තැබුමට කළ උත්සාහයේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත්විණි.

උතුරේත් දකුණේත් දෙකොන විලක්කු ඇවිලෙද්දි උතුරු නැගෙනහිර සිදුවන මෙවැනි අපරාධ ළමාආරක්ෂක දෙපාර්තමේන්තුවේ සභාපතිතුමා විසින් පශ්චාත් යුද ගැටුම් සහිත සමාජයක
සිදුවීම් ලෙස අර්ථදක්වයි. එහෙත් දකු‍ණේ සමාජය තුළ සිදුවන එබදු අපරාධ, ‍අර්ථ ගන්වා ගන්නේ කෙසේද යන ගැටළුව අප ඉදිරියේ ඉතිරිව පවතී.

දෙවනුව පොලිසියට අනුව මේ සියල්ල නීති විරෝදී අවිදරන කණ්ඩායම් මගින් සිදුකරනුලැබූ ඒවායි. එහෙත් ගැටළුව වන්නේ මේ සියල්ලෙහි දේශපාලන සැගවුම් යතාර්ථය කුමක්ද යන්නයි. තෙවැන්න මේ සියළුම සිදුවීමි හරහා මතුකෙරෙන්නාවූ අනාරක්ෂිත ගිනි අවි පිළිබද කතාවයි. ‍‍ මැරයින් පාතාල නායකයින් ආදීන් පමණක් නොව ගම්මැද්දක පිහි ඇනුමක ඝාතකයින්ද අවසානයේ අත් බෝම්බ, හා තුවක්කු ‍සැගවු තැනින් එළියට ‍ගෙන පොලිසියට කොකා පෙන්නන්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවයි.

ගම් නියම් ගම් සිසාරා හමා යන ප්‍රචණ්ඩත්ව‍ය ගිනි අවි, අත් බෝම්බ, තවත් ජීවිත කීයක් බිළිගනීවිද? අප තව කෙතෙක් කල් බලා සිටිය යුතුද යන ගැටළුව අප ඉදිරියේ පවතී. අතීතයේ දිනක සන්බබා නමින් හැදින්වූ වරෙන්තු කරුවෙකු පොලිස් වෙඩිපහරින් මරුමුවට පත්වූ අවස්ථාවේදී; එම සැකකරු විලංගු සහිතව පොලිසියට අත් බෝම්බ ගැසීමටගත් උත්සාහය අධිකරණය ඉදිරියේ නිරූපණය කිරීමට වාද්දූව පොලිසියේ නිළදාරියෙකුට සිදුවූ අකාරය අමතක කළ නොහැකිය.‍ එය එසේ සිදුවුයේ අධිකරණයේ අපක්ෂපාතීත්වය සමාජයට පෙන්වීමට පමණක්ද යන්න තවත් ගැටළුවකි.

මේ සියල්ල අවසන ත්‍රිවිධ හමුදාවට පොලිසියට අමතරව ලංකාව තුළ ගිනි අවි භාවිතා කරන පිරිස, හා ගිනි අවි භාවිතය පිළිබද අව‍බෝධයක් ඇති පිරිස සුළු පරිමාණ වශයන් ගත හැකිද? ඒ සම්බන්දව අපේ මැදිහත්වීම ප්‍රමාණවක්ද? අධිකරණය මේ පිළිබදව අවධියෙන් සිටීද? වරද කරුවනට දඩුවම් ලබා දෙන්නට, නඩු අවැසි නොවන රටක හෙට දවස ??????

2 comments:

-බිன்ku- said...

පලදේ පල දේ යන්න සිහියේ නොයෙදවා ඇස් පිට මනා ඔය දේ සිදු වෙද්දී හැමදාමත් දුර නොබලා ළග බලන්නාවු තමා සිහියේ නොපිහිටන බුදුන්ගේ දේශයේ මල් කැකුලු තලා පෙලා අන්ධයන් මෙන් කටයුතු කරන කල පව් කරන කලට පැණිසේ පල දෙන කලට දුක්සේ ක්‍රියා කරනු නියතය.

යුද්ධයට දේශපප්‍රේමයට ආවඩන්නාවු අපේම ඥාතියෝ මෙය නොදැකිනු ඇත. කම් නැත අප කෙසේ හො මෙසේ කිව්වායැයි කියමු.

සරත් ගුණතුංග said...

දශක හතරකට පෙර තිබූ ශාන්ත සාමකාමීබව අද රටෙන් තුරන් වී ගොස් ඇත. වැරැද්ද සෙවීමද ඉතා අපහසුය. වැරදි කරුවෝ වශයෙන් මට පෙනෙන්නේ දූෂිත දේශපාලනඥයන්ය, මේ රටට තුවක්කු සංස්කෘතිය හඳුන්වා දුන් නරුමයන්ය. භික්ෂූන් පාර්ලිමේන්තුවට ගත් නරුමයන්ය. රටක අභිවෘද්ධිය නොතකා නා නා ප්‍රකාර රූපවාහිනී නාලිකාවල නූපන් ආසාවල් උපද්දන විධියේ වැඩසටහන් මුදල් ගරාගන්නා අටියෙන් පෙන්වන නරුමයන්ය. මේ අපරාධවලට වග කිව යිත්තෝ ඔවුන්ය. දැන් අපට වී ඇත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව වැනි දෙයකි...