Friday, 25 January 2013

අවිද්‍යා දැල්වෙන විද්‍යාල

මෑත දිනෙක මට හරි අපූරු සිදුවීමක් අත්විඳින්න ලැබුණා, එක්තරා සරසවි බිමක දි. වසර ගණනාවකට කලින් කරපු විභාගයක සහතිකය ගන්න දවසින් දවස අපිට අතපහු වෙලා තිබුණා. ඉතින් වෙනත් ගමනක් යන ගමන් අපි සරසවියට ගොඩවෙන්න තීරණය කළා.
http://www.dinamina.lk/baddaramalla/2013/01/25/art.jpg
සහතික කොළේ අරගන්න. මගේ යෙහළියයි, ඇගේ සිඟිති දියණියයි, මමයි, වාහනේ අරන් ගියේ ඇගේ සැමියා. ඒ වේලාවේ මහ වරුසාවකුත් එක්ක. ගේට්ටුවට අපේ අවශ්‍යතාවය දීල අපි සරසවි බිමට ඇතුළු වුණා. පොඩිත්තිව වාහනේ තියල යන්න අවශ්‍ය වුණත් අපිත් එක්කම ඇතුළට යන්න ඇයටත් අවශ්‍ය වුණු නිසා තාත්තයි දුවයි දෙන්නත් අපි එක්ක කාර්යාලයට යන්න ආවා.

අපි අදාළ අංශයට ගිහිල්ලා අදාළ කාර්ය භාරව ඉන්න නිලධාරි මහතා ඉන්නව ද කියල සොයලා බැලුවා. කාර්යාලයේ ඔහු හිටියෙ නෑ. තරමක මැදි වයසේ වෙනත් මහත්මයෙක් එතැන සිටියා. අපි ඔහුට අප ආ කාරණාව කිව්වා. 
ආ පොඩ්ඩක් ඉන්න, දැන් එයා එයි” 

එහෙම කියල අපි හතර දෙනා දිහා ඉහේ සිට පාදාන්තය තෙක් විමසුම් බැල්මක් දාපු ඔහු යන්න ගියා.
විනාඩි හත අටක් අපි එතැන ඉන්න ඇති. අදාළ නිලධාරි මහත්තයා ආවා, ඔහුගෙ මුහුණෙ තිබුණෙ කිසියම් කලබලකාරී බවක්, ශිෂ්‍ය කාලෙ දැන හැදුනුම්කම් තාමත් තියෙනවා. ඉතිං අපි පොඩි සුහද කතා බහකට සැරසුණා. ඒත් ඒකට සූදානමක් ඔහු කෙරෙන් පළවුණේ නෑ.

අපට අවශ්‍ය කටයුත්ත බොහොම ඉක්මනින් කරලා දීලා, කෝ කොතනද වාහනේ, යන්න යන්න ඉක්මනින් මේක අරගෙන යන්න කියල ඔහු කීවා. වුණේ මොකක්ද කියල හිතාගන්න බැරිවුණා.
දූ හින්ද විභාගෙකට ඩිස්ටර්බ් වුණා ද දන්නෙ නෑ. අපි අතින් වෙන වැරැද්දක් වුණා ද දන්නෙත් නෑ. අපි ශාලාවෙන් එළියට ආවා. මෙන්න බොලේ වාහනේ ගාවට සිකියුරිටි මහත්තයෙක් දුවගෙන එනවා.

අනේ මහත්තය ඉක්මනින් යන්න. නැත්නම් අපිටත් ප්‍රශ්නයක් වෙනවා” 
අපි මැදි වුණේ මහ විශාල උභතෝ කෝටිකයකට.

ඇයි මොකක්ද ප්‍රශ්නෙ? අපි අතින් මොකක් හරි වැරැද්දක් වුණාද?
මෙච්චර වෙලා හැමදේම දිහා බලාගෙන හිටිය
 දූගේ තාත්තා, හඬ අවදි කළා.
ඔව් මේ මේ නෝනගෙ ඇඳුම මෙතනට ගැළපෙන්නෙ නෑනෙ” 
ඔහු මගේ මිතුරියට කීවා.
අනේ මහත්තය ඉක්කමනට යන්නකො..
ඔහු පින්සෙණ්ඩු වුණා.
අපි තුන්දෙනා මූණෙන් මූණ බලාගත්තා. මොකද අපි සරසවියකට ඇතුළු නොවෙන්න තරම් අසංවර විදියට ආවේ නැති නිසා. ඒ එක්කම සරසවි බිම පුරා සැරිසරන මානවික මානවිකාවන් දිහාත් විමසිල්ලෙන් බැලුවා. මොකක්ද අපේ ඇදුමේ වැරුද්ද කියල හොයා ගන්නත් එපැයි.

මගේ යෙහෙළියත් මාත් දෙදෙනාම සැරසී සිටියේ ටී ෂර්ට් සහ දිගු කළිසම්වලින්, ඇගේ කලිසම විළු‍‍ඹේ සිට අඟල් පමණ පමණ නිරාවරණයව තිබුණා.

කමිස, දිගු කලිසම් ඇද ගත්ත පිරිමි ළමයින් ගැහැනු ළමයින් වගේ ම, දිගු සායවල් කොට සායවල් ඇදගත්ත ගැහැනු ළමයිනුත් සරවියෙ හිටියා. සමහර කෙටි සායවල් දණිහෙන් අඟලක් විතර දිගට තියෙන්නවත් අපි දැක්කා.කතා බහක් නොමැතිවම අපි සරසවියෙන් පිටවුණා.

ඒක එතනින් ඉවර වුණත් වුණේ මොකක්ද කියල හරියටම දැනගන්න අපිට අවශ්‍ය වුණා. අපි ඒ ගැන හොයා බැලුවා. 
ආ ඔයාලා දන්නෙ නැද්ද, අපේ සරසවියට ත්‍රී ක්වාටඅදින්න තහනම්, ඒ විතරක් නෙවෙයි ගැහැනු ළමයින්ට අත්නැති හැට්ට අදින්නත් තහනම්

ඉතින් කොහොමද ඒ නීති ගැන යන එන මිනිස්සුන්ව දැනුම්වත් කරල තියෙන්නේ, අනික සරසවියට එන්නෙ සරසවි සිසු සිසුවියන් විතරක් නෙවෙයිනේ.මම ප්‍රශ්න කළා. ඇයි ගේට්ටුවෙන් කිව්වෙ නැත්ද? ආයේ බෝලෙ මට කැරකුණා. වාහනවලින් යන එන අය පැෂන් ෂෝ එකක වගේ වාහනෙන් බැහැල ඇඳුම පෙන්නල ද යන්නේ.මම ඇහුවා.

අනේ අපි ඒව දන්නෙ නෑ. ඔයා දන්නෙ නැද්ද මේක සරසවියක් වෙන්න කලින් පිරිවෙනක්, ඉතින් ළමයි සංවරව අදින්න පලදින්න ඕනෙ. ඒක තමයි රීතිය, සම්ප්‍රදාය දන්නෙ නැත්නම් දැනගන්න

මට හිනා ගියා මගේ නොදැනුවත්කම ගැන. අයියෝ මම මොනතරම් මුලාවකද ඉන්නේ. කවුද කියන්නෙ අපි මේ ඉන්නෙ නූතන, එහෙමත් නැත්නම් පශ්චාත් නූතන යුගයෙ කියලා.

මෙච්චර දේවල් කියන්න හේතු වුනේ ත්‍රී ක්වාටඑකක් නෙ. ඉතින් පිරිවෙන්වල ඉගෙන ගන්න කාන්තාවන් ආවේ නෑනේ. අනිත් අතට පිරිවෙන් සමයේ අදින්න තහනම් කරන්න ඔය ත්‍රී ක්වාටකියල හඳුන්වන ඇදුම තිබුණ ද කියලත් මට සැකයි. මිනිස්කර්ට් මෝස්තරය ආවේත් හැට හැත්තෑව දශකවලනේ. දණිහෙට පහළට අඟල් දෙකක් දිගටසායකට නිරාවරණය වන දෙපයයි, විළුඹෙන් ඉහළට අඟල් හතරක් විතර නිරාවරණය වන දෙපයය අතර පැහැදිලි වෙනසකුත් තියෙනවනේ. අනේ මන්දා මේවා කොහොම තේරුම් කර ගන්නද කියලා.
ළඟක දි මේ සරසවි බිමේ ම පිහිනුම් තටාකයක් විවෘත කළා නේද කියල දැනුයි මතක් වුණේ. ඒක ගැහැනු ළමයින්ට තහනම් කලාපයක් ද කියල හොයල බලන්නත් ඕනේ, මොකද සාමාන්‍යයෙන් සායවල් ඇදගෙන වත් දිගු කලිසම් ඇදගෙනවත් පිහිනන්න යන්න බෑනෙ. පිහුනුම් තටාකයට බහින්න ඒකට ගැළපෙන ඇදුමක් එපැයි. ඒත් කියන්න බැහැ තියෙන තත්ත්වෙත් එක්ක සරසවි මානවිකාවන් දිගු කලිසම් ඇදල පීනන්ට යනවා වෙන්නත් පුළුවනි.

මම තාමත් හිතනවා. සරසවියක් කියන්නෙ මොකක්ද පිරිවෙනක් කියන්නෙ මොකක්ද කියලා. තාමත් මේ වගේ සරල දේවල් තේරුම් ගන්න විද්‍යාව ඉපදිලා නැතිව ඇති. උපන්නාවූ සියලු දෙය අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨ වේ කියලනේ කියන්නේ. හික්කඩුවේ සුමංගල හාමුදුරුවො අද දවසෙ හිටියනම් මේ ගැන උපදෙසක් ගන්න තිබුණා කියලත් මට හිතුණා.

ඒ එක්කම මේ කියන සරසවියෙ දී ම අතීතයේ දවසක බොහෝ රසවත්ව හැදෑරුව, 1447 දී ලියවුණු කාව්‍ය ශේඛරයෙ කවියකුත් මට මතක් වුණා. ගැහැනු ළමයි මේ සරසවියේ හැසිරිය යුතු ආකාරය එදවසත් අගනගරය වුණු කෝට්ටෙ යුගයේ දි මෙහෙම ලියවෙන්න ඇති කියල අවසානයට මට හිතුණා.

නාභිය නොදක්වා
සළු ඇද බොලට දක්වා
නොපා තන සක්වා
සිනා නොමසෙන් දසන් දක්වා...

9 comments:

Naleen Dilruksha said...

විද්‍යව හෝ අවිද්‍යාව මේ කුමක් පැතිරවුවත් එදා ඒ නිලධාරින් කරන්න ඇත්තේ එම ආයතනය හදුන්වා දුන් නීතිය නිසා නොවෙද. ඉතින් ඒ හැර ඔවුන් වෙන කුමක් කරන්න ද.

Gayani Wedage said...

නාභිය නොදක්වා
සළු ඇද බොලට දක්වා
නොපා තන සක්වා
සිනා නොමසෙන් දසන් දක්වා...
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

Il mondo di una povera pazza said...

කෝ අර පැනල් ඩිස්කශන් එකේ සටහන?

මෙයිට වඩා වෙනසක් මේ වෙද්දි ලන්කාවේ මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ සන්ජි. අනිත් සමාජ හෝ රටවල් ඉස්සරහට යද්දි රටක් විදියට අපි කාලෙක ඉඳන් පිටිපස්සට යන්නේ. නිකම් ජාතික පත්තරයක් අරන් බලන්න. තරුණ පරම්පරාව ලියන සටහනක් බලන්න. දැන් හැම එකම නිවුස් හෝ ජාතිවාදය ආගම් වාදය. ආදරය කියන්නේ හීනයක් දැන් ලංකාවේ. ( මට තේරෙන මේ විදියට ලංකාවේ අය ආදරේ ඩෙෆයින් කරන්නේ අමුතු විදියකට.)ආදරේ, මනුස්සකමට කොහේද තැනක් දෙන්නේ?
අපේ රටේ ජීවත් වෙන්න ඕනේ කාටවත් ඕනේ විදියට මිසක් හරි විදියටවත් තමන් කැමති විදියට නෙමෙයි. මේ වපුරන්නේ සමාජ වයිරය(වචනේ ලියන්න නොදනිමි)

නාඩියා නාඩිරත්න said...

හ්ම්ම්....මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්...ඔය තියෙන ප්‍රශ්න පත්තරේම මට තියනවා...අපේ කට්ටිය සදාචාරය කියලා හිතාගෙන ඉන්නේ ඇඳුම විතරයි...විලුඹ ලඟට දිග සය අන්දලා මහ දවල් ලවර්ස් ලේන් එකේ හෙළුවෙන් දඟලනවා..මේකද සදාචාරය...
ඇත්ත..ඇඳුම කියන්නේ සදාචාරයේ කැඩපත.ඒක අමතක කරන්න නරකයි..හැබැයි තව කෙනෙකුට ඔහු හෝ ඇය නොකැමැති දෙයක් කරන්න ගැලපෙන්නේ නැති ඇඳුමක් අදින්න බලකරනවානම් ඒ සදාචාරයද?
මේ නීති හෝ රීති කාගේ හෝ උවමනාවකට හැදිච්ච ඒවා වගෙයි පෙන්නේ...

Bindi said...

හරිම විකාරයක්නෙ ..ඇහුවමයි මෙහෙම එකක් .

දැන් ඉතින් විශ්ව විජ්ජාලේ ළමයි ඕකට විරුද්ධ වෙන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ . මට හිතෙන්නේ ඒ ගොල්ල අවශ්‍ය දෙයකට කතා කරන්න බය නැති අයනේ . අමු අමුවේ මානව හිමිකම් කඩ කිරීමක් . කොට සාය සහ තුන් කාලේ කලිසම ගත්තම සංවර කම මැනීමේදී[ එහෙම වෙන කරන්න වැඩක් නැතිම විනය පරික්ෂන මණ්ඩලයක් වගේ එකක් තියෙනවා නම් ] තුන් කාලේ කලිසම වඩා හොඳයි .

මේ නිතිය ගෙනා කෙනා ගැහැණු දුෂණය වන්නේ ඇඳුම නිසාය කියන ජාතියේ උගතෙක් වෙන්න ඕන .

උදිත said...

මුස්ලිම් තලිබාන් එක්ක මාරාන්තික විදියට විරුද්ධයි ඒ උනාට උන්ටත් වැඩිය ඒ තලිබාන් අදහස් බෞද්ධ නාමයෙන් ක්‍රියාත්මක කරන්න අපේ අය සැදී පැහැදිලා ඉන්නේ.
රටේ මිනිස්සුන්ගෙ කැමැත්ත සහ ආසාව අනුව තමයි පාලකයින් සහ නීති ඇතිවෙන්නේ මේ ලංකා හම්බෞද්ධ තලිබාන් කරණයට අකමැති අයට අකමැති සුළුතරයට විකල්ප දෙකයි තියෙන්නේ,
එක්කෝ මම වගේ පිටරටකට යන එක
නැත්නම් මේ විකාරයට විරුද්ධව සටන් කරන එක.
වෙන විකාරයට අකමැති එත් ඒකට කිසි විරුද්ධත්වයකුත් නොපෙන්වා ඕනෑ දෙයක් කියල නිව්ට්‍රල් ඉන්න අයට කියන්න තියෙන්නේ තොපිට හොඳ වැඩේ.

Mee Godayaa said...

තාමත් හණ මිටිය කරේ.. මොනා කරන්නද ... මංනම් ඉතින් හැමදාම යන තැනක් නෙවෙයි හින්දා එකදවසනෙ කියල එදාට විතරක් ඒගොල්ලන්ට ඕන විදියට යන්න ට්‍රයි කරනවා

මේක ෆලොව් කරන්න තැනක් නැද්ද.. හෙව්ව හෙව්ව හම්බ උනේ නෑ

උදිත said...

@ලිහිණි
බ්ලොග් එක ෆලෝ කරන්න ගැජට් එකක් දාන්න
කොමෙන්ට් ත්‍රෙඩ් විදියට දාන්න රිප්ලයි කරන්න පුළුවන් වෙන්න
නිල් පාට පසුබිම මට නම් කියවන්න අපහසුයි.

ලිහිණි said...

තුන්කාලේ නෝනා
ටොම්සන් මහත්තයා අහස දිහා බලා ගෙන හිටියේ ඈත ඉඳන් පියාඹා ගෙන එන කුරුල්ලෙක් දිහා ය. කුරුල්ලෙක් ද කිරිල්ලියක් ද කියලා කියන්ඩත් බෑ. මෙන්න බොලේ අහසේ ඉඳන් ආපු මොකා හරි ටොම්සන් මහත්තයා ළඟට පාත් වෙච්චි ගමන් මැවුණේ ගෑනු පරාණයක්. ඇඳ ගෙන හිටියේ තුන් කාලකුයි, ටී ෂර්ට් එකකුයි.

‘මේ ටොම්සන් මහත්තයා වෙන්ඩ ඇති... මං ආවේ විශ්වවිද්‍යාලේ පැත්තේ ඉඳලා...’

‘ඉතින් මොකද අප්පේ මේ කලබලේ.. ටිකක් හති ඇර ගන්ඩකෝ..’

‘... හති තමයි... මං ගියා විශ්වවිද්‍යාලෙකට...’

‘... කොහෙද? ’

‘කොහෙද කියන්නේ.. මේ ලංකාවේම තමයි.... ’

‘... මේ විදිහට ඇඳ ගෙන ද ගියේ?’

‘... ඔව්, මේ තුන්කාල තමයි ඇඳ ගෙන ගියේ... ඇයි මොකද? නරකද? අපි මේ ඉන්නේ පශ්චාත් නූතනවාදී යුගයේ... මේ විශ්වවිද්‍යාලවල තවමත් තියෙන්නේ අවිද්‍යාව නේ... නැතිනම් තුන්කාල ඇන්දා කියලා අපිව එලවා ගනීවියැ...’

‘... අනේ නෝනා... හරියට කියන්ඩකෝ ඉතින් මාව හම්බ වෙන්ඩ ආවේ ඇයි කියලා.. ’

‘... මං ආවේ මේ විශ්වවිද්‍යාල පාලනය කරන ලොක්කට විරුද්ධව පෙත්සමක් ගහන්ඩ...’

‘කාටද?'

‘මං දන්නේ නෑ කාටද කියලා... මේ නවීන කාලේ, පශ්චාත් නූතන කාලේ විශ්වවිද්‍යාලෙට තුන්කාල ඇඳ ගෙන ගියා කියලා එහෙම අපිව එලවන්න පුළුවන්ද? කෝ කාන්තා අයිතිවාසිකම්... ?’

‘... මං හිතෙන්නේ නෝනා.. මේකේ වැරැද්ද තුන්කාල ඇඳපු එකයි.. මං හිතන්නේ ඔය විශ්වවිද්‍යාලේ අනුමත ඇඳුම තුන්කාලේ කලිසම නෙවෙයි.. කාලේ කලිසම... එතකොට නේ මේක පශ්චාත් නූතන වාදයට අයිති වෙන්නේ...’

‘මට නම් ලැජ්ජයි ටොම්සන් මහත්තයා, මේ ලංකාවේ තවමත් මෙහෙම මිනිස්සු ඉන්න එක ගැන.. දැන් බලන්ඩකෝ... එංගලන්තේ, එක ඡායාරූප ශිල්පියෙක් ආරාධනා කෙරුවා මිනිස්සුන්ට ගෑනුන්ට ලෝකේ ලොකු ම නිරුවත් පින්තූරය ගන්ඩ එන්ඩ කියලා.. ආවානේ දහස් ගණනින් ගෑනු මිනිස්සු නිරුවතින්... අන්න නියම සමාජය...’

‘ඒක හරි නෝනා... ඉතින් නෝනත් එහෙම යන්ඩකෝ.. එතකොට කවුරුවත් එලවන එකක් නෑ...’

‘ටොම්සන් මහත්තයා මට කොචොක් කරනවද? නැත්නම් ඇත්තටම ද එහෙම කියන්නේ..’

‘.. මං මොකට ද කොචොක් කරන්නේ නෝනා.. මේ ලෝකේ මිනිස්සුන්ට ගෑනුන්ට සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවානේ.. ඔය පශ්චාත් නූතන වාදයට කර ගහ ගෙන ඔක්කොම කණපිට කියලා හිතුවාට, මේ සමාජය තවමත් එහෙම කණපිට ගැහිලා නෑ.. දැන් බලන්ඩ... නෝනා හිතනවා ඔය තුන්කාල තමයි හොඳම ඇඳුම කියලා.. අම්මලත් තුන්කාලේ අම්මලා.. ළමයි අතින් අල්ලා ගෙන ඉස්කෝලේ එක්ක යනවා..’

‘.. අන්න බලන්ඩ.. ඉස්කෝලෙට තුන්කාල හොඳයි.. විශ්වවිද්‍යාලෙට හොඳ නෑ..’

‘.. ඔව්, ඒක හින්දනේ ඉස්කෝලවල දැන් බෝඩ් ගහලා තියෙන්නේ මේ පුදබිමට පැමිණෙන විට සංවර ඇඳුමක් ඇඳ ගෙන එන්න කියලා.. මොකද එහෙම බෝඩ් ගහන්නේ? ඉස්සර තිබුණ ද එහෙම බෝඩ්..? ඒ කාලේ අම්මලා තාත්තලා දැන ගෙන හිටියා, තැනට ගැළපෙන විදිහට අඳින්නේ කොහොමද? තැනට ගැළපෙන විදිහට හැසිරෙන්නේ කොහොමද කියලා... දැන් ඉන්න ගෑනුන්ට තමන්ගේ ශරීරය ගැනවත් ගෞරවයක් නෑනේ.. තුන්කාල ඇඳ ගෙන පාර දිගේ ඇවිදින කොට ශරීරයේ හැටි කොහොම ද අනික් අයට පේන්නේ කියලා දන්නවද? හරියට මස් කඬේට අරන් යන මස් පරුවතයක් වගේ.. ඒක තමයි අද මෝස්තරේ. කොහෙන් හරි පිටරටකින් ආවා නම් ආයේ මොනවද?,

‘... ටොම්සන් මහත්තයටත් අමු කැවිලා වගේ.. මං ආපු ගමනින් වැඩක් නෑ වගේ...’

‘... මට ඉස්සෙල්ලා නෝනා අමු කාලා වගේ.. නැතිනම් මේ වගේ මස්තබාල්දු ඇඳුමක් සංවරශීලී ඇඳුමක් කියලා හිතන්නේ නෑනේ...’

‘... අනේ යන්ඩ ටොම්සන් මහත්තයා.. ටොම්සන් මහත්තයාටත් තියෙන්නේ අපි ලස්සනට ඉන්නවාට. ඉරිසියාව.. මං යන්ඩ ඕනෑ.. පශ්චාත් නූතනවාදී සමාජයක් තියෙන රටකට... එතකොට මේ වගේ ප්‍රශ්න මොකක් වත් ඇති වෙන්නේ නෑ...’

‘එහෙම නෙවෙයි නෝනා... ඉස්සෙල්ලම ගිහින් කණ්ණාඩියෙන් හරියට බලන්ඩ තමන් කවුද කියලා..? ඊට පස්සේ කල්පනා කරන්ඩ තමන් ඉන්න සමාජය මොකක්ද කියලා.. මේක නිකම් යල් පැන ගිය සමාජයක් තමයි... ඒ වුණාට ඒක විනාශ කරන්ඩ එපා... ඒක යල් පැන ගිය හැටියට ම එහෙමම තිබුණාවේ... නෝනා යන්ඩ අර නිරුවත් පින්තූර ගන්ඩ නිරුවතින් යන්න පුළුවන් රටකට... එතකොට හරි...’

‘... එතකොට කියන්නේ මේ තුන්කාලේ කලිසම හොඳ නෑ අපිට.... ’

‘... හොඳ ඇති. ඒකනේ අඳින්නේ... තමන් කැමති නම් පාරෙ තොටේ අලෙවි භාණ්ඩයක් වෙන්ඩ... එහෙම ඇඳ ගෙන යන්ඩ.. විශ්වවිද්‍යාලවල විතරක් නෙවෙයි. ජාතික අධ්‍යාපන ආයතනයෙත් ගේට්ටුවෙන් ඇතුළු වෙන්ඩ දෙන්නේ නෑ තුන් කාල ඇඳ ගෙන ආවොත්... අද ඒ විදිහට ඇඳුම්වලට නීති දාන්න සිද්ද වෙලා තියෙන්නේ ඇයි.? නෝනලා වගේ පශ්චාත් නූතනවාදී යුගයේ අයගේ පශ්චාත් භාගය නිසා..’

ටොම්සන් මහත්තයා දිහා රවා ගෙන බලා හිටපු නෝනා ආයෙත් කිරිල්ලියක් වගේ අහසේ පියාඹා ගෙන ගියා..

‘.. මං හිතන්නේ පශ්චාත් නූතන වාදී රටක් හොයා ගෙන යනවා වෙන්ඩැති..’ කියා ටොම්සන් මහත්තයා සැනසුම් සුසුමක් හෙළුවා ය.

බන්දුල පී දයාරත්න
bandulapdaya@hotmail.com
http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2013/02/01&id=2013/02/01/b13020111