Saturday, 1 November 2008

පිරිනිවන් මංගල්යය


බලියාග සිරිතේ ඇති ශාන්ති කවි රචනා අතර පිරිනිවන් මංගල්යය කවි එකතුව බුදු රජානන් වහන්සේගේ පිරිනිවන් පෑ අවස්ථාව නිරූපණය කර රචනාවී ඇති අති විශිෂ්ඨ කාව්‍ය නිර්මාණයක් වනවා. ශෝක රසය තීව්රව දනවන මෙම කවි 30 දයාන්නද ගුණවර්ධන මහතා ජේ .ඊ සේදරමන් ගේ බලි යාග විචාරය කෘතියෙන් තෝරාගෙන ඇත්තේ මධුර ජවනිකා වැනි තවත් සුවිශේෂි නිර්මාණයක් රටට දායාද කිරීමේ අරමුණින් වුවත් ඊට පෙර ඔහුගේ අභාවය සිදුවීම නිසා එම නිර්මාණය නොපිපි කුසුමක් බවට පත්වුණා. මේ කවි එකතුව ලබාදුන් වසන්ත ගූණවර්ධන මහතාට ස්තූතියි

(1 )
පන්සාලිස් අවුරුදු අප මුනිදුන් වැඩ හිඳ
චුන්දය දුන් දන් වළදා රෝගය වන් සඳ
ගන් ගා තිර වැටෙනා මෙන් නොපැකිළ එමු හුද
සන්සාරේ අගටම විය මරුවා නෙත් බැද
(2)
එතැන් පටන් තෙමසක් ගත වුනු තැන
සොඳින් එවන් සමවත් මුනි අර ගෙන
ඉතින් පිරිනිවන් පානෙමි සිතු වන
එයින් දෙරණ කම්පාවිය අප මන


(3)
අනද තෙරිඳු වඩිමින් මුනි ළඟ ටා
නැමඳ පතුල බිම හසකර සොද ටා
නොවෙද පොළව කම්පා වුනෙ මෙවි ටා
කිමද ඇසුවෙ මුනිඳුන් ගෙන් එවි ටා

(4)
මහසත් බිහිවුනූ කලටත් එලෙ සේ
ජයගත් දින බෝ මුලදිත් සොද සේ
එමහත් කොට බිම් කම්පා වුනු සේ
අදවෙත් මගෙ පිරිනිවනද මෙලෙ සේ

(5)
එක එක රීදී තොරණින්ද
දෙක දෙක රන් රුවනින් ද
සක දිසි පිළි තොරණින් ද
නෙක රන් තරු විල සේ
දැක දැක වඩින ලෙසින් ද
මහ සඟ සපිරි වරින් ද
සල් උයනේ මුනිනන් ද
වැඩවුන් සඳ මෙලෙ සේ

(6)
සොදින එදන රැසිවන සල්වන මැද
මෙදින පිරිනිවන් පානෙමි කී සඳ
වදින හඬන මහ සඟ දැක ඉකි බිඳ
ඉදින මෙතැන නොම හඬනුව කිය නුද

(7)
තෙරිඳුට අඩ ගසමින් අනද තොප
අඩන්නෙ කිමද මෙදැන්
තෙමසට මුල පෙරදින් නොදැනද
මරු මට කලෙ අයදුන්
සසරට මුනි නොබැදුන් සිරි නැති
සිවි විසි තැන් වඩිමින්
නිමකොට බුදුසිරි දැන් මම යමි
නිවනට අලූයම දින්

(8)
අදසිට කවර බුඳුන් සමඟ හිද
කරනෙමි පැන විසදුන්
මඟතොට ආ සමිදුන් දෙනෙත් අද
නිසල වුනේ මෙලෙසින්
සදවට තරු විලසින් තෙරුන්මැද
වදිනෙමි කවර බුදුන්
අද සිට මගෙ මුනිඳුන් කියන්නද
කාටද අනේ ඉතින්

(9)
සල්වන පිරි නිවනේ මුනිඳු සඳ
දල්වන පහන මෙනේ
මල් දන වැද දෙරණේ අඬන
කඳුළෙන් අලූයම එදිනේ
උල්දිය විල් ලෙසිනේ ගලන මහ
සෙන් කඳුළැලි මැදිනේ
සල් සුවදින් පවනේ සුසුම් හඬ
ලෙවි සැම තැන් ඇසුනේ

(10)
මල් දන නැගී පහන් කියන්
එම මල්ල රජුට මෙවදන්
වල්වැදි සත විලසින් නොයන්
කිව මල්ල රජුගෙ පුරදින්
සල්වන තුළ මුනිඳුන් නිවන් පිරි
කල් දන වැඩ විලසින්
බොල් විය අද මුනි ඳුන් සැනෙන් ගොස්
මල්ල රජුට පවසන්

(11)
මල්ල රජුන් සැට දහසම එවිගස
ගොල්ල සෙනඟ බිසවුන් හා නොවලස
දුල්ල කඳුළු දහරින් තෙමමින් හිස
නිල්ල වරල බිදිමින් එති මඟ බැස

(12)
සල්වන මල් යහනේ දැකලා මුනිදු
සල්වන සොල්වන සේ හැඬු නිරිඳු
සිල්වදනින් ඒ අනුරුද තෙරිදු
මල්ල රජුන් හට පවසයි මෙබදු

(13)
ඔවා අසන් දුක් නිස්පල වන්නේ
යවා සදුන් දර රැස්කර ගන්නේ
දවා සොහොන්කර මුනි රජිදුන්නේ
නිවා ධාතු ගනුවයි පවසන් නේ

(14)
කෙලෙසින් සෑයට මුනිදුන් ලන්නේ
කෙලෙසින් මුනිඳුගෙ ධාතු ලබන්නේ
කෙලෙසින් පෙරමුනි දැවුදැයි වන්නේ
එලෙසින් වදහල මැන තෙරි දුන්නේ

(15)
රන් සළුවෙන් මුනි බඳපොර වන්නේ
නන් සුවදින් තෙල්වත් කරමි න්නේ
රන් තොරණින් රන් දෙණ සරස න්නේ
වන්දනයෙන් දර සෑ කරවන් නේ
(16)
සක්විති රජ පෙර දවනා විලස ට
වික්මැති මුනිදුන්ගේ ගූණ සිහි කොට
දුක් නැතිවම රන් දෙණ ඔසවා සිට
නික් මෙනු මුනිඳුගෙ ආදාහන යට

(17)
සතියක් ගිනිලා සෑය නොදන් නේ
මෙපවත් රහතුන් ගෙන් විමසන් නේ
ගුණයුත් එකසුප් මහ තෙරිඳුන් නේ
අදිටන් විලසින් ඒ සිදුවන් නේ

(18)
නැණ බල තෙරිඳුන් කොතැන සිටින් නේ
ගෙන ඒ සමවත් ලෙනක වෙසෙන් නේ
දැනගත් විට මේ පුවත බුදුන් නේ
එන තෙක් සෑයේ ගිනි නොවදින් නේ

(19)
සිප්පලි ගුහා උන්
එකසුප් තෙරිඳු සැනෙකි න්
සමවත් නැගීයෙමි න්
කොයි ද අප මුනි බලා දිවසි න්

(20)
පිරි නිවන් පා ලා
රන් දෙණ තුළ හොවා ලා
බුදුන් රුව දැක ලා
යන්ට නික්මුණි සැනින් එක ලා

(21)
කුසිනාරාපුර මල්ල රජුන් නේ
වෙසෙනා සැට දහසක් වැසියන් නේ
සැදෙනා අන්දම සල් සෙවනින් නේ
දකිනා මෙන් පිරිනිවන බුදුන් නේ

(22)
සුරපති සෑයට මල්වැසි ලන් නේ
නිමනැති දන වැද මල් අහුලන් නේ
පරසතු මල් කොතනින් අරගන් නේ
ගවුතම මුනිඳුගෙ සොහොනින් ගන් නේ

(23)
නොරහත් තෙර හඬලා වැටෙමින් නේ
සිරිමත් මුනි අපි කෙළෙස දකින් නේ
නොපනත් පැවිදා මෙලෙස සිතන් නේ
එමහත් මැරුණා අපි ජයගන් නේ
(24)
නායක යෙක් නැත අපට ඉතින් නේ
නෑ සැක දැන් අපි ජයගෙන ඉන් නේ
දායක දන්වැට නැත අඩුවන් නේ
ඒ දැක ඇයිදැයි අපි වැලපෙන් නේ

(25)
එබ සට සිතුවයි එකසුප් තෙරිඳු
අදසිට නැතිවෙයි ශාසන මුනිඳු
මතුවට මතුවේ නම් ඒ අවිදු
දහමට සංගායන වෙයි පසිදු

(26)
ගින්දර ඇයි නොවදින්නේ නොකියා
රන්දෙණ කින් මුනි ඉන්නේ නොකියා
මන්ද නිවන්පුර වැඩියේ නොකියා
ඇන්ද සිවුර ඇයි දුන්නේ නොකියා

(27)
සිදු කොට සිරිපා තෙරිඳු දිසාවට
සිරුරට වැන්දයි නළල තබා සිට
අදසිට බුදු දැක්මක් නැත මේ ලෝකෙට
පදසිව් ගාතාවෙන් අදිටන් කොට

(28)
මුනි සිරිපා යුග රන්දෙණ වන් නේ
තනියම සෑයට ගිනි ඇවිළෙන් නේ
මුනි පුද ධාතුව සිව් කොටසින් නේ
එහිවුන ගිනි මැද වැඩ සිට ඉන්නේ

(29)
බුදුන් පිරිනිවි අසා රජ සත් දෙනෙක්
දඹදිව රට පුරා
යොදුන් ගනනින් මුදුන් බලකොටු
සියල් සේනා පිරිවරා
පුදන්නට අප බුදුන් සැමදින
බෙදන් ධාතුව නොමසුරා
රදුන් කොළ හල බසින් පැමිණෙයි
දෝන බමුණා එම වරා

(30)
කුසිනාරා වේට දීප අල්ල කප්ප
විසල් පුර ද
සිරිසාරා පාවා රට රාමාග‍්‍රය
ගෙන තෝරා සාවස්තිය අටක් නගර
බමුණු එස ද
දුනි බේරා ධාතු සැමට සව්
සතනගෙ ආසිරි මැද

දයානන්ද ගුණවර්ධන
(ජේ .ඊ සේදරමන් ගේ බලි යාග විචාරය ඇසුරින් )

1 comment:

Dawson Preethi said...

ලිහිණි ගේ මෙ ශ‍්‍රමයට මගෙ ඉමහත් ප‍්‍රණාමය.