Sunday, 8 February 2009

අවකාශය,


මම ඉඩක් හොයන්න පටන් ගත්ත. යාළුවොත් එක්ක කතා කරන්න, මොහොතක් නැවතිලා හිතන්න. පොතක් පතක් කියවන්න ඉඩක්. කොළඹ නගරෙ පුරාම මගේ හිත ඉගිල්ලුණා. යාළුවෙක් එක්ක කතා කරන්න තැනක්? එකපාරටම මතක් වුනේ මහජන පුස්තකාලේ, දැන් ඒකත් හිර කූඩුවක් වෙලානේ, ඉස්සර නම් ශ‍්‍රවනාගාරෙ ඉදිරිපස තණ බිස්සෙ කස ගහක් පාමුල වාඩි වෙන්න ඉඩක් තිබුණ. පතුල රිදෙන්න කස ඇට ඇණුනට ඒ හෙවන විඳගන්න ඉඩදීල ගහ ඉරමුවාකරල හෙවනක් හදල දුන්න. දැන් ඒව තහනම් කලාප වෙලා. කෙටි යකඩ වැට පැනල තණ බිස්සට පය තියන්න කළින් මුර හමුදාව කඩාගෙන පනිනව. ප‍්‍රශ්න කීරිම් ''ඇයි ඔතන. අයින් වෙන්න,. අයිඩින්ටිය තියෙනවාද?, පුස්තකාලේ ප්‍රවේශපත තියෙනවද? නැත්නම් කරුණාකරල යන්න එළියට.''

හ්ම්... එතනින් නික්මිලා පුස්තකාලේ ආපනශාලාවට ආව. ඒක හරියට දුම් ගැහුණු අදුරු ගුහාවක් වගේ පුස්ගඳ ගහනව. අවුරුදු දොළහකට පහළොවකට කලින්නම් හවස 6.30 විතර වෙනකම්, විවිධ මතිමතාන්තර එක්ක තේ කෝප්ප හරි හරියට ගැටුණූ තැනක නටඹුන් විතරයි එතන ඉතිරිවෙලා තිබුනෙ, පුස්තකාලේ පොත් බැහැරදෙන අංශයට ගියා. එතනත් විශේෂ වෙනස්කම් කිසිවක් සිදුවෙලා තිබුනෙ නැහැ. අනිත් හැමතැනම වගේ අඳුර අරක්ගෙන තිබුනා.මම හිතන්න පටන් ගත්තා. අවකාශය, ඉඩ, ඒක කොහෙද තියෙන්නේ? අපේ මනස් තුළ හිතන්න අවකාශයක් ඉඩක් ඉතිරිවෙලා තියෙනවාද? අපි අවට අපි ජිවත්වෙන තැන්වල අපට ජිවත්වෙන්න හිතන්න පොළඹවන අවකාශයක් නිර්මාණය වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් අපි අවට තියෙන අවකාශය අපි විසින්ම අහුරාගෙන ද තියෙන්නේ ?

ඔබට හිතෙන්න පුළුවන් මේ දේවල් කිසිම අර්ථයක් නැති දේවල් කියලා. ඒ වුනත් මට හිතෙනවා යම් පමණකට අපි මේ පරිභෝජනවාදි සමාජය තුළ පරිභෝජන භාණ්ඩ වෙලා කියලා. අපි හිතන්නෙ පතන්නෙ නෑ. මොකද අපි වෙනුවෙන් හිතලා අපි වෙනුවෙන් වැඩ කරන වෙළඳ ආයතන අපේ ඔළුගෙඩි පුරවලා තියෙන හින්දා. ඒ එක්කම අපි හිතනව නමි දැන් හිතන්න පටන් ගන්නේ ටීවී. එකේ රේඩියෝ එකේ පත්තරේ යන දේවල් එක්ක. අපි හිතනකොට මාධ්‍යඅපි වෙනුවෙන් හිතලා ඉවරයි. අපිට හිතන්න දෙයක් ඉතුරු කරලා නෑ.

පහුගිය දිනවල නිරන්තරව ඇස ගැටෙන වෙළෙද දැන්වීමක් තිබුණ. තමන්ගෙ පුතා නැන්දම්මලාගේ ගෙදර යන බව දැනගෙන තමන් බලන්න නාවට දුක්වෙන මවක් කේන්තියෙන් පුතාට දුරකථන ඇමතුමක් ගන්නවා. එහා පැත්තෙන් ඇහෙන්නෙ මව්ට ආමන්ත‍්‍රණය කරන ගීතයක්. අර අම්මගෙ කේන්තිය වාෂ්පවෙලා යනවා. දරුදුක ඉස්මතු වෙනවා. මොනවද අපේ සමාජය ප්‍රවර්ධනය කරන්නෙ?

හිස් අවකාශය අතරින් අපේ හිත් හිස්වෙලා කියලා විතරයි මට දැනෙන්නේ. ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ. ඉස්සර වගේ නෙමෙයි කලාවෙන් සංස්කෘතියෙන් පොතපතින් අපි ඈත්වෙලා. අපේ සම්බන්ධකම් ඒ කියන්නෙ මව්පිය දුදරු, සොහොයුරු සොහොයුරියන්, ස්වාමි භාර්යා, මේ හැම සම්බන්ධකමක්ම ඈත්වෙලා. මේ හැම එකක්ම නමට විතරක් එහෙම නැත්නම් අවශ්‍යතාවයන්ට විතරක් සීමාවෙලා. මේ මට හිතෙන හැටි. ඔබ කොහොමද මේ ගැන හිතන්නේ.

2 comments:

Anandawardhana said...

මේ සංස්කෘතියේ වඩාත්ම විධග්ධ, ක්‍රමවත් කූටප්‍රාප්තියක් තමයි Facebook :D
ගත කිරීම, hanging out, ඇසුර, සිතීම ආදිය සියල්ල ඒ ඇතුලෙ අලුත් ආකෘතිවලට ඇතුලත් වෙලා. සිනමා පටයක් නාට්‍යයක් වුනත් රේට් කරන්න පුලුවන්, රුචිකත්වය මනින්න පුලුවන්. එකිනෙකා "ගැලපෙනවද" නැද්ද මනින්න යාලු වෙන්න දර්ශක තියෙනව.

කාලාන්තරයක් තිස්සෙ ආශ්‍රයට පත් වීමෙන් තෙවැනි ඇසකින් වගේ දැකගන්න ලැබෙන "අනිත්" මිනිස්සුන්ගේ ඇතුලාන්තයට, "හද ගැහෙන රාවයට" දැන් අපි එබෙන්නේ interests ලැයිස්තුවක් හරහා ;-) මම දැකල තියෙනව එක ම ගෙදර ජීවත් වෙන අක්කයි මල්ලියිත් වැඩිපුර Facebook එක හරහා ගනුදෙනු කරන අවස්ථා. ඉස්සර නාට්‍යයක් බලන්න යන්න සෙට් වෙන්න වෙලාව තිබුන අය මුනගැහෙන්නෙ වෙන්නෙත් Facebook එකෙන්.

ඉතින් ඔවැනි අවකාශ තමයි දැන් තියෙන්නෙ, ප්‍රවර්ධනය කෙරෙන්නෙ එවැනි අවකාශ තමයි.

ආ අනික ඔය පුස්තකාලෙ කැන්ටිම මේ විපර්යාසය හොඳට කියා පාන තැනක් කියල මටත් හිතිල තියෙනව. හරියට බෝම්බ පිරිරීමකට පස්සෙ තියෙන අන්දමන්ද වීමක් වගේ දැන් එතනට ගියාම දැනෙන්නෙ.

| බින්කු | ßÎŋƙƲ | said...

ලිහිණිගේත් අනුවර්ධන අයියාගේ මතයට මම එකඟයි. (නරකට මාත් ෆේස්බුක් මිනිහෙක් තමා දැන්, මාත් මේ ක්‍රිමයට කැමති නෑ, ඒත් ඒ ප්‍රවර්ධන වල මම අහු වෙලා, මේ පරදේශයේ මා ඔය මත දෙකේම මැදි වෙලා වේලිලයි ඉන්නේ.