Monday 23 March 2009

හය හතර කියාදෙන්න

"අම්මේ, "
"ඇයි මගෙ දූ?"
"මම අම්මයි තාත්තයි ළගට ආ‍වේ ‍කොහෙන්ද?"
"ආ...., චුටි කුරුල්ලෙක් තාත්තටයි මටයි දූවව ගෙනත් දුන්නනේ. ඇයි ම‍ගෙ දූ "

"අම්ම කියන්නෙ බොරු නේද? අපේ ටීචර් කිව්ව අපි හැ‍මෝම අපේ අම්මලගෙයි තාත්තලගෙයි කියල, අම්මයි තාත්තයි කසාද බැන්දහම බබාල අම්මල තාත්තල ළඟට එනවලු."

"බබාලව අයිති අම්මටයි තාත්තටයි විතරයිලු. ඒ හින්ද අම්මයි තාත්තයි නැතිව වෙන කාටවත්ම අපිව අතගාන්න අල්ලන්න දෙන්න එපා කියල අපේ ටිචර් කිව්වෙ. අම්මයි තාත්තයි කියපු කෙනෙක් ඇරෙන්න වෙන කා එක්කවත් කොහේවත් යන්න එපා කියලත් ටීචර් කිව්ව. එහෙම කවුරු හරි කතා කලොත් හරි අතගාන්න අල්ලන්න අවොත් හරි අම්මට තාත්තට හරි ටීචර්ට හරි කියන්න කිව්ව. "

ලිංගික හා ප්‍රජනක ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍සෞඛ්‍ය පිළිබදව මාධ්‍ය‍‍‍‍වේදීන් දැනුවත් කිරි‍මේ සම්මන්ත්‍රණයක් පසුගියදා පවුල් සංවිධාන සංගමයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණා. දරුවන්ට කුඩා වි‍යේ දීම ලබාදෙන නිසි අධ්‍යාපනය මගින් ඔවුන් ගේ අනාගතය වඩා සුරක්ෂිත කිරිමේ වැදගත්කම ‍එහිදී කතා බහට ලක්වුණා. එයට සහභාගීවූවන්ගේ පුද්ගලික අත්දැකීම් කතාබහ කිරී‍මේ දී එක් මවක් ඉදිරිපත් කල ඇගේ අත්දැකිමක් මේ.

පළමුවෙන්ම මම මේ දියණිය ගේ ගුරුතුමීට හිසනමා අචාරකරනවා. ඇය දෙමාපියන්ටත් පළමුව සිසු දරු දැරියන් දැනුවත් කිරීම ගැන. ආදරණීය අම්මේ තාත්තේ, තවදුරටත් රෝස කැලෙන් ඇහින්දා කියා හෝ කුරුලු පැටවුන් හෝ වෙනත් කිසියම් කෙනෙක් විසින් ගෙනත් දුන්නායයි ‍පවසමින් දරුවන් මුලාකරන්නට එපා. දරුවන් දෙමාපියන්‍ ගේ සම්පත බව ඔවුන්ට නොසගවා පවසන්න. ඔවුන්ට ආදරේ දෙන්න. ළඟම විශ්වාසවන්තම යහළුවා, යෙහෙළිය වෙන්න. බොරු කියා ඔවුන්ගේ විශ්වාසය නැතිකරගන්න එපා.

මා මේ සටහන තබන මො‍හෙතේදීත් ත්‍රිකුණාමලයේ වර්ෂා දියණිය පාපතර නොම්නිසුන් අතින් කෙලෙසී මරු තුරුලට ගොස් අවසානයි. නමින් දන්නා නොදන්නා තවත් සිය දහසක් දරුවන් මේ මොහොත තුළ දීත්., ආරක්ෂිතයයි අප විසින්ම රවටා ගන්නා අනාරක්ෂිත සමාජයේ පාපතරයන්ගේ ගොදුරු බවට පත්වෙමින් සිටින මතකයේ තිබේ නම්, ඔවුන්ගේ සුරක්ෂිත හෙට දවස උදෙසා දරුවන් දැනුවත් කරන්න මැලිවන්න එපා.

හය හතර කියාදිය හැකි දුවා දරුවන්ට හය හතර කියා නොදීමේ වරද නිසා, නොදැනුවත්කම නිසා දරුවන්ට ඔවුන්ගේ ආරක්ෂාව සලසාගත හැකි අවස්ථාවන් මඟහැරෙන්නට ඇති ඉඩ වලකාලමු. පිපෙන්නට පෙර පාගා විනාශකර දැමූ වර්ෂා දියණිය වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ‍ සොයුරා තැබූ මේ සටහන තැලී පොඩිවී විකසිතවන්නට පෙර මිලානවූ සියළු මල් කැකුළු වෙනුවෙන්.

අපේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් අද, හෙට හෝ අනින්දා නොව මේ මොහොතේ සිට දැනුවත් වෙමු, දරුවන් දැනුවත් කරමු. මේ ඔබේත් මගේත් වගකීමයි. යුතුකමයි


වර්ෂා


ලෝදිය උතුරන
මේ මහ පොළවට
පුංචි දිය බිඳකි - වර්ෂා

අග්නි පිපාසිත
උඩු සුළඟේ වැද
කොහි ගියාද නුඹ - වර්ෂා

ආයෙත් නම් මේ
කාෂ්ඨ පොළවට
වහින්නෙපා නුඹ - වර්ෂා

නුඹට ලොවක් නැති
අපට උරුම නැති
සිහිනයක්ය නුඹ - වර්ෂා

රුහිරු පොළව මත
කාසි මල් පිපෙයි
හඬන්නෙපා නුඹ - වර්ෂා

සූර්ය සප්තකය
යුගාන්ත ගිර මත
නැග එනවා දුව - වර්ෂා

වළාකුළක නුඹෙ
පුංචි හිස හොවා
මුවා වෙන්න නුඹ - වර්ෂා

සඳ මඬලට නැඟ
කිරි සයුරේ නුඹෙ
දෙපා පොඩි දොවන් - වර්ෂා

කඳුළු උනන්නැති
අපේ ඇස්වලට
පෙනෙන්නෙපා නුඹ - වර්ෂා

ත්‍රිකුණාමලයේදී කප්පම් කල්ලියක් විසින් ඝාතනය කරන ලද ජූඩ් රෙජි වර්ෂා දියණිය නමිනි.අජිත් පැරකුම් ජයසිංහ

4 comments:

Narada said...

මේ අයුරටම අපිට කෙලින් කතා කරන්න බැරි දෙයක් වන ලිංගිකත්වය (විවාහයට හා වයසට පෙර එක් වීම.) වැනි කාරණා නිසි කාලයේදි කතා කිරිම වැදගත් නේද?

Unknown said...

ඔවි අනිවාර්යය යෙන්ම ඒක එහෙම වෙන්න ඕනි. ඇත්තටම ඒක ගැන අපි විවෘතව කතාකරමු. මොකද මේ වගේ දේවල් හංගනතාක් කල් අපි අදුරෙන් අදුරට මිසක් අදුරෙන් එළියට යන්නෙ නෑ. කුනුහරුප, වල් පල් වෙනුවට විද්‍යාත්මක පදනමක ඉදල ඇත්ත කතාකරමු, නොදැනුවත් කමින් ඒඩිස් වැනි තත්ත්වයන්ට ගොදුරුවනවාට වඩා, දැනුවත් කමින් ආරක්ෂාවෙන්න කටිටිය කැමති වෙයි නේද? ‍

Narada said...

ඔව්, එයට අපේ සදාචාරය වැදගත් වෙනවා වගේම එයට විද්‍යාත්මක පදනමක සිට කතා කිරිමේදිත් පරිස්සමෙන් කල යුත්තක් වෙනවා, මොකද වැරදිමක් නිසාම කැළඹෙන්න තරම් අපේ සමාජයේ ගොඩාක් දෙනෙක් පෙළඹලා තියෙනවානේ. නුවරට කලේ එවැනි එකක් විතරයි, එයට වික්ටෝරියා සංස්තෘතිය හේතු වුවෙක්යැයි මගේ අදහසක් නෙමේ, අපේ මිනිසුන්ගේ කොටසක් (බොහෝ කොටසක් තුල තිබෙන අසාධාරණව මැඩවිමේ ගති ලක්ෂණ නිසායි. ( මේ යන යුද්ධයත් එහි ආරම්භයත් එවැනි හේතුවක් පදනම් වුණ එකක්.) ඒඩ්ස් රෝගින් හා මා කලින් සදහන් කල අය හෙළා නො දැක ඔවුන් මගින් ඔවුන්ට තැනක් දෙමින් තවත් ඒ වැන්නක් සිදු නොවෙන්නට ක්‍රියා කළ යුතු වෙනවා.

මගේ මේ අදහස නිසා අපහසුවට පත් වුවා නම් සමාවෙන්න.

Anonymous said...

මෙන්න සරුස්කුතිය කනවා (හික් හික්) ඇත්ත මමත් බින්කු මල්ලිගේ කතාවට එකගයි