Thursday, 22 November 2012

සුදු සීයා













සුදු සීයා
දිනපතා රැකියාවට යන මඟ ආසන්න නිවෙසක ජීවත්වෙන සුදු සීයව මම අදුන ගත්තෙ බොහොම ළඟකදි. අපි අඳුන ගත්තෙ මඩු ගහක් හින්දා. අපේ පළාතෙ මඩු ගස් නිතර දකින්න තිබුණත් ගෙඩි හැදිල තියෙනව දකින්නෙ බොහොම කලාතුරකින්නෙ. සුදු සීයගෙ ගෙවත්තෙ මඩු ගහ පලදරලා තිබුණා. මහියංගණ, හුන්නස්ගිරිය, මී මුරේ පැත්තට ගිය හැමදාම මඩු පිටි අරගෙන ඇවිත් තිබුණත් හොඳින් වැඩුණු මඩු ගෙඩි ජීවිතේ පළමු වතාවට මම දැක්කෙ සුදු සීයගෙ මඩු ගහෙන්. මම මඩු ගෙඩි ගැන සුදු සීයගෙන් ඇහුවම සුදු සීය කීව පළමු වතාවට ගෙඩි හටගත්තත් මඩු පිටි හදන විදිය එයා දන්නෙ නෑ කියල. ඉතිං මොනරාගල මහේෂට කතාකරල මඩු පිටි හදාගන්න විදිය අහගෙන ඒක සුදු සීයට කිවිව දවසෙ සුදු සීයා මට කිවිවෙ මෙච්චර කල් මම හොය හොයා හිටි දේ හරියට කියා දුන්නෙ ඔය ළමයා කියල.

සුදු සීය පාරම්පරික ගොවි මහත්තයෙක්. එයා මගෙත් එක්ක කියනව මං මගෙ දරුවො හතර දෙනා විශ්වවිද්‍යාලෙ යවලා ඉගැන්නුවෙ මේ පොළොවත් එක්ක ගනුදෙනු කරලා කියල. සුදු සීයගෙ වගාව ලස්සන වෙන්නෙ කාලෙන් කාලෙට වත්තෙ පාට වෙනස් වෙන හින්දා. මාස හය හතකට කලින් මුළු වගා බිම පුරාම අඩි තුනක් විතර උස වැල් වියනක් හැදිල තිබුණා. ටික දවසක් යද්දි ඒ වියනෙන් බිමට ඇදුනු මල් පොකුරුවල පුංචි පුංචි බෝංචි කරල් වගේ ගෙඩි හැදිල තිබුණා. ඒ වැල් වර්ගය, වඳුරු මෑ ගැන මට පාඩමක් කියල දීලා , ඒකෙ නෑදැය වන අවර ගැනත් සුදු සීයා කියල දුන්නෙ හරිම කැමැත්තෙන්.

පර්චස් හත අටක ඉඩමක ගෙවල් හදාගෙන ඉන්න අයට ආසාවට ගහක් කොළක් වැව්වත් හිතේ හැටියට ඒ ගහට හැදෙන්න දෙන්න බෑනෙ, අල්ලපු වහලට කොළ වැටෙනවා, අත්තිවාරමට මුල් ඇදෙනවා වගේ ප්‍රශ්න නිසා දන්නෙම නැතිව ගස් කොළන් කප්පාදු වෙද්දි ඒ කොළ ටික අරගෙන ගිහින් පොළවට පොහොර කරගන්න සුදු සීයා මැලිවෙන්නෙ නෑ.

කොස්, දෙල්, පොල්, පුවක්, මුරුංගා, ඇඹරැල්ල වගේ විසාල ගස් වගේ ම අල , බතල වර්ගත්, මෑ, වැටකොළු, පතෝල , බටු, ආදී එළවළු වර්ගත්, කතුරුමුරුංගා, නිවිති , ගොටුකොළ වගේ පලා වර්ග වගේ ම කෙසෙල්, පැපොල් වගේ පලතුරුත් සුදු සීයා වවන්නෙ හරියට දරුවො හදනවා වගේ ආදරෙන්.
සුදු සීයගෙ වත්තෙ පැපොල් පැහිල තිබුණු දවසක මං සුදු සීයගෙන් අස්වැන්න අලෙවි කරනව ද කියල ඇහුවෙ අපි හැමදාමත් වෙළෙඳ පොළේ මිල දීලා අරගන්න පැපොල්වලට වඩා ගහක සොබාවිකව ඉදෙන ගෙඩියක රහ ගුණ වෙනස් හින්ද විතරක්ම නෙවී පුංචි මන්මිතා දෝණිට අපි ඇහෙන් දැකලා හැදෙන වැඩෙන පලතුරක් රහ බලන්න දෙන්න තියෙනව නම් හොදයි කියල හිතලා.

එවෙලෙ සුදු සීය මට හරි අපූරු උත්තරයක් දුන්නා, “ මගෙ දරුවො හතර දෙනාටම පොඩි දරුවො ඉන්නවා. ඉතින් මේ ගස්වල වසක් විසක් නැතිව හැදෙන පැපොල්, කෙසෙල් ඒ දරුවන්ට දෙනවා මිසක් මම විකුණන්නෙ නම් නෑ.ඒ කතාව ඉවරකරල මම ගෙදර ගියා. පැය බාගයකට විතර පස්සෙ ගේට්ටුවෙ සීනුව වැදුණා. කවුද කියල බැලින්නමි සුදු සීයා. බාගෙට ඉදුණු පැපොල් ගෙඩියක් බාල්දියකට දාගෙන, ඒකටම වේලිච්ච පිදුරු ටිකකුත් දාගෙන පුෂ් සයිකලේ ඇවිල්ලා. ගෙට එන්න කියල අඬ ගැහුවත් ඇට වගයක් ගේන්න යනවා කියලා ගෙට නොවැදී මිදුලෙ තිබුණු පීදුණ පැපොල් ගහ ළඟට ගිය සුදු සීයා ගහ දිහා හොදට බලලා මේක හොඳ ගැහැනු ගහක් , ඒ වුණත් අස්වැන්න හොඳට එන්න ගහේ කඳටත් අව්ව වැටෙන්න ඕනි කියල ගහ වහගෙන තිබුණු කොළ එක රටාවකට නවල කඳට අව්ව වැටෙන්න සලස්වලා ගිහින් එන්නම් කියල ගියා.
ඊයෙ පෙරේදා දවසක දම්පාට මල් පිපුණු බලු නකුට ගස් ගොන්නක් අරගෙන ආව මංජු , මේ හීන් බෝවිටියා නේද කියල ඇහුවා. සිංහල වෙද මහත්තයෙක් බෙහෙත් කැඳකට හීන් බෝවිටියා බොන්න කියල. ඒ හීන් බෝවිටියා නෙවෙයි කියල පහුවදා හීන් බෝවිටියා හොයල දෙන්න මම පොරොන්දු වුණා. ඉස්සර වගේ දැන් අපේ වතුවලත් හීන් බෝවිටියා නෑනෙ, හවස ගෙදර යන ගමන් නිකමට සුදු සීයගෙන් ඇහුවම මගෙ වත්තෙ තියෙනවා. හෙට උදේ එන්නකීවා.

ඊළඟ දවසෙ උදේ මම සූදු සීය එක්ක හීන් බෝවිටියා කඩන්න ගියා. යන අතරමග තියෙන ගස් කොළන් පෙන්නලා සුදු සීය මගෙන් ඒවයෙ නම් ගම් අහනවා. කඩු පහර, ඇත්තඩි, කැබැල්ල, වගේ දේවල්. ඊළඟට සුදු සීය මාව කිරි අගුන වැලක් ළඟට එක්ක ගියා. මේ බලන්න මේ අගුන වැල කිරි කහ පාටයි. අගුන වර්ග පහක් තියෙනවා. ඒ ඔක්කොම මයෙ වත්තෙ තියනවසුදු සීය මට කීවා. මංජුට දෙන්න හීන් බෝවිටියා කඩාගෙන එන ගමන් මට හිතුණා සුදු සීයා කොච්චර ලොකු සම්පතක් ද කියල. කැලේක කොළේක ගස් කොළන් තියෙන්න ඕනි. ඒ විතරක් නෙවී ගස් කොළන් අඳුනන කැලේ කොළේ අඳුනන මිනිසුත් ඉන්න ඕනි කියල මට හිතුණෙ නිකමටම නෙවී. සුදු සීයා වගේ සොබාදහමත් එක්ක ජීවිත්වෙන පරම්පරාව නැති වුණාම, ගහෙන් කොළෙන් ඈත්වුණු පරම්පරාව ගහක් කොළක් අදුනගන්න අන්තර්ජාලෙත් සැරිසරයි නේද කියල මට හිතුණා.

1 comment:

Gayani Wedage said...

ලස්සන කෙටි කථාවක් මෙන්ම අර්ථවත් යමක් ඉගෙන ගත හැකිය.
http://manasindiviyata.blogspot.com/