Friday 30 November 2012















ජීවිතයට ආදරය කරන ඔබ වෙනුවෙනි!

‘‘රතුපැහැයන් අතර දීප්තිමත් පැහැයක් ලෙසත් උණුසුම් පැහැයක් ලෙසත් ‘‘රතුපැහැය සැලකේ. අනතුරු හැඟවීමේදීත්, උණුසුම් හැගීම් ප්‍රකාශ කිරීමේදීත්, බලය විදහා දැක්වීමේදීත් ආදරය හැඟවීමේදීත් ලොව පුරා ජනතාව රතු පැහැය භාවිත කරයි. ආදරයට සේ ම විනාශය හා ප්‍රචණ්ඩත්වය දැක්වෙන්නේ රතු පැහැයෙනි. ලොව පළමු ඒඩ්ස් රෝගියා හදුනාගත් එක්දහස් නවසිය අසු එකේ දෙසැම්බර් පළමු දා සිහිකර ලෝක ඒඩ්ස් දිනය යෙදෙන හෙට දින එනම් දෙසැම්බර් පළමුවන දා ලොව පුරා බොහෝ ජනී ජනයා රතු පැහැයෙන් සැකසූ රිබන් පටියක් “ආදරය හා රැකවරණයේ අරුතින් පැලඳ සිටිනු ඇත. ඔවුන් ජීවිතයට ආදරය කරන්නැයි අනෙකා ගෙන් ඉල්ලා සිටිනු ඇත. ඉතින් හෙට දිනය වෙනුවෙන්, එනම් දෙසැම්බර් පළමුවනදා HIV/ AIDS වෙනුවෙන් ලිහිණිගේ ලියමන වෙන් කරමි.

රතු රිබන් පටි පැලැදි ඔවුනට එක්ව ලොව පුරා වසංගතයක්ව පැතිර යන එච්අයිවී වෙරසය ගැන සහ ඒඩ්ස් තත්ත්වය පිළිබඳ දැනුම්වත් වන්නැයි මම ද ඔබට ඇරයුම් කරමි. HIV යනු හියුමන් ඉමියුනෝඩෙෆිසන්සි වෛරසයයි. AIDS යනුවෙන් හැදින්වෙන්නේ ඇක්වයර්ඩ් ඉමියුනෝඩෙෆිසන්සි සින්ඩ්‍රොම්හෙවත් නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණයයි. මූලිකව මෙම වෛරසය මගින් සිදු කෙරෙන්නේ මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය කිරීමයි. එම අක්‍රීය වීම නිසා වෙනත් ඕනෑම රෝගයක් වෛරසය ආසාදිත පුද්ගලයාට මාරාන්තික විය හැකියි. උදාහරණයක් වශයෙන් එච්අයිවී වෛරසය ශරීරගත වූ අයෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වුව ද මාරාන්තික වීමට ඉඩ තිබේ.

HIV/ AIDS ඔබටත් මටත් වැදගත්වන්නේ ඇයි? අප්‍රිකානු කොළ වඳුරාගෙන් මිනිසා ට සම්ප්‍රේෂණය වී ඇතැයි සැලකෙන ඒඩ්ස් හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය ඇතිකරන මානව ප්‍රතිශක්ති ඌණතා වෛරස ජීවත්වන්නේ මනුෂ්‍යයන්වන අප තුළ නිසාත් එය තවත් අයෙක් වෙත සම්ප්‍රේෂණය වන්නේද මනුෂ්‍ය වාහකයන් හරහාත් වීම නිසයි. එබැවින් අපි සියලු දෙනාම උපතින් ඒඩ්ස් අවධානමක් දරා සිටින්නෝ වෙමු. එසේ වු අපට HIV/ AIDS ආසාදිතයන්, මෙන් ම HIV/ AIDS නිසා වින්දිතයන් වූ සමාජයේ විවිධාකාර අපවාදයන්ට ලක්වූ අපේ ම සහෝදර ජනතාව නොසලකා හැරිය හැකිදැයි මම ඔබෙන් විමසමි.

මේ සියලු හේතු සාධක සලකා HIV/ AIDS රෝගය වළක්වාලීම සඳහා, වළක්වා ගැනීම සඳහා එක්වන්නැයි ඔබට ඇරයුම් කරමි. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඒඩ්ස් රෝගය සඳහා වන රුධිර පරික්ෂාවට ඔබට යොමුවිය හැකියි. ඔබ ගැබිනි මවක නම් මතු උපදින දරුවාගේ සෞඛ්‍ය සම්පන්න අනාගතය උදෙසා ඔබට රුධිර පරික්ෂණයකට පෙනී සිටිය හැකියි. ලංකාවේ HIV/ AIDS ආසාදිතයින් අතරින් 48‍% කාන්තාවන් වන අතර 52‍% පිරිමින්වේ. එම කාන්තාවන් අතරින් 70% ට පමණ වෛරසය ආසාදනය වී ඇත්තේ සිය ස්වාමියාගෙනි.

ජාතික ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වසරේ මෙතෙක් හමුවී ඇති එච්අයිවී වෛරසය ආසාදනය වූ දෙසීයකට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති අතර , එම වාර්තා වී ඇති පිරිසෙන් පස් දෙනෙක් සිය මවුවරුන්ගෙන් වෛරසය ආසාධනය වූ දරුවන්  වේ. බොහෝ පියවරුන්ගේ නොසැලකිල්ල මවට පමණක් නොව ඇය බිහිකරන කිරිකැටියාට ද මාරාන්තික වන බව බවට අපට තවත් උදාහරණ කුමටද ?
මේ සියලු ආකරයෙන් ඒඩ්ස් ආසාධනය වීම සඳහා උදාහරණ ශ්‍රී ලංකාව සතුව පවතී. කීර්තිමත් ළමා වෙද්‍යයවරියක මෙන්ම දහස් ගණනක් වූ වෙද්‍ය සිසුන්ගේ ගුරුවරියක වූ මහාචාර්ය කාමලිකා අබේරත්ත මහත්මියගේ ජීවිත කතාව ඉන් එක් නිදසුනක් පමණි.

මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ජාති ආගම් කුල පංති හේද නොසලකා මනුශ්‍ය ශරිරයේ ප්‍රතිශක්තිය දුර්වල කිරිමේ කාර්යයේ නියැළෙයි. එසේ ප්‍රතිශක්තිය හීන වූ අපේ සහෝදරයන්ට ජීවත්වීමට ශක්තිය ලැබිය යුතුයි. එම ශක්තියේ ප්‍රභයවය ඇතිවිය යුත්තේ ඔබේත් මගේත් හදවත තුළයි. අප අපගේ නොදැනුවත් බව නිසා තවදුරටත් ප්‍රතිශක්තිය හීන වූ සහෝදරයන්ගේ ජීව ශක්තියට හානි පමුණුවන්නන් නොවිය යුතු ය. එසේ වුවහොත් එය මානව ප්‍රතිශක්ති ඌණතා වෛයිරසයටත් වඩා භයානක සමාජීය වෛරසයක් ලෙස හැඳින්වෙනු ඇත. මේ හේතු සාධකය නිසා අප සැබෑව තුළ දැනුම්වත් විය යුතු වෙමු. සැබෑව තුළ ජීවත් විය යුතු වෙමු.

ජීවිතයට ආදරයට සේ ම අධ්‍යාපනය ද අවශ්‍ය ය. සමාජය පිළිබඳ වන ස්වයං වගකීමක් ඇතිව සමාජ ගරුත්වය ආරක්ෂා කිරීමට ඔබත් මමත් සමාජ වගකීමෙන් බැඳී සිටිමු. ජීවිතය පිළිබඳ වු සුපසන් බලාපොරොත්තු සහිතව මනුෂ්‍යත්වය පිළිබඳ වූ උණුසුම් අපේක්ෂාවෙන් යුතුව HIV/ AIDS වින්දිතයෝ අපදෙස බලා සිටිති. මනුෂ්‍යයන් වීම නිසා ම ඔබේත් මගේත් සහෝදර සහෝදරියන් වූ ඔවුන් වෙත ආදරයත් රැකවරණයත් ලබාදීම සඳහාත්, ඔබේත් මගේත්, මතු පරම්පරාවේත් ආරක්ෂාව සඳහාත් දැනුම්වත් වෙන්නැයි මම ඔබට යෝජනා කරමි. එන්න මේ ඇරයුම ජීවිතයට ආදරය කරන ඔබටයි.