Tuesday, 16 December 2008

ආවෝ... ගියෝ....

අංශුවෙන් අංශුව
ගොඩනැගූ මේ යෝධ තුඹස තුළ
විස ඝෝර සර්පයින් වුව
සිටින්නට පිළිවන

දිවෙන් මුව පිසලමින්
වේයන් තළුමරන
තලගොයා බෝ අහිංසකය

මහා වැස්සට පෙරාතුව
බලන් අර තුඹස දෙස
අහා අරුමය,
නිදහස් වූ ලෝකයක් සොයා ගෙන
ඇදෙන රන්වන් මෙරු රැස
රුං ගාමින් ඉගිළ
ආලෝකයක් සොයායන අසිරිය

සුපෙම්වත් වූ මේ උදෑසන
තණ පලස මත
තෙත බරිත, පියාපත් සියදහස
හැන්දෑකරේ ඉගිළුණු මෙරු........

Tuesday, 9 December 2008

ආදරය


මේ මෑත දවසක පාසල් සේවා වෑන් රථයක සේවය කරන රියදුරු මහත්මයෙකුට අපූරු අද්දැකීමකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ වෑන් රථයෙ පාසල් යන්න අවුරුදු 7 පුංචි පුතෙක් තවත් පුංචි දියණියකට ලියුමක් ලියලා තිබුණා. අවාසනාවකට ඒ ලියුම රියදුරු මාමා අතට තමයි අහුවුණේ.

ළමා අකුරෙන් පිටුවක් පිරෙන්න මං ඔයාට ආදරෙයි චූටි නංගි මේ මෝඩ මාම හින්දා මට ඔයාට කිස් එකක්වත් දෙන්න විදියක් නැහැ.

ඒක තමයි ඒ ලියුමේ ලියවිලා තිබුණේ. ඔබ මොකද හිතන්නේ. අපි පුංචි දරුවන්ට ආදරේ කියලා දෙනවා. අම්මට ආදරේ කරන්න, තාත්තට ආදරේ කරන්න, පුංචි නංගිට, මල්ලිට ආදරේ කරන්න උම්මා එකක් දෙන්න අපි පොඩි අයට කියලා දෙනවා. ඒත් එහෙම කියලා දෙන්නේ එක්තරා කාලවකවානුවක් වෙනකම් විතරයි. අවුරුදු 6 , 7 ක් යද්දි ඒක වෙනස් වෙනවා. අර පුංචි කාලේ පෙන්නපු ආදරය උගන්නපු ආදරයට වැට බැදෙනවා. එක පාරටම ගැහැණු පිරිමි කියලා තාප්පයක් බැදෙනවා. කිසිම හේතුවක් කාරනයක් නැතිව ඇතිවන මේ වෙනස්වීම කොහොමද දරුවන්ට දැනෙන්නේ කියලා කවදාවත් කවුරුවත් හිතන්නේ නැතිව ඇති.

පොඞ්ඩක් කරදඩු උස් මහත්වෙච්ච දරුවෙක් අම්මගේ ඔඩොක්කුවේ ඉද ගන්න බත්කටක් කවා ගන්න ගියාම සමහර අවස්ථාවල මේ මොන නාකී හුරතල් ද කියලා දෙමාපියන් අහනවා. ඒ කියන්නේ ළමාවියෙන් යොවුන්වියට පැමිණෙනවා කියන්නේ එකපාරම නාකීවෙනවා කියන අදහසක්. හුරතල් වෙන්න පුළුවන් පොඩි එවුන්ට විතරද? ඇයි වැඩිහිටියන් හුරතල් වුණාම මොකද වෙන්නේ. අපි කවද්ද මේ යතාර්ථය තේරුම් ගන්නේ. මම දකින විදියට, මම හිතන විදියට අපි හිතන පතන විදියේ ක‍්‍රියාත්මක වන විදියේ වැරැුද්දක් තියෙනවා. සංස්කෘතිය, සබ්්‍යත්වය නැති කරනවා කියන නොවෙයි මම මෙතන අදහස් කරන්නේ සමාජය තුළ පවුල තුළ පාසල තුළ අපි සහෝදරකම් වගා කරන්න ඕනේ කියන එක. ආදරය වගා කරන්න ඕන කියන එක.

අනෙක් අය එක්ක තරග කරනවා වෙනුවට සහයෝගයෙන් ජීවත් වෙන්නේ අනෙක් කෙනාව තේරුම් ගන්න අපි අනාගත පරම්පරාවට හුරු කරන්න ඕන. ජීවිත කියන්නේ බෙදා ගන්න තියෙන දේවල් මිසක් මරාගන්න තියෙන දේවල් නෙමෙයි. අපි යහගුණදම් වගා කරනවා කියන්නේ ආදරය සෙනෙහස දයාව, කරුණාව, එකිනෙකා අතර පතුරුවා හරිනවා කියන එක.

අපි දෙයක් අත්පත් කර ගන්න අප සතු කර ගන්න දගලන දැගලිල්ලම අපේ ජීවිතයේ සතුට රදවා ගැනීමටත් තියෙන්න ඕන. මොකද කිසියම් දෙයක් අත්පත් කර ගැනීමෙන් පස්සේ ඒක පැත්තකට දාලා ඔහේ තියෙන්න හරිනවා. ඒකට තිබෙන ආසාව ඉවර කරනවා. නමුත් අපි ජීවිතය බෙදා ගන්න ඕන, ආදරය බෙදා ගන්න ඕන. ඒ බෙදා ගැනීම ඒ අවබෝධය ජීවිත කාලයටම වෙන්න ඕන. ඒක අත්පත් කරගෙන කූඩුවකට දාලා හිරකරලා වහල තියන්න නම් අපි තවදුරටත් ආදරය කිරීමට අවශ්‍යද?

Thursday, 4 December 2008

ළඟ පාත - දුර ඈත

ළඟ ළඟ එක සමාන දුර
පිලී දෙකක ගමනක් යන්නේ
අතිනත අතහැර අපි කොයිබද යන්නේ
කොතනක එක්වෙන්නේ .............

පීළි මාරුවෙන ඊළඟ නැවතුම
කෙලවර ළං වන්නේ
නැවත දුරස්වන්නේ
ළඟ, ළඟ දුරවෙන්නේ
දුර නෑ ළං වන්නේ
කොතනද නවතින්නේ .............

තව දුර යනවද
මඟ නවතිනවද
කවුරුත් නෑ දන්නේ
හරියට අපි වාගේ

ක්‍ෂීතිජය ළඟපාතයි,
මිරිගුව දුර ඈතයි

Monday, 1 December 2008

අමාවක

සාංකාව සිත උතුරා
වාන් දමන විට
හීන් පොදට පෙති ලෙහෙනා
මල් කැකුලක් ලෙස
හඬ නොනගා බිදී වැටෙයි
හදාගත්තු හිත

ළඟ ඉන්නට
කණාමැදිරි එළිවත් නැතිකොට
දෑස් ඇරන් මං ඉන්නේ
සසර පුරුද්දට
අමාවකට මල්වර වුණු
කුමුදු කැකුලකට
සදබිඳුවක් ඇහැ ගැහෙන්න
ඉඩක් තියෙනවද

ළගින් හිටිය හෙවනැල්ලත්
ඈතට යනකොට
දුරින් තියෙන තනි තරුවට
පෙනේද මගෙ දුක