Saturday, 5 January 2013

හෘද සාක්ෂියක් සොයමි


මනුස්සකම” වර්ග කරන්න බෑ. පසුගිය සතියෙත් ලිහිණිගෙ ලියමන ලියවුණේ ඒ පිළිබඳ. අපි මුහුණ දෙන අවස්ථාවන් අනුව, දේවලට ප්‍රතිචාර දක්වන ස්වරූපය අනුව බොහෝ දේ වෙනස් වෙනවා. හැබැයි “මනුෂ්‍යයන්” හෙවත් උසස් මනසක් තියෙනවා යයි විශ්වාස කරන අපි කරන කියන දේවල් අනුව ඇත්තටම අපි මනුෂ්‍යයොද කියන ප්‍රශ්නෙ අපෙන්ම අහන්න වෙන අවස්ථා තියෙනවා.

විශේෂයෙන් ම අනිත් ‍ අයත් එක්ක හැසිරෙද්දි වැඩ කරද්දි හෘදය සාක්ෂියක් ඇතිව ජීවත්වෙනව කියන හැඟීම තමන්ට තියෙන්න ඕනෙ කියලයි මම විශ්වාස කරන්නෙ.මෙච්චර දේවල් කියන්න හේතු වුණේ තරිඳු දුෂාන්ත සොහොයුරා. අද ජීවතුන් අතර නැතත් ඔහුගෙ වේදනාත්මක සමුගැනීමේ දුක වේදනාව ජීවත්වන අම්මටයි, තාත්තටයි, අයියටයි විතරක් වුණත්, ඔබටත් මේක අදාළ වෙන්න පුළුවන්, කවදාක හරි දවසක කිසියම් මොහොතක හෘදය සාක්ෂිය ඇතුව ජීවත් වෙන්න.

තරිඳු දුෂාන්ත වෙදගේ. ජීවත් වුණේ කලවානේ හඳනංගල, පවුලෙ අයියයි මල්ලියි විතරයි. යන්තම් අවුරුදු විස්ස ගතවුණා විතරයි ඔහු රැකියාවක් සොයා ගත්තා. රත්තපුර කුරුවිට තියෙන ප්‍රසිද්ධ ඇගලුම් කම්හලක. රැකියාවට ගිහින් යාන්තම් මාස තුනක් ගෙවුණා විතරයි. යාළුවො සංවිධානය කළා විනෝද චාරිකාවක්, ගාල්ල පැත්තට ගිහින් මුහුදෙ නාලා විනෝද වෙලා එමු කියල. දවස හීතල දෙසැම්බර් මාසේ දෙවෙනිද, ඉරිදා. කොලු වයසනෙ තරිඳුත් එක පයින් ගමන ගියා.

රත්තපුරේ ඉදලා කෙලිකවට සිනාවෙන් පිරිල ඉතිරිල තිබු‍ණ බස්රියේ තිරිංග තදවුණේ අකුරළදි. කට්ටිය නතර වුණේ වෙරළෙ. මුහුද අද්දර රතුපාට කොඩි තිබුණට හැපිල බිදෙන රළ එක්ක සෙල්ලම් කරන්න කට්ටිය තෝර ගත්තෙ එතැන. රළ බිදෙන හඬ පරද්දල විසිරුණු සිනාහඬ නතර වෙන්න ලොකු වෙලාවක් ගියෙ නෑ. වෙරළට අාපු රැළ තරිඳු තදින් බදා වැලදගෙනම සයුරට ගෙනිහින් තිබුණ.

මේ කතාවෙ වැදගත් හරිය තියෙන්නෙ ඊට පස්සෙ, කට්ටිය තමන්ගෙ ආයතනයට කතා කරා. පොලිසියට කතා කළා. ගමේ මිනිස්සු මුහුද එක්ක ඔට්ටුවෙමින් තරිඳුව හොයන්න පටන්ගත්තා. ඒ දේවල් එහෙම වෙද්දි, ඇමතුමක් ආවා, අනෙක් කට්ටියට ආපසු එන්න කියලා.

නන්නාදුනන ‍මුහුදු වෙරළක සැඟව ගිය තමන්ගෙ ගමන් සඟයව අත ඇරල මුකුත්ම නොවුණා වගේ කට්ටිය ආපහු රත්නපුරේට ආවා. අර විනෝද චාරිකාව සංවිධානය කරපු, එකට විනෝද වුණු, කාපු බීපු හැම කෙනෙක්ම, තරිඳුව දන්නෙ නෑ වගේ, අපි එක්ක ආවේ නෑ වගේ ආපහු ආව. අඩුම තරමෙ ඔහුගෙ පවුලෙ සාමාජිකයන් එනකම්, මෙතනදි තමයි අපි තරිඳුව අවසන් වතාවට දැක්කෙ කියල කියන්න කෙනෙක් එතන නතර වු‍ණේ නෑ. ඒ අවාසනාවත්ත ආරංචිය අහගෙන තමන්ගෙ පුතාව, සොහොයුරාව හොයාගෙන ආපු අයට සිදු වුණේ. කිසාගෝතමී නොමළ ගේකින් අබ හොයා ගෙන ගියා වගේ මුහුදු වෙරළෙ අද්දර තැනින් තැන “අනේ අපේ පුතා මෙතනදි ද නැතිවුණෙ?” කියල අහ අහ යන්න.

අන්තිමට නාවික හමුදාව තරිඳුව හොයා ගත්තා. පහුවදා දවල් එකොළහට විතර. ඒ වෙද්දි තරිඳු එක්ක ආපු අය පහුවදා සේවයට වාර්තා කරලා. අන්තිමට තරිඳුව අදුන ගන්න, විනෝද චාරිකාව ගිය ඔහුගෙ මිතුරො නැවත අකුරළට එනකම් තරිඳුගෙ පවුලෙ උදවිය තමන්ගෙ දරුවගෙ, සොහොයුරාගෙ මෘත ශරීරය මුහුදු වෙරළෙ තියාගෙන බලාගෙන හිටියා. දවල් එකොළහේ ඉදල සවස තුන වෙනතෙක්.

අවසානයේ සියල්ල කෙළවර වුණත්, මට මහා ආත්ම අනුකම්පාවක් දැනුණා. ජීවත්වුණත් මියගිය තරිඳුගෙ යහළු යෙහෙළියන් ගැන. සුදු කොඩියක් නොවැටුණු. විනාඩියක නිහඬතාවයක් නොනැඟුණු ඒ ආයතනය ගැන. හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුත් එතැන නොසිටීම ගැන. මම දන්නවා එතැන ‍ගැහැනු ළමයි ඉන්න ඇති. රාත්‍රියට පෙර ඔවුන් නිවෙස්වලට ඇරලීමේ උවමනාව තියෙන්න ඇති. “රස්සාව නැති වුණොත් ජීවත්වෙන්නෙ කොහොමද” කියල බයක් ඇතිවෙන්න ඇති.
“තරිඳු‍ගෙ ගෙදර අයට මුණ දෙන්නෙ කොහොමද?” කියල බයක් තියෙන්න ඇති. “ගිය එකා ගියා ආයෙ එන්නෙ නෑනෙ” කියලත් හිතෙන්න ඇති. ඒ මොනවා වුවත් නූඹලා අතර, තරිඳුගේ මිතුරු මිතුරියන් යැයි කිව නොහැකි වුවත් එකට සේවය කළ සොහොයුරා ගැන, පොලිසිය සමඟ ගොස් තරිඳුව හදුනාගත්තවුන් අතර, ආයතනයේ තීන්දු තීරණ ගන්නා ප්‍රධානීන් අතර එකදු හෝ හෘද සාක්ෂියක් නොමැතිවීම ගැන.

මගේ හිතට දැනෙන්නේ කනගාටුවක්. ඔබ තර්ක කරයි, ඔහු අපේ සේවකයෙක් තමයි, හැබැයි පුද්ගලික ගමනක් ගියෙ කියල. ඔව් සම්පූර්ණ ඇත්ත. මාස තුනක් සේවය කරපු, හිනාවේගෙන ඉන්න බාකෝඩ් එකක මූණ තියල ගියපු සේවකයෙක් වෙනුවෙන් අවසන් ගෞරවේ දක්වන්න යන්න නිවාඩුවක් දුන් නැතිවට තත්පරේක නිහඬතාවයක් දක්වන්න බැරි පවුලකට පවුලක් කියන්න පුළුවන්ද හෘද සාක්ෂියක් තියෙන මිනිසුන්ට. 

දයාබර තරිඳු සොහොයුර හෘද සාක්ෂියක් සහිත මිනිසුන් බිහිවෙන දිනයක් වෙනුවෙන් වූ ප්‍රාර්ථනයත් සමඟ, ඔබට නිවන් සුව ලැබේවා!

4 comments:

Naleen Dilruksha said...

හරිම හැගුම් බර මෙන්ම සෝචනීය කතාවක් මේක.ඇත්තටම තරිඳුව එතැන තනි කර එන්නට නියෝගය.....වෙන ගත හැකි පියවරක් නොතිබුණාම ද? පාලකයන්ට එතැනදි..නොදුටු සොයුර නිවන් සුව..

වකා - WAKA said...

:( :("

Gayani Wedage said...

හැමදාමත් වගේ මිනිසත් කම වියැකි යනවා.වැද්දාගෙන් පැවතෙන අපි ඔවුන්ට වඩා බොහෝ ලෙස අලාංකාර වි ඇති මුත් වැද්දා තරම්වත් ගුණදම් සහ විනයකින් යුක්තද?හැමදාමත් ජිවත් වෙන්න ආපු වගේ හැසිරෙන අපි කවදක හරි යන්නේ වියළි ගිය කටු අත්තක් මෙන්ය.මිනිස් හැඟිම් ඇයි තමන්ගේ විතරක් කියලා හිතන්නේ.ඒ නටන නෙත් අනෙක් අයගෙත් නටනවා කියන එක තේරුම් ගැනිමට නොහැකිව අතරමං වි පිස්සු බල්ලෝ මෙන් හැසිරෙති.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

ආගන්තුකයා | Stranger said...

අනේ මන්දා අක්කා. අපි ඔක්කොම අන්තිමට මිනිස්සු. ආත්මාර්ථය කියන්නෙත් මිනිස් ලක්ෂණයක් කියලා හිත හදාගන්න එක ඕක ගැන වැඩිදුර හිතනවාට වඩා ලේසියි..