Friday 11 January 2013

ෆීනික්ස් කිරිල්ලී


ජීවිතේ වෙලාවකට හරියට හමන සුළඟ වගේ, කොහෙන් හැමුවද? කොහේටද හමාගෙන යන්නෙ කියල කවුරුවත් දන්නෙ නැහැ. හමාගෙන එනවා, හමාගෙන යනවා. වෙලාවකට හරිම සිහිල් සුළඟ වෙලාවකට මාරාවේශ වෙනවා. මල් සුවඳ විතරක් නෙෙමි කුණු ගඳත් අරගෙන එනව. ජිවත්වෙන්න ඉහලට අදින හුස්ම පොදත් එක්ක බැඳිලා තියෙන අපේ ජීවිතේ ඒ හුළං පොද වගේ නොකියම ඇවිත් නොකියම යන්නත් යනවා. අපිත් නොකියම ඇවිත් නොකියම යන්න යනවා. ඒ වුණත් ඒ නොකියා ඇවිත් නොකියාම නික්මුණාට අපේ ජීවිතවල තියෙන සමහර සමිබන්ධකම්වල දිග පළල මැරෙන තුරාවට අපේ ජීවිතවල මතකයක් ඉතිරි කරලා යනවා.


මඩකළපුවෙ කල්ලඩි වෙරළ පේන තැනක මම හොඳටම දන්න කාන්තාවක් ඉන්නවා. ඇය රාජේශ්වරී, ඇගේ ළමා කාලය ගෙවෙන්නෙ කොළඹ. වැල්ලවත්තෙ ඉඳලා දරුවො යන්තම් බහ තෝරණ වයසෙදි ඇගේ මවුපියන් ඔවුන්ව මඩකළපුවට රැගෙන යනවා.අම්මයි අනෙත් සහෝදරියොයි එක්ක රාජේශ්වරීල හරිම සතුටින් ගමේ ජිවත් වෙනවා හැබැයි ඒ සතුට බොහොම තාවකාලිකයි.

78 අවුරුද්දෙ නොවැම්බර් මාසේ නැගෙනහිර වෙරළට කඩාවදින සුළිසුළගට අනුකම්පාවත් ඇත්තෙ නෑ. ජන ජීවිතය උඩු යටිකුරු කරල ගෙවල් දොරවල් නැති වෙන්න විනාඩි ගනනාවක් විතරයි යන්නනෙ. එක මොහොතකින් රාජේෂ්වරීලට මඩකළපුවෙ මහ ගෙවල් නැතිවෙනවා. කට්ටිය ආයෙමත් කොළඹට එනවා. ළමයි ආයෙමත් පාසල් යනවා. ජීවිතය අලුතින් පටන් ගන්නවා. ඒ නිවහල් ජීවිතය ට ආයුෂ තියෙන්නෙ වසර පහයි. කළු ජුලිය පැමිණෙනවා. ගිනි ගන්න කොළඹ නගරේ තිබ්බ දේපල, ව්‍යාපාර අතඇරලා ඔවුන් ආයෙත් මඩකළපුවට යනවා. ඒ අතර කොහොම හරි කරල ඇය ඉගෙන ගන්නවා, උසස්පෙළ විද්‍යා අංශයෙන්.

අසුව දශකයේ ඇය විවාහ වෙනවා. බැඳලා දරුවට මාස තුනේ දි මහත්තය අතුරුදන් වෙනවා. ඒ යුද්දෙ නැගෙනහිර පළාත වෙලාගෙත තිබුනු කාලෙ . ඒ වෙද්දි නංගිල දෙන්නගෙ මහත්තුරු නැතිවෙලා වසරක් ගෙවිල නෑ. නැගණියන් දෙදෙනා අත ගත්තෙ ගන්දරින්. මඩකළපුවට ආපු එකම පවුලෙ සහෝදරයො දෙදෙනෙක්, මිශ්‍ර පවුලක් ඇතුලෙ තියෙන අවබෝධය සහජීවනවයල සිවිල් අරගලයක පැටලී සිටින පාර්ශව කරුවන්ට අදාළ වෙන්නෙ නැහැ. කට පුංචට හිතක් පපුවක් ඇත්තෙන් නැහැනෙ.

තොරතුරක් නැති සැමියා හොයාගෙන රාජේශ්වරී කොළඹ එනව. එක අවාසනාවත්ත දවසක ඉවරවෙලා තිබුණු ගෑස් ටැංකියෙ අන්තිම බින්දුවෙන් වතුර රත් කරගන්න ඇය උත්සාහ කරනවා. කලින් දවසෙ නිවසෙ අනිත් උදවිය අලුත් ගෑස් එකක් ගෙනත්. අන්තිමට උස්ව නැගෙන ගෑස් දැල්ල නතරවෙන්නෙ රාජේශ්වරීගෙ මුහුණේ.
සැමියා ගැන අන්තිම බලාපොරොත්තුවත් නැති වුණාට පස්සෙ ඇය ආපසු මඩකලපුවට එනවා. රෝහලේ සාත්තු සේවිකා රැකියාවක් හොයාගෙන. ණය වෙලා ඉඩමි කෑල්ලක් අරගෙන නිවසක් හදන්න පටන්ගන්න.

සුන්බුන් මතින් නෑගී සිටින්න. පැරැණි බිල්ඩින් කඩල ඉවත් කරන දැව බාල්ක අරගෙන ලී දඩු හදාගන්නවා. බ්ලොක් ගල් ගහලා අත්වැඩ දීල, සිමෙන්ති අනල, හදා ගත්ත වැඩ නිමා නොවූ නිවස පෙන්නල ඇය අපට පළවෙනි වතාවට කියනව මේ මගේ ලේ කඳුළු කියල, ඒ 2003 වසර. ඇයට ඒ දිනවල හීනයක් තිබුණා. නිවසෙ වැඩ ඉවර කරලා කාමරයක රෝහලේ හෙදියන්ට නවාතැන් දෙන්න. අමතර ආදායමක් හොයාගෙන දියණියට උගන්වන්න. අම්මට සලකන්න.

දෙවැනි වතාවෙ මම ඇය බලන්න යනකොට එකම දවසක් වත් පදිංචියට යන්න කලින් අත්තිවාරම විතරක් ඉතිරිවෙන්න ගේ සුනාමිය ගෙනිහින්. අත්තිවාරම ඊළග සතියෙ හොරු ගලවන් ගිහින්. ඇදිවතයි ඇගේ ජීවිතයේ වටිනාම වස්තූන් වන අම්මයි, දුවයි ඇයට ඉතිරි කරන්න සුනාමිය වග බලාගෙන තිබුණා. කඳුළු අතරින් කල්ලඩි වෙරළ දිහා බලාගෙන ,“මම තාම ජීවත් වෙනවා.මට ඒකට ශක්තිය තියෙනව කියල” රාජේශ්වරී මට කිව්වා.

සුනාමිය ඇවිත් ගිහින් වසර අටයි. ඉදහිට දවසක රාජේශ්වරී ගැන ආරංචි එනවා. අම්ම මිය ගිහින්. දියණිය කසාද බැඳලා. රාජේශ්වරී දැන් ආච්චි අම්මෙක්. තාමත් ඉදහිට මඩකළපු රෝහලෙන් කොළඹ රෝහලට එන ගිලන් රථයකට ගොඩවෙලා, සිංහල අකුරක් නොදන්න රෝගීන්ට භාෂා පරිවර්තනයෙන් උදවු කරන්න ඇය කොළඹට එනවා.

මේ පැරණී කතාව ඔබට කියන්නෙ සුනාමිය ඇවිත් ගියපු හින්දම නෙවෙයි. මනුස්ස ආත්මය තුළ ෆීන්ක්ක් කුරැල්ලෙක් ඉන්නව කියන්න. ෆීනික්ස් කියන්නෙ අළු මතින් නැවත ඉපදෙන පක්ෂි‍යෙක් කියලයි පුරාවෘතවල සඳහන් වෙන්නෙ.රාජේෂ්වරී තම ජීවිත කාලය තුළ කිහිප වරක් ඉපදුණු කාන්තාවක්. ආපු හැම ඛේදවාචකයක්ම මහමෙර වාගේ දරාගත්ත කෙනෙක්. මම දන්නවා රාජේශ්වරී නැවත නැගී සිටිනවා කියලා.
මොකද ඇයට මොනව නැති වුණත් ජීවිතේ තියෙන නිසා. තමන්ගේ අතේ ඇගිලි අතරෙන් ගිලිහෙන ජීවිතය ඇය අල්ල ගන්නවා. මේක එක උදාහරණයක් විතරයි. හබැයි මේක මම අදහන්නෙ අපට පාඩමක් කියල, මොකද රාජේශ්වරී තමන්ගෙ මතකයන් එක්ක ජීවිතය අත අරින්නේ නැතිව, ජීවිතය වළදාන්නෙ නැතිව එයට මූණ දෙන හින්දා. අපි කීයෙන් කීදෙනෙකුට එහෙම ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්ද ?

No comments: