Wednesday, 1 May 2013

කල්‍යාණි ගංගා ඇවිත්


මම හිටියෙ බුලත්කොහුපිටිය බස් එකේ, අවිස්සාවේල්ලෙ ඉදලා පැයකින් බුලත් කොහුපිටියට යන්න පුළුවන් වුණත් බස් එකේ ගමනට නම් පැය එක හමාරක් දෙකක් නැතිවම බෑ. කොළඹ කොන්ක්‍රීට් වනාන්නතරේ වගේ නැතිව මඟ දෙපස කොළපාට ඉතිරිලා තියෙන ඒ 07 මාර්ගය ඇහැට සිහිලක් නිසා ඉබි ගමන ගැන නොහිත පරිසරය රස විඳිමින් යනඑක වඩා හොඳයි කියල මට හිතුණා. බස්එක පිරෙන්න නැතත් සාමාන්‍ය තරමක සෙනඟක් හිටියා.

මේ වෙද්දි බස් එක අවිස්සාවේල්ලෙන් ඉදලා කිලෝ මීටර් 14 විතර පහුකරලා කරවනැල්ලට කිට්ටුවෙමින් හිටියේ. එක පාරට ම බස්රියේ හිටි මැදි වියේ අම්මා කෙනෙක් තමන් එක්ක හිටිය තවත් කාන්තාවකට යමක් පෙන්නලා අන්න අන්න කල්යාණි ගංගා ඇවිත්කිව්වා. මම හිටියේ ඒ කාන්තාව හිටි ආසනේට පසු ආසනේ නිසා මගේ අවධානෙත් ඒ දිහාටයි යොමු වුණේ. බලන කොට කරවනැල්ලනාම පුවරුව අසල විදේශිය පිරිසක් ඡායාරෑප ගනිමින් හිටියෙ.

අද කරවැනැල්ලෙ ළමා වාට්ටුවට තෑගි ලැබෙන්න ඇති. කල්යාණි හැමදාම එනකොට ඉස්පිරිතාලෙ ළමයින්ට තෑගි ගේනවා. ඒ කාන්තාව ආයිත් කියන්න පටන් ගත්තා. මොකක්ද මේ කතාව කියල මටත් හරි ප්‍රහේළිකාවක්. අන්තිමට මට උත්තරේ ලැබුණා. ඒ බස් එකෙන් නෙමෙයි, කරවනැල්ල රෝහලේ සේවය කරලා විශ්‍රාමගත්ත සාත්තුසේවිකාවකගෙන්.

අවුරුද්ද මතක නෑ, හැබැයි මාර්තු මාසෙ දවසක්. එතකොට ඔය දැන් තියෙන මහ පාලම නෙවෙයි පැරැණි පාලම තිබුණෙ. ගඟ දෙපැත්තෙම ඉලුක් මාන හෙම ඕසෙට වැවිල තිබුණා. උදේ පාන්දරම ආරංචියක් ආව ගග අයිනෙ ජීවත් වෙච්ච මනුස්සයකුට ගඟට විසි කරපු ළමයෙක් හම්බවෙලා කියලා. එතකොට මම හිටයෙ ඕපීඩී එකේ, අනේ ඉතින් අපිත් බලන්න ගියා. පොඩි දරුවෙක්නෙ, බැලින්නම් අංග සම්පූර්ණව හැදිච්ච ගෑනු දැරිවියක්. වයස යන්තම් දවසක් දෙකක් ඇති. දරුවගේ ඇග පුරාම ඉළුක් කොල. ඇග පතත් සීරිලා හොදටෝ ම, ඉතින් මේ කිරිකැටියා ඉස්පිරිතාලෙට ඇතුළු කරගන්න නමක් එපැයි. කවුරු හරි නමක් දාන්න කියල කියද්දි මම කටට ආපු නමක් කීවා කල්යාණී ගංගා ඉළුක්තැන්නඑවෙලෙ එතන හිටි හැමෝම ඒ නමට කැමති වුණා. බොහොම ගම්භීර වාසගමක් වගේ කියලත් කතා වුණා. එහෙමයි කල්යාණී ගංගා ට නම ලැබුණේ.

ඉතිං ඒ නම ලැබුණු හැටිනේ, කොහොමද කල්යාණි ගංගා ගඟට ලැබුණේමම ඇගෙන් ඇහුවා. කල්යාණිගෙ අම්මට කල්යාණී ලැබිලා තියෙන්නෙත් අපේ රෝහලේ දී ම තමයි. නමුත් අවාසනාවකට මේ දරුවගේ අම්මා විවාහක කාන්තාවක් නෙවෙයි. කෙනෙක් ඈට කියල තිබුණා දරුව දාලා ආවොත් ඈව විවාහ කරගන්නවා කියල. රෝහලින් ටිකට් කපාගෙන ගෙදර යන ගමන් මේ කාන්තාව දරුවව කාටත් හොරෙන් ගඟට විසිකරලා තිබුණා. ඒ දරුවගේ වාසනාවට ගඟට නොවැටී ඉළුක් ගාලක හිරවෙලා. පහුවදා උදේ හීන් පොදේ තෙමෙද්දි අඬනකොට උදේ ම ගඟට මූණ හෝදන්න ගිය ගමේ කෙනෙක් තමයි දරුවව රෝහලට ගෙනාවේ. අන්තිමට දරුවගේ අම්මව හොයන්න පොලීසිය ඒ සවස් දෙක තුනේ බබාලා ඉපුදුණු හැම අම්මා කෙනෙක්ගෙම ගෙදරට ගිහින් තිබුණා. ඒ විතරක් නෙවෙයි ඒ අම්මව පොලීසියෙන් කොටුකර ගත්තා. ඊටපස්සෙ වෙච්ච දෙයක් නම් අපි දන්නෙ නෑ. හැබැයි කල්යාණි ගංගාව ඕස්ට්‍රේලියාවෙ පවුලක් අරන් හදාගන්න ගෙනිච්ච කියලා ආරංචි වුණා. ඒ දැරිවි දැන් ඉංජිනේරුවෙක්ලු‍. ලංකාවට කීප සැරයක් ආවා ඒ අම්මා තාත්තා එක්ක. ඒ ආපු හැම දාම ඉස්පිරිතාලෙට ඇවිල්ල එයා හිටි වාට්ටුවට උදවු උපකාර කරල යනවා. ඇය මාත් එක්ක කීවා. මේ සිද්ධිය මට අමතක වෙලා තිබිල ආයේ මතක් වුණේ ඊයේ පෙරේදා දවසක බ්‍රිතාන්‍ය ජාතික දියණියක් තමන්ගෙ අම්මව සොයා දෙන්න කියල පත්තරේකට යොමු කරල තිබුණු ලිපියක් දැකීමෙන්.

කවුරු මොනවා කිව්වත් ලේවල බැඳිම වතුරවලට වඩා ඝනයි කියනවනේ, ලෝකේ කොහේ හිටියත් ඕනම කෙනකුට තමන් වැදු අම්මව දකින්න, ඇයව වැළදගන්න තියෙන උවමනාව නැති කරන්න කාටවත් ම බෑ කියලයි මට හිතෙන්නේ. හැබැයි ඒ වුණත් නොකියා සිටින්න බැරි කාරණාවක් තියෙනවා. තමන්ගෙ කුසින් බිහි වෙන්න ඉන්න දරුවන්ව ඉපදෙන්න කලින් ඉපදීමේ හිමිකම නැති කරනවාට වඩා, ඉපුදණු දරුවන් බල්ලන් බළලුන් වගේ කැලේට විසි කරණවාට වඩා, ඒ දරැවන්ගෙ ජීවිතේ උදුරගන්නවට වඩා , තමන්ගෙ නොහැකියාව දරාගෙන දරැවන්ට ආදරේ කරන කෙනෙක්ට හදාවඩා ගන්න දෙන එක උතුම් දෙයක්. සමහර විට ලෝකයා කියාවි ඒ අම්මලා , තාත්තලා දරුවන් විකුණන් කෑව කියලත්, ජීවීතේ විඳින්න පුළුවන් උපරිම අපහාසයත් ඒ අම්මලා විඳීවි. නමුත් ඒ දරුවන්ට දීපු ජීවිතය උදුරා නොගැනීමේ සතුට ඉතිරි වේවි. 

ඒ එක්කම මේ කතාවට අතුරු කතාවක් එකතු කරන්නත් ඕනේ. අපි දන්නවා තමන්ගෙ දරුවව හදාගන්න බැරිකම නිසාම ඒ දරුව තමන්ගෙ රටේම හරි වෙනත් රටක හරි යුවලකට හදාගන්න දෙන්නෙ උසාවි මාර්ගයෙන්. නීත්‍යානුකූලව මේ කටයුතු සිද්ධ වුණත් හුඟක් අම්මල තමන්ගෙ අනන්‍යතාවය සඟවනවා. නැවත තමන් සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය නිසා. ඒ සිදුවීමෙන් කාලෙකට පස්සෙ ඔවුන් නැවත විවාහ වෙන්න පුළුවන් දරුමල්ලො ලැබෙන්න පුළුවන්, ඒ වගේ වෙලාවක නොහිතූ නොපැතූ මොහොතක මේ දරුවන්ගේ ආගමනය සිදු වුණොත් ඔවුනගේ ජීවිත උඩියටිකුරු වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. වසර කිපයකට කලින් වයඹ ප්‍රදේශයේ එහෙම සිදුවීමක් වාර්තා වී තිබුණා.

වයස 16දී නොදැනුවත්කම නිසා මවක් වූ තරුණියක්, තම දියණිය විදේශිය යුවලකට හදාවඩා ගැනීමට දී තිබුණා. මේ සිදුවීම නිසා ම ගම රටත් අතැර වෙනත් පළාතක පදිංචියට ගිය ඇය එයින් අවුරුදු 18කට පසු සිය මවුපියන්ගේ ඉල්ලීමට විවාහවීමට සූදානමින් සිටිය දී සංචාරක මඟපෙන්වන්නෙක් පැමිණ ඇගේ දියණිය ඇය සොයන බව දන්වා සිටියා. මේ සිදුවීම සිදුවූ අාකාරයට අනුව දෙවන වරටත් ඇයට ඇගේ ජීවිතයේ මහා ඛේදවාචකයක් අත් විඳින්න සිදුවුණා.

ඉතින් ඔබටත් සමහර වි‍ට අවස්ථාවක් ලැබේවි මවකට දියණිකට උදවු උපකාර කරන්න. හැබැයි මතක තබාගත යුතුයි ඔබ, රැකිය යුතු බව ඔවුනගේ අනන්‍යතාවය, ඔවුනගේ ජීවිතය, මන්ද ජීවිතයක් ඇතිකිරීමේත් නැතිකිරිමේත් හැකියාව පෞද්ගලිකත්වය රැකගැනීම කියන කාරණය තුළ ගැබ්ව පවතින බව ඔබටත් මටත් ඇයටත් කාටත් පොදු නිසා.

3 comments:

කතන්දර කාරයා said...

ලූෂන් බුලත්සිංහල මෙවැනි කතාවක් ටෙලිනාට්‍යයකින් ඉදිරිපත් කළා. නම සමන්තා වගෙයි මතක.

G MANJU said...

හොද නිර්මාණයක්.

මාතලන් said...

මේක මම කලිනුත් කීයෙව්වද කොහෙද. කොමෙන්ට් කලේ නැතිද...? ඇත්ත කතාවක් උනත් නිර්මාණයක් උනත්, බොක්කට දැනෙන්න ලියලා තියෙනවා. රහයි...