Wednesday, 24 April 2013

මිහිරි මතක



අවුරුද්දට සතියකට දෙකකකට කලින් දවසක හැන්දෑවක හතට අටට විතර මෝටර් බයිසිකලයක් ඇවිල්ලා අපේ ගේ දෙරකඩ නතර කළා. හිස් වැස්ම ගලවලා බයිසිකලේ එල්ලන ගමන් කිරි මාමා ඉන්නවද කියල අහගෙනම තරුණයෙක් ගෙට ගොඩවුණා. පාර පෙන්නන්න ආපු අනිත් පොඩ්ඩා නම් අපි දන්න අඳුනන දරුවෙක්. 'මට එකපාරට අඳුනන්න බෑ' කියල තාත්තා කියද්දිම පාර පෙන්නන්න ආපු පොඩ්ඩව අඳුනගත්ත නිසා ආව කෙනා අපි අඳුන ගත්තා.

අවුරුදු දහතුනකට පස්සෙ අතීත මතකයේ සුවඳ අරන් සංජු අපේ ගෙදර ඇවිත්. සංජුගෙ ගම ගල්ගමුවේ. එයාගෙ පුංචි අම්මා විවාහයත් එක්ක අපේ ගමේ පදිංචියට එනකොට ඒ එක්ක සංජුත් ආවා. එතකොට සංජුට වයස අවුරුදු තුනක් විතර ඇති. අම්මට තව මල්ලියෙක් හිටිය හින්දත්, අම්මට වඩා පුංචි අම්මට එකතු හින්දත් ගල්ගමුව ගෙදර කට්ටිය අත ඇරලා ඔරුවලට එන එක සංජුට මහ ලොකුවට දැනුණෙ නෑ.

පුංචි අම්මගේ ගේ මහ පාර අයිනෙ නිසා එළියට පහළියට බහින්න ගල්ගමුවෙ වගේ ඉඩක් කඩක් නොතිබුණත්, සංජු හරිම කැමැත්තෙන් ආදරෙන් පුංචිලෑ ගෙදර නතර වුණා. සංජුගෙ බාප්පත් ආච්චි අම්මත් අපේ පවුලෙ ළඟ හිතවත්තු නිසා කිරි අරගෙන යන එන ගමන්, කඩේට, ගම්මානෙට යන එන ගමන්, හරක් දිගේලි කරන්න වෙලට යන එන ගමන් දවසකට වරක් වත් සංජුලගෙ පුංචිලගෙ ගෙදරට ගොඩවෙන එක අපේ තාත්තගෙ සිරිතක් වෙලා තිබුණා. අද වගේ ම ඒ දවස්වලත් අපේ තාත්තට තිබුණෙ තැපැල් නයින්ටියක්. බයිසිකලේ ඉස්සරහ පුංචියට හදපු දැල් කූඩයක් තිබුණා. ගල්ගමුවෙන් ආපු මේ පොඩ්ඩා, කිරි මාමේ කියල බොහොම හෘදයාංගම ඇමතීමක් එක්කම තාත්තව යාළු කරගත්තා. එදා ඉදන් සංජු සතියට කීප දොහක් අපේ ගෙදර ආවේ තැපැල් නයින්ටියෙ දැල් කුඩේට බැහැලා. ඒ ආපු හැමදාවක ම වෙලේ යන්න, හරක් පැටවුන්ට කිරි දීලා උන් බැඳල දාන්න, ඇළේ බැහැලා සත්තු නාවන්න සංජු සැදී පැහැදී හිටියා. හරියට ඉදි කට්ටයි නූලයි වගේ සංජු කිරි මාමා පස්සෙන් වැටිච්ච ගමන්මයි, අපිත් තාත්තා කොහේ හරි ගිහින් එනකොට බයිසිකලේ සද්දෙට සංජු එනවද කියල විපරමෙන් හිටියෙ. සංජු ආවොත් එයාටත් බොන්න දෙන්න එක්කයි ගෙදර එළකිරි ටික රත්වුණෙත්. 

අවුරුදු එකහමාරක් විතර අපේ පවුලෙ යාවජීව සාමාජිකයකු වුණු සංජුව බලන්න ආපු එයාගේ අම්මා මොන්ටිසෝරි යන්න, ඉස්කෝලෙ යන්න ඕනේ කියලා සංජුව ගමට එක්කරගෙන ගියා. ඒ වෙද්දි පුංචි අම්මටත් දරුවකු ලැබෙන්න හිටියෙ. එදා ඉදලා මෑත අපේ ගෙදරට එනකම්ම සංජු අපේ ඇස් මානෙන් ඈත් වුණත් හිතේ මතකයෙන් නම් බිඳුවක් වත් ඈත්වුණේ නම් නෑ.

සංජු ඇවිත් ගියාට පස්සෙ අපේ අතීත මතක අපේ ජීවිතවලට, ලේවලට කොච්චර කා වැදිලා තියෙනවද කියලා මට හිතුණා. මටත් මගේ පුංචි කාලේ යාළුවන්ව මතක් වුණා. ආතර් මාමා ඉන් එක්කෙනෙක්. පානදුරේ ගඟුල ගමේ හිටියෙ, තාත්ත එක්ක වානේ සංස්ථාවෙ වැඩ කරද්දි නිතර අපේ ගෙදර එනවා. තාමත් ඉඳහිටක හරි පොල් පැණි එක්ක පාන් කන්න ලැබුණොත් අනිවාර්යයෙන් ම ආතර් මාමා මතක් වෙනවා. අසූ තුනෙ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ දවසක කරුණාරත්ත අබේසේකර කියන පුංචි අපේ ගුවන්විදුලි ලෝකෙ හිටි සද්ධන්තයා මියගියා කියන පණිවිඩේ අරගෙන ආවෙත් ආතර් මාමා.

ලයනල් බාප්පා හිටියෙ රත්නපුරේ බටුගෙදර, මත්පැන් එක්ක බොහොම ළඟ සම්බන්ධ කමක් තිබුණත් ඒ හිතේ තිබුණු ආදරේ සෙනෙහස ගැන කියන්න ඒ දවස්වල පුංචි දරුවෙක් වුණු මට අදටත් වචන හොයා ගන්න බෑ. නෝර්ත්, ඊස්ට්, වෙස්ට්, සවුත් කියන ඉංග්‍රීසී වචන හතරෙ මුල් අකුරු එකතු වෙලා සිව් දිගින් කියන අර්ථයෙන් නිවුස් කියන වචනෙ හැදුණෙ කියල ලයනල් බාප්ප අයියටයි මටයි කියල දුන්නෙ අපිව වෙසක් බලන්න ගිහින් එන වෙලාවක බත් දන්සලක පෝලිමක ඉදිද්දි. සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවැනි බසට ලයිට් කණුවක ලකුණක් එකතුවෙද්දි ලයනල් බාප්පා හිටිය නම් කියල මට ආයෙත් මතක් වුණා.

පනාගොඩ ටීචර්, අතුරුගිරියෙ ඉස්කෝලෙට පළමු පත්වීම ලැබිලා, කහපාට මල් තියෙන සාරියක් ඇඳන් ආපු හීන්දෑරී ගුරුතුමී. පළවෙනි පාඩම විදියට අපිට ඉගැන්නුවෙ ලිපියක් ලියන්න. මතක විදියට එයාගෙ ගෙදර නම රම්‍යසෙවනමොකද සමහර ගෙවල්වලට අංකයක් වෙනුවට නමක් තියෙනවා කියන්න එයා ඒ උදාහරණෙ ගත්තා. අසුඅට අවුරුද්දෙ අපි අතුරුගිරිය ඉස්කෝලෙන් අස්වෙන්න කලින් මාරුවීමක් ලැබිලා ගිය ඈ, බෝමිරිය මහා විදුහලේ උගන්වනවා කියල ආරංචියක් තිබුණත් තාම හරි තොරතුරක් හොයා ගන්න බැරිවුණා. 

මිහිරි මතක සුවඳ හෘදයාංගම බැදීම්වල කැටිවෙලා තියෙන රටාව අඳුන ගන්න ලෝකෙ කාටවත්ම බැරිව ඇති කියලා මට හිතෙන්නෙ මේ වගේ මතක, දියයට එබුණු රබර් බෝල වගේ එකපාර උඩමතුවෙන කොට. දකින්න නොලැබුණත්, කටහඬ නොඇසුණත් මේ පුංචි රටේ කොතනක හරි ජීවත්වන ඒ ආදරණීයන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. අතීත මතකයක මිහිර එක්කරගෙන මට වගේම ඔබටත් මිහිරි මතක ඇති සමීපතමයන් ගැන. රැ‍දෙන්න සොඳුරු මතකයක මොහොතක්. සතුටක් දැනේවි ඔබට.

1 comment:

Naleen Dilruksha said...

මිහිරි මතකය සදා සතුටක් තමා ළිහිණි