Tuesday, 28 January 2014

ප්‍රශ්නයක් පිලිතුරක් මරණයක්...?

ඉඳලා හිටලා කතාකරලා දුක සැප අහන යාළුවෙක් බොහොම දුක්බර ආරංචියක් ගෙනාවා. සුනිල් අයිය වහබීල නැතිවෙලා කියලා. මට පුදුම හිතුණා ජීවිතේ දරාගෙන ජීවත්වෙන්න ඕන සුනිල් අයියා වගේ මිනිස්සු ප්‍රශ්නවලින් මිදිල යන්න ජීවිතේ නැති කරගන්නවා තරම් සරල වෙන්නෙ කොහොමද කියලා? එකපාර ප්‍රශ්නනෙකින් ගැලවිලා යන්න ජීවිතේ නැතිකර ගන්න එක උත්තරයක් නම් මේ ලෝකේ මිනිස්සුත් නැතිවෙයි කියල මට හිතුණා. මොකද හැම මනුස්සයකුට ම තමන්ගෙ විදියට මූණ දෙන්න ගැටලු තියෙනවානේ.

සුනිල්  අයියයි කුසුම් අක්කයි කසාද බැන්දෙ ආදර සබඳතාවයකින්.ඒ දෙන්නට ඉන්නෙ දූලම දෙන්නෙක්. කුසුම් අක්කා දරුවො දෙන්නව ඇස් දෙක වගේ බලාගත්තා. මහ ලොකු ආදායමක් නැතිවුණත් පිරිමහගෙන ජීවත්වෙන්න ආදායමක් ඒ පවුලට තිබුණා. හත්දෙනෙක් ඉන්න පවුලේ වැඩිමලා වුණු කුසුම් අක්කට අනිත් සහෝදර සහෝදරියො හැමෝමත් උදවු කළා.

එහෙමත් එකේ ජීවිතේ දාලා යන්න සුනිල් අයියට හිත් දුන්නෙ ඇයි කියල මම හොයල බැලුවා. චතුරි එහෙමත් නැත්නම් සුනිල් අයියගේ පොඩි දූ ඉපදුණු දවස්වල ඉඳල ටිකක් අසනීපෙන් හිටි දරුවෙක්. නිතර නිතර කලන්තෙ හැදෙන ගතියක්, තුවාලයක් වුණාම රුධිරය කැටි ගැසීම ප්‍රමාදවීම නිසා අධික රුධිර වහනයට ගොදුරුවීම වගේ රෝග ලක්ෂණ ගණනාවකින් මේ දැරිවිය පීඩා වින්දා. කුසුම් අක්කා ඇස් දෙක වගේ පොඩි දූගේ පස්සෙන් ඉදලා ඇයව පරිස්සම් කළා. ළමා රෝහලින්, කොළඹ මහ රෝහලින්, වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් අවශ්‍ය පරීක්ෂණ කරලා ඒ සම්බන්ධව ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලැබුණු උපදෙස්, ප්‍රතිකාර නිසි විදියට ලබාගත්තා. චතුරි පාසල් ගියා. අනිත් දරුවො වගේ දුවන පනින ක්‍රීඩා කරන්න නොගියත්, චෙස් සෙල්ලම් කළා. ‍කොටින්ම කියනවා නම් සාමාන්‍ය දරුවෙක් විදියට ඇය ඇගේ වැඩ කොටස කරගෙන ගියා.

දවසින් දවස දියුණු වෙන ලෝකේ අනාගතේ දවසක චතුරිගෙ අසනීපයට නිසි ප්‍රතිකාරයක් හොයාගන්න පුළුවන් කියල බලාපොරොත්තුවකුත් අපි හැමෝගෙම හිත්වල තිබුණා. මේ හැමදේම අතරෙ සුනිල් අයිය වහ බීලා තිබුණා. ඒකට හේතුව වුණේ චතුරිගෙ අසනීපය මව්පියන්ගේ ජානවල දුර්වලතාවක් නිසා ඇති වූ අසනීප තත්ත්වයක් බව වෛද්‍යවරුන් විසින් සොයාගැනීමයි. ඒ විතරක් නෙවෙයි අනාගතේ දවසක විවාහ දිවියකට ඇතුළත් වුණත් දරුවෙක් බිහිකීරීම ඇගේ ජීවිතයට තර්ජනයක් විය හැකියි කියලත් වෛද්‍යවරු කියල තිබුණා. සුනිල් අයිය‍ට ජීවිතේ නැති කරගන්න ආසන්නම හේතුව වෙලා තිබුණෙ ඒක.

සුනිල් අයිය ජීවිතේ දාල ගිහින් ඉවරයි. ඒත් කුසුම් අක්කට පුළුවන්ද ඒ තීරණේ ගන්න. මම ඒ ගැන හිතුවා. පහුගිය දවසක දකුණු පළාතේ අම්මා කෙනෙක් තමන්ගෙ දරු දෙන්නටත් මේ විදියට කරන්න කියලා තුන්දෙනාම ගෙල වැලලාගෙන මිය ගිහින් තිබුණු ප්‍රවෘත්තියත් මට මතක් වුණා. වර්තමානෙ ජීවත්වෙන මිනිස්සුන්ට දෙයක් දරාගැනීමේ හැකියාව අඩුවෙලා ගිහින්ද? ඇයි එහෙම වෙන්නෙ.

ඉස්සර වගේ නෙවෙයි දැන් හැමදේම ක්ෂණිකයි කියල මට හිතෙන්නේ. ඇත්ත මිනිස් හිත හරි ඉක්මණට කැඩිලා බිඳිලා යන සබන් බෝලයක් වගේ තමයි. මේ ඉපදෙන හිතිවිල්ල ඊළඟ තත්පරයෙදි මිය යනවා. ඒ වුණත් ජීවත් වෙනකොට, ජීවිතේට ප්‍රශ්න එනකොට අපිත් සබන් බෝල වගේ බිඳිලා විසිරිලා ක්ෂය වෙලා යන්න ඕනෙද? ඇයි අපිට බැරි ජීවත්වෙන්න, ජීවිතේ දිහා සුබවාදීව බලන්න.

මේ හැමදේම වෙන්න අපි පරිකල්පනයෙන් ඈත් වීමත් එක හේතුවක් වෙන්න බැරිද? මට දැනෙන විදියට අපි පරිකල්පනයෙන් ඈත් වෙනකොට ජීවිතෙත් අපෙන් ටික ටික ඈතට යනවා. හැමදේම කලින් සූදානම් කරලා තියපු දේවල්. අලුත් විදියට දෙයක් දකින්න විඳින්න අපි සූදානම් නෑ. අනිත් හැමදේම වගේ වර්තමාන ලෝකේ මිනිස් ජීවිතෙත් පාරිභෝගික භාණ්ඩයක් වෙලා.

අපි දැන් හුරුවෙලා තියෙන්නෙ ක්ෂණික ලෝකෙකට. විනාඩි දෙකෙන් හැදෙන නූඩ්ලස්, ඉඳිආප්ප වගේ අපේ ජීවිතවලට එන ප්‍රශ්නවලට උත්තරත් අපි ඉදිරියේ මැවිලා තියෙන්න ඕනෙ කියල අපි හිතනවද? විනාඩි දෙකෙන් හදන නූඩ්ලස් වගේ. ජීවිතේ ප්‍රශ්න ගැන අපිට තීන්දු තීරණ අරගන්න පුළුවන්ද? ඒක අපි අනිත් අයට කරණ කොච්චර අසාධාරණයක්ද? ඇයි අපි ඒ ගැන හිතන්නෙ නැත්තෙ. හිතන්න මොහොතක් අපිට අපි ගැන අපේ ජීවිත පවත්වාගෙන යාම හෝ නොයෑම ගැන තනි තීරණ ගන්න පුළුවන්දගැටලුවකට මුහුණ දුන්විට අනේ මේකට උත්තර හොයනවට වඩා මියැදෙන එක හොඳයි කියල කෙනකුට හිතෙන්න පුළුවන්. ඒක මනුෂ්‍ය ස්වභාවය වුණත් අපි බැඳිලා ඉන්න යුතුකම් වගකීම් එක්ක ඒ තීරණේ කොච්චර වලංගු ද කියල හිතලා බලන්නම වෙනවා. 

දරුවගේ අසනීප තත්ත්වෙ දරාගන්න බැරිවෙච්ච සුනිල් අයියා මියදෙන්න කලින් කියල තිබුණා එයාගෙ ජානවල දෝෂයක් නිසා දුව අසනීප වීම දරාගන්න බැහැ, දරුවෙක් නැති අනාගතේ කෙල්ලට දුක්විඳින්න වෙයි. ඒක දකිනවට වඩා මරණය හොඳයි කියලා. දැන් ඒ දරුපවුල ගැන හොයල බලන්නෙ කවුද? මෙතුවක් දෙන්නෙත් එක්ක බෙදාගත් ජීවිතය තනියම කරගහගෙන යන්න කුසුම් අක්කට කොච්චර ශක්තියක් තියෙන්න ඕනෙද? අම්මල මහමෙර උසුලනවා කියන එක ඇත්ත ‍කියලා මට මේවෙලාවෙ හිතුණන්, මට අනුව සුනිල් අයියා කියන්නෙ තමන්ගෙ වගකීම යුතුකම මඟ හැරදාපු පරාජිතයෙක්.

අසනීපෙන් ඉන්න දරුවෙක් ගැන හිතලා දිවි නහගන්නවට වඩා ඒ දරුවගේ අනාගතය වෙනුවෙන් ඒ පුංචි හිත ශක්තිමත් කරන්න, හැම කුරුල්ලකුටම පියාඹන්න බැහැ, බිම ඇවිදින කුරුල්ලොත් ඉන්නවා කියල දෙන්න ඒ තාත්තා ජීවත් වුණා නම් කොච්චර වටිනවද? දරුවගේ අසනීපෙ නිසා මනසින් බිඳ වැටුණු සුනිල් අයියට එයාගේ දරුවට වගේ ම තවත් දරුවො ඉන්නවා. ජීවිතේ කියන්නෙ ප්‍රශ්නවලින් පලායාම නෙවෙයි. උත්තර හොයාගැනීම කියලා, කියා දෙන්න කෙනෙක් හිටියා නම් සමහරවිට ඔහු තාමත් ජීවතුන් අතර සිටින්නත් පුළුවන්.


Monday, 13 January 2014

නුඹ ගැන ආඩම්බරයි


http://www.dinamina.lk/baddaramalla/2013/08/20/mahana-machine.jpg


අද මං "චුටිගැන ලියන්න හිතුවා. ඇත්තම කියනවා නම් චුටිගැන කියන්න හිතුවා.අනිත් අයට "චුටිඑහෙම නැත්නම් චූටි නංගී”, "චූටි අක්කාවුනත් ඇය මගේ එක්කුස නූපන් එකට අකුරුකළ සොහොයුරියන් කීප දෙනාගෙන් එක් සොයුරියක්.

අපි එකම පාසලේ එකම පංතියේ එකට අකුරු කළා. සාමාන් පෙළ විභාගය උසස් පෙළ ඉගෙන ගන්න ප්රමාණවත් තරමින් සමත් වුණා. ඉන් පස්සෙ උසස් පෙළ කලා විෂයන් හදාරන්නත් අපි එක්ක එකතු වුණා. බොහොම සතුටින් එක බත්පත බෙදාගෙන කාලා වසර දෙක ගතකරන්න අපි හීන මැව්වා. ඒත් දෙමාසයක් යන්නත් කලින් මගේ මිතුරියට ඉගෙනීම එපා වුණා. අපි කොච්චර කිව්වත්, ඇඬුවත්, දෙඩුවත් වැඩක් වුණේ නෑ. අන්තිමට අපි ඇගේ ගෙදර ගියා.

එක කොල්ලෙකුයි කෙල්ලො හතර දෙනකුයි ඉන්න ගෙදර බඩපිස්සිගෙ හිත වෙනස් කරන්න එයාගෙ ගෙදර අයටවත් අපිටවත් බැරිවුණා. අපි පාසල් ගියා. ඇය මහරගම හන්දියෙ අයියගෙ රෙදි කඩේ වැඩට උදවු වෙන්න ගියා. බෑග් මහන්න ඉගෙන ගත්තා. අපි පාසල් ගියා. උසස් පෙළ විභාගය ඉවරවුණා. සමහරු කලින්ම කසාද බැන්දා. තවත් අය නාට්‍ය කරන්න ගියා. අපි කීප දෙනෙක් සරසවි ගියා. "චුටිමහරගම කඬේ ඉන්න ගමන් පරණ සිංගර් මැෂින් එකක් තියාගෙන සරම් චීත්ත මූට්ටු කරන්න පටන්ගත්තා. රස්සාවට නෙවෙයි, තමන්ගෙ එකම අයියගේ ව්‍යාපාරයට කරන උදව්වක් විදියට.

මහරගම රෙදි කඩයක් දාන්න කලින් පොළෙන් පොළට ගිහින් ලෑලි තට්ටුවක තියාගෙන රෙදි විකුණත්දිත් විකුණන්න ගේන කෑලි රෙදිවලින් සාම්පල් අරගෙන හෝදල බලලා, සායම් යනවද රෙදි ඇකිලෙනවද කියලා හොයලා බලන පුරුද්දක් චූටිගේ පවුලේ අයට තිබුණා. මොනදේ කරත් තමන්ගෙ පාරිභෝගිකයන්ට ඇත්ත ඇතිසැටියෙන් පෙන්නල බඩු විකුනනව ඇරෙන්න හොරයක් වංචාවක් කරන පුරුද්දක් පවුලට තිබුණෙ නෑ.

අයියගෙ කඩේට වෙලා ඉන්න චූටි, පොඩි පොඩි ඇදුම් කැඩුම් මහන තවත් කෙනෙක් බලාගෙන හිටියා. නමින් ඇය අරලියා. ඉතින් මේ පුංචි කෙල්ලගෙ හැකියාවන් අඳුනගෙන ඇගේ දක්ෂකම් ඉස්මතුකර දෙන්න ලොකු වුවමනාවක් ආසාවක් ඇතිවුණ, ඇය ලස්සන රෙදි කැල්ලක් දැක්කම කීය දීල හරි අරගෙන ආවා. සමහර වෙලාවට රෙදි යාරේ මිල රුපියල් දෙතුන් සීයයේ ඉදල දෙතුන්දාහ වෙන්නත් ඇති.

මේ රෙදි කෑලි අරගෙන චූටි ගාවට එන අරලියා, "වැරදුණාට කමක් නෑ චුටි නංගි ඔයා මහන්න, මමනෙ කියන්නෙකියල චුටිව දිරිමත් කළා. ඉතිං චුටි තනියෙන් හිමින් හිමින් සාරි හැට්ට, පාසල් නිල ඇදුම්, මනමාලියන්ගෙ ඇදුම් පැලදුම් මහන්න පටන්ගත්තා. අන්තිමට "චුටිබයක් හැකක් නැතිව සාරි හැට්ටයක්, ගවුමක්, සායක් මහන්න ඉගෙන ගත්තා. සමහර වෙලාවට එකම ඇඳුම තුන්හතර වතාව ගලවලා නැවත මහන්න සිදුවෙන්න ඇති

ඔය දේවල් ඔහොම ගියා, චුටි හිමීට තමන්ගෙ මැහුම් කටයුතු කරගෙන ගියා. ඇගෙන් ඇදුමක් මහගන්න, පිළිවෙළට සාරියක් අන්දගන්න එන, හිතවත් හැමදෙනාම ඇගෙන් හැමදාම අහපු දෙයක් තිබුණා. කවද්ද ඔයා ඔයාගෙම කියල දෙයක් පටන්ගන්නේ? චුටි හිස වනලා හිනා වුණා. තව දවස් තියනවා කිව්වා.

චුටි මැහුම් ගෙතුම් විතරක් නෙවෙයි, අයියගෙ කඬේ ඉදිරිපස ගොඩනැගිල්ලේ තිබුණු රූපලාවන් ඇකඩමියෙන් රූපලාවන් හා හිසකේ සැකසීම පිළිබඳත් ඉගෙන ගත්තා. 2001 වසරේ බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාවෙ තිබුණු මනමාලියන් දැක්මෙදි වසරේ දක්ෂතම සිසුවිය වුණෙත් චුටි.ඉතිං 2002 වසර එළඹුණා. මහරගම නැෂනල් ගොඩනැගිල්ලෙ, කඩ කාමරයක චුටිගෙ බලාපොරොත්තු ඉටුවුණා. මහන්සි නොබලා, වෘත්තීය පුහුණු අධිකාරියෙ අනුමැතිය ඇති මධ්යස්ථාන හරහා පුහුණුව, හා අධ්යාපනය ලබාගත් ඇය රූපලාවන් හා හිසකේ සැකසීම පිළිබඳව එන්.වී.කියු සහතික පත්‍ර කාණ්ඩ හතරම සමත්වුණා.

කාලයක් යද්දි මහරගම හන්දියෙ සාරි හැට්ටයක් හරියට මහගන්න කෙනෙක් හොයාගෙන එන අයට කටින් කට තොරතුරු ආවා, චුටි ගැන. හදිස්සියෙන් සාරි කඬේකින් සාරියක් අරගන්න එන පාරිභෝගිකයෙක්, සාප්පුවෙන්ම හදිස්සියෙන් හැට්ට මහගන්න තැනක් අහගෙන හොයාගෙන ආවා. විතරක් නෙවෙයි සාරි සාප්පුවල වැඩ කරන කාන්තාවන් අදින නිල ඇදුමේ සාරි හැට්ට මහන ඕඩරෙත් ඇයටම ආවා. 2011 වසරේ ඇය කඩ කාමර දෙකක්ම බද්දට අරගත්තා. මැහුම් හල සහ රූපලාවන්යාගාරයට.

අද මගේ පුංචි යෙහෙළිය, සහෝදරිය, දක්ෂ කුඩා ව්‍යවසායිකාවක්. කාටවත් බරක් නැතිව, ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්, ගොඩනැගිලි කූලි ගෙවාගෙන, තවත් කාන්තාවකට රැකියා අවස්ථාවක් ලබාදීල ස්වාධීනව නැඟී සිටිනවා. ඇගේ ඊළඟ හීනේ තමන්ගෙ කියල නිවසක්අනුන්ට බරක් නොවී තමන්ගෙ දෑතේ මහන්සියෙන් හරි හබ්බ කරල පුංචි ඉඩම් කෑල්ලක් අරගෙන හෙට අනිද්ද දවසක ගෙදර වැඩ පටන්ගන්න උත්සාහ කරන ඇයට, ඇගේම කියන නිවසක හීනේ බොහොම ඉක්මනට සැබෑ කරගන්න හදවතින්ම සුභ පතන ගමන් මම ගැන ආඩම්බර වෙනවා.

අපේ පරම්පරාවේ කියන්නෙ නූතන පරම්පරාවේ බොහෝ පිරිසක් ජීවිතයේ සියල්ල තමන් කරා එළඹෙන තුරු බලා සිටිනා මොහොතක, ඇගේ ජීවිතය ඇයම සොයා ගැනීම පිළිබඳව. දෙයක් අනේ මං දන්නෙ නෑ කියල බලාගෙන ඉන්නෙ නැතිව දැනුම තියෙන තැන් හොයාගෙන ගිහිල්ල ඉගෙනීම පිළිබඳව, විතරක් නෙවෙයි අපි මේ වැඩේ මේ විදියට කරමු කියලා තමන්ගේ මතයේ විතරක් ඉන්නේ නැතිව අනිත් අයත් සමඟ අදහස් හුවමාරු කරගැනීම පිළිබඳව.

ලොකුම දේ අනිත් අයටත් තමන් යන පාර ගැන, ආපු පාර ගැන කියාදීලා මෙන්න මේ තැන් වලින් මේ වගේ උදව් සේවාවන් පහසුකම් ලබාගන්න පුළුවන් තැන්වලට යන්න කියන එක ගැන. ඉතිං නමින් නිරෝෂණී අබේසිංහ  ඉන්නෙ මහරගම නැෂනල් ගොඩනැගිල්ලෙ වයිආර් ඒ පැෂන් සෙන්ටර් එකේ.

ගමනක් යද්දි එද්දි යන්න ඕනේ තැනට යන්න එන්න පාර මතක නැති වෙලා හැමදාමත් දුරකථනයෙන් පාර අහගන්න වද දෙනවා වුණත්, ජීවිතේ පාර වරද්ද නොගෙන ඉදිරියට යන්න අනිත් අයට පාර කියාදෙන නුඹ ගැන මට ආඩම්බරයි "නිරෝ