Friday, 25 December 2009

2009 ‍ගෙවී යන්නට පළමුව

2009, අන්තිම දවස් කිහිපය ගෙවිල යනව. 2007, 2008, වසර දෙකටම වඩා 2009යෙදි සමාජයක් වශයෙන් අපට කතා බහ කරන්න අතපසු උණ බොහෝ දේ තියෙනව කියල දැනෙනව.

කාලය මොනතරම් වේගයෙන් ඉගිලුනත් අපිට කරන්න තියෙන දේවල් අපි කරන්නම ඕනි. ‍ගෙවීයන 2009 වසර අපි හැමෝටම මකතයේ සිටින හා මතකයේ නොසිටින බොහෝ දේ සිදුවූ වසරක්. ඒත් ඒ අතරින් ඉදිරියේදීත් නිරන්තරව සිදුවිය හැකි, සිදුවීමට නියමිත, මේ මොහොතේදීත් සිදුවන, වලක්වා ගතහැකි, වලක්වා ගතයුතු බොහෝ දේවල් තියෙනවා.

මම මේ කතා කරන්න හදන්නෙ කාන්තාවන් ගැන, කුඩා දරුවන්, දැරිවියන් ගැන, ඝාතනයකෙරුණු, විශේෂ‍යෙන්ම අතවරයන්ට ලක්වූ, සිය දිවි නසාගත්ත, ලිංගික අතවරයන්ට ගොදුරුවුණු ‍යෞවනියන් ගැන. ඊ ළඟ මොහොතේදී ‍මේ තත්ත්වයට ගොදුරුවිය හැක්කේ කවුද? සමහර විට, ඔබ, මම, එහෙම නැත්නම් අපේ දරුවන්, මිතුරි මිතුරියන්.

මේ කවුරු වුනත් අපි පිළිගත යුතු එක දෙ‍යක් තියෙනව. නොදැනුවත්කම, නොසැලකිල්ල නිසා බොහෝ ජීවිත අපට අහිමිවන බව. මෙනතදි නොදැනුවත්කම කියල මම අදහස් කරන්නෙ අපේ බොහෝ යෞවන යෞවනියන්ට දුරස්ථ, ප්‍රජනක හා ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය ගැන.
අපි ඇත්ත කතා කලොත් මේ ගැන අපිට හරි දැනුවත් වීමක් තියෙනව කියල අපට කියන්න පුළුවන්ද? අපේ අධ්‍යාපන රටාවේ විෂය නිර්දේශය මේ ගැන තියෙනව. නමුත් පාසල තුළදී දරුවන්ට මේ පිළිඳව නිසි මග පෙන්වීමක් ලැබෙනවද? ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව කිසියම් ගැටලුවක් ඇතිවූ විට ඒ පිළිබඳව කතාබහ කරන්නට දැනුවත් වන්නට අවස්ථාවක් අපේ දරුවන්ට තියෙනවද?

මේ ගැන කතා බහ කරන්නට මා පෙළඹවු කරුණු දෙකක් තියෙනව.

1) මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතාත්, ප්‍රසව හා නාරී ‍වෛද්‍ය හේමන්ත පෙරේරා මහතාත් සහභාගි වූ සම්මන්ත්‍රණයකදී කෙරැණු කතා බහක්.

කුඩා දරුවන්, දැරිවියන් බොහෝ විට අතවරයට පත්වන්නේ තමන්‍ හොදින් දන්නා හදුනන වැඩිහිටියන් අතින් කියලයි එතනදි කියවුනේ, වරක් රෝහලට ඇතුලත් කෙරුනු ළදරු ගැබිනියක් කියල තිබුණ අයිය අරගෙන ආපු සීඩි එකේ තිබුණු සෙල්ලම දෙන්න එක්ක කලා කියල. අන්තිමට අයියයි නංගියි දෙන්න නොදැනම එයාල අම්ම අප්පච්චිල වෙලා. මේ අපේ රටේ කොළඹ දිස්ත්‍රික්කයේ මීට අවුරුද්දකට, දෙකකට කලින් වෙච්ච දෙයක්.
දැන් දැන් අන්තර්ජාලේ ලෝකේ ළබාලම අම්මල ගැන වීඩියෝ දකින්නත් තියෙන එකේ මේක මහ අරුමයක් නොවෙයි කියල කාට හරි කියන්නත් පුළුවන්. එත් ඔබට එහෙම හිතලා ඒක අමතක කරන්න පුළුවන්ද?

2) ගතවුණු වසර තුළ පාසල් දරුවන් අතරය සිය දිවිනසාගැනීම හා ‍සිය දිවිනසාගැනීමට තැත් කිරීම් රාෂියක් වාර්තා වුනා. ඒ අතර සමුහ වශයෙන් කනේරු ඇට කෑමක්ද වාර්තා වුනා. අඩු වැඩි වශයෙන්, පෙම් පත්, ජංගම දුරකතන, හිත් රිදවා ගැනීම් ආදී හේතු රාශියක් මීට බලපා තිබුණත් අපේ දරුවන්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ නිසි අධ්‍යාපනයක් දීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි මගේ හැගීම.
පසුගිය කාලයේ උදාවූ යෞවනය නමින් යෞවන ප්‍රජාව දැනුවත් කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සකස් කෙරුනු අත්පොතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කඹ ඇදිල්ලක් නිසා පාසල් සිසුන් අතර බෙදා හැරුනේ නෑ.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දි අපට කළ හැක්කේ කුමක්ද? අප කළ යුත්තේ කුමක්ද? මළවුන් වෙනුවෙන් ජීවත්වන්නවුන් රැකගැනීම සඳහා එකමුතු වෙන්නටයි මේ ඇරයුම. තනිව කම්පාවනවාට වඩා, කිසිවක් කිරිම අත්‍යවශ්‍ය ‍මොහොත එළඹෙමින් තිබේ. ලියන්න. lihinisara@gmail.com, හුදකලා දැනුවත්වීමකට එහායින් වන සමාජ වගකීමකට එක්වමු.
ආදරෙන්
ලිහිණි

Thursday, 29 October 2009

ලිහිණිසර ට අවුරුද්දයි

බ්ලොග් ලියන්න පටන් අරන් පළමු අවුරුද්දත් ගෙවිල ඉවර වෙලා. දන්නෙම නැතිව. කාලය හරි ඉක්මණට දුවනව. දවසින් දවස, මොහොතින් මොහොත ගුණනය වන වැඩ කන්දරාව එක්ක ‍‍ලිහිණිසරට තාවතාලික නිහැඬියාවක් එක්වුණත් මේ වසරක් ගෙවූන තැන කලින් පද පේලි විතරක් වුණු පදමාලවක ස්වර රටාව ඔබට අහන්න දෙන්න ඉඩකඩ ලැබුණා. ඉතින් අහන්න මේ ස්වර රටාවන්,

අහස දුර වැඩියි අල්ලා ගන්නට බෑ
පොළව බර වැඩියි උසුලා ගන්නට බෑ
තත්පරයක් එක තත්පරයක්
අත්ලට ගුලිකර අල්ලා ගන්නට
කවුරුද එන්නේ

http://www.divshare.com/download/9026765-349
ahasa dura wadi koddippili.mp3

ගායනය - නිපුනි කොඩිප්පිලි,
සංගීතය - කපිල මැද්දෙගොඩ

මේ සුනිල අහස යට පොළව මත
රැදි රැදී දිලෙන පිණි අහුරු ළඟ
නවාතැන් ගන්නවා මගේ සිත
කියවන්න ඔබේ නෙතඟින් කියන
සොඳුරු තම සිතිවිල්ල

http://www.divshare.com/download/9073629-b
me sunila ahasa yata___sithumini.mp3

ගායනය - සිතුමිණි මැද්දෙගොඩ,
සංගීතය - කපිල මැද්දෙගොඩ

Thursday, 1 October 2009

හෙට පිපෙන මල් කැකුළු

අද ලෝක ළමා දිනය

අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලයේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයත් පැවැත්වෙනවා.

" අක්ෂර සෙනඟ" සාහිත්‍යයය තරඟයේ පද්‍ය රචනා අංශයෙන් පළමු තැන ලැබූ ඩී. චමින්ද්‍රා කුමාරි සොයුරියට පාසලේ ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ උපහාරය පිරිනැමෙන බව විදුහල්පතිතුමා අපට දැන්වුවා.

චමින්ද්‍රා ගේ ජයග්‍රහණය ඇගේ පාසල් පුස්තකාලයට රුපියල් 30.000, පුස්තකාල ‍පොත් ලබාදුන්න. එහි අපේ වැකිය,

"තනි අස්සයෙක් වින් කරන්න ඇබ්බැහිවෙච්ච මිනිස්සු ඉන්න රටක අනුන් වෙනුවෙන් දුවන්න, ඉදිරිපත්වීම බලාපොරොත්තු සහගතයි" කියල

ඉතින් මේ අගය කිරීම, අපට තව තවත් බලාපොරොත්තු දල්වනවා නොවේද?

Tuesday, 28 July 2009

ජාතියකට මුඛවාඩම් බැදීම....

ස්වාධින රූපවාහිනි උදැසන ප්‍රවෘත්ති http://www.divshare.com/download/8012760-4d9

14 .1 අ වගන්තියට අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්වන පරිදි ශ්‍රී ලාංකික සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට හා ප්‍රකාශය ඇතුළු අදහස් පලකිරීමේ නිදහ‍ට හිමිකම් ඇත්තේය.,

නිදහස් නිවහල් දේශයක සංස්කෘතික පොලීසියක අභිමානය සමරන්නට ඔබත් එක්වෙන්න, ලොව විශාලම ළදරු කැබිනෙට්ටුව සහිත රාජ්‍යවිමේ අනාගත ගිනස් වාර්තාවන් පිහිටුවන්න ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයට සහයෝගය ලබාදෙන්න.

මූලික සුදුසුකම් -සෑම වැඩිහිටියෙක්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සදාකාලික ළමාවියක් ගෙවිය යුතුයි.

වැඩිහිටියෙකු වීම, වැඩිහිටි අදහස් දැරිම,වැඩිහිටියෙකු ලෙස භාෂණයේ හා අදහස් ප්‍රකාශකිරී‍මේ යෙදීම උක්ත ගිනස් වාර්තාව හඹායෑමේ විශාලම බාධාවයි. ප්‍රවේසම් වන්න, සදාදරණිය දේශප්‍රේමියෙකු වන්න,

කශේරුකා

Friday, 17 July 2009

කන්නගීපුර ‍තේමා ගීතය

කන්නගිපුර ‍ තේමා ගීතය
අපේ උත්සාහය ගුවන් විදුලි මාලා නාට්‍යක් හරහා සමාජය තුළ අවබෝධය විශ්වාසය සහ සහයෝගය ගොඩනැංවීම, මේ එහි පළමු පියවර, හිනාවෙන, වැළපෙන, අපේ ජිවිත කන්නගිපුර ජීවත්වනවා.

යෞවනයට වැට කඩොළු නැතී
සිහින ඉසව්වට දොරටු නැතී
ළඟක ඇති දුර ඈත නැති
අපි අපිමයි වෙන කිසිවකු නැතී

එක මිටට එන්න
දුක සැපට ඉන්න
ආකාසේ පුරා ඉනිමං බදිනා
තටු නැතිව සරා
එක රැලේ නොආ
ජීවිතේ සොයා පියමං කරනා

ගිනි දැල්ලක් නසා
හස රැල්ලක් නඟා
කදුලැල්ලක් මකා
හිනැහෙමු
ජීවිතේ
හිරු එළියක් වෙලා
ඝන අදුරත් නසා
එක පොකුරක් වෙලා
ජයගමු
ජීවිතේ

සොඳුරු දිවිය පුරා
සතුට දෝර ගලා......ලා....
ඉමක් සොයනු සිතා ...
එක්ව පියමනිනා


තුන් කල්හිම සැනසීම ඔබෙ ආදරේ
හසරැුල්ලක්දෝ රහසින් ගෙනා
ඔබ සිහිනෙන්ද මට කිවුවෙ ඒ ආදරේ
හැම භවයේම පතමි සදා

අන්න අන්න අර බලන්න
දේදුන්නක් පායල,
අද කන්නගිපුර හරිම ලස්සනයි


ගිනි දැල්ලක් නසා
හස රැල්ලක් නඟා
කදුලැල්ලක් මකා
හිනැහෙමු
ජීවිතේ
හිරු එළියක් වෙලා
ඝන අදුරත් නසා
එක පොකුරක් වෙලා
ජයගමු අපි
ජීවිතේ......

ඔබට මට දැනෙනා...
අතින් අත බැදීලා
දිරිය ඇතිවේවා
සියල් සිත් පුරවා....

සන්ත්‍රාසෙ වළාවන් ඈතට යවලා
සහයෝගේ බැදීමෙන් එක්වී
එක රෑනක් වෙලා නිදහසේ ඉගිලෙමු
වැට මායිමි නැතී ජීවීතේ


සංගීතය -
කපිල පූගලආරචිචි

පද රචනය
සංජීවිකා මනෝහාරී දයානන්ද
ජානක නාවලගේ
ලෙනාඞ් රජිත් ජෝෂප්
තරංගා ප්‍රියදර්ශනි

ගායනය -
කපිල පූගලආරචිචි, දිනිති විදානපතිරණ, ඩයානා රෝකි
ළහිරු ප්‍රනාන්දු, තරිකා වික්ක්‍රමරත්න,ඒ. වතීශ් වරුණන්, .

Sunday, 24 May 2009

Its just an interpretation

Clear water is always enticing,
Still,
Unlike the dissolved muddy water,
Sometimes even the sky
Turns in to black and whites
Yes, the breeze,
Do turn into a gale,
So does the love...
My heart whispers
Fascinate, quiescent, violent
The poem was translat by Fathima Ishrath

Friday, 8 May 2009

බුද්ධ වර්ෂ‍ 2553

සාමකාමී, ආගන්තුක සත්කාරයේ ලැදී මිත්‍රශීලී ධාර්මික ජනතාවක් සිටින ධර්මද්වීපයේ 2553 වන බුද්ධවර්ෂ‍යේ ආරම්භය සනිටහුන් කරමින්; දිට්ට ධම්ම වේදනීය කර්මය වෙන කවරදාටත් වඩා හොදින් පෙන්නුම් කෙරෙමින් පවතින රටක, එම කර්මය මෙන්ම කර්ම විපාකයද නෙතින් දකින, කනින් අසන එම දුකෙහි කොටස්කාර සමාගමයේද, එසේ කර්ම විපාකය පල දෙනවුන් ‍දෙසබලා එම විපාක ඵලයෙහි සතුට බෙදාගන්නා භුක්ති විදින්නන්ගේ සමාගමයේද අනාරාධිත නිත්‍ය සාමාජිකත්වය ලැබූ රටවැසියෙකුගේ දැක්ම;
නීතියෙහි කන්‍යාවගේ දෑස් බැද පොලිසිය තොවිල් නැටීම ලිපිය තුළ කතාබහ කෙරෙන්නාවූ සිදුවීම් පසුගිය කාලය පුරාවටම තැනින් තැන විවිධ වේශයෙන් නිරන්තරව සිදුවෙමින් පවතී, අක්මීමන කවීන් රශ්මික හා තනුජා අයිරාංගනී ගේ ඝාතන සිදුවූයේ වර්ෂා දැරිය‍ගේ ඝාතනය සිදුවී යන්තම් මසක් ඉක්මයද්දීය, එහි කෙළවර වර්ෂා ඝාතන සැකකරුවන් සියලුම දෙනා නඩු නැතිවම උන්ඩයට ගොදුරුවූ අතර කවින් හා තනුජාගේ ඝාතනවල සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක්, පොලිස් වෙඩි පහරින් මියගියේ පොලිසියට වෙඩි තැබීමට කළ උත්සාහයකදීය. අනෙකා නාදුනන පුද්ගලයින් විසින් ඝාතනය කෙරිනි. එයින් දෙසතියක් යන්නටත් පළමුව නැවතත් මඩකලපුවේ කෝට්ටමු‍ණෙයි කුඩා දැරියක ඝාතනය කෙරැණු අතර එහි සැකකරුවන් යැයි සැකකල පුද්ගලයින් පොලිසියට වෙඩි තැබුමට කළ උත්සාහයේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත්විණි.

උතුරේත් දකුණේත් දෙකොන විලක්කු ඇවිලෙද්දි උතුරු නැගෙනහිර සිදුවන මෙවැනි අපරාධ ළමාආරක්ෂක දෙපාර්තමේන්තුවේ සභාපතිතුමා විසින් පශ්චාත් යුද ගැටුම් සහිත සමාජයක
සිදුවීම් ලෙස අර්ථදක්වයි. එහෙත් දකු‍ණේ සමාජය තුළ සිදුවන එබදු අපරාධ, ‍අර්ථ ගන්වා ගන්නේ කෙසේද යන ගැටළුව අප ඉදිරියේ ඉතිරිව පවතී.

දෙවනුව පොලිසියට අනුව මේ සියල්ල නීති විරෝදී අවිදරන කණ්ඩායම් මගින් සිදුකරනුලැබූ ඒවායි. එහෙත් ගැටළුව වන්නේ මේ සියල්ලෙහි දේශපාලන සැගවුම් යතාර්ථය කුමක්ද යන්නයි. තෙවැන්න මේ සියළුම සිදුවීමි හරහා මතුකෙරෙන්නාවූ අනාරක්ෂිත ගිනි අවි පිළිබද කතාවයි. ‍‍ මැරයින් පාතාල නායකයින් ආදීන් පමණක් නොව ගම්මැද්දක පිහි ඇනුමක ඝාතකයින්ද අවසානයේ අත් බෝම්බ, හා තුවක්කු ‍සැගවු තැනින් එළියට ‍ගෙන පොලිසියට කොකා පෙන්නන්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවයි.

ගම් නියම් ගම් සිසාරා හමා යන ප්‍රචණ්ඩත්ව‍ය ගිනි අවි, අත් බෝම්බ, තවත් ජීවිත කීයක් බිළිගනීවිද? අප තව කෙතෙක් කල් බලා සිටිය යුතුද යන ගැටළුව අප ඉදිරියේ පවතී. අතීතයේ දිනක සන්බබා නමින් හැදින්වූ වරෙන්තු කරුවෙකු පොලිස් වෙඩිපහරින් මරුමුවට පත්වූ අවස්ථාවේදී; එම සැකකරු විලංගු සහිතව පොලිසියට අත් බෝම්බ ගැසීමටගත් උත්සාහය අධිකරණය ඉදිරියේ නිරූපණය කිරීමට වාද්දූව පොලිසියේ නිළදාරියෙකුට සිදුවූ අකාරය අමතක කළ නොහැකිය.‍ එය එසේ සිදුවුයේ අධිකරණයේ අපක්ෂපාතීත්වය සමාජයට පෙන්වීමට පමණක්ද යන්න තවත් ගැටළුවකි.

මේ සියල්ල අවසන ත්‍රිවිධ හමුදාවට පොලිසියට අමතරව ලංකාව තුළ ගිනි අවි භාවිතා කරන පිරිස, හා ගිනි අවි භාවිතය පිළිබද අව‍බෝධයක් ඇති පිරිස සුළු පරිමාණ වශයන් ගත හැකිද? ඒ සම්බන්දව අපේ මැදිහත්වීම ප්‍රමාණවක්ද? අධිකරණය මේ පිළිබදව අවධියෙන් සිටීද? වරද කරුවනට දඩුවම් ලබා දෙන්නට, නඩු අවැසි නොවන රටක හෙට දවස ??????

Monday, 4 May 2009

Thereafter

Tiny leaves are falling,
Pollens of flowers are spreading...
Wind is sobbing,
Trees and leaves are weeping...
A flower carpel is trembling,
And sliding away from the brink

The poem was translat by Fathima Ishrath

Sunday, 3 May 2009

මිනිසා නොමිනසා බවට රූපාන්තරණය වීම



දන්නෙ නෑ කොහෙන්ද පටන් ගන්නෙ කියල. නිමා කරන්නෙ කියල. ඒ වුණත් හැම තිස්සෙම ඇස් මුලට එකතුවෙන කදුළු වලට වැටෙන්න ඉඩ අරින්න ඕනි. සිංහල දරුවො මෙචිචර මරා දැම්ම, දෙමල දරුවන් මෙච්චර මරා දැම්ම කියල ගණනින් ගණන එකතු කරල, මේ දරුවා ගැන කතා කලා මේ දරුවා ගැන කතා නොකලාය කියන තැනින් එහාට..............

පසු ගිය මාස කිහිපය පුරාම සාපේක්ෂව කුඩා දරුවන් රැසක් මරා දමලා තිබුණ. හරිම පහසුවෙන්, අම්මෙක් දරු දෙන්නත් එක්කම ළිංපතුලෙදි භවය අතැර ගිහින් තිබුණ. ගිය සතියේ තාත්තෙක් දරු දෙන්න එක්කම කඹ පොටවල හයිය බලල තිබුණ. ගාල්ල, අක්මීමණ, සපුගස්කන්ද, තිරිකුණාමලය, මඩකලපුව මේ හැම තැනම දරුපැටවුන්ට එකම එක පොදු සාධකයක් බලපාල තිබුණ. හුස්ම හිරවීම එහෙම නැත්තම් හුස්ම හිර කිරීම; ඒ එකම සාධකය. ‍ඒ හිර කරපු අත් සිංහලද දෙමලද මුස්ලිම්ද? නම වර්ෂාද? සුමල්ද? හද ගැහුනෙ සිංහල, සිංහල කියලද? නැත්නම් දෙමළ, දෙමළ කියලද? කියන එක මට වැදගත් නෑ. වැදගත් එකම දේ, මුදලට, කෑදරකමට, කප්පම් ගැනීමට, ඉඩම් ආරවුලට, පොඩි එකෙක්ගෙ විහිලුවකට තත්ත්පර ගණනාවකින් මිනිහ තිරිසනාවීම විතරයි. දර කෝටු කඩනව වගේ පහසුවෙන් දරුවන්ගේ ‍බෙල්ල කඩලදාල හුස්ම හිරකරන්න තරම් මිනිසා තිරිසනා වීම විතරයි.

මේ සියල්ල ‍ මෙහෙම වෙද්දි‍ ර‍‍ටේ වඩා ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහන ‍වෙලා තියෙන්නෙ සෙත් පිරිත්. ඒක වර්තමානෙ රූපවාහිනී මාධ්‍ය සලකා බැලුවහොත් වන්නි මෙහෙයුම වෙන්නත් පුළුවනි.ඉතින් මේ තරමට බුදු බණ අහන රටක, පවුල් පිටින් සමාජය සමුළ ඝාතනය කරන රටක, තාත්තලට දාව දූල දරුවො බිහිකරන රටක, වයස අවුරුදු තුනේ හතරේ දරුවන් තම අසල්වාසීන් ගෙන්, පවුලේ වැඩිහිටියන් අතින් අතවරර විදින රටක, යුද්ධයට; දිනන පරදින ‍දෙපිලේම මිනිසුන් බිලිවන රටක, ජන්දය කිට්ටු වෙනකොට විරුද්ධ පාක්ෂිකයයින් උන්ඩයට බිලිවෙන රටක, මරණය පිළිබදව ලියවෙන සටහන් තුළ අහිමිවන ජීවිත නොව ලිවී‍මේ අතිමානුෂිකක්වයම සොයන රටක , ප්‍රතිවිරුද්ධ මත දරන්නන් ත්‍රස්තවාදින් වන රටක, අනාගතය මොනවගේ වෙයිද? ඔබට මොකද හිතෙන්නෙ.

Saturday, 2 May 2009

රූපාන්තරණය

මව් වුවද පුරුවේ පිනකට
දරු නැති සොවින් වැලපෙන දහක් මව්වරු අතර
ආදරේ පමනක්ම ‍ද ජිවිතය‍;
තනිව යා නොහැකිය නික්ම
භවය අතැහැර ; හැරදා මගේ වස්තුව
දරුවනි කැටුව යන්නෙමි
නූඹලාද ළිං පතුළට...........
භවාන්තරණය පිණිස

දරුවනි මගේ අදරැති
නික්ම යා යුතු හෝරාව පැමිනැති
පැල දොර පලාගිය කළ මවිතුමි
යුධට ගිය සොයුරා විදුලියට බිලිවුණ
පැවතෙනු කෙලෙස නොදනිමි
දරැවනි වරෙල්ලා; සසර දිගු වුව
................. රැහැන දිග ඇති

Tuesday, 28 April 2009

The Spark


The Spark

I am a fire-fly
Where I peregrinate in the darkness
A pile of day light,
Desiring for the black out
In the shadow less new moon
Where the sliver moon is missing,
And I glare for a moment,
As a spark of fire,
A pip of brightness


The poem was translat by Fathima Ishrath

Thursday, 23 April 2009

සාධාරණ යුද්ධය




මෙය 2003 අපේල් මාසයේ ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට ප්‍රථම Australia වේ එක්තරා ස්ථානයකදී සිදුවූ සිදුවීමක් ලෙස හදුන්වා දිය හැකිය. මේ කාලය තූළ ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමේදී Australia ව එම ඒකාබද්ධ හමුදාවට එක්වීම සාධාරණද නැද්ද? යන්න පිළිබඳව විවාද පැවති සමයකි. ( Australia ව එම යුද්ධයේදී ඒකාබද්ධ හමුදාව නියෝජනය කලා. ) ඒත් එක්කම සරණාගතයින් අත්අඩංගූවේ තබා ගැනීම සම්බන්ධයෙන් Australia එරෙහිව මේ වන විට නොයෙකූත් චෝදනා එල්ලවෙමින් තිබුනා.

එමි : තාත්තේ සාධාරණ යුද්ධයක් කියන්නේ මොකද්ද?

තාත්තා: දැන් බෑ ස්වීට් හාර්ට් පස්සේ කථා කරමුද? මට දැන් වැඩ වැඩියි.

එමි : ඒ වුනාට ඔයා කිව්වේ ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයයක් තියෙනවා
නමි අහන්න කියල.

තාත්තා: හොඳයි. දැන් මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ?

එමි : යුද්ධයක් කොහොමද සාධාරණ වෙන්නේ ?

තාත්තා: ඔව්, ඒක හොද ප්‍රශ්නයක්. එක පාරටම මේ ගැන අහන්න හිතූනේ මොකද ?

එමි : ඔයා දන්නවනේ දැන් ඉරාකෙ තියෙන ප්‍රශ්නේ.

තාත්තා :
හොදයි මුලින්ම මම කියන්නම් ඕනම යුද්ධයක් බොහොම නරක දරුණූ ප්‍රචණ්ඩකාරී බලහත්කාරය වපුරුවන දෙයක්. ඒ වගේම යුද්ධයකින් ගැටුමක් විසදිය නොහැකි බව ඉතිහාසය පෙන්නල දීලා තියෙනවා. මං හිතන්නේ අනාගතයේදී මිනිස්සු ආපසු හැරිලා බලලා තමන් යුද්ධ කරන්න තරම් මෝඩවීම ගැන කණගාටු වේවි. යුද්ධය කිසිවකූට දිනන්න බෑ. ඒ වගේම විශාල පිරිසකට හානි සිද්ධ වෙනවා. කිසිවෙක් තමන් අපේක්ෂා කළ අරමුණු කිසි දිනක ඉෂ්ඨ කර ගන්නේ නැහැ.

එමි : ඒ කියන්නේ ඔයා යුද්දෙට විරුද්ධයි.

තාත්තා:
හැමෝම යුද්දෙට විරුද්ධයි. කවුද කැමති තම තමන් මරා ගන්නවට ? තම තමන්ගේ නගර විනාශ කරනවට ? ඔයා හිතන විදියට යුද්දෙ කියන්නේ හමුදා සෙබලූන්ට විතරක් අයිති දෙයක් කියලද නෑ. මේ යුද්දෙ නිසා සිවිල් වැසියන් ළමුන් මිය යනවා. ඇත්තවශයෙන්ම මම යුද්දෙට විරුද්ධයි. ඔයා විරුද්ධ නැද්ද ?

එමි: ඒ කියන්නේ ඔයා සාමවාදියෙක්ද ?

තාත්තා:
නෑ, ඒක එහෙමම නෙවෙයි. මගේ අදහස්වලින් භාගයක් ඒකට එකඟයි.
මම සාමය අගය කරනවා. නමුත් සටන්වලට එරෙහිව විකල්පයක් නැති අවස්ථා තිබෙනවා.
එමි: ඒ කියන්නේ සාධාරණ යුද්ධය කියන එකෙන් මිනිස්සු අදහස් කරන්නේ ඒකද ?

තාත්තා:
මං හිතන්නේ එහෙමයි. සාධාරණ යුද්ධය කියන එක ඇතිවෙන්නේ කවුරු හරි පහර දෙනකොට. මොකද එතකොට ඔබට ආරක්ෂා වෙන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් මිත්‍ර පාක්ෂික රටකට පහර දෙනකොට ඒ නායකයින් ඔයාගෙන් ආරක්ෂාව ඉල්ලනවා.

එමි :
ඉතිං ඇමරිකාව ඉරාකයට පහරදෙන විට ඉරාකය තනිවම ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගන්නවානම් ඒක ඇමරිකාවට සාධාරණ යුද්ධයක් වෙන්නේ නෑ. නමුත් ඒක ඉරාකයට සාධාරණ යුද්ධයක් විය හැකියි. ඉරාකය ඇමරිකාවට එරෙහිව තමන්ගේ ආරක්ෂාව සඳහා තම මිත්‍රපාක්ෂික රටකින් උදව් ඉල්ලා සිටිය හොත් ඒ මිත්‍ර පාක්ෂික රටට ඒ යුද්ධය සාධාරණ යුද්ධයක්. එහෙම නේද?

තාත්තා:
ඒක ඒ තරම්ම සරල නැහැ. හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු කියල දෙවර්ගයක් ලෝකේ ඉන්නවා. සදාම් හුසේන් නරක මිනිහෙක්. ඒක නිසා ඔහුව පරදන එකට කවුරුත් විරුද්ධ වෙයි කියලා මම හිතන්නේ නැහැ.

එමි :
ඒ වුනාට ඔහු කාටවත් පහරදෙන්නේ නැත්නම් එයාගේ රට ආක්‍රමණය කරන එක කොහොමද සාධාරණ යුද්ධයක් වෙන්නේ. ඔයා කියන විදිහට අනුව රටක් ආක්‍රමණය කරන එක වැරදි වැඩක්නේ තාත්ත.

තාත්තා:
ඔව් ගොඩක් වෙලාවට. නමුත් හැමෝම විශ්වාස කරනවා සදාම්ගාව භයානක අවි ආයුධ තියෙනවා කියලා.
එමි : ඇමරිකාවට වඩා නරක?

තාත්තා:
නෑ. එච්චර නරක නෑ. නමුත් ඔහු නරකයි කියලා හැම දෙනෙක්ම හිතන නිසා කොයි මොහොතක හෝ රටකට එරෙහිව ඒ භයානක ආයුධ පාවිච්චි කරාවි කියලා මිනිස්සු හිතනවා. ඒක නිසා ඔහු ඒ ආයුධ පාවිච්චි කරන්න ඉස්සෙල්ලා ඒ රට ආක්‍රමණය කරලා ඒ ආයුධ විනාශ කරන්න ඇමරිකාවට අවශ්‍යයි කියල.

එමි :
ඒ ආයුධ පාවිච්චි කරන බවට තර්ජනය කරලා තියෙනවද? සදාම්ට ඕනෙ කාට පහර දෙන්නද?

තාත්තා:
නිශ්චිතව අහවල් රටට විරුද්ධව ඒ ආයුධ පාචිච්චි කරනවා කියලා නැහැ. ඒවුනත් ඔවුන්ව ආක්‍රමණය කලොත් ඇමරිකාවට එරෙහිව ඒ ආයුධ පාවිච්චි කරාවි.

එමි : Australia ගැන හිතමු. අපිත් ඉරාකය ආක්‍රමණය කරන්නේ නැද්ද? අපිත් සෙබලූන් යවනවා ගිය සතියේ මම ටී.වී. එකේ දැක්කා.

තාත්තා:
එහෙමම නොවෙන්න පුළුවන්. අපි සදාම්ට ආයුධ බිම දාන්න කියලා බය කරන්න කරන දෙයක් වෙන්න පුළුවන්. ඔහුව රවටනවා වෙන්න පුළුවන්.

එමි :
නමුත් ඔහු කිසිවකූට පහර දෙන්න සැලසුම් කලේ නැත්නම් තමන්ට එල්ලවන ප්‍රහාරයකින් ආත්ම ආරක්ෂාව සපයා ගැනීමට හැරෙන්න තමන් එම ආයුධ පාවිච්ච් නොකරන බව එයින් අදහස් වෙන්නේ නැද්ද?

තාත්තා:
ඔව් ඒ අදහස තර්කානුකූල බව පේනවා. නමුත් අපි ඉස්සර වුනේ නැත්නම් ඔහු කිසියම් රටකට එරෙහිව පහරදෙයි කියලා ආණ්ඩුව විශ්වාස කරනවා.

එමි :
අපේ ජීවන කූසලතා මිස් කිවුවා වඩා වැදගත් වන්නේ අවසන් ප්‍රතිඵලය නෙමෙයි. අපි එය ළඟා කරගන්නේ කොහොමද කියන එක තමයි වැදගත් කියලා. ඒක වැරදිද?

තාත්තා: මං දන්නෑ දරුවෝ. ඇත්තටම මම දන්නේ නැහැ.

එමි :
ඒක නෙවෙයි. ඔසාමා බින් ලාඩන්ට මොකද්ද වුනේ? මම හිතාගෙන හිටියේ එයා තමයි ලෝකේ ඉන්න අංක එකේ නරක මිනිහා කියලා. සදාම් ඊට වඩා දරුණුද ?

තාත්තා:
ඒ දෙන්නම නරකයි. ඔවුන් ත්‍රස්ත්‍රවාදීන්. ඒ දෙන්නම මිනිස් ජීවිතවලට බොහොම අඩු වටිනාකමක් තමයි දෙන්නේ.

එමි :
තාත්තේ ඒ සරණාගත කඳවුරු වල පුංචි ළමයි තවමත් හිරකරගෙන ඉන්නවද?

තාත්තා: ඔව්, අපි හිරකරගෙන ඉන්නවා දුව.

එමි : ඉතිං අපි හොද මිනිස්සුද? නරක මිනිස්සුද?

තාත්තා : හොද මිනිස්සු, ඇත්ත වශයෙන්ම. තවත් ප්‍රශ්න නෑ. තේරුනාද?
Written by Jon Hargreaves and Francis Rolt,
Published by HCRand Search for Common Ground

Tuesday, 21 April 2009

සද්ධන්තයකුගේ නික්මන


දිඳුලන සංධ්වනියක
සලකුණක් නින්නාද කොට
අප අතර,
උදාරම් ලෙස නැගී සිට
සද්ධන්ත සහෘදයකු ලෙස;
තබා පිටමත පෙරපර දෙදිග
ඥානය
දෑළ පිරිවර නොමැතිව
පෙරහැරක් නොවූවද
තනිව සක්මන් කළ
සහෘදය,

ගම්පෙරළිය ද , නිධානය ද
නිදන්කොට
එතෙර ද මෙතෙර ද
සහෘද හිත්වල;
විස්මයෙන් ලෝකය දුටු
සහනුබුද්ධියෙන් ලෝකය බෙදාගත්
සද්ධන්තයා නුඹය,
නිහඬවම පැමිණ නිහඬවම නික්මුණ

2009 - 04
-20

Friday, 17 April 2009

සමුදෙන්න ප්‍රියේ කුවෙණී






















විසල් නුඹ කුසිනි
හෙබවූ පුරවර
සහ පිරිවර සමගින්
වැජබෙනු රිසිවූයෙම්

ගමන විලම්බා
මුව මියුලගනා
කුමාරියක දුටුවෙම්
ජීවහත්ත හා දිසාලාව දෙදරුන්
අප දෙදෙනා ලදුයෙම්

කුවේර පුරවර සේ මෙ ලක්දිව
අගරජු මම්ම නොවෙම්
අභිෂේක ලබනු රිසියෙම්,
මාදේවි අසන් මෙවදන්

දුරු රටින් නැවට නැගලා
කුළ කුමරි ඒවි මතුදා
විජය ගේ රැජිණ විලසින්
අභිෂේක ලබන්නිය වී

කේතකී සුවඳ ගවසා
මාලතී රේණු අතුරා
සැදි යහන ඇයට සකසා
නුඹ නික්ම යන්න මෙපුරින්
දරුවන්ද රැගෙන නොලසා
මට ක්‍රෝධ වෛර නොකරා
යනු මැනවි පුරෙන් නික්මී
කුවෙණියේ දයාබාරී


ඉරයි හඳයි


Wednesday, 8 April 2009

වන්නියේ අවුරුදු


එරොබොදු මල් කුමට

අවුරුදු ළඟයි කීමට

කොවුලනි ගයන්නේ

හංස ගීයද

අවුරුදු කඳබැදන්

නෑදැ ගමන් කුමකට

උතුරේ විසාලානුවරට

අබැටක් සොයා නොයනෙමි

කිසිවෙකු නොමළ ගේකට
08 . 04 . 2009

මහ ගහට තණ පඳුරු

අතු අත් නමා
සිප වැලඳ ගන්නට
බැරිවුනත් ,
සැඬ හිරුගෙ
හෙවණැලි අවුරනා
නුඹ ,
මහා පවුරක්
සෙනෙහසින්
සෙවණක් සාදනා
නුඹ ,
වනස්පතියක්

Monday, 30 March 2009

සද එළිය බිදුවක්


ගැ
ඉරිතැළුනු බිම් කඩක්
සෙනෙහසින් තෙත් කරන
මල් කිනිති පුබුදුවන
හැමදාම, හැමදාම, හැමදාම මල් පිපෙන
සදාකල් වසන්තය
මේ තරම් ළංවුනේ කවදාද ?

පි
සද එළිය බිදුවක්ය ආදරේ
මුදු සුවද පවනක්ය ජීවිතේ

ගැ
පිණි කැටිති සීතලට
තුරුළුවෙයි පත් අඟට
සිනාසෙයි කිරිල්ලක්
පෙම්බරාගේ හඬට
සදාකල් වසන්තය
මේ තරම් පමාවූයේ ඇයි ද ?

පි
අවාරෙට මල් පිපෙන
නමාගෙන අතු නැමෙන
අරුමයන් දකිනවිට
හැමදාම පිබිදෙනා
මල්යාය දකින්නට
මේ තරම් පමාවූයේ ඇයි ද ?

ගැ
සද එළිය බිදුවක්ය ආදරේ
මුදු සුවද පවනක්ය ජීවිතේ

පි
දෝරේ ගලායන රන් අරුණැල්ලට
වියන් බැදෙනවලූ නිල් ගුවනේ

ගැ
වළා වියන වී උණුසුම් වෙන්නම්
ඒ රන් අරුණළු රුස් දහරේ



හඬ රටාව - සිතාරා පවිත්ත‍්‍රානී / උදය ශී‍ වික‍්‍රමසිංහ
නාද රටාව - කපිල පූගලආරච්චි
ටෙලි නාට්‍යය - සුදු හංසයෝ

Monday, 23 March 2009

හය හතර කියාදෙන්න

"අම්මේ, "
"ඇයි මගෙ දූ?"
"මම අම්මයි තාත්තයි ළගට ආ‍වේ ‍කොහෙන්ද?"
"ආ...., චුටි කුරුල්ලෙක් තාත්තටයි මටයි දූවව ගෙනත් දුන්නනේ. ඇයි ම‍ගෙ දූ "

"අම්ම කියන්නෙ බොරු නේද? අපේ ටීචර් කිව්ව අපි හැ‍මෝම අපේ අම්මලගෙයි තාත්තලගෙයි කියල, අම්මයි තාත්තයි කසාද බැන්දහම බබාල අම්මල තාත්තල ළඟට එනවලු."

"බබාලව අයිති අම්මටයි තාත්තටයි විතරයිලු. ඒ හින්ද අම්මයි තාත්තයි නැතිව වෙන කාටවත්ම අපිව අතගාන්න අල්ලන්න දෙන්න එපා කියල අපේ ටිචර් කිව්වෙ. අම්මයි තාත්තයි කියපු කෙනෙක් ඇරෙන්න වෙන කා එක්කවත් කොහේවත් යන්න එපා කියලත් ටීචර් කිව්ව. එහෙම කවුරු හරි කතා කලොත් හරි අතගාන්න අල්ලන්න අවොත් හරි අම්මට තාත්තට හරි ටීචර්ට හරි කියන්න කිව්ව. "

ලිංගික හා ප්‍රජනක ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍සෞඛ්‍ය පිළිබදව මාධ්‍ය‍‍‍‍වේදීන් දැනුවත් කිරි‍මේ සම්මන්ත්‍රණයක් පසුගියදා පවුල් සංවිධාන සංගමයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණා. දරුවන්ට කුඩා වි‍යේ දීම ලබාදෙන නිසි අධ්‍යාපනය මගින් ඔවුන් ගේ අනාගතය වඩා සුරක්ෂිත කිරිමේ වැදගත්කම ‍එහිදී කතා බහට ලක්වුණා. එයට සහභාගීවූවන්ගේ පුද්ගලික අත්දැකීම් කතාබහ කිරී‍මේ දී එක් මවක් ඉදිරිපත් කල ඇගේ අත්දැකිමක් මේ.

පළමුවෙන්ම මම මේ දියණිය ගේ ගුරුතුමීට හිසනමා අචාරකරනවා. ඇය දෙමාපියන්ටත් පළමුව සිසු දරු දැරියන් දැනුවත් කිරීම ගැන. ආදරණීය අම්මේ තාත්තේ, තවදුරටත් රෝස කැලෙන් ඇහින්දා කියා හෝ කුරුලු පැටවුන් හෝ වෙනත් කිසියම් කෙනෙක් විසින් ගෙනත් දුන්නායයි ‍පවසමින් දරුවන් මුලාකරන්නට එපා. දරුවන් දෙමාපියන්‍ ගේ සම්පත බව ඔවුන්ට නොසගවා පවසන්න. ඔවුන්ට ආදරේ දෙන්න. ළඟම විශ්වාසවන්තම යහළුවා, යෙහෙළිය වෙන්න. බොරු කියා ඔවුන්ගේ විශ්වාසය නැතිකරගන්න එපා.

මා මේ සටහන තබන මො‍හෙතේදීත් ත්‍රිකුණාමලයේ වර්ෂා දියණිය පාපතර නොම්නිසුන් අතින් කෙලෙසී මරු තුරුලට ගොස් අවසානයි. නමින් දන්නා නොදන්නා තවත් සිය දහසක් දරුවන් මේ මොහොත තුළ දීත්., ආරක්ෂිතයයි අප විසින්ම රවටා ගන්නා අනාරක්ෂිත සමාජයේ පාපතරයන්ගේ ගොදුරු බවට පත්වෙමින් සිටින මතකයේ තිබේ නම්, ඔවුන්ගේ සුරක්ෂිත හෙට දවස උදෙසා දරුවන් දැනුවත් කරන්න මැලිවන්න එපා.

හය හතර කියාදිය හැකි දුවා දරුවන්ට හය හතර කියා නොදීමේ වරද නිසා, නොදැනුවත්කම නිසා දරුවන්ට ඔවුන්ගේ ආරක්ෂාව සලසාගත හැකි අවස්ථාවන් මඟහැරෙන්නට ඇති ඉඩ වලකාලමු. පිපෙන්නට පෙර පාගා විනාශකර දැමූ වර්ෂා දියණිය වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ‍ සොයුරා තැබූ මේ සටහන තැලී පොඩිවී විකසිතවන්නට පෙර මිලානවූ සියළු මල් කැකුළු වෙනුවෙන්.

අපේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් අද, හෙට හෝ අනින්දා නොව මේ මොහොතේ සිට දැනුවත් වෙමු, දරුවන් දැනුවත් කරමු. මේ ඔබේත් මගේත් වගකීමයි. යුතුකමයි


වර්ෂා


ලෝදිය උතුරන
මේ මහ පොළවට
පුංචි දිය බිඳකි - වර්ෂා

අග්නි පිපාසිත
උඩු සුළඟේ වැද
කොහි ගියාද නුඹ - වර්ෂා

ආයෙත් නම් මේ
කාෂ්ඨ පොළවට
වහින්නෙපා නුඹ - වර්ෂා

නුඹට ලොවක් නැති
අපට උරුම නැති
සිහිනයක්ය නුඹ - වර්ෂා

රුහිරු පොළව මත
කාසි මල් පිපෙයි
හඬන්නෙපා නුඹ - වර්ෂා

සූර්ය සප්තකය
යුගාන්ත ගිර මත
නැග එනවා දුව - වර්ෂා

වළාකුළක නුඹෙ
පුංචි හිස හොවා
මුවා වෙන්න නුඹ - වර්ෂා

සඳ මඬලට නැඟ
කිරි සයුරේ නුඹෙ
දෙපා පොඩි දොවන් - වර්ෂා

කඳුළු උනන්නැති
අපේ ඇස්වලට
පෙනෙන්නෙපා නුඹ - වර්ෂා

ත්‍රිකුණාමලයේදී කප්පම් කල්ලියක් විසින් ඝාතනය කරන ලද ජූඩ් රෙජි වර්ෂා දියණිය නමිනි.අජිත් පැරකුම් ජයසිංහ

Sunday, 15 March 2009

නිල් අහස

නිල් අහස කිසිවිටක හිස් නෑ
ඉර නැග ඇවිදින්

සගවාලන මුත් තරුවැල්
අමාවකේ ගණ අදුරක් නෑ...
තරු කැට නොනිදා

රැයක් පහන් වෙන හැම කල්
හමනා සුළඟට වෙහෙසක් නෑ
මල් මල් සුවඳද ලා

දළු සිසිල ද මුසුවෙනකල්

මගෙ නිල් අහසේ තරුවැල්
හමන මදනලේ සිහිලැල්
මල් සුවදද ලා දළු සිහිලද
රැගෙන ඇවිත් ඔබ හැබැහින්

අමාවකට ගණ අදුරක් වී
මකන්නෙපා තරුවැල්
කඩා වැටෙන තනි තරුවක්වී
වැටෙන්නෙපා අහසින්


අහන්න - http://www.divshare.com/download/6816637-11f

හඬ රටාව- නිරංජලා මංජරී
නාද රටාව - නවරත්න ගම‍‍ගේ

Sunday, 1 March 2009

මව් සෙනෙහසේ කඳුළු

නෙතඟ කඳුළක් දරා කිරිකැටියකු තුරුළු කරගත් මවක බසයට නැගීනි. තෙමසකට පෙර බසයකට යටව මියගිය අනියම් කම්කරුවකුගේ බිරිදක වූ ඇය සිය දරුවන්ගේ කුසගින්නට කිරිකැටියාත් කරපින්නාගෙන අනුනට දෝත පෑවාය.දෝරේ ගැලූ මව් සෙනෙහසේ කඳුළු නැවත නැවතද අත්දුටුමි.


මුතු අහුරු ලෙසට
වැහි බිදිති රැගෙන
මුදු පියා සලන සකුණී
ගිරි මුදුන කොනක
හොර රහසෙ තැනූ
කැදැල්ල කෝ ලිහිණී

පොඩි තුඩින් රැගෙන
නෙක සියුම් කැටිති
බොහෝ දුරක් ගෙනෙනා ලිහිණී
නුඹ කඳුළු සලා
ගිරි මුදුනෙ තැනූ
කැදැල්ලනැත මෙහි සුරැකී//

සමුගන්න ඉතින් මෙහි නොයිද තවත්
දරුවන්ද සමග ඉගිලී
වැහි කඳුළ දරා මෙහි එන්න එපා
වැහි කඳුළු ගෙනා වැහි ලිහිණී//

අහන්න:http://www.archive.org/details/LihiniGeetha

ආදරණිය හුදකලාව + කල්පිටියේ දිවි ගෙවෙන යාපන මුස්ලිම් වැසියෝ

http://www.yastream.net/upload/audioPlayer.php?id=392&page=2&language=1&cur=audioPlayer.php&key=Kalpitiya,Sri%20Lanka,Jaffna%20Muslims,Short%20Story,Tharanga%20Jayasena&catid=5, අහන්න,
˜ ආදරණිය හුදකලාව, හාදුවක් නැතිව ගෙවෙන 137 දිනයටත් රෑ වුණා
මම ජනෙල් දොරවල් සේරම වැහුව, වහලේ හිල්තුළින් ඇවිත් මකුළු දැල්වල පැටලෙමින් සද එළිය මගේ හුදකලාව නැති කරන්න දුබල උත්සාහයක් යෙදෙමින් හිටිය˜
උපුටා ගත්තේ - හද ඉවුර අන්තර්ජාල කොළම - තරංග ‍ ජයසේන.

Thursday, 19 February 2009

ලෝකය එක යායක්

මොකක්ද මේ ආදරය කියන්නේ මම හිතන්නේ ඒකට නිර්වචන දෙන්න බෑ. ඔබ හැමදෙනාටම ඒ ගැන විවිධ නිර්වචන තියෙන්න පුළුවන්. ඔව් ලෝකය පැවතෙන්නේ ආදරය නිසා. ඒත් ඒක ඇතුවත් බැරි, නැතිවත් බැරි තවත් එක දෙයක් විතරයි. වෙලාවකට මට හිතෙනවා ආදරය කියන්නේ විඳවීමක් කියලා. මොකද ආදරය විදිනව වෙනුවට විඳවන අය වැඩියි. ඒක ලබා ගන්න විදියයි, බෙදාගන්න විදියයි හරිම වෙනස්. ඒ කියන්නේ අපි ආදරය කරන විදියයි ආදරය බලාපොරොත්තු වෙන විදියයි වගේම ඒ ආදරය ලබා ගත්තට පස්සේ ඒක රැක ගැනීමයි ආදරය දරා ගැනීමයි පරස්පර විරෝධි වෙනවා.

මගේ අත්දැකීම් කියනව නම් පුංචි කාලයේ ගෙදර වැලි මිදුලට වෙලා තාත්තා ගෙදර එනකම් බලන්හිටි කාලේ හරිම සුන්දරයි. ඒ කාලේ මට ආදරය ගැන ලෝභකමක් තිබුණා. මොකද අම්මගේ ආදරය අවධානය යොමු වෙන්නේ අයියටයි මටයි දෙන්නටම වැඩිය මල්ලිට. ඉතින් එතකොට පුංචි දරුව කාලේම ආදරය වෙනුවෙන් ලෝබකමක් අයිතිකර ගැනීමේ උවමනාවක් මට තිබුණා. නමුත් ඒ හැගීම අද මගෙන් ඇත්වෙලා. දැන් මම ලෝකෙටම ආදරය කරනව. ලෝකය ඒ ආදරය මොන විදියට ලෝකය දැක්කත්. මං හිතන්නේ ඒක අපි හැමෝටම පොදු දෙයක්. දැන් මට හිතෙන්නෙ ආදරය කියන්නේ නිර්වචනයක් දෙන්න බැරි දෙයක්.

ඉස්සර දවස්වල එකට දැවටිලා එකට ජීවත්වෙලා බෙදාගත්ත ආදරය වෙනස් වුණාම එහෙම නැත්නම් තවත් කෙනෙකුට බෙදාගන්න වුණාම එතන තව දුරටත් ආදරයක් ඉතිරි වෙනවද? අර ගීතයක තියෙනවා පේ‍්‍රමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහකට තරම් කියලා. ඒත් ජීවිතය කියන්නේ ආදරය සහ වෛරය අතර දෝලනය වෙන දෙයක්ද? දැනෙන්නේ නෑ මට කොහොමද ලෝකයටම ආදරය කරන්නේ කියලා. මොකද අපි ලෝකයටම ආදරය කරද්දි ලෝකය අපේ ආදරය දකිනහැටි, ඒක විදින හැටි හරිම වෙනස්. ඒ වෙනස්කම් ඇතුලේ ලෝකයටම බෙදාගන්න බලාපොරොත්තු වන අපේ ආදරය හුදකලාවෙනවා. ඇත්තටම ඒ හුදකලාව දරන්න බැරි තරම් අසීරුයි. කොහොමද අපි දෑත දිගු කරලා ආදරෙයි කියලා තව කෙනෙකු බදා ගන්නේ. ලෝකයා අපේ ආදරය නිර්වචනය කරන්නෙ අපි හිතන්නේවත් නැති විදියට නම්, තවත් කෙනෙකුට ආදරෙයි කිව්ව හම ආයෙමත් අපිට ලැබෙන පිළිතුර ඔව් මාත් ආදරෙයි, හැබැයි අයියෙකුට වගේ, නංගියෙකුට වගේ පිළිතුරුනම් අපිට ලැබෙන්නෙ, කොහොමද ආදරය පිවිතුරුයි කියන්නේ. කවදද ලෝකය එක යායක් වෙන්නෙ.

Sunday, 15 February 2009

දුරින් දැනෙන නුඹ සෙනෙහස

අරුණට පළමුව හිනහෙන
මල් තුහිනෙක මුදු සිහිලස
කොපුලත තැවරෙන ගානයි
දුරින් දැනෙන නුඹ සෙනෙහස

සඳ පානට රිදීවන්ව
දිලෙනා රූ පිණි අහුරක
දැවටෙන සඳ සෙවනැල්ලයි
දුරින් පිපෙන නුඹ සෙනෙහස

ගණ අදුරට වියන් බදින
නිල්මල් තරු කැට අතරේ
උල්කාවක් නොවී ඉන්න
ඒ එළියෙන් සැනසෙන්නම්
නුඹ නිල් අහස ළඟයි
ම තණ පලස, දුරයි

Tuesday, 10 February 2009

යෙහෙළි

අමාවක අහසට
පිබිද රන්වන් තරුකැට
යායක් ලෙසින් දිඳුලා

බිද දැමූවයි ඝනඳුර
කොවුලන් නිතර හැඩුවද

අවුරුදු ළඟයි කීවද
පාලූව මකා ඉදහිට

නුඹ ගී ගැයූ කෙවිලිය
මගේ යෙහෙළිය.............

අවසන සටන් බිම වැද

ගුලිකර තුඩට පන්හිද
දෙවියන් ඇමතු ගැහැණිය

නුඹ ගී ගැයූ හංසිය........
මගේ යෙහෙළිය

කියන් මාහට ................

දහයට එක බැගින්

මිලයට නම් කෙරුණු
දෙල්කද මඟ අසල

විකිනුන රන් සුඟක
කවදා යලිත් දකිනද

පිබිදෙන රෝස කුසුමක්
රන් සුණු සුඟක දැවටුන


(නිමිත්ත - මොණිකා රැවන් පතිරණ කිවිදියගේ
පොත් එකතුවක් කළකට පෙර පදිකයේ විකිණිමට තිබිණි)

Monday, 9 February 2009

මිමිණෙන සෙනෙහස



දවස් තාමත් තුරුණුයි
මේ පෙමැති සිසිරය සිහිලයි
හේමන්තයද නුදුරුයි
මට හීත දැනෙනවා
හුස්ම පොද මිදෙනවා...................
ඒ වුනත් තාම නෑ නොවැ
උණූහුමක් .................

පේ‍්‍රමයෙන් ආතුර වෙලා
හේමන්තයත් ආවද කලින්
දොර හැර බලන්නට අවැසියි
ඒ වුනත් තාම නෑ නොවැ
ඇමතුමක්,..............

මන්දාරමම පිණි බර වෙලා
හුළගට ඇවිත් මුතු හිම කැට්ති
කොපුළත වැදෙයි කදුළැලි වගේ
ඒ වුනත් තාම නෑ නොවැ ඇමතුමක්,
පේ‍්‍රමයෙන්.............

Sunday, 8 February 2009

අවකාශය,


මම ඉඩක් හොයන්න පටන් ගත්ත. යාළුවොත් එක්ක කතා කරන්න, මොහොතක් නැවතිලා හිතන්න. පොතක් පතක් කියවන්න ඉඩක්. කොළඹ නගරෙ පුරාම මගේ හිත ඉගිල්ලුණා. යාළුවෙක් එක්ක කතා කරන්න තැනක්? එකපාරටම මතක් වුනේ මහජන පුස්තකාලේ, දැන් ඒකත් හිර කූඩුවක් වෙලානේ, ඉස්සර නම් ශ‍්‍රවනාගාරෙ ඉදිරිපස තණ බිස්සෙ කස ගහක් පාමුල වාඩි වෙන්න ඉඩක් තිබුණ. පතුල රිදෙන්න කස ඇට ඇණුනට ඒ හෙවන විඳගන්න ඉඩදීල ගහ ඉරමුවාකරල හෙවනක් හදල දුන්න. දැන් ඒව තහනම් කලාප වෙලා. කෙටි යකඩ වැට පැනල තණ බිස්සට පය තියන්න කළින් මුර හමුදාව කඩාගෙන පනිනව. ප‍්‍රශ්න කීරිම් ''ඇයි ඔතන. අයින් වෙන්න,. අයිඩින්ටිය තියෙනවාද?, පුස්තකාලේ ප්‍රවේශපත තියෙනවද? නැත්නම් කරුණාකරල යන්න එළියට.''

හ්ම්... එතනින් නික්මිලා පුස්තකාලේ ආපනශාලාවට ආව. ඒක හරියට දුම් ගැහුණු අදුරු ගුහාවක් වගේ පුස්ගඳ ගහනව. අවුරුදු දොළහකට පහළොවකට කලින්නම් හවස 6.30 විතර වෙනකම්, විවිධ මතිමතාන්තර එක්ක තේ කෝප්ප හරි හරියට ගැටුණූ තැනක නටඹුන් විතරයි එතන ඉතිරිවෙලා තිබුනෙ, පුස්තකාලේ පොත් බැහැරදෙන අංශයට ගියා. එතනත් විශේෂ වෙනස්කම් කිසිවක් සිදුවෙලා තිබුනෙ නැහැ. අනිත් හැමතැනම වගේ අඳුර අරක්ගෙන තිබුනා.මම හිතන්න පටන් ගත්තා. අවකාශය, ඉඩ, ඒක කොහෙද තියෙන්නේ? අපේ මනස් තුළ හිතන්න අවකාශයක් ඉඩක් ඉතිරිවෙලා තියෙනවාද? අපි අවට අපි ජිවත්වෙන තැන්වල අපට ජිවත්වෙන්න හිතන්න පොළඹවන අවකාශයක් නිර්මාණය වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් අපි අවට තියෙන අවකාශය අපි විසින්ම අහුරාගෙන ද තියෙන්නේ ?

ඔබට හිතෙන්න පුළුවන් මේ දේවල් කිසිම අර්ථයක් නැති දේවල් කියලා. ඒ වුනත් මට හිතෙනවා යම් පමණකට අපි මේ පරිභෝජනවාදි සමාජය තුළ පරිභෝජන භාණ්ඩ වෙලා කියලා. අපි හිතන්නෙ පතන්නෙ නෑ. මොකද අපි වෙනුවෙන් හිතලා අපි වෙනුවෙන් වැඩ කරන වෙළඳ ආයතන අපේ ඔළුගෙඩි පුරවලා තියෙන හින්දා. ඒ එක්කම අපි හිතනව නමි දැන් හිතන්න පටන් ගන්නේ ටීවී. එකේ රේඩියෝ එකේ පත්තරේ යන දේවල් එක්ක. අපි හිතනකොට මාධ්‍යඅපි වෙනුවෙන් හිතලා ඉවරයි. අපිට හිතන්න දෙයක් ඉතුරු කරලා නෑ.

පහුගිය දිනවල නිරන්තරව ඇස ගැටෙන වෙළෙද දැන්වීමක් තිබුණ. තමන්ගෙ පුතා නැන්දම්මලාගේ ගෙදර යන බව දැනගෙන තමන් බලන්න නාවට දුක්වෙන මවක් කේන්තියෙන් පුතාට දුරකථන ඇමතුමක් ගන්නවා. එහා පැත්තෙන් ඇහෙන්නෙ මව්ට ආමන්ත‍්‍රණය කරන ගීතයක්. අර අම්මගෙ කේන්තිය වාෂ්පවෙලා යනවා. දරුදුක ඉස්මතු වෙනවා. මොනවද අපේ සමාජය ප්‍රවර්ධනය කරන්නෙ?

හිස් අවකාශය අතරින් අපේ හිත් හිස්වෙලා කියලා විතරයි මට දැනෙන්නේ. ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ. ඉස්සර වගේ නෙමෙයි කලාවෙන් සංස්කෘතියෙන් පොතපතින් අපි ඈත්වෙලා. අපේ සම්බන්ධකම් ඒ කියන්නෙ මව්පිය දුදරු, සොහොයුරු සොහොයුරියන්, ස්වාමි භාර්යා, මේ හැම සම්බන්ධකමක්ම ඈත්වෙලා. මේ හැම එකක්ම නමට විතරක් එහෙම නැත්නම් අවශ්‍යතාවයන්ට විතරක් සීමාවෙලා. මේ මට හිතෙන හැටි. ඔබ කොහොමද මේ ගැන හිතන්නේ.

Thursday, 5 February 2009

වචන


වචන කියන්නෙ, බොහෝ දේ කියන, ඒවගේම බොහෝ දේ නොකියන අකුරු, සමහර වෙලාවට මේ අකුරු හුගක් දුර්වලයි. තවත් සමහරවෙලාවට ඒව හරි ශක්තිමත්, කොන්කී‍්‍රට් වලටත් වැඩිය. අනිත් එක ඒව එළියට දැම්මට පස්සෙ ආයේ ඇදල ගන්නත් බෑ. කතාවට කියන්නෙ පනින්න පෙර හිතා බලන්න කියල. ඒ වගේම තමයි කියන්න කලිනුත් හිතා බලන්න ඕනි.

මොකද වචනවලට ඝාතන කරන්න පුළුවන් හින්ද. හුගක් දෙනෙක් චරිත ඝාතනය කරන්නෙ අකුරුවලින් වචන මුවහත් කරගෙන. ඔබ අහල තියෙනවද එක රාජනියෝගයක් ගැන. එහි තිබිල තියෙන්නෙ අණක්, මරණිය දඩුවමක් පිළිබඳව රාජඥාවක්. එහි සිංහල අදහස වන්නෙ, මරන්න එපා. නිදහස් කරන්න යනුවෙන්. නමුත් අවසාන මොහොත තුළ පෝරකය අභියස එය කියවා ඇත්තේ, මරන්න, එපා නිදහස් කරන්න කියල. ඒ අනුව වචන අතරෙ තිබුණු කොමාව හැලිල නිදහස මරණයෙන් කෙලවර වුණා. ඉතින් වචන කියන්නෙ දෙපැත්ත කැපෙන ආයුධ. බොහොම පරිස්සමන් අන්අයටත් තමාටත් හානියක් නොවෙන තැනට පාවිචිකළයුතු දේවල්.

තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි අපි ගණුදෙනු කරන අය එක්ක තියෙන දැන හදුනා ගැනීම. අපි හැම මොහොතෙම ජීවත්වෙන්නෙ කිසියම් ගණුදෙනුවක් එක්ක. පවුලෙ අය වේවා, හිත මිතුරන් වේවා. ඒ හැම දෙනා එක්කම තියෙන ගණුදෙනුව සන්නිවේදනය හරහා ප‍්‍රක්ශේපණය වෙනවා. ඒ මෙවලම තමයි භාෂාව.

දෙවැනි කාරනේ අපි කා එක්කද ගනුදෙණු කරන්නෙ කියන එක. ඒ වගේම මොන වගේ ගනුදෙනුවක්ද සිදුවෙන්නෙ කියන එක. මේ සම්බන්ධව මම දන්න එක් සිදුවීමක් තිබෙනවා. විදේශ රටක උසස් අධ්‍යාපනය හදාරන සොහොයුරියකට ඇමතූ මිතුරෙක් ඇයට කියලා තිබුණා මහන්සිවෙලා පාඩම් කරලා උසස් ප‍්‍රතිඵල අරගන්න කියලා. මොකද ඒ ප‍්‍රථිඵල අනුව සමහර අවස්ථාවලදී දුෂ්කර සේවය සඳහා යාමට ඉඩ ඇති බවයි. එයින් ඔහු අදහස් කරේ සේවා කාලය තුළ දුෂ්කර සේවයෙන් නොයෙදිය යුතු බව නෙමෙයි. ඇය අදක්‍ෂ බවට අදහසකුත් නෙමෙයි. ඇත්තටම ඔහු පවසා තිබුණේ තමන්ගේ කුඩා නැගණියට සෙනෙහසින් කරන ආයාචනයක්. ඇගේ යහපත අපේක්‍ෂාවෙන් ඔහු පැවසු ඒ වදන් ඇය භාරගෙන තිබුණේ තරමක් වෙනස් විදියකට. ඒය කිසියම් සමච්චලයක ස්වරූපයකට ඇය භාර අරන් තිබුණා. ඉතින් මේ අනුව කියන්න තියෙන්නේ අපි කතා කිරීමේදී කතා කරන්නේ මොනවද කතා කරන්නේ කාත් එක්කද මොන පදනමක් අනුව ද කියන තැන ඉදලා කතා බහා කරන්න ඕනේ කියලා.

මොකද අපි කටින් වචන එළියට දැම්මට පස්සේ ඒ වචනවලට අරුත් දනවන්නේ එයට සවන් දෙන අය. බොහෝවිට සිහිනෙන් හෝ අපේක්‍ෂා නොකළ ප‍්‍රතිචාර අපේ වචන හරහා අනෙක් අයට සංනිවේදනය විය හැකියි. ඉතින් හිතන්න කියන්න පෙරත් දෙතුන්වරක්වත් හිතන්න.

Wednesday, 4 February 2009

ගුරු ගීතය

ආදරණීය දුයිශෙන්
මම තාම මඟ බලන් ඉන්නවා
කදු මුදුනේ පොප්ලර් ගහ පාමුල
අල්තීනායි
තාම මඟ බලන් ඉන්නවා

වසත් සීත සුළඟට
උණූසුමට ගොම පිදුරු එක්කරන්
අපේ දුප්පත් පුංචි පාසල
පෙනෙන නොපෙනෙන
දුරින් ඉදගෙන
අල්තිනායි,
තාම මඟ බලන් ඉන්නවා

කැලෑමල් සුවද ගෙන
හමා ඒන මද සුළඟ
අතීතෙය සුවඳ සිහි කරනවා
තණ බිමේ පිණි කැටිති දිලෙනවා
කඳුළු සේ දියවෙලා ගලනවා
කවමදාවත්ම මට කියන්නට බැරි වූණ
ගුරුගීය මම තනිව ගයනවා ///

පුපුරු


කනාමැදිරියෙක්මි
අදුරෙහි සැරිසරන
ආලෝක පුංඡයකි
අදුරට ලොබ බදින
හෙවනැති අමාවක
නැතිවට රීදී සඳවත
දිදුලමි මොහොතකට
ගිනි පුපුරක් ලෙසට
තිතක්වුව එය
ආ(ලෝකයකි)

Saturday, 24 January 2009

කාකාස සහ කාසේ

උස් මිටිකම් කියන්නෙ එකක්, දැන උගත්කම් කියන්නෙ තවත් එකක්, මේ දෙකම තියෙන්නෙ උසස් මනසක් තියනවා කියන මනුසතා ළඟ, ඒ කියන්නෙ හෝමෝසේපියන් කියන අපි ළඟ කියලයි කියන්නෙ. කොහොම උනත් මේ උස්මිටිකම් දැන උගත්කම් සමහර වෙලාවට හරි හම්බකරගන්න පුළුවන්. මේ දෙකම තියෙනව වුනත් මනුස්සකම්, ඒක අපි ළග තියෙනවද?
කාර්යාල කාර්ය සහායක සහ කාර්යාල සේවක කියන්නෙ එකම තැනක චරිත දෙකක්. හැබැයි මේ චරිත දෙකේම රගපාන්නෙ එකම අවයව තියෙන මනුස්සයො කියල, මනුස්සයින්ට අමතක වෙනව. අපි කාකාස තමයි හැබැයි අපිට කාසෙ නැහැ කියල, කාකාස කෙනෙක් මට ළඟදි දවසක කිව්ව. කාරනේ හොයල බැලූවම එයා කිවෙ අපිට කාසේ හෙවත් ක්‍ෂය රෝගය නැහැ කියල. අනෙක් අතට කාසේල, කාකාසේල ගැන එහෙම හිතනව ඇති කියන අදහසත් එතන තියෙනව.
ළඟදි සේවාස්ථානයෙන් ඉවත්වෙලා වෙනත් ආයතනයකත් මානව සමිපත පිළිබඳවම සේවය කරන්න යන්න ලැස්ති වෙචිච මහත්මයෙක් එහෙනම් මම යනව කියල අනිත් කට්ටියට ආචාර සමාචාර කරල යන්න ආවා. ඉතින් අපේ කාර්යාල කාර්යය සහායක ඇත්තොත් බලාගෙන ඉදල තියෙනව එතුමට සුභපතන්න. අවුරුදු ගණනාවක්ම එකම ආයතනයෙ එකම අංශයෙ එකට සේවය කරපු කෙනෙක්නෙ, වට රවුමෙි ගිහිල්ල අවසානෙට මේ තමන් එක්ක එක ආයතනයේ සේවය කරපු කාකාසෙලා තමන්ට සුභපතන්න බලාගෙන ඉන්න විත්තිය දැක්කහම මේ මහත්තයට ඒක දරාගන්න බැරිවුනා. එක තැන ගල් ගැහැණ. තමන් සමුගෙන යන්න ආව නෙවෙයි වගේ හැසිරිලා, දිගඇරල තිබුණ තිබුණු පත්තර මේසෙ ළඟ මොහොතක් නතරවෙලා ඉදල නොකියම යන්න ගියා.
අපි කාකාස තමයි ඒ වුණාට අපිට කාසෙ නැහැ අනිත් අයට බෝවෙන්න. අත්වල හොරිත් නැහැ, කියල ඔහු මගෙන් සමු අරන් ගියා. අර කූඹී කිව්ව වගේ අනේමන්ද අපේ අයගෙ නිරුවත කොහොම වහගන්නද කියල. මනුස්සකම් මැරිච්ච එහෙම නැත්නම් මැරීගෙන යන සමාජයක අපි පරිණාමය වෙන්නෙ මනුස්සකම මරා දමාගෙනද?

Monday, 12 January 2009

හඩනු පෙම්බර දේශය

හවස දුරතතනය දිගේ ඇවිත් හදවතේ පතුලම කොනිත්තපු ටිමිරාන්ගෙ බිදුන කටහඩ තාමත් ඇහෙනව. " ඒ කවිය මම ලිවිවෙ මගෙ යාලුව වෙනුවෙන්. සුනෙතුයි මමයි එක ගාමන්ටි පැක්ටරියෙ වැඩකලා. එයා පුත්තලමෙ. සුනෙත් ආමි එකට ගියාට පස්සෙ තොරතුරක් නැති නිසා ළගදි දවසක මම එයාගේ අක්කට එස් එම් එස් එකක් යැව්ව. සුනෙත්ගෙ ‍‍පෝන් නොම්බරේ ඉල්ලල. එදා රැ සුනෙත් ගෙ අක්ක මට උත්තර ලියල තිබ්බ. මල්ලි නැතිවුණා. මිනිය ගන්නෙ හෙට කියල. තාමත් ඒ එස් එමිඑස් එක මගේ පෝන් එකේ තියෙනව." අවසානෙට ටිමිරාන් මට එහෙම කිවිව. මේ ටිමිරාන් සුනෙත් ට ලිවිව කව.

හඩනු පෙම්බර දේශය

මේ කතාවේ වීරයාගේ
ලේ පැල්ලම් තැවරුනේ
පිට පැත්තේය
මේ කවිය
සියලු දන
"රස නොවිද"
විදගත යුතුව ඇත්තේ
ඒ නිසාය.................
පාලම් ඇන්ද මත සිට
ජිවිතේ ගැන හීන තේරුව
අලුත් හීනෙකට වී
පාලමෙන් එතෙරවුණු
වීරයා මියගිය කතාවේ
පාලම් ඇන්ද පාලුය..................

ඔහු මගේ
සොඳුරුතම මිතුරාය
කෙලවරක් නැති හීනවල
නිමවුම් කරුවාය
ශෝක රස ලා ලියන
සමරු කවියක යළි නොඑන
නිමිතිකරුවාය..............

පෙම්බැන්ද දෙරණට
ඇණ ගැසූ දින හදවත
හීනයක මළගම
ඔහු නොලී කවි තුළින්
මට හමුවිය

තරු පටි මකරන්ද යට
ඔප කලත් මරනය
ජීවිතය උදෙසාම
කළ සටනක
සිහින් කෙදිරුම
ඇසෙන්නේ
"යුද්ධයට වෙඩි තියන"
මිනිසුන්ට පමණය...................

කවිපද තුළින් වුව
සෙල්වෙඩි රිංගලා යන
මල් වෙඩි ගොලුවෙලා යන
තැන තැන සුසුම්ලන,
හඩනු පෙම්බර දේශය
පිරිමි පුතුනගෙ
ලෙයින් හේදෙන

ටිම්රාන් කීර්ති

මේ මොහොතේ ලසන්ත මිය ගිහින්. නාදුනන වෙඩික්කරැවෙක් අතින්. හෙට කුමක් විය හැකිද? මරණය කා සොයා පැමිණෙනු ඇත්ද? සැබෑවයි මාටින් නිමොලර් පියතුමා පැවසු පරිදි ගොලුවූ සමාජයක බිහිරන් ගේ ඉරණම ගැන කවර කතාද? තවත් එක් ජර්මණියක්, ගසා තීරයක් ඉරාකයක්, වියටිනාමයක් ?????

Tuesday, 6 January 2009

රන් කහවණු


ටිකක් රෑ වෙනකල් ඔෆිස් එකේ වැඩ කරල ගෙදර යන්න කොටුවෙන් බස් එකට නැග්ග. ඒ වෙත්දිත් සෑහෙන පිරිසක් බස් එකේ හිටිය. ඒ අතර දරුවො දෙන්නෙකුයි අම්ම කෙනෙකුයි හිටිය. දුවට අවුරුදු 18 ක් ඇති. පුතාට අවුරුදු 10 ක් විතර. අනේ ඒ වුනත් ඒ ගෑනු මනුස්සය ගේ අතේ තිබුණු රත්තරං වළලූ දෙකේ දීප්තියෙන් වැලමිට දක්වා පැතිරුණු පිළිස්සුමි කැළල් වැහුනෙ නෑ.

මුළු බස් එකේම ඇස් අර තරුණ ගෑනු ළමය දිහාවටයි යොමු වෙලා තිබුනෙ. පැහැපත්බව, රූමත්බව ගෑණු ළමයෙකුට ආභරණයක් තමයි. සමාන්‍යයෙන් දකින කෙනෙක් දෙවරක් හැරිල බලන සුන්දර කමක් උපතින් ඈට ලැබිල තිබුණ. නමුත් ඇගේ සුන්දරකමට ලැබුණු ප‍්‍රතිචාර ඇය දරා ගත්තෙ දෙකලවා අතර මුහුණු සඟවා ගනිමින්. ඒ එක්කම අර අසරණ අම්මත් පුංචි පුතාත් ඒ හැමෝගෙම ඇස් කොන් බැලූම් විද දරා ගත්ත. බස්රථය ඔවුන්ගේ ගමනාන්තයට ආවම ඇය බසයෙන් බැස ගත්තෙ නයි හුබහක් ළගින් පැනල දුවන හා පැටියෙක් වගේ.
ඔබ මොකද හිතන්නෙ අර අසරන අමිමයි දරු දෙන්නයි ගැන. රට රස්සාවකට ගිය ඇය දියනියකුත් ඒක්කම ඇවිත්, ඉතින් ඒක ඇගේ වරදක්ද? ජයට මගුලක් කාල විදේශිකයෙක් බැන්දහම ඒ ලැබෙන දරුවො සුජාතයි. ඒත් එහෙම නොවෙන අය. තරුණියකගේ හෝ තරුණයකු ගේ අතගත්න අයගේ දරුවනට විදේශීය ඌරුවක් ලැබීම ගරුකටයුතු වීමටත් අනෙකාට එසේ නොසැලකීමටත් ඇති සීමාව කුමක්ද?
තමන්ගෙ කුසට අවසරයකින් හෝ අනවසරයකින් පැමිණි ශූක්රාණුවක් යුක්තාවක් හා එක්විම වැලැක්වීමට අපොහොසත්වීම නිසා භ‍්‍රෑනයකුට ගර්භාෂයක් සැපයීම නිසා, රෝහලක තම බිළිදිය අතරමං නොකර හදාවඩා ගැනීම නිසා, මේ අයෝමය ගැහැණිය ගේ කුසින් උපන් දියණිය කිසියම් දිනක තමා මෙලොවට බිහිකලේ කුමක් නිසාදැයි විමසුවහොත් ඇය දෙනු ලබන පිළිතුර කුමක්විය හැකිද?

ඔබට දැනුනාද කිසිවක්, මේ සමාජයේ අපි තාමත් ගල් යුගයටත් එහායින් ඉන්නෙ කියල. රෙදි ඇන්දට අපි ඉන්නෙ නිරුවතින්. අර තරුණ සොයුරිය තනිව සිටියානම් ඇය තවත් එක් විදේශීය තරුණියක් පමණක් විය හැකියි. මේ කියන මොහොත තුළත් ඇයත්, එවැනිම තවත් සොයුරු සොහොයුරියනුත් සමාජයේ නිරුවත් දෙනෙත්තූළින් නිකුත්වන වෙඩි උණ්ඩ වර්ෂාවන්ට ගොදුරු වෙමින් සිටිනවා. හිතන්න ඔබේ දෙනෙතිනුන් ඔවුන්ට වෙඩි උණ්ඩ එල්ලවනවාද?

Thursday, 1 January 2009

සුභ අලුත් අවුරුද්දක් වෙිවා

කලු කපුටා සුදුවන තුරු මොල් ගහේ දළුලන තුරු
එකසිය විස්සක් දෙසිය විස්සක් ආයුබෝ වේවාකියල කියන කියමනට
පුංචි දෙයක් එකතු කරන්න ඔිනි’

යුධගිනි නිවෙන - හද ගිනි නිවෙන
රිය අනතුරු අඩුවන - රෝ දුක් නිවෙන
එකිනෙකා කෙරෙහි
අවබෝධය සෙනෙහස ගොඩ නැගෙන
ආදරය පිරී ඉතිරෙන
සුභ අලුත් අවුරුද්දක් වෙිවා