Tuesday, 2 April 2013

නිම්තක නිම්නැත මේ දුක!



ගෝනගල්දෙණිය ඉඳල රුවන්වැල්ලට එන්න පැයක් ගතවුණත් ගමනෙ වෙහෙස දැනුණෙ නැත්තෙ අවට පරිසරයෙ තිබුණු තෙත පාට හින්දා, රබර් වතු, කදු පංති විතරක් නෙවෙයි කඳු පාමුල ස්වාභාවිකව ම හැදුණු කළුගල් කානු දිගේ ගලාගෙන යන මොරතොට ඔයේ පිරිසුදු වතුර පාර මීටර පනහක හැටක දුරක වුණත් ඇහැට හරි අපූරූ සිහිලසක් ගෙනාවා. ඒ පරිසරයෙන් මිදිල ආපහු කොළඹ එනව කියන එක සිහි වෙනකොට අනේ මේ වගේ පරිසරයක් අපිට ඉතිරිවෙලා නෑනේ කියන හැඟීම හිතට ගෙනාවෙ කනගාටුවක්, පුංචි කාලේ අපේ ළිං අද්දරින් ගලාගෙන ගිය, හීන් දියඋල්පත් පාරවල් දිගේ ඉහළ පහළ ගිය, හඳයි, මඩ කණයි, දණ්ඩි පැටව් ගැන සිහිකරකර මං කොළඹ එන්න ආවා. යාන්තම් තුන්නාන පහුවුණා විතරයි නොදන්නා අංකය එක්ක දුරකතනය හැඬවුණා. අතීත හිතිවිලිවලට තිත තියල මං ඇමතුමට සම්බන්ධ වුණා.

මේ ලිහිණි ද කතා කරන්නෙ, නාදුනන කට හඬක් මගෙන් විමසා හිටියා, “ඔව්, මේ කවුද? මිස් මාව දන්නෙ නෑ, ඒත් පසුගිය දෙසැම්බර් මාසේ හත්වෙනිදා දිනමිණ පත්තරේ බද්දර මල්ලෙ මිස්ගෙ ආටිකල් එක මගේ අක්කගේ පුතා ගැන ලියවිලා තිබුණෙ. ඒකයි කතා කළේමගේ හිතට මහ විශාල සතුටක් දැනුණා. කාලෙක ඉදන් දැනගන්න බලාහිටිය කෙනෙක් ගැන ආරංචියක් ලැබෙනවා කියන්නෙ කොපමණ සතුටක්ද? ඉතිං කොහොමද පුතාට. දැන් එයාට සනීපයි නේද? මම ඒ පුංචි පුතාගෙ පුංචි අම්ම ගෙන් ඇහුවා. අනේ නෑ අපේ පුතා හුඟක් අසනීපෙන් ඉන්නෙ මිස්, එයාට ඇවිදින්න බැහැ, ඊයෙ පෙරේද ඉදල කතා බහ කරන්නෙත් නෑ.විදූෂා ගෙ හඬ මට හීනෙන් වගේ ඇහුණා. මගේ සතුටට තත්පර පහක් වත් ආයුෂ තිබුණෙ නෑ.

වීදුෂා මට බොහෝ දේවල් කීවා. ඇත්තටම මම ලිහිණිගේ ලියමනේ ලිව්වා වගේම නිම්තක මනුල් ජයවික්‍රම පුංචි පුතා හිතාගෙන ඉන්නෙ, එයා කැමතිම ක්‍රිකටර් එයාව බලන්න ආවා කියලා. සතුට වැඩිකමට ඒ මෙහොතෙ පුංචි මනුල් අත්සන් කරන්න කියල අත දිගු කරත්, සංග මාමා රෝහල් පිළිගැනීමේ කවුන්ටරයෙන් ඉල්ල ගත්ත කොලේක, නිම්තක කියල නම ලියන හැටි නිම්තකගෙන් අහගෙනම කොලේ අත්සන් කරල දීල ඉක්මණ්ට සනීපවෙන්න ප්‍රාර්ථනා කරලා, ගියා විතරක් නෙවෙයි, පුළුවන් හැම වෙලාවෙම යෙහාලි නැන්දත් එක්ක නිම්තකගේ සැප දුක හොයල බලනවා කියලත් විදූෂා මට කීවා.

ඒ දුර ඇමතුම අවසන් වුණේ නිම්තකව බලන්න යන්න අමුත්තන්ට අවසර තියෙනවා කියලත් දැන ගත්තට පස්සෙ. බ්‍රහස්පතින්දා , සිකුරාදා යොදාගත් වැඩ කීහිපක් තිබුණු නිසා. සෙනසුරාදා නිම්තකව බලන්න යන්නයි මම සූදානම් වුණේ. නිම්තක කාටුන් බලන්නයි, කම්පියුටර් ගේම් ගහන්නයි තමයි වැඩිය කැමති කියල දැනගන්නත් ලැබුණා. කොළඹ ශාන්ත පීතර විදුහලේ ඉගෙන ගත්ත මේ පොඩ්ඩා. ක්‍රීඩාවලට, පොතේ පතේ වැඩවලට හැමදේට ම එකවගේ පාසලෙ හැම දේකින්ම ජයග්‍රහණය කරපු චැම්පියන් කෙනෙක් කියලත් ආරංචි වුණා.

සිකුරාදා මම විදුෂාට කතා කළා නිම්තකගෙ ගෙදරට යනපාර දැනගන්න. ඒ වෙද්දි හදිසියේ අසාධ්‍ය වුණු නිම්තක රෝහලේ දැඩි සත්කාර එකකයට ඇතුළු කළා කියල දැනගන්න ලැබුණා. සෙනසුරාදා හවස එකහමාරට විතර අපි රෝහලට ගියා. ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනිල් පෙරේරා දොස්තර මහත්තය ඒ වෙද්දිත් නිම්තකව ශල්‍යකර්මයකට ලක්කරමින් හිටියෙ. හොදින් දුව පැන ඇවිදපු නිම්තක පුතා අසනීප වෙලා තියෙන්නෙ හිටි හැටියෙ. නොවැම්බර් 23 වෙනිදා උදේ පාසලේ සෙල්ලම් කරද්දි තවත් දරුවෙක්ගෙ හිස නිම්තක ගෙ හිසේ වැදිලා තියෙනවා. විවේක කාලයටත් පස්සේ හිසරදේ හැදුණු නිම්තක රෝහල් ගත කල පසුවයි දැනගන්න ලැබී තිබුනේ මොළය ආශ්‍රිතව තිබුණු කුඩා ගැටිත්තක බලපෑම නිම්තකව අඩපණ කරල කියලා. වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා එම් ආර් අයි පරික්ෂණයට රෝහල් ගතවුණු දා තමයි මම ඔහු මුලින් දුටුවෙ.

දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ගෙ අමුත්තන් සඳහා වෙන්වූ ප්‍රදේශය අමුත්තන්ගෙන් පිරිල ඉතිරිලා තිබුණ. දැඩි සත්කාරෙ රෝගීන් ගොඩක් ඉන්නවද? මම ළඟ සිටි රෝහල් සේවකයකුගෙන් ඇහුවා. නෑ මේ නිම්තක පුතාගෙ කට්ටිය. ඔහු මට කීවා. නිම්තක වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරන්නයි ඒ හැමෝම රෝහලට රැස්වෙලා හිටියෙ. පවුලේ උදවිය, ඔහුගේ පාසල් මිතුරන්ගෙ අම්මලා, ගුරුතුමීලා විතරක් නෙවෙයි අම්ම තාත්තගෙ කාර්යාලවල හිතවතුන් රැසක් ඒ අතර. අපි පැයක් එකහමාරක් ඉදල ආවෙ ආයෙ දවසක නිම්තක බලන්න යන බලාපොරොතුවෙන්. ඒ වුණත් විසිහය සෙනසුරාදා උදේ ඒ බලාපොරොත්තුව මිලින වුණා. එයා අපි ළඟ දැන් නෑ ලිහිණි. එයා අපිව දාල ගියාවිදූෂා මට කෙටි පණිවිඩයක් එව්වා. ඒ වෙද්දිත් මම මාතර බලා එමින් හිටියෙ.

විදුෂාගෙ හිත හදන්න මහ ලොකු දෙයක් කරන්න බැරි වුණත් මං ඇයට කෙටි පණිවිඩයක් තිබ්බා.පුතා නැතිවීම අපිට දුකක් වුණත් එයා ලොකු දුකකින් නිදහස් වුණා. අපි එයාගේ ඊළඟ ජීවිතේට සුබ පතමු කියලමේ සටහන ඔයාල නෙත ගැටෙන මොහොත වෙනකොට නිම්තක පුතාගෙ අවසන් කටයුතු අහවර වෙලා හත් දවසෙ පින්කමේ කටයුතුත් කෙරිල තියේවි. අවසන් මොහෙත දකින්නට සමහර විට අවසරයක් නොතිබුණත් වෛද්‍ය ප්‍රතිකාර අතරතුර සතුටු උයන ළඟ අස්සය පිටේ නැගලා රවුමක් යන නිම්තක පුතාගේ සතුට පිරුණු මූණෙ ජායාරූපය හැමදාම මගේ හිතේ තියේවි.

මම දන්නවා සංගා මාමා මාව බලන්න ආවාසටහනකියවපු හැම හිතක්ම නිම්තක පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ඇති. පොළවෙ පය ගහපු සංගක්කාර මාමාගෙ හමුවීම, සොයා බැලීම ඒ පුංචි හිතට මහ මෙරක සතුට දෙන්න ඇති. මේ සටහන කඳුළු බින්දුවක් වුණත් පුළුවන් වෙලාවක කාගෙ හරි හිතකට සතුටක් දෙන්න පුළුවන්කම් තියෙනවා නම් ඒක කරන්න මැළිවෙන්න එපා කියන පණිවිඩේ දෙන්න, නිම්තක මනුල් ජයවික්‍රම පුංචි පුතාටගෙ සමුගැනීමේ කතාව ඔබට ආයිත් කිව්වා. ඉතින් නිම්තක පුතේ ඔබට සුබ රාත්‍රියක් !!!!!

2 comments:

Podi Kumarihami said...

හරිම දුක හිතෙන කතාවක් ළිහිණි. ඔහු ගැන මේ ලිවූ සටහනම හරිම වැදගත්...

ඔහුට සුබ රාත්‍රියක්!!!

Naleen Dilruksha said...

පුතුගේ කතාව අනුවේදනියයි ළිහිණි. ඒ වගේම තමා හරිම සුන්දර මාර්ගයක් තමා රුවන්වැල්ලේ ඉදන් ඌරපොළට තියන පාර..මාත් හරිම ආසාවෙන් යන පාරක් ඒක.බලන්න ලස්සන තැන් බොහොමයි ඒ පාරේ දෙපැත්තෙම.