Friday, 19 April 2013

ආච්චිලා සීයලා





පහුගිය දවසක මන්මිතාගෙ මොන්ටිසෝරියෙ හරි අපූරු හමුවක් සුදානම් කරලා තිබුණා. මාර්තු 08 වෙනිද ජාත්‍යන්තර කාන්තා දිනේට කලින් දවස, ඒ කියන්නෙ මාර්තු 07, ආච්චි අම්මලාගෙ දවස විදියට නම් කරලා තිබුණා. ඉතින් ඊට සති දෙකකට විතර කලින් ඒ සඳහා ආච්චි අම්මලාට ඇරයුම් පතකුත්, පැලද ගෙනයන්න ලාංඡන දෙකකුත් එවලා තිබුණ. ආච්චි අම්මලා දෙන්නත් හරිම සතුටින් මිණිපිරීගෙ පාසලට ගියා.

පැමිණ සිටි ආච්චි අම්මලා පිළිඅරගෙන අසුන් ගැන්නුවට පස්සෙ විදුහල්පතිනිය පුංචි කතාවක් කළා, ඇයි අපි ආච්චි අම්මලගෙ දිනයක් පවත්වන්න තීරණය කරේ කියලා. ළදරු පාසලේ බොහෝ පුංචි පැංචියන් ආච්චිලා සීයල එක්ක හුඟක් සමීප, බොහෝ වෙලාවට දරුවන් පාසලට රැගෙන එන්නෙ , නැවත කැදවාගෙන යන්නෙ ආච්චිලා සීයලා බව ඇය නිරීක්ෂණය කරලා තිබුණ. ඒ එක්කම මේ පුංචි සිඟිත්තො හුඟ දෙනෙක්ගෙ හොඳම යාළුවා වෙන්නෙත් ආච්චිලා සීයලා බව දැනගන්න ලැබුණා.

පුංචි වේදිකාවේ ඉදන් ලස්සන ගීතයක් දෙකක් කියල කියලා ආච්චි අම්මලා සන්තෝස කරද්දි හැම පුංචි දරුවෙක්ම පා ඇඟිලි තුඩුවලින් ඉස්සි ඉස්සි තම තමන්ගෙ ආච්චි අම්මලා ඉන්නවද කියලා බැලුවා. උත්සවේ අවසන් වුණේ ආපු හැම ආච්චි අම්මෙක්ටම තම තමන්ගෙ මුනුපුරු මිනිබිරියො විසින් ලස්සනට පාට කරලා පුංචි පෝච්චියක හිටවපු මල් ගහක් තෑගි කරලා, ආච්චි අම්මලා එක්ක ඡායාරූපයකට පෙනී හිටීමෙන් පස්සෙ, ඒ අතර ආච්චි අම්මලා ආපහු යද්දි අනේ යන්න එපා කියල හඬා වැටුණු සිඟිත්තනුත් හිටියා. ඒ කතාව එතනින් ඉවරයි.

ඊට පහුවදා ජාත්‍යන්තර කාන්තා දිනේ දවසෙ තවත් වැඩ සටහනක් තිබුණා, රාජගිරිය බණ්ඩාරනායකපුරේ දි. ඒ වැඩසටහනේ නිමිත්ත වුණෙත් කාන්තාව. එතනදි එක ආච්චි අම්මා කෙනෙක් මහ විශාල කතාවක් වචනෙන් දෙකෙන් කියලා තිබුණා. අනේ මේ නාකි අපි ගැන බලන්න කවුරුත් නැහැනෙ. මම දරුවො නව දෙනෙක් බලාගන්න ඕනි. කවුද ඒ ගැන කතාකරන්නෙ, අපි ගැන හොයල බලන්නේ. වෙන දෙයක් නෙවෙයි, පන්සලකට යන්න, අසනීපෙකට බෙහෙතක් ගන්න, යාළුවෙක් බලන්න. මරණෙකට මඟුලකට යන්න වෙලාවක් නෑ. අපි හිරකාරයො තත්වෙට වැටිලා.

සිද්ධිය ඇහුවම හරිම ශෝචනීයයි. ඒ ආච්චි අම්මට තමන්ගෙ දරුවන්ගෙ දරුවො විතරක් නෙවෙයි, මුනුපුරු මිනිබිරියන්ගෙ දරුවනුත් බලාකියාගන්න වෙලා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ළමයි නව දෙනෙක්. කාරණේ හොයලා බැලුවම මේ ආච්චි අම්මා දරුවන් බලාගැනීමෙන් අසීමාන්තික ලෙස වෙහෙසට පත්වෙලා. මේ දරුපැටවුන්ගෙ අම්මලා විදේශ ගතවෙලා. වැඩේ කියන්නෙ අවුරුද්දකට දෙකකට නෙවෙයිනේ මේ අම්මලා රට ගිහින් ඉන්නෙ, ඔවුන් අවුරුදු ගණනාවක් තිස්සෙ විදේශගතවෙලා ඉන්නෙ. අවුරුදු දෙකකට, තුනකට වරක් මාසෙකට දෙකකට නිවාඩුවකට ඇවිල්ලා යනවා. සාමාන්‍ය ව්‍යවහාරෙදි නම් “නාකි” කියන්නෙ “ නොහැකි ” කියන අර්ථයෙන්නෙ.

නමුත් මේ ආච්චි අම්මලට තාම වැඩ කරන්න පුළුවන් කියන සාධකේ හින්ද තම තමන්ගෙ පුද්ගලික සමාජීය ජීවිතේ නැතිවෙලා තිබුණ. මොකද දූලාගෙ ළමයි බලන්න ඕනේ, ලේලිගෙ ළමයි බලන්නත් ඕනේ. මිනිබිරීගෙ ළමයි බලන්නත් ඕනේ, කෙලවරක් නෑ. “ ආච්චි අම්මා” “ කිරි අම්මා” තමයි දැන් මේ දරුවො ඔක්කොගෙම අම්මා. ගෙදර පුංචි ළමා නිවාසයක් වගේ. එක්කෙනෙක්ගෙ දරුවො බලන්න බෑ කීවොත්, අනිත් අයගෙ මූණු කොරොස් වෙනවා.

“අම්මට අපි සල්ලි එවනවා. අඳින්න පලඳින්න දෙනවා. රයිස් කුකර් එක තියෙනවා, ගෑස් ටික තියෙනවා, වොෂින් මැෂින් එක තියෙනවා, උයලා පිහලා දීලා යන්න කෙනෙක් එනවා. ඔයාට වද වෙන්න දෙයක් නෑ. ඉස්සර වගේ පාරේ වතුර ලයින් එකට යන්න ඕනෙ නෑ. වත්තෙ වැසිකිළියට යන්න ඕනේ නෑ. හැමදේම ගේ ඇතුළෙ තියනවා. අම්මට තියෙන්නෙ දරුවො ටික බලාගෙන ඉන්න විතරයි. ” දූලගෙ, ලේලිලගෙ, මිනිබිරියන්ගෙ ජීවිතවලට තමන්ගෙ දරුවන්ගෙ ජීවිත ගැන තියෙන එකම සුරක්ෂිතතාවය, එකම සැනසීම, මගේ දරුවන්ව මගේ අම්මා හොඳට බලාගන්නවා. අපේ නැන්දම්මා, අපේ ආච්චි අම්මා, අපේ දරුවන්ව හොඳට බලාගන්නවා” කියන හැඟීම විතරමයි. ඒ කතාවත් එතනින් ඉවර කරමුකො.

අපි කවදාවත් ගමෙන් නගරෙට ඇවිල්ලා, එහෙම නැත්නම් පුතාගෙ දුවගෙ ගෙදරට ඇවිල්ල දරුමුනුපුරන්ව බලාගන්න අපේ ආච්චි අම්මලගෙ සීයලගේ සතුට ගැන හිතල තියෙනවද කියල, මම මගෙන්ම අහන ප්‍රශ්නය ඔබෙනුත් අහන්න හිතුණා. ආච්චි අම්මලට, සීයලට තමන්ගෙ ජීවිතේ සැදෑ සමය ගෙවද්දි දරු මුනුපුරෝ කියන්නෙ ලෝකයක්, දවසකට වචන දහයක් පහළොවක් කතා බහ කරන්න විවේකයක් නැති දරුවන්ගෙ, දරුපැටව් එක්ක ගත කරන ජීවිතේ අපේ අම්මලට වෙහෙසක් නොවුණත් ඒ අයට සමාජ ජීවිතයක් තියෙනවා කියල අපිට අමතක කරන්න පුළුවන්ද?

ගමේ ඉන්නැද්දි, ඉදහිටක අහල පහළ ගෙදරකට ගිහිල්ල බුලත් විටක් කාලා, ආ ගිය කතාවක යෙදිල ආපු, එකට පන්සලට සිල් ගන්න ගිය, ඉස්පිරිතාලෙට බේත් ගන්න ගිය , පැන්ෂන් එක ගන්න ගිය, නඩ පිටින් වට වන්දනාවේ ගිය, ඒත් නැත්නම් පුංචි කාලෙ එකට ඉස්කොලෙ ගිය යාළු මිත්‍රයො ඉඳහිටක දකින්න අපේ අම්මලා තාත්තලා, ආච්චිලා සීයලා කැමති ඇති.
අලුත් අවුරුද්දට අම්මලා, තාත්තලාට, ආච්චිලා, සීයලාට බුලත් හුරුල්ලක් දීල ආසිරි පතලා විතරක් මදි කියලයි මට හිතෙන්නෙ. පුළුවන්කමක් තියෙනවා නම් අපේ ගෙදරට ඇවිත් අපේ ළමයි බලාගන්න, අපේ අම්මලා තාත්තලා, ආච්චිලා, සීයලා, එක්කම ගමට ගිහින්, මහ ගෙදරට ගිහින් ඒ අවට ඉන්න ඒ අයගෙ යාළු මිත්‍රයො බලලා එන්න ඔබට පුළුවන් නම් මෙදා අවුරුද්ද ඒ අයගෙ හිත් සතුටින් පිරේවි.

3 comments:

G MANJU said...

සංවේදී සටහනක්

itnishantha said...

ඇත්ත එත් අපි හැමෝටම දුවන්න වෙලා තියෙන්නේ එකම තරගෙක වයස ප්‍රශ්නයක් නෙවේ.

Timathu ~ ටික්කා said...

නියමෙට ලියල තියෙනවා..මිට අවුරුදු දෙක තුනකට කලින් මගේ අක්කගේ බබාල දෙන්න ගිය මොන්ටිසෝරියේත් ඔය වගේම දෙයක් සංවිදානය කරලා මගේ දෙමව්පියන් වගේම අක්කගේ මහත්තයාගේ දෙමව්පියනුත් සහාබාගී වෙලා හරි ලස්සන දෙයක් කරලා තිබ්බ..අඑත්තටම මේ දේවල් අපි පුරුදු වෙලා හිටියට දැන් හෙදෙන පොඩි දරුවන් කැමතිදේවල් නිසා අමාරුවෙන් හරි මේ දේවල් එයාලගේ පොඩි පුරුදු කලොත් වටිනවා...