Wednesday, 3 November 2010

ධම්පල් සිසු දරු දැරියන්ගේ සෞන්දර්ය පෙළහර



‘‘අප රට අර බල...

ආන්තරාවක...

ඇදි ඇදි යන සැටි...

ඈතින් ඈතට...’’

රටක අනාගතය වන්නේ එ රට දුවා දරුවන්ය. ඔවුන් දැනුමෙන් හැඟුමෙන් පිරිපුන් මිනිසුන් වන දිනෙක ලෝකය වඩා යහපත් වන බව අප විස්වාස කරමු. ඒ අනාගතය වර්තමානයේ බිහිවෙමින් පවතින අයුරු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය භූමියේදී මා නෙත ගැටිනි.

‘‘සංකලන’’ ධර්මපාල දු පුතුන්ගේ හද රිද්මයය සනිටුහන් කෙරෙන ගායනයෙන්, වාදනයෙන් නර්තනයෙන් හැඩගැන්වූ සෞන්දර්ය පෙළහරයි. එළඹෙන නොවැම්බර් මස 03 වැනි බදදා දින මහරගම තරුණසේවා රඟහල වේදිකාවේ කරළියට එන සංකලන සැබවින්ම සංගීතයේත් නර්තනයේත් අපූරු සුසංයෝගයකි.

පස්වන ශේණීයේ සිට උසස් පෙළ දක්වා ඉගෙණුම ලබන දම්පල් දූ දරුවන් අතරින් සියයකට ආසන්න පිරිසකගෙන් සමන්විත පෙර’පර දෙදිග වාද්‍ය වෘන්දය සත්සර රටාවන් ගායයෙන් හා නර්තනයෙන් හැඩගැන්වීමට විද්‍යාලීය සංගීත අංශයේ සහ නර්තන අංශයේ තවත් දු පුතුන් තුන්සියයක් පමණ එක්ව සීටි.ධර්මපාල විද්‍යාලීය විදුහල්පති කේ. ජී. විමලසේන මහතාගේ සහ ආචාර්ය මණ්ඩලයේ මග පෙන්වීමෙන්, ආදී ශිෂ්‍ය සංගමයේ සංවිධාන දායකත්වයෙන් ඉදිරිපත් කෙරෙන ‘සංකලන’ ප‍්‍රසංගය අධීක්ෂණයට ආදී ධර්මපාලීන් වන සංගීතඥ රෝහණ වීරසිංහ, රවි බන්දු විද්‍යාපති, නදික වැලිගොඩපල, නිහාල් වික‍්‍රම එදිරිසූරිය සමගම සමන්ත පෙරේරා වැනි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගේ නොමද දායකත්වය හිමිවී ඇත.

නදික වැලිගොඩපොල ගේ සංගීතය මෙහෙයවීමෙන් වැයෙන ස්වර සමති‍්‍රක‍්‍රමණය කෙරෙමින් හැඟීම් ගැයෙයි. මොහොතකට සිත දැහැන් ගත වෙයි. වේදිකාව මත ‘‘උපතක සතුට’’ ප‍්‍රතිනිර්මාණය වේ. සතුටක උපත මගේ නෙත මුල සිහිල දනවයි. සැබවින්ම ප‍්‍රභාතය පෙරඹරින් නැඟ එයි. ඔව්, ඒ මගේ රටේ දූ දරුවන්ගේ අනාගතයයි.

‘‘මවක පියතුරු තුඩින, ගලන කිරි දුටු විලස - සිත් සතුට පුරවා......

මිනිස්කම මුණ ගැසෙන තවත් මිනිසකුගෙ, නෙත - තුටු කඳුළු උනාවා.....’’

ඉතින් ආදරණීය ධම්පල් දු පුතුන් වෙනුවෙන් ආදී ධර්මපාල සිසුවියක ලෙස මා ඔබට මෙසේ ඇරයුම් කරමි.

‘‘පිපෙන සඳ ජීවිතය සොඳුරු රඟ බිම තූළ

දම්පල් අභිමානය

දු දරු දෙ අත් මත කැටිකොට

විදින්නට එන්න

2010 - 11- 03 බදාදා එනම් අද සවස 6.30 ට

මහරගම තරුණ සේවා රඟහලට ’’


Thursday, 21 October 2010

විමසුම්

කොහිවෙද
ඒ පැරණි ලිහිණිය,
බොහෝ විමසුම් සුසුම්
සවනත අසය.
තැපැල් මල්ලේය...
සහෝදර දැත්වල සීතලට නොව
උණුහුමට
හීගඩු පිපේ,
මහා කුනාටුවකට පසුව
ඇතිවන මාරාන්තික නිහඬතාවය
දරාගමි...

මේ එයට මොහොතයි,
දරාගැනීමේ මොහොතයි.....
බලා හිදිමි...
නොදන්නා
දිනයක් වකවානුවක් දෙස
ඇමතුම
එයට රිසි මොහොතක
එළබෙන....

Friday, 3 September 2010

කවිමල්



කවිමල්
සත්තකයි මට
නුඹ අලුත් කවියක්

හීන පැතුමක් පුබුදලා
මලක්සේ පෙති විහිදුවා
දිලෙන ඔයනෙතු
ඉරත් මමයැයි, සඳත් මමයැයි
කියනවා මට හැ‍ඟෙනවා.....

පියැසි සිදුරෙන් හොරෙන් ඇවිදින්
ගෙබිම මතමුදු රටා මවනා
සදෙන් බිදුවක් වගේ
හැඟේ සෙනෙහස ඔබේ....

Monday, 10 May 2010

ආදරණීය අම්මේ.......

ආදරණීය අම්මේ
හුගක් පැහැබර දවසක රෝස පාට සාරියක් ඇදල, ඇස්වල සතුටත්, දුකත් දරාගෙන හිටිය ඔයාව මම දැක්ක ගමන් අදුරගත්ත. දුරින් අඩිය තියල දුරකට වෙලා හිටිය අම්මගේ ඇස්වල කඳුළු දිලිසෙනව මම බලාගෙන හිටිය. මම ඔලුව උස්සල අම්ම දිහා බැලුව. ඇහැට ඇහැ හමුවුණාම ඔලුව චුට්ටක් නමල ඔයා මගෙත් එක්ක හිනා වුනා. හරියට හුග කාලෙක ඉදල දන්නව වගේ. අලුත් ජීවිතයක අලුත් බලාපොරොත්තු එක්ක මගේ පුංචි යෙහෙලිය පෝරුවට නැගුන. ඒ පුංචි සුරංගනාවිය දිහා අපි හැමෝම බලාගෙන හිටියෙ හරිම ආදරෙන්. ඇත්තටම අපි හැමෝම එතනට ආවේ එයාට අපේ ආශීර්වාදයත් ආදරයත් දීල යන්න.

ඒ එක්කම මට ඕනවෙලා තිබුණ ඒ සුරංගනාවිට පොළොවට පය ගහන්න, බය හැකක් නැතිව ඇවිදින්න, වාරුවක් නැතිව නැගිට්න්න අතදීපු අම්මට ආදරෙයි කියන්න, ස්තුතියි කියන්න. දවස නිමා වෙන්න මොහොතක් හරි තියල ඒක ඔයාට කියන්න මම බලාගෙන හිටිය. එක මොහොතක මම ඔයාව හෙවිව. අනේ ඔයා කොහේවත් හිටියෙ නැහැ. මට හරියට දුක හිතුණ. මට මගේ යුතුකම කරන්න බැරිවුණා. මම මගේ යෙහෙළියකට කිව්ව.

ඊටත් පැයකට විතර පස්සෙ අම්මව මට මුණ ගැහුනෙ අහම්බෙන්. මම අම්මගෙ නම කියල ඒ ඔයා නේද කියල ඇහුව. ඇත්තටම මට ඒ වෙලාවෙ දැනුනෙ බොහෝම සුන්දර ආදරණීය ලෙංගතුකමක්. මගේ කමක්, අපේ කමක්, ඒ වුනත් මට අම්ම ට මගේ හැගීම් ඒ විදිහටම කියන්න බැරිවුණා. භාෂාව අපි දෙන්න අතරට බාධකයක් වුනා. ඒ වුනත් මම කියන්න ඕන වුනු මගේ හැගීම් අම්මට දැනුන කියල මට දැනුණ.

ඇත්තටම ආදරණිය අම්මෙ. ඔයාව බදල වැලදගන්න බැරි තරම් මගේ දෑත් පුංචියි. ඔයාගේ හදවත ඒ තරම් විශාලයි. ආදරය, කරුණාව දයාව විතරක් නෙමෙයි සතුට, සැනසීම, ආශීර්වාදය ඔයාගාව තියෙනව. ආදරණිය අම්මෙ අපේ රටේ අපි හැදිල තියෙන්නෙ හැමදේම ඇතුලු හදවතින් දරාගන්න. අපි දෙයක් ප‍්‍රකාශ කරන්න යොමු වෙන්නෙ හරිම අඩුවෙන්. ඒ වුනත් මම දන්නව හංගපු ආදරයකින් ලැබෙන දෙයක් නෑ කියල. ජීවිතේ සමහර දේවල් එළියට ප‍්‍රකාශ කරන්න ඕනි නෑ තමයි. අම්ම අම්මගේ ආදරය ගැන කරුණාව ගැන කතා කරන්නෙ නැහැනෙ. අම්මගේ සතුට ගැනයි කතා කරන්නෙ. ඒ වුනත් ආදරණීය අම්මෙ, තමන් කෙනෙකුට ආදරෙයි කියන එක ඒ ආදරේ අනෙකාට දැනෙනව කියන එක ආදරේ දෙන කෙනාට දැනුනහම තියෙන සතුට විශ්වාස කරන්න බැරි තරම් විශාලයි.

ඇත්තටම මම මගේම අම්මව හුග කාලෙකින් තුරුළු කරගෙන නැහැ. දැන් මගේ අමිමව මම තුරුළු කරගන්න ගියොත් ඈ මගෙන් අහනව මොකද මේ නාකි දණ ගාන්න හදන්නෙ කියල. ඒ වුනත් එදා ඒ මොහොතෙ අම්ම මාව තුරුළු කර ගත්තහම මගේ හිස අම්මගේ පපුවෙ රැදුනම මට හරි අපුරු සුවයක් දැනුන. ඒ එක්කම අම්මගේ හඳවත ඉකිබිදින හ~ත් මට හොදටෝම දැනුන. ඒත් එක්කම මට දැනුන අම්මගේ ඒ කඳුළ වැටුනෙ සතුටත්, දුකක් බෙදාගන්න හිනාවක් කඳුළක් බෙදා ගන්න තරම් හයියක් නැති අය වෙනුවෙන් කියල. ආදරණීය අම්මේ ඔයා හඬන්න බැරි අය වෙනුවෙන් හඬා වැටෙනව. හිනා වෙන්න බැරි අයට හිනාවක් දීල ඒ අයත් එක්කම හිනාවෙනව. ඒක තමයි මම ඔයා තුළින් දකින විශේෂත්වය.

ආදරණිය අම්මේ මම හදවතින්ම කියනව ඒ ගෙවුණ හෝරාව ඔයාගෙ කියල. මගේ යෙහෙලියගේ මංගල දවස ඔයාගෙ කියල. මම දුටුව ඔයාගේ වාගේම දීප්තිමත් තවත් ඇස් හතරක්. මගේ යෙහෙළියගෙ දීපිතිමත් දෑස. ඒ එක්කම ඔබේ ජීවන සහකරුවාගේ දීප්තිමත් දෑස, ඒ දෑස්වල දි¥ලන ආලෝකය දීප්තිය ඔබයි මගේ අමිමෙ.

ආදරණිය අම්මේ. මට ඔයාට කියන්න ඕන, මම දකින මම දැකපු අම්මල අතර ලෝකෙ ඉන්න ආදරණීයම අම්ම ඔයා කියල. මම දන්නව ගැහැණියකගේ ආදරයේ විවිධ සීමා මායිම් තියෙනව කියල. හැබැයි දරු සෙනෙහස හැම ගැහැනියකටම පොදුයි. ආදරණීය අම්මේ, ඔයාගේ ආදරයට සීමා මායිම් නැහැ. ඔයාට පුළුවන් මුළු ලෝකෙටෙම ඔයාගේ ආදරය දෙන්න. මම දන්නව දැනටමත් ඔයා මුළු ලෝකෙටම ආදරය කරනව කියල. ඒ වුනත් ඔයාගේ ආදරේ දැනෙනව කියල මට ඔයාටම කියන්න ඕන.

ආදරණීය අම්මේ, කෙනෙකුගේ ලැබෙන උදව්වට අපිට හරිම ලේසියෙන් ස්තූතියි කියල කියන්න පුළුවන්, එහෙම නැත්නම් බොහොම ස්තූතියි කියල කියන්නත් පුළුවන්. හැබැයි කෙනෙක්ගෙන් ලැබෙන ආදරයට හිලව් කරන්න පුළුවන් ඒ වාගේම ආදරයක් විතරමයි. හැබැයි ඒ ආදරයට කොතනකදිවත් මොන විදිහටවත් මනින්න බැහැ. ඒ ආදරයට වටිනාකමක් දෙන්න බැහැ.

ආදරණීය අම්මේ මම ඔයාට කියනව හුගක් ආදරෙයි කියල. එක හදවතක ආදරේ කොච්චර විශාලද කියල මම දැනගත්තෙ ඔයාගෙන්. මම ඔයාට ස්තුතියි කියනව, අපිට දෛවය විසින් උරුමකරන දේ මොනවගේ දෙයක් වුනත් ඒ දෙය අභිමවා යන්න ශක්තිය අපිට තියෙනව කියල කියල දුන්නට. මම ස්තුතිවන්න වෙනවා ඔබේ දෙමාපියන්ට, ඔබ වැන්නියකට ජීවිතය දුන්නිසා. ඔබෙන් තව බොහෝ දෙනෙක් ජීවිතය ඉගෙන ගන්න නිසා. අම්මේ මම ඔයාට ගරු කරනව. ආදරේ කරනව ඔබ සැබෑ ගැහැනියක නිසා.

2004 - 08 - 18
උපතින් දෑතක් අහිමි දියණිකට දෑතක් වූ, මවකවූ, ආදරණිය සුදු අම්මා වෙනුවෙන් ලියැවුණු මේ සටහන නැවත පල කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මව්වත් ගුණැති සියළු මව්වරුන් නමටය............