Friday, 11 February 2011

කටු සටහන් -01

උපන්දා සිට මියෙන තුරාවට දිනෙන් දින මොහොතින් මොහොත අලූත්වන ජීවිත සටහන් පොතේ කටු ගෑ යළි යළිදු ලියු බොහෝ සටහන් මා මනසේ චි‍්‍රතණය වෙයි. ඉනිදු බොහොමයක් කාලය විසින් ගිලගෙන මතකයෙන් ඈත්කර තැබූවද, දුළන අදුරෙහි පිපෙන සිහිනි තරු කනිණිකා සේ ක්ෂණයකින් ජීවය ලබා නැවත උපදී...

විටක සිනහව ද, තවත් විටෙක කඳුළ ද, සතුටද, වේදනාවද දැවටුන මේ කටු සටහන් අකුරු ලෙස අස්වැද්දීමේ වුවමණාවක් මෑතක සිට මා තුළ පැන නගින්නේ සියල්ල කෙරන් නිදහස් වීමේ, සැහැල්ලූවීමේ වුවමණාව විසින් මා වෙත ඇති කරනු ලැබූ තෙරපීම නිසාද විය හැකියි. කෙසේ වුව ජීවිතේ බොහෝ දේ අභිමුව මහාමේරුව සේ ජීවිතය දරාගනිමියි මට ම සපථකොට සිටි මා වෙත ඵළඹ, බොහෝ අසීරු අවස්ථාවන් වලදී මා දරාගත් ආදරණීයයෙකු ‘‘මම පුංචි ගිනි පුපුරක් වෙද්දි, ඔයා මහා සීතල හිම කන්දක් වෙලා,’’ යැයි පැවසීම මහා මේරුව ජීවිතය හා ග්ලැෂියර ගැන නැවත සිතීමටත් ජීවිතය මා තුළම අලූතින් කුරුටු ගෑමටත් ඇතිකල අති මහත් පෙළඹවීම සෙනහසින් සිහිපත් කරමි.

කටු සටහන්



‘‘තිබිරිගෙය නොවේ ඇරඹුම, සුසානය නොවේ අවසන, ජීවිතය දිගු ගමනක නවාතැන්පොළක් පමණය. මහගම සේකර.” නොමියෙමි.

සැබෑවකි. ජීවියෙකුලෙස, මනුෂ්‍යයකු ලෙස මගේ උපත මා විසින් කරන ලද පූර්ව සුදානමක් තූළ සිදුවූ පිළිසිඳගැනීමක් නිසා සිදුවූවක් නොවේය යනු මගේ අදහසයි. එසේ වුව මනුෂ්‍ය‍යෙකු ලෙස ජීවිතය වැළද ගැනීමට, අතැරයාමට, මඟ හැරයාමට හෝ පලායෑමට මට හැකියාවක් තිබේ. කෙසේවුව ද මා විසින් ගනු ලබන සෑම තීරණයක්ම මගේ හෘද සාක්ෂියට එකඟ විය යුතු යැයි, මගේ ඇතුලාන්තය මට නිරන්තරව හඬගා කියයි.

ජීවිතය, එය කිසි විටකත් මල් පියලි ඇතිරූ සිනිදු සුව යහනක සුවය මවෙතට ළංකල හත්පෙති මල් පෙත්තක් නොවූවද ඒ ගැන දුකක් හෝ තැවුලක් අදටත් මට නොවේ. එදවස ද ලෝකයත් තරමටම ආදරයට ලොබබැදි දැරියක ලෙස ඇය පෙරලා බලාපොරොත්තුවුයේ කෙහෙරැල්ලක දැවටෙන ඇගිලිතුඩක සුවයකි, ආදරණීය ඇමතුමකි, උණුසුම් උකුලක සුවයකි. ඇයගේම වූ හීන අතර සැරිසරන, තනිව සිනහසෙන, තනිව කතාකරන තනිව හඬන ඒ ළදැරිය ඇගේම සිහිනවල තනිව කිමිදෙන්නට ‍්‍රපිය කරන්නියකි,



අදටත් ඉදහිට අතීතයෙන් වර්තමානයට පැමිණ මා මුහුණට එබිකම් පාන ආදරයට ලොබ බැදි ඒ දූගී සිගිත්තිය ගේ පළමු සිහින නගරය වූයේ, චීන මහා පරාප කාරය බඳු උස් තාප්පයකින් වටව තිබූ ඔරුවල වානේ කම්හලයි. වෙල ඉස්මත්තට දිස්වන විශාල යන්ත්‍රෝපකරන, ගොඩනැගිලි, නිරන්තරව අහසට දුම් පිබින උස් චිමිනය හා මුළු කොළඹ නගරයම මැනෙවින් පෙනෙන්නේ යයි පවසන අහසට නැගිය හැකි විවෘත පඩිපෙල සහිත නමක් නැති ගොඩනැගිල්ලට නැගීමේ සිහිනය බොදකර දැමු ගැහැනුකමට එරෙහිව යාමට හැකියාවක් එදවස ඇයට නොවුණි.

කෙසේ වුව තමන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයැයි, අරගල කල යුතුයැයි ඇය උගත්තේ ඒ සිහින නගරය ඇසුරෙනි. දහවල එකොලහටත් සවස තුනටත් නැවත රාත්‍රී එකොලහටත් ගම සිසාරා ඇසෙන කම්හලේ නලා නාදය ඇගේ කුඩා හදවත තුළ සිහින් දෙදරුමක් ඇති නොකෙරුවා නොවේ. අයියාටත් මල්ලීටත් පුතාල වීම නිසාම හිමිවූ පුංචි ගේට්ටුවෙන් ඇතුළට පිවිසීමේ වරය දුවක වීම නිසාම ගිලිහීයාමත්, පියා පසුපස එල්ලී ගොස් එහි ඇතුළු වීමේ වරය ලබාගැණීම උදෙසා වන බෙරිහන්දී හඩාවැටීමට එරෙහිව අම්මාගේ අතපුරා වදින කම්මුල් පහරවල වේදනාවත්, හිතුවක්කාරී දඩබ්බර එකියෙකැයි යන ලෝක අපවාදයේ මතකයත් තවමත් ඇය හා රැදී සිටී.

5 comments:

Il mondo di una povera pazza said...

මේක තමයි හොඳම විදිහ. ඔයාව හොයා ගන්න මේ වගේ දෙයක් වෙන්නම ඕනේ සන්ජි.

hare :-) said...

ලෝකාපවාදේ.... ගැවිල්ලක් නෑනෙ ඕකෙන්... මොනව වුණත් ලියන එක නම් හොඳයි...

Strawberry Kiss said...

ඔව්. හීන ලෝකේ කොච්චර නම් සුන්දරද? මුදූ වෙරළේ මාලිගා හැදුව ගස් එක්කල කතා කරපු පුංචි කෙල්ලෙක් තාමත් මගේ හිතෙත් ඉන්නවා. එයාට මං එලියට එන්න දෙන්නැත්තෙ එයා එලියට ආව ගමන් වෙඩි තියන්න මුළු ලෝකෙම බලන් ඉන්න නිසා.

ලිහිණි said...

රංගි,
ඔවි, මම ආයෙම මාව හොයනව...

හරේ...
ලෝක අපවාදෙ, ඒක තමයි මාව අද මේ ඉන්න තැන‍ට ගෙනාවේ....

@ Strawberry Kiss...
මම නම් කැමතියි වෙඩි කන්න හරි එළියට එනව නමි. මොකද වෙඩි තියන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට තියෙන ඉලක්ක ඔක්කොම පරණයි. අලුත් ඉලක්කයක් වෙන එකත් නරකම නෑනේද?

sithiwili said...

අපි හැමෝම තමන්ව අමතක කරලා ජීවිතේ හොයනවා.. ඒත් දවසක අපිටම හිතෙනවා ඔක්කම අමතක කරලා අර මග හැරුන කෙනාව හොයන්න හිතෙනවා.. හැමෝටම එහෙම හිතුනත් ඒක කර්ලා බලන්න ගට්ස් තියෙන්නෙ ලිහිණි අක්කා වගේ කීප දෙනෙක්ට විතරයි.. දිගටම ලියන්න අක්කේ.. ලෝක අපවදෙට නෙවේ.. කවුරු මොනවා කිව්වත් ලියන එක නවත්වන්න එපා..