Wednesday, 23 February 2011

කටු සටහන් -02 සුන්දර දවස්

සේයා රූ - සුජීව අබේණායක


ජීවිතයේ බොහෝ අසුන්දර මතකයන් අතරින් පෙරි විත් මුවමදහාස නංවන අති සුන්දර දවස් වෙත කි‍මිදෙමි.‍ අතීතෙයන් එන ඒ සො‍ඳුරු මතකයන් සිහිවන සෑම මොහොතක්ම මා සිත රමණීය මිහිරියාවකින් ඇළලේ.
එදවස, අම්මාට රැකියාව ලැබී නොතිබිණි, වානේ සංස්ථාවේ සේවය කළ තාත්තා සිය සේවා මුරය නිමාකොට ගෙදර එනතෙක් අවදිව බලාසිටින්නට අයියාත් මමත් අපමණ උත්සාහ දැරීමු, එළඹ තිබුනේ 1980 වර්ෂයයි. ගෙමිදුලේ සුදුවැලි පිරුණු මහ සියඹලාව පාමුල අම්මා දුනුකේ පැදුර එළයි. විශාල සියඹලාව පින්න වලකාලන හෙවනක් වැනිය. බිළිදු මල්ලීව උකුලේ හොවා ගන්නා ඇය දෙපසට අයියාත් මමත් එක්වෙමු.

එබදු සමහර සැදෑවරු ගතවූයේ විවිධ ජනකවි හා ළමා ගී ඇසුරේ ගොඩනැගෙන ළමා මණ්ඩපයකිනි. කරුණාරත්න අබේසේකර මාමාගේ ගුවන් විදුලි ළමාපිටියත් සුමනා ජයතිලක නැන්දාගේ හඳ මාමා වැඩසටහනත්, කුඩා දරුවන්වූ අපවෙත පිරිනැමුණු රස ගුලාවකි, දමයන්ති ජයසුරිය, ඉන්දීවරී ආරියසිංහ, රෝහිණි ජයසිහ, ලංකා රාජිනී ගුණසේකර ගැයු "ලියුං කාරයෙක් ඇවිදින්", "වතුසුදු අරලිය ගසක පිපෙනවා", "බල්ල පිදුරු කන්නෙත් නෑ", " මගේ පිගානේ ඉන්නා මාළු කූරියෝ" ආදී ගීත බොහොමයක මුල අල්ලා දෙන්නේ අම්මායි. මේ සංගීත සන්ධ්‍යාවන්ට අමතරව සඳ ඇති බොහෝ රාත්‍රීන්හිදී අපේ ප්‍රියතම ක්‍රීඩාව වන්නේ පන්සල් සෙල්ලමයි. කෝම්පිට්ටු වෙහෙර වටා වලාකුළු බැම්ම බැදෙන්නේ මයිඤොක්කා කොළ නටුවේ දම්වැල්වලිනි. චෛත්‍ය මළුවට සිවුවනක් පිරිසට පැමීණීම‍ට වාහල්කඩ සතරක්ද සැදේ, සැන්දෑවේ පිපෙන කහපැහැති සීනි ‍ඉද්ද මල් ‍චෛත්‍යවටා රටාවකට තැන්පත්වෙයි. අවසන අප දන්නා සියළුම ගාථා කියා හැකි අයුරින් බුදුන් වදින්නෙමු. මේ සියල්ල නිර්මාණය වන්නේ අපි ඇසුදුටු දෑ ඇසුරින් මිස ව්‍යවහාරික බුද්ධියකින් නොවේ.

සියල්ල මෙසේ වන අතරම, සිහින් සුළං සමඟ විත් අප වටා දැවටෙන සියඹලා මල්පෙති එකින් එක පැදුරෙන් ඇහිද කටේ දමා ගැනීමටද අපි අමතක නොකරමු. නෙල්ලි ගෙඩියක බදු සිහින් ඇඹුලකින් දිවඟ තෙත්වේ. රාත්‍රිය එළඹිමත් සමග ම අම්මා අප තිදෙනාවද රැගෙන ගෙට වදී. කුප්පි ලාම්පුවේ ලා කහ ආලෝකය මුළු නිවසම ආලෝකවත් නොකරයි. එනිසාම පොල්අතු වහලයේ සිහින් සිදුරු තුළින් පෙරී විත් ගොම පිරිමඩනා ලද ගෙබිමට වැටෙන සඳ එළිය බිදු මද අඳුරේ කැපී ‍පෙනෙයි.ඒ සඳ එළිය දිගේ නලියන දුහුවිලි අංශු අත්ලට ගුළිකර ගන්නට අප වෙහෙ‍සෙමු. සඳ එළිය අපට කීකරු නොවී ගෙබිමේ නොයෙක් තැන්වලට සක්මන් කරයි.

එම අත්දැකීමම වඩාත් සුන්දරව විදීමේ තවත් ස්වරූපයක් අපවෙත තිබිණි. ඒ දෑස් තදින් වසා කළු ඉංගිරිව තෙරපාගෙන සිට අදුරට දෑස් විවර කළවිට දෑසින් අ‍‍‍ඳුරට නිකුත්වන අධෝරක්ක වර්ණාවලිය දෙස බලා සිටීමයි. කවදා කවුරු කෙසේ සොයා ගත්තේ දැයි නොදන්නේ නමුදු එය බොහෝ දෙනාගේ පොදු අත්දැකීමක් බව දනිමි. මේ ක්‍රීඩා වන් දෙක අවසන් වන්නේ නොදන්නා මොහොතක නිදිපැදුරේ දෑස් පියවෙනතෙක් ගෙබිමේ සිට වහලටත් වහල සිට ගෙබිමටත් දූවිලි අංශුදිගේ දැස් දිවයෑම හෝ කළු ඉංගිරියාව තෙරපමින් දෑස් අරිමින් වහමින් ‍අදුරේ සුන්දරත්වය අත්විදීමයි.

2 comments:

අනුෂ්ක තිලකරත්න said...

අනේ මංදා ලිහිණි අක්කේ පොල් අතු පැලයි, කුප්පි ලාම්පුයි ගොම මැටි බිමයි අමතක කරලා අඳුරේ සුන්දරත්වය ගැන හෝ නෙල්ලි ඇඹුල ගැන හරි සතුටු වෙන්න මටනම් බෑ. දැන් අපි ලොකු හින්ද වෙන්න ඇති. ඒත් මේ ඔයාගෙ ලියවිල්ල නම් හරිම සංවේදියි.

ආගන්තුකයා | Stranger said...

ඒක කන්ටෙක්ස්ට් එකට වෙනස් වෙනවා අපි පුරුදු වෙලා තියෙන ජීවිතයත් එක්ක අපිට දැන් ඒ වගේ තැනකට එකපාර වැටුනොත් අපිට දරාගන්න බෑ.. ඒත් ඒකෙනුත් ජීවිතය විඳන අයත් ඉන්න පුළුවන්. නියම සටහන ලිහිණි අක්කේ...