Wednesday, 24 February 2010

ආදරණීය ප්‍රගීත් අන්කල්




අපි හැමෝම මේ ලියමන අපේ බ්ලෝග් වලට එකතු කරගමු. නිරංජි වෙනුවෙන්. නැතිවේගෙන මැරිගෙන යන මනුස්සකම වෙනුවෙන් මේක ඉල්ලීමක් - ලිහිණි'
ආදරණිය ප්‍රගීත් අන්කල්,

ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත 'ලංකාදිප' පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්ඛෙන්. ඔබ ඒ ලිපිය ඒව්වේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඔබ පළමුවරට පැහැරගෙන ගොස් නිදහස් කළ පසුවයි. අවුරුදු විස්සකින් පසු පළමු වතාවට-

-මම ප්‍රගීත් අන්කල්ට ලියන්න පෙළඹුණේ ඒ සිදුවීම විසින් මා තුළ ඇති කළ කම්පනයයි. අවුරුදු විස්සක් කොයි තරම් දිගු කාලයක්ද?

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට ඒ අගොස්තුවේදී පුවත් පළ වී තිබුණත් ඔබ මා කුඩාකළ දැන සිටි ප්‍රගීත් අන්කල් යැයි මට එක්වරම නොසිතුනේ ළමා විය ගැන මගේ මතකය දුබල නිසා විය හැකියි. ඒත් ඔබේ පින්තුරයක් අහම්ඛෙන් දැක්කාම මට ඔබ කවුදැයි යන වග මතක් වූයේ ඔබේ රුව මගේ ළමාවිය ගැන ඉතිරිව ඇති මතක කැබැලිති අතර විසි වසක් නොනැසී තිබූ නිසායි. ඔබට කතා කළ යුතුයැයි කියන හැඟීමෙන් දින කිහිපයක් තැවුල් විඳි මම අසීරුවෙන් ඔබේ දුරකතන අංකය සොයාගත්දා කොයිතරම් සතුටු වූවාද? ඔබට ලියූ පළමු ඊ මේල් පණිවුඩය මම ලිව්වේ වේදනාබර සතුටකින්. ඔබ විඳි දුක් ගැහැට ගැන ඇසීමෙන් හටගත් වේදනාව යටකොට ළමා වියේ මා දැන සිටි 'ප්‍රගීත් අන්කල්'ට විසි වසරකින් පසු ලියන්නට ඉඩ ලැබීම සතුට කොයිතරම්ද?

ඒත්, නැවතත් ඔබ අතුරුදහන් ප්‍රගීත් අන්කල්!
මේ ලියන මොහොත වනවිට ඔබ ගැන තොරතුරක් නැතිව හරියටම දින 30ක්. ඔබ ගැන සිත නිවෙන පුවතක් දැකීමේ නොමැඩිය හැකි ආශාව මේ දවස් මුළුල්ලේ මා හැර නොයා රැෙඳන්නේ මගේ ළමා කාලය පිළිබඳ ඇති පී්‍රතිමත් මතකයන් අතර ඔබ අදත් ජීවමාන නිසායි. ඔබ ලියා තිබුණා වගේම මම අද, මගේ තාත්තාගේ ඔබ වැනි ආදරණීය මිතුරන්ගේ සෙනෙහස විඳ හැදී වැඩුණු ඒ පුංචි දැරිය නොවේ. සමාජය ගැන දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්. නමුත් දෙවෙනි වතාවේත් අතුරුදහන් වූ ඔබ ගැන යමක් කරන්නට අපි කිසිවෙකු සමත් වී නැහැ. ප්‍රගීත් අන්කල් මට ලියූ වචන මතකද? අද තියන භීෂණකාරීත්වය ගැනත්, ඔබ වැන්නන්ගේ අවදානම් ඉරණම් ගැනත් ඒ ලියූ හැම වචනයක්ම මට කට පාඩම් වන තරම් මම ඔබේ ලියුම කියවා තිඛෙනවා. නමුත් නැවතත් ඔබව පැහැරගෙන යන තුරුත්, ඉන් පසුත් අපට කළ හැකිව ඇති දේ
කොයිතරම් අල්පද?

ප්‍රගීත් අන්කල්, මම ළමා කාලයේදී අත් දුටු අතීත භීෂණයට වඩා අද භීෂණකාරීත්වය වෙනස් කියා ඔබ ලියා තිබූණා මතකද? ඔබ නිදහස්ව ආ දවස්වල ලියූ ඒ වචනවල බැරෑරුම්කම මට දැනෙන්නේ දැන්. මගේ ජිවිතයේ අඳුරුතම කාලය වූ 88-89 සමයේ මාත් - අක්කාත් පණ පිටින් මළවුන් බවට පෙරළු භීෂණයෙන් මට කිසි කලක ගැළවුමක් ලැඛෙතැයි මම හිතන්නේ නැහැ. නමුත් විසි අවුරුද්දකට කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කළ ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු වූ මගේ තාත්තා ගැන මතකයෙන් පෑරෙන අපේ ජීවිත සුවපත් කරන්නට උදව් කළ ප්‍රගීත් අන්කල් වැනි ආදරණීය කාරුණික මිනිසුන්ට විසි අවුරුද්දකට පසුවත් ලංකාව අනාරක‍ෂිත තැනක් වන්නේ ඇයි?

ඒ අතීත ළමා කාලයේ මතකය තවමත් සිහිනයන් වගේ. ප්‍රගීත් අන්කල් අපේ ගෙදරට එන්නේ 80 වැඩ වර්ජනයෙන් පස්සේ. සාලයේ වාඩිවී තාත්තා එක්ක දොඩමළු වන සිහින් සිරුරක් ඇති ඒ ප්‍රගීත් අන්කල් මට තවමත් මතකයි. අපි ඉගෙනගත් ඌව කරඳගොල්ලේ පුංචි ඉස්කෝලයට පුස්තකාලයක් හදන්න තාත්තා එක්ක මහන්සි වුණු ඒ දවස් අන්කල්ට මතකද? ඉස්කෝලේ ළමයින්ට බුදුන් වඳින්නට කියා අපේ ගෙදර ඉස්සරහ තියාගෙන අන්කල්ගේ අතින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවට අදත් ඒ ඉස්කෝලයේ දරුවන් වඳිනවා ඇති. නොදන්නා දුර ඈත ගමක, නොදන්නා මිනිසුන්ගේ දරුවන්ට වඳින්නට රෑ දවල් වෙහෙස වී ඒ බුදු පිළිමය අඹන්නට අන්කල් මහන්සි වූ දවස්වල මගේ තාත්තා ඒ අසළට වී බලා ඉන්නා විදිය මේ ලියන මොහොතෙත් මගේ හිතේ දුක්බර රූපයක් වී ඇෙඳනවා. විසි අවුරුද්දකට පසුව පවා ඒ දුප්පත් ඉස්කෝලයේ පියස්ස යටට එකතු වෙන දරුවන්ට වඳින්නට බුදු පිළිමයක් නෙලු නොදන්නා මිනිසා කොළඹ වීදියක හිටි ගමන් අතුරුදහන් වූ බව කරඳගොල්ලේ දරුවන් කෙසේ නම් දැනගන්නද?

ආදරණීය ප්‍රගීත් අන්කල්,
කිසිදාක අමතක නොවෙන ඒ අඳුරු අතීතය මැද දිලෙන පහන් ආලෝකයක් වැනි ඔබේ මනුෂ්‍යත්වය ගැන මේ ලියූ සියල්ලට වඩා අමතක නොවෙන තවත් දෙයක් මම ලියන්නම්. තාත්තා මුහුණ දුන් රුදුරු මරණයෙන් පසුව භීතියෙන් තැතිගත් නෑ හිත මිතුරන් බොහෝ අය අපේ තාත්තාගේ අළු පවා තියා ගන්න බිය වුණු කාලයක් ඒ. කුඩාවියේ සිටි අක්කාට හෝ මට තාත්තාගේ අවසන් මොහොත පවා දකින්නට ඉඩක් ලැබුණේ නැහැ. අපි උස් මහත් වී වැඩිහිටියන් වූ දවසක අපට දෙන්නට අපේ තාත්තාගේ අළු ළඟ තබාගෙන පරිස්සම් කර දෙන්නට තරම් හදවතක් හා ධෛර්යයක් තිබුණේ ඔබට බව මම දැනගත්තේ ගොඩාක් පසු කාලයකයි. නමුත් ඒ භීෂණයේ කුණාටුවෙන් බිඳී විසිරුණු කැදැල්ලකින් විසිව තැනින් තැන හැදී වැඩුණු අක්කාත්, මමත් ඔබ හමුවන්නට ප්‍රමාද වූ නිසා, ඔබ ඉතා ගෞරවණීය විදියට මගේ තාත්තාගේ අළු කැලණි ග‍ෙඟ් පා කළ බවත් මම දැනගත්තේ ඒ කාලයේදීයි. කොළඹ වීදියක මහ රැයක අතුරුදහන් වූයේ ඒ තරම් උතුම් මනුෂ්‍යත්වයෙන් හෙබි දුර්ලභ මිනිසෙකු බව මිනිස් තෙතමනයක් නොදැනෙන සමාජයකට කියා තේරුම් කර දෙන්නට මට කවදා නම් පුළුවන් වේවිද ප්‍රගීත් අන්කල්?

ආදරණීය ප්‍රගීත් අන්කල්,
මගේ තාත්තා එනතුරු මග බලා ඉන්න තිබුණා නම් ජීවිතය කෙළවර වන තුරුම අපේක‍ෂා අත් නොහැර මට බලා ඉන්න හයිය තිබුණා. භීෂකයින්ගේ දෑතින් විකෘති කළ මගේ තාත්තාගේ කෙසඟ සිරුර ඒ බලාපොරොත්තු මගෙන් උදුරා දැමුවා. ඒත් ප්‍රගීත් අන්කල් නැවත එන බවට අද මගේ විශ්වාසය ශක්තිමත්. කිසි දවසක දැක නැති අන්කල්ගේ පවුලේ අය සමග අන්කල් නැවත එනතුරු බලා ඉඳින මිනිසුන් අතර මමත් රැඳී ඉන්නේ ඒ නිසායි. ඒ ආ දවසක සන්සුන් සිතින් අන්කල් මේ ලිපිය කියවන බව මට විශ්වාසයි. නැවත පෙරළා එන්නට ප්‍රගීත් අන්කල්ට ශක්තියක් වෙන්නේ අපි හැමෝම තුළ ඇවිළෙන ඒ විශ්වාසයයි.

මට ලෝකයක් තරම් ආදරය කළ මගේ තාත්තාගේ අවසන් අළු බඳුන අපි වෙනුවෙන් රැකගන්නට හදවතක් තිබූ ඔබ මගේ තාත්තාගේ ආදරය විසින්ම රැකදෙන බව මට ඒකාන්තයි.

මම, නන්දේගේ දුව
Ruwandi Neranjala | රුවන්දි නෙරංජලා

Friday, 1 January 2010

2010


"ඕනෑම මල් ගසකට වාරයක් මෙන්ම අවාරයක්ද ඇත. එය සදාතනිකය. අවාරය යනු , වාරයට පෙර සුදානමකි. ඒ කිසිවක් නිශ්පල කාලයක් නොවේ. නව වසර වාරයන් මෙන්ම අවාරයන්ද සහිත වනු ඇත. එය තේරුම් ගෙන කටයුතු කිරීමට හැකිවේවා."
( අනුෂ්ක තිලකරත්න සොහොයු‍රාගේ අවුරුදු කෙටි පණිවිඩය)

Friday, 25 December 2009

2009 ‍ගෙවී යන්නට පළමුව

2009, අන්තිම දවස් කිහිපය ගෙවිල යනව. 2007, 2008, වසර දෙකටම වඩා 2009යෙදි සමාජයක් වශයෙන් අපට කතා බහ කරන්න අතපසු උණ බොහෝ දේ තියෙනව කියල දැනෙනව.

කාලය මොනතරම් වේගයෙන් ඉගිලුනත් අපිට කරන්න තියෙන දේවල් අපි කරන්නම ඕනි. ‍ගෙවීයන 2009 වසර අපි හැමෝටම මකතයේ සිටින හා මතකයේ නොසිටින බොහෝ දේ සිදුවූ වසරක්. ඒත් ඒ අතරින් ඉදිරියේදීත් නිරන්තරව සිදුවිය හැකි, සිදුවීමට නියමිත, මේ මොහොතේදීත් සිදුවන, වලක්වා ගතහැකි, වලක්වා ගතයුතු බොහෝ දේවල් තියෙනවා.

මම මේ කතා කරන්න හදන්නෙ කාන්තාවන් ගැන, කුඩා දරුවන්, දැරිවියන් ගැන, ඝාතනයකෙරුණු, විශේෂ‍යෙන්ම අතවරයන්ට ලක්වූ, සිය දිවි නසාගත්ත, ලිංගික අතවරයන්ට ගොදුරුවුණු ‍යෞවනියන් ගැන. ඊ ළඟ මොහොතේදී ‍මේ තත්ත්වයට ගොදුරුවිය හැක්කේ කවුද? සමහර විට, ඔබ, මම, එහෙම නැත්නම් අපේ දරුවන්, මිතුරි මිතුරියන්.

මේ කවුරු වුනත් අපි පිළිගත යුතු එක දෙ‍යක් තියෙනව. නොදැනුවත්කම, නොසැලකිල්ල නිසා බොහෝ ජීවිත අපට අහිමිවන බව. මෙනතදි නොදැනුවත්කම කියල මම අදහස් කරන්නෙ අපේ බොහෝ යෞවන යෞවනියන්ට දුරස්ථ, ප්‍රජනක හා ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය ගැන.
අපි ඇත්ත කතා කලොත් මේ ගැන අපිට හරි දැනුවත් වීමක් තියෙනව කියල අපට කියන්න පුළුවන්ද? අපේ අධ්‍යාපන රටාවේ විෂය නිර්දේශය මේ ගැන තියෙනව. නමුත් පාසල තුළදී දරුවන්ට මේ පිළිඳව නිසි මග පෙන්වීමක් ලැබෙනවද? ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව කිසියම් ගැටලුවක් ඇතිවූ විට ඒ පිළිබඳව කතාබහ කරන්නට දැනුවත් වන්නට අවස්ථාවක් අපේ දරුවන්ට තියෙනවද?

මේ ගැන කතා බහ කරන්නට මා පෙළඹවු කරුණු දෙකක් තියෙනව.

1) මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතාත්, ප්‍රසව හා නාරී ‍වෛද්‍ය හේමන්ත පෙරේරා මහතාත් සහභාගි වූ සම්මන්ත්‍රණයකදී කෙරැණු කතා බහක්.

කුඩා දරුවන්, දැරිවියන් බොහෝ විට අතවරයට පත්වන්නේ තමන්‍ හොදින් දන්නා හදුනන වැඩිහිටියන් අතින් කියලයි එතනදි කියවුනේ, වරක් රෝහලට ඇතුලත් කෙරුනු ළදරු ගැබිනියක් කියල තිබුණ අයිය අරගෙන ආපු සීඩි එකේ තිබුණු සෙල්ලම දෙන්න එක්ක කලා කියල. අන්තිමට අයියයි නංගියි දෙන්න නොදැනම එයාල අම්ම අප්පච්චිල වෙලා. මේ අපේ රටේ කොළඹ දිස්ත්‍රික්කයේ මීට අවුරුද්දකට, දෙකකට කලින් වෙච්ච දෙයක්.
දැන් දැන් අන්තර්ජාලේ ලෝකේ ළබාලම අම්මල ගැන වීඩියෝ දකින්නත් තියෙන එකේ මේක මහ අරුමයක් නොවෙයි කියල කාට හරි කියන්නත් පුළුවන්. එත් ඔබට එහෙම හිතලා ඒක අමතක කරන්න පුළුවන්ද?

2) ගතවුණු වසර තුළ පාසල් දරුවන් අතරය සිය දිවිනසාගැනීම හා ‍සිය දිවිනසාගැනීමට තැත් කිරීම් රාෂියක් වාර්තා වුනා. ඒ අතර සමුහ වශයෙන් කනේරු ඇට කෑමක්ද වාර්තා වුනා. අඩු වැඩි වශයෙන්, පෙම් පත්, ජංගම දුරකතන, හිත් රිදවා ගැනීම් ආදී හේතු රාශියක් මීට බලපා තිබුණත් අපේ දරුවන්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ නිසි අධ්‍යාපනයක් දීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි මගේ හැගීම.
පසුගිය කාලයේ උදාවූ යෞවනය නමින් යෞවන ප්‍රජාව දැනුවත් කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සකස් කෙරුනු අත්පොතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කඹ ඇදිල්ලක් නිසා පාසල් සිසුන් අතර බෙදා හැරුනේ නෑ.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දි අපට කළ හැක්කේ කුමක්ද? අප කළ යුත්තේ කුමක්ද? මළවුන් වෙනුවෙන් ජීවත්වන්නවුන් රැකගැනීම සඳහා එකමුතු වෙන්නටයි මේ ඇරයුම. තනිව කම්පාවනවාට වඩා, කිසිවක් කිරිම අත්‍යවශ්‍ය ‍මොහොත එළඹෙමින් තිබේ. ලියන්න. lihinisara@gmail.com, හුදකලා දැනුවත්වීමකට එහායින් වන සමාජ වගකීමකට එක්වමු.
ආදරෙන්
ලිහිණි

Thursday, 29 October 2009

ලිහිණිසර ට අවුරුද්දයි

බ්ලොග් ලියන්න පටන් අරන් පළමු අවුරුද්දත් ගෙවිල ඉවර වෙලා. දන්නෙම නැතිව. කාලය හරි ඉක්මණට දුවනව. දවසින් දවස, මොහොතින් මොහොත ගුණනය වන වැඩ කන්දරාව එක්ක ‍‍ලිහිණිසරට තාවතාලික නිහැඬියාවක් එක්වුණත් මේ වසරක් ගෙවූන තැන කලින් පද පේලි විතරක් වුණු පදමාලවක ස්වර රටාව ඔබට අහන්න දෙන්න ඉඩකඩ ලැබුණා. ඉතින් අහන්න මේ ස්වර රටාවන්,

අහස දුර වැඩියි අල්ලා ගන්නට බෑ
පොළව බර වැඩියි උසුලා ගන්නට බෑ
තත්පරයක් එක තත්පරයක්
අත්ලට ගුලිකර අල්ලා ගන්නට
කවුරුද එන්නේ

http://www.divshare.com/download/9026765-349
ahasa dura wadi koddippili.mp3

ගායනය - නිපුනි කොඩිප්පිලි,
සංගීතය - කපිල මැද්දෙගොඩ

මේ සුනිල අහස යට පොළව මත
රැදි රැදී දිලෙන පිණි අහුරු ළඟ
නවාතැන් ගන්නවා මගේ සිත
කියවන්න ඔබේ නෙතඟින් කියන
සොඳුරු තම සිතිවිල්ල

http://www.divshare.com/download/9073629-b
me sunila ahasa yata___sithumini.mp3

ගායනය - සිතුමිණි මැද්දෙගොඩ,
සංගීතය - කපිල මැද්දෙගොඩ

Thursday, 1 October 2009

හෙට පිපෙන මල් කැකුළු

අද ලෝක ළමා දිනය

අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලයේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයත් පැවැත්වෙනවා.

" අක්ෂර සෙනඟ" සාහිත්‍යයය තරඟයේ පද්‍ය රචනා අංශයෙන් පළමු තැන ලැබූ ඩී. චමින්ද්‍රා කුමාරි සොයුරියට පාසලේ ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ උපහාරය පිරිනැමෙන බව විදුහල්පතිතුමා අපට දැන්වුවා.

චමින්ද්‍රා ගේ ජයග්‍රහණය ඇගේ පාසල් පුස්තකාලයට රුපියල් 30.000, පුස්තකාල ‍පොත් ලබාදුන්න. එහි අපේ වැකිය,

"තනි අස්සයෙක් වින් කරන්න ඇබ්බැහිවෙච්ච මිනිස්සු ඉන්න රටක අනුන් වෙනුවෙන් දුවන්න, ඉදිරිපත්වීම බලාපොරොත්තු සහගතයි" කියල

ඉතින් මේ අගය කිරීම, අපට තව තවත් බලාපොරොත්තු දල්වනවා නොවේද?