Tuesday, 16 October 2012

මලර්විලි

                                                                                                                                                             











මලර්විලි

 අපි, ඒ කියන්නෙ මමයි, මගේ භාෂා පර්වර්තිකාව වුනු කලාදේවි දෙන්න  කාන්තාවන් කීපදෙනෙක් මුණ ගැහෙන්න    අග්බෝපුර පුදුකුඩුරිප්පු වලට ආව. අපට පාර පෙන්නන්න පර්හාන් මග බලාගෙන හිටිය. වංගු හැගුණු පටු පාරක කිලෝමීටරයක් දෙකක් ගිය අපි නැවතුනේ  තල්කොල වැටක් අද්දර. කාටත් කලින් සද්ද පුජාව තියල අපිව පිළිගන්න ආව බලු පැටියව කොහොද ඉදන් දුවගෙන ආපු පොඩිත්තෙක් දම්වැලට හිරකලා. වාංග අක්කා කියල අපිව පිළිගත්ත මලර්විලි,  

අන්තිමට මල් වගේ සුන්දර දරුවො තිදෙනෙක් එක්ක පුංචි ගෙමිදුලක කොහොඹ හෙවනක් යට අපි කතා බහ කරන්න පටන්ගත්ත. කලා මාව අදුන්වලදෙන්දි හුග කාලෙක ඉදන් දන්න යාලුවෙක් එක්ක වගේ බොහොම හෘදයාන්ගමව ඇය  මා සමග සිනාවුනා. කොතනින්නද අපි කතාව පටන් ගන්නෙ කලා මගෙන් ඇහුව. ඇයට පහසු තැනකින් මම උත්තර දුන්න.  අන්තිමට මම මලර්විලි හුස්ම ගන්න සද්දෙ අහගෙන හිටිය. 

මලර්ගෙ පවුලෙ හය දෙනයි. අක්කල හතරයි, අයියයි, ඇයයි. ඇය පවුලෙ බාලය. ගොවිතැන් බත් කරල කුළී කරල ජීවත්වුණු අම්මටය් අප්පටයි දරුවන්ට මහ ලොකු අධ්‍යාපනයක් දෙන්න බැරිවුණත් අනිත් අය හයට හතට ඉගෙන ගනිද්දි  මලර් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත.

ඒ කතා කරන ඇස් දෙකෙන් ආදරය ඉල්ලගෙන  මල්සරා ආවේ  වන්නියෙ ඉදල. මහේෂ්වරන්ගෙ පුංචි අම්ම හිටියෙ  මලර්විලිගෙ අසල්වැසි නිවසක. අන්තිමට 96 අවුරුද්දෙ මලර් තමන්ගෙ පෙම්වතා එක්ක දීග ගියා. කුළය මහ ඉහලින් සලකන දමිල සමාජය මලර්ට ලේලියකගේ පිළිගැනීම අහිමි කලා. අන්තිමට ඇය ස්වාමි පුරුෂයක්  එක්ක වන්නියේ පොල් වෙළදාම් කලා. කාලා ඇදල ජීවත්වෙන්න ඒ ඇති. ඒත් වන්නියෙ ජීවිත් වෙද්දි සංවිධානයට අවශ්‍යය  විදියට තමයි හැමෝටම ජීවත්වෙන්න වුනේ. මලර් ගෙ පවුලටත් ඒකෙන් ගැලවීමක් නැතිවුණා. ලොකු පුතා ඉපදිලා වසර දෙකකට පස්සෙ මහේෂ්වරන්ට සංවිධානයට බැදෙන්න වුනා. මේ  වෙද්දි මලර්ට රතුකුරුස සංවිධානෙ කාර්යාල පිරිසිදු කරන්නියක් ලෙස සේවය කලා.

1999  අවුරුද්දෙ ලොකුපුතා ඉපදුනා, 2002 අවුරුද්දෙ පොඩි පුතා ඉපදුනා, වෙඩි හඩ මැද්දෙ අනිත් මිනිස්සු වාගෙම මලර්ලත් ජීවත් වුනා, හැම ගෙදරටම බංකර් තිබුණ, ගිරයට අහුවුණු පුවක්ගෙඩි වගේ පරාණ බයත් එක්ක ඔවුන් ජීවත්වුණා2008 වසර උදාවුණා. හාල් සේරුව රුපියල් 2000 ට ගියා. පොල් ගෙඩිය රුපියල් 1000ට ගියා. හාල්සේරුවෙන් හාල් මිට  මිට දියකරල හදාගත්ත කැද වතුර  දරුවන්ට දීල  බංකරේ හැංගිල ජීවිතේ රැකගන්න සටනක ඔවුන් යෙදී හිටියෙ.

එදා 2008 මැයි මාසේ 05 වෙනිද,  හතර වටේ වෙඩි හඩ ඇහෙද්දි මලර් රෙදි කෑලි කීපය පොට්ටනියකට බැදල දරුවො දෙන්නත් එක්ක වෙනත් බංකරයකට යන්න ලෑස්ති වුණා. එක පාර සුදු දුමාරයක් වැටුන. තමන් ඉස්සරහ ඉන්න ලොකුපුතාගේ ඇස් දෙක විශාල වෙලා ලොකු කදුළු ගුළි දෙකක් වැටෙනව මලර් දැක්ක.

ඊළග තත්පරේ මලර්ට දැනුන තමන්ව ගිනි ගන්නව කියල.  ඇය කොන්දට අත තියල බැලුව රතුපාට ලේ ගලාගෙන යනවා...  මිනිස්සු පණ බේර ගන්න දුවනවා. තුවාල කාරයින්ගෙ ඇගවල් උඩින් දුවනවා. ලොකු පුතා තුවාලයක් අරගෙන ඇග වටේ ඔතනව මලර්ට මතකයි. ආයේ සිහිය එද්දි ඇය  දැක්ක තමන් ඉටිරෙදි කෑල්ලක වැතිරිල ඉන්නව.  ඒක තාවකාලික ශල්‍යාගාරයක්" සාරි වලින් වට තිර ඇදපු එහි ලෙඩ්ඩු සියගානක් හිටිය. ඒ හැම දෙනා ළගම සාරි තිර ඇදපු කෝටුවල පොලිතීන් බෑග් එල්ලල තිබුණ. ඒවයේ තිබුනෙ එක එක ලෙඩාගෙන් අයින් කරපු ශරීර කොටස්. මලර්ගෙත්  එක වකුගඩුවක් සමගම  බඩවැල්වලින් බාගයක් ෂෙල් වෙඩිල්ල ගලවල අහක්කරලා තිබිබ.

අතිශය අසාධ්‍ය රෝගීන් මුහුදු මාර්ගයෙන්ලෙඩ්ඩුන්ව පදවිය රෝහලට ගෙනෙද්දි මලර් එක්ක දරුදෙන්නත් එනව. මුළු යාත්‍රාවම ලෙඩ්ඩුන්ගෙන් පිරී ඉතිරී ගිහින්.  ඒ අතර තියෙන මෘත කලේබර මහ සයුරට දැමෙන්නෙ මල මිනියකට අවසාන ගෞරවය දක්වන්න තියෙන අකමැත්ත නිසා නෙවෙයි මිය ගිය වුන්ට වඩා ජීවත්වන්නවුන් රැකගන්න තියෙන නිසා.  හුස්ම පොදක් නොවැටෙන මලර්ගෙ මනසට සියල්ල ඇහෙනව. එක මොහොතක ඇයට ඇහෙනව කවුද කතා කරනව. “ඉවලෙයුම් කඩලුක්කුල් කෝඩුවෝමා. ” ඒත් එක්කම දරුවො දෙන්න ඇය බදාගන්නව ඇයට දැනුන “අම්මාවයි කඩලුක්කුල් විසීනාල් නාංගලුම් කඩලුක්කුල්  කුදිප්පෝම්” ඇයට සිහිනෙන් වගේ ඇහුන. අම්මව මුහුදට විසි කළොත් අපිත් මුහුදට පනිනව කියල තමයි මේ දරුවො දෙන්න කියල තියෙන්නෙ.

අන්තිමේ පදවිය රෝහලේ දෙමසක්, මන්නාරම රෝහලේ දෙමසක් ප්‍රතිකාර ගත්ත මලර්  කායිකව කිසියම් ප්‍රමාණයකට සුවපත් වුණා. අතකට වෙඩි වැදිල හිටි මහේෂ්වරන් සනීපවෙලා ඇවිල්ල පවුලම යාපනේට මිතුරියකගේ නිවසේ නවතා ඉන්දියාවට යන්නෙ මලර්විලිගෙ කුසට තවත් දරුවෙක් දීල, වෙනත් කාන්තාවක් එක්ක දීගකන්න.

මලර් ආයි අග්බෝපුරට එනව. පොඩි පුතාට දැන් වයස  අවුරුදු දෙකයි. දවල්ට උදවි කරන්න අහල රෑට උදවි වෙන්න ගෙදරට එන්න හදන මිනිස්සු ඕන තරමි ඉන්න රටක මලර්ට ජීවිතය එපාවීම අරුමයක්ම නෙවෙයි.  “කුරැණි”  ක්ෂණිකව ජීවිතේ අතැරයන්න හොද බේතක්, ඇය දරුවන්ගෙන්  අහනව අපි ඔක්කොම එකට යන්න යමුද කියල, ලොකු පුතා කැමතිවුනත් බාලය ටිකක් පසු බහිනව.

ඊට පහුවදා ඇය හමුවෙන්න අමුත්තෙක් එනව. ඔහු ජය කුමාර් ආබාධ සහිත කාන්තාවන් සවිබල ගැන්වී සදහා ඇතිකල අබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ  ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමිබන්ධිකාරක. මලර්ගෙ වාසනාවට ඔහු මානසික උපදේශකයෙක්. හැර යන්න හිටි ජිවීතය  අතමිට මොළවගෙන දරුවො තුන්දෙනා එක්ක අද මලර්විලි හිනාවෙනව.  මැරෙන්න හිටි මට ආයේ ජීවිතේ දුන්නෙ ආකාස ආයතනය එක්ක  ජයකුමාර්  සර්  කියල, මලර් හදවතින්ම කියනව.

පුතාල දෙන්න සති අන්තයේත්, නිවාඩු ඇති සවස් වරුවෙත් අම්ම බාල්දියට පුරවල දෙන වැලි විල්බැරෝවට පුරවල ගෙදර ගේනවා. කොටුවෙ කීර ටික ඇවිදල විකුණල දෙනවා. ඇත්තම කිවිවොත් අවුරුදු 11, 13 ඉන්න මේ පුතාල දෙන්න අම්මවයි මල්ලිවයි ලෙඩ ඇදේ ඉන්න සීයවයි ජීවත් කරනවා.

අනුන්නට ණය නොවී ජීවත්වෙන එකයි දරුවන්ට උගන්වන එකයි විතරයි ඇගේ  අරමුණ. පොඩි පුතා නිතර කියනවා අම්ම දැන් ඇඩුවට බලන්නකෝ අපි ඉගෙන ගෙන අම්මගේ කදුළු පිහිනව කියල.“ මට උපත දුන්නෙ මගෙ අම්ම, ජීවිතේ දුන්නෙ මගේ දරුවො දෙන්න.”  මලර් එහෙම කියන කතාව සාධාරණයි කියල මට දැනෙනනව. 

ඔබ දන්නවාද දෙමල භාෂාවෙන් මලර් කියන්නෙ  මල් කියන අර්ථයට විලි කියන්නෙ ඇස් දෙකට, මාස හයකින්  හතකින් වැස්ස නොදැක්ක නැගෙනහිර අහස දැන් දැන් වහිනව වගේ මන්දාරම්කරල තිබුණට පොළව තෙමන්න එක වැහි කදුළක් එවන පාටක් තිබුනෙ නෑ. අහසත් හරියට මලර්විලි ගේ ඇස් දෙක වගේ කියල මට හිතුණ. ඒ එක්කම මලර් විලිට යන්තම් හරි  උදව්වක් උපකාරයක් කරන්න කැමතිනම් ඒ ගැන ආයේ දෙසැරයක් හිතන් එපා කියලත් මම ඔබට කියන්න කැමතියි.
            ලිහිණි


Thursday, 5 April 2012

අනීකාට











අනීකා....
පේර ගහ පීදීල,
උදේ ඉද හවස්වන තුරාවට
ලේන පවුලක් දෙකක්
එකෙන්ම යැපෙනවා
හවස බත් කන්න එන
ගිරා රංචුවෙ ඉන්න
කොළපාට චන්ඩි ටික
පේර ගෙඩි වලට වග කියනවා
කොබෙයි යුවලත් තාම ඉන්නවා
කොණ්ඩයොත් එක්ක ගී ගයනවා
ඉද හිටක ගෙදර එන ” පාට්ටු” ට
මාසෙකට හරියන්න
ඔන්න වැඩ තියෙනවා
අම්මගේ ගෙමිදුලේ
තට්ට තණකොළ පදුරු
අගල් හතරක් පහක් වැවෙනවා
”මන්මි” තනියෙන් කතා කරනවා
අනීකා............
මාස හත අටක්වූ පුංචි හුරතල් මූණ
තවත් ලස්සන වෙලා මූණුපොතෙ දකිනවා...
අම්ම කැන්දන් ආව පුංචි මල්ලිය ගාව
ඔයා ආඩම්බරෙන් ඉන්නවා.....
ස්කයිප් එකෙන් හඩ ඇහෙනවා...
දෙමළ, සිංහල, ඉංගී‍්‍රසි වාගේම ජර්මන් ද
සිගිති මුවගින් ගැයෙනු ඇහෙනවා.....
අනීකා...
කවදාක හරි දාක උපන්බිම මතකයට
මෙකව තිළිණයක් කොට
නුඹේ පරපුර නමට ලියනවා

සංජීවිකා මනෝහාරී

Tuesday, 31 May 2011

නිදර්ශක

කිසිවක්

තවත් කිසිවක් හා

සැසදිය නොහේ

කිසිවෙක්

තවත් කිසිවකු හා

සැසැදිය නොහේ

එපමණකි!

Friday, 27 May 2011

තනියට කඳුළයි හසරැල්ලයි

ආදරේ සුන්දර ගින්දරක් කියල කවුදෝ කියල තිබුණ. ලිහිණි, කාලයකින් දැනෙන නිර්මාණයක් දුටුවෙ නෑ, දැන් ලියන්නෙ නැද්ද කියල අහන, හැමදාමත් අලුත් දෙයක් විදින්න බලාගෙන ඉන්න අයට පහුණු කාලෙ දෙන්න උත්තරත් තිබුනෙ නෑ මට. මොකද වැඩත් එක්ක යුද්ධයක් කිව්වට නොලියා සිටීමට ඒක හේතුවක් කියල පිළිගන්න කවුරුවත් සූදානම් නැති නිසා.
මේ ගීතය ලියවුනේ යමුණා ස්වර්ණමාලි රන්කොත් වෙනුවෙන් ලියවුණු ස්වර රචනාවකට, එහි ස්වර රචනය රවී අලුත්ගේ සොහොයුරාගේ, යමුනා ස්වරණමාලි මගේ පළමු ගීතය "ලිහිණි" ගැයු එයට සාධාරණය ඉටු කළ ශිල්පිණිය. තවත් වැල් වටාරම් ඕනි නෑ.. එහෙම නේද? අහල බලන්න.



තනියට කඳුළයි හසරැල්ලයි වී
ජීවිතයට සිහිලසක් පතා
බදා වැළදගත් ගින්දර සිසිලයි
කියන්නෙ කොහොමද පෙම්බරයෝ//

ජීවිතයම වූ පෙමැති අතීතේ
මඳහස දැවටුන මතක මංපෙතේ //
අතිනත තනියට මතකය කැදවා
සිතිවිලි ඉගීලී හද සැලෙනා//

මට මා අහිමිව නුඹ හිමි වුනදා

හදවත පිරිමැදි මුඳු වීනා තත//
තියුණු සැතක් වී මා රිදවන බව
දැන සිටියේ නෑ පෙම්බරයෝ//

තනියට කඳුළයි හසරැල්ලයි වී
ජීවිතයට සිහිලසක් පතා
බදා වැළදගත් ගින්දර සිසිලයි
කියන්නෙ කොහොමද පෙම්බරයෝ//

Tuesday, 19 April 2011

උපතක සතුට!



අප්‍රේල් 2011ට පැමිණ නික්ම යන්නටත් ආසන්නව ඇත. තනිව ගත් පළමු හුස්මේ සිට අවසානයක් නොදන්නා ගමනක තවත් එක් සැතපුමක් අතීතයට එක්වී හමාරය. මේ සටහන තබන්නේ සතුටක් බෙදා ගැන්මටත්, සතුටක් ලබාගන්නට සහෘදයනට විවෘත ඇරයුමක් ලබාදීමත් අරමුණු කොටගෙනයි.

ගතවු අප්‍රේල් 12 වනදා උදෑසන නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයට ගොස් රුධිරය පරිත්‍යාග කළයුතු යැයි සිතුනේ කවර මොහොතක කුමන හේතුවක් නිසාදැයි මතකයේ නොවේ. ඒ කෙසේ වුව දුරකතනය හරහා පැමිණ ‍බොහෝ සුපැතුම් සමඟ රුධිය දන්දීමට අවශ්‍ය සියලු කොන්දේසි සපුරා තීබීම නිසාවෙන් රුධිරය පරිත්ත්‍යාග කීරිමේ හිමිකම් ලැබිම එදින මා ලද සුවිශේෂි තිළිණයයි.

රටතුළ යුද්ධය පැවති වකවානුවේ නිරන්තරව රුධිර‍ පරිත්ත්‍යාග ශීලීන්ගෙන් රුධිරය ලබාගැනීමේ ව්‍යාපාර පැවත්වුවද වර්ථමානය වනවිට ඒ සඳහා ප්‍රබල යොමුවීමක් දක්නට නැත. ‍ලේ බැංකු වාර්තාවන්ට අනුව මාර්තු අප්‍රේල් යනු රුධිර ගබඩාවේ ඉල්ලුම ට සැපයුම් යන්තම් පිරිමහ ගන්නා කාල වකවානුවයි.

කාල දින වකවානු කෙසේ වේවා ඔබ, ‍ඔබේ රුධිරය පරිත්‍යග කි‍රීමේ කැමැත්තෙන් පසුවේ නම්, කි‍සිවෙක් රුධිරය පරිත්‍යග ශීලීයෙකු වීමට සුදුසු දැයි පිරිස්කා බලන ප්‍රකාශ පත්‍රයට අනුවත්, රුධිර‍යේ හිමොග්ලොබින් ප්‍රතිශතය ප්‍රමාණවත් නම්, ශරිරයේ බර කිලෝ ග්‍රෑම් 50ට වඩා වැඩි නම් අවුරුද්දේ ඕනෑම දිනයක, ඕනෑම මොහොතක ඔබටද රුධිර පරිත්ත්‍යාගගීලියෙකු වීමේ සතුටට හිමිකම් කිව හැකිවනු ඇත.

නාරාහේන්පිට රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ දී එකවර 10 දෙනෙකුට පමණ පමණ ‍රුධිරය පරිත්ත්‍යාග කල හැක. යන්න. පමා නොවන්න, තනිව හෝ හැකිනම් තවත් එක් අයකුවත් කැටිව ගොස් ජීවිතයේ එක් වතාවක් හෝ රුධිරය පරිත්ත්‍යාග කි‍රීමේ නිරාමිස ප්‍රීතිය අත්විදින්න...