Thursday, 13 November 2008

හරිත නිම්නයේදී





සදාහරිත තණ පලසක නිරුවත් දෙපා කිතිකවන පිණි බිඳු වල අසිරිය අත්දකින්නට නම් ඔබ යා යුත්තේ මහඑළිය දෙසටයි. ඉහට අහස සෙවණිකළ ඒ සොඳුරු නවාතැන්පළ තරම් ආත්මය සන්සුන් කරවන ක්‍ෂේමභූමියක් වෙන කොහිද?






Friday, 7 November 2008

හීන කලාලය

මම හීන දකින්නට පටන්ගත්තෙ කවද ඉදල ද කියන්න මමවත් හරියටම දන්නෙ නෑ. පුංචි දරුවො නින්දෙන් හිනා වෙද්දි් හීන දකිනවා කියලනෙ කියන්නෙ. මාත් ඒ දවස්වල ඉදලම හීන දකින්න ඇති. දැනුම් තේරුම් ඇතිව ලෝකෙ දකින්න පටන් ගත්ත දා ඉදලම මට තිබුණ බලාපොරොත්තු වලට මම අද නමක් දෙනව.
''හීන''
හැබෑ වුණු හීන, හැබෑ නොවුණ හීන අතර මම මගේ ලෝකෙ ගොඩනගනව. අනිත් හැමෝම වගේම. මේ මගේ විතරක් නෙවෙයි අපි හැමෝගෙම හීන. අපේ හීන. අපි, අපි කැමති විදිහට දකින මගේ ඔබගේ හීන. විදින්න, මේ මගේත් ඔබේත් හද ගැහෙන රිද්මයයි.

හීන කලාලය

හීන විලට විත් හීන නෙලනවා මං
රටා වියන්නටහීන දකිනවා මං
හීන කලාලෙට පාට පොඟනවා මං
හීන කලාලේ රටා අදිනවා මං
මගේ කලාලේ මගේ රටාවේ
හීන වියනවා මං

දුම්බර මල්ලෙති නැතිවා
තුන්පත් හෙවනැලි නැතිවා
මගේ කලාලේ මගේ රටාවේ
හීන වියනවා මං//

හීන විලට විත් හීන නෙලනවා මං
රටා වියන්නටහීන දකිනවා මං
හීන කලාලෙට පාට පොඟනවා මං
හීන කලාලේ රටා අදිනවා මං
මගේ කලාලේ මගේ රටාවේ
හීන වියනවා මං


කඳුඳුළු එකතුකර රටා අදිනවා මං
මුතුමාල රටාවක් හැඩට මවනවා මං
සිනා එකතුකර රටා අදිනවා මං
පරසතු මල්වැල් රටා වියනයවා මං

මගේ කලාලේ මගේ රටාවේ
හීන වියනවා මං///

ගායනය - කුමාරි සඳලතා මුණසිංහ
නාද රටාව - රෝහණ ධර්ම කීර්ති

Saturday, 1 November 2008

පිරිනිවන් මංගල්යය


බලියාග සිරිතේ ඇති ශාන්ති කවි රචනා අතර පිරිනිවන් මංගල්යය කවි එකතුව බුදු රජානන් වහන්සේගේ පිරිනිවන් පෑ අවස්ථාව නිරූපණය කර රචනාවී ඇති අති විශිෂ්ඨ කාව්‍ය නිර්මාණයක් වනවා. ශෝක රසය තීව්රව දනවන මෙම කවි 30 දයාන්නද ගුණවර්ධන මහතා ජේ .ඊ සේදරමන් ගේ බලි යාග විචාරය කෘතියෙන් තෝරාගෙන ඇත්තේ මධුර ජවනිකා වැනි තවත් සුවිශේෂි නිර්මාණයක් රටට දායාද කිරීමේ අරමුණින් වුවත් ඊට පෙර ඔහුගේ අභාවය සිදුවීම නිසා එම නිර්මාණය නොපිපි කුසුමක් බවට පත්වුණා. මේ කවි එකතුව ලබාදුන් වසන්ත ගූණවර්ධන මහතාට ස්තූතියි

(1 )
පන්සාලිස් අවුරුදු අප මුනිදුන් වැඩ හිඳ
චුන්දය දුන් දන් වළදා රෝගය වන් සඳ
ගන් ගා තිර වැටෙනා මෙන් නොපැකිළ එමු හුද
සන්සාරේ අගටම විය මරුවා නෙත් බැද
(2)
එතැන් පටන් තෙමසක් ගත වුනු තැන
සොඳින් එවන් සමවත් මුනි අර ගෙන
ඉතින් පිරිනිවන් පානෙමි සිතු වන
එයින් දෙරණ කම්පාවිය අප මන


(3)
අනද තෙරිඳු වඩිමින් මුනි ළඟ ටා
නැමඳ පතුල බිම හසකර සොද ටා
නොවෙද පොළව කම්පා වුනෙ මෙවි ටා
කිමද ඇසුවෙ මුනිඳුන් ගෙන් එවි ටා

(4)
මහසත් බිහිවුනූ කලටත් එලෙ සේ
ජයගත් දින බෝ මුලදිත් සොද සේ
එමහත් කොට බිම් කම්පා වුනු සේ
අදවෙත් මගෙ පිරිනිවනද මෙලෙ සේ

(5)
එක එක රීදී තොරණින්ද
දෙක දෙක රන් රුවනින් ද
සක දිසි පිළි තොරණින් ද
නෙක රන් තරු විල සේ
දැක දැක වඩින ලෙසින් ද
මහ සඟ සපිරි වරින් ද
සල් උයනේ මුනිනන් ද
වැඩවුන් සඳ මෙලෙ සේ

(6)
සොදින එදන රැසිවන සල්වන මැද
මෙදින පිරිනිවන් පානෙමි කී සඳ
වදින හඬන මහ සඟ දැක ඉකි බිඳ
ඉදින මෙතැන නොම හඬනුව කිය නුද

(7)
තෙරිඳුට අඩ ගසමින් අනද තොප
අඩන්නෙ කිමද මෙදැන්
තෙමසට මුල පෙරදින් නොදැනද
මරු මට කලෙ අයදුන්
සසරට මුනි නොබැදුන් සිරි නැති
සිවි විසි තැන් වඩිමින්
නිමකොට බුදුසිරි දැන් මම යමි
නිවනට අලූයම දින්

(8)
අදසිට කවර බුඳුන් සමඟ හිද
කරනෙමි පැන විසදුන්
මඟතොට ආ සමිදුන් දෙනෙත් අද
නිසල වුනේ මෙලෙසින්
සදවට තරු විලසින් තෙරුන්මැද
වදිනෙමි කවර බුදුන්
අද සිට මගෙ මුනිඳුන් කියන්නද
කාටද අනේ ඉතින්

(9)
සල්වන පිරි නිවනේ මුනිඳු සඳ
දල්වන පහන මෙනේ
මල් දන වැද දෙරණේ අඬන
කඳුළෙන් අලූයම එදිනේ
උල්දිය විල් ලෙසිනේ ගලන මහ
සෙන් කඳුළැලි මැදිනේ
සල් සුවදින් පවනේ සුසුම් හඬ
ලෙවි සැම තැන් ඇසුනේ

(10)
මල් දන නැගී පහන් කියන්
එම මල්ල රජුට මෙවදන්
වල්වැදි සත විලසින් නොයන්
කිව මල්ල රජුගෙ පුරදින්
සල්වන තුළ මුනිඳුන් නිවන් පිරි
කල් දන වැඩ විලසින්
බොල් විය අද මුනි ඳුන් සැනෙන් ගොස්
මල්ල රජුට පවසන්

(11)
මල්ල රජුන් සැට දහසම එවිගස
ගොල්ල සෙනඟ බිසවුන් හා නොවලස
දුල්ල කඳුළු දහරින් තෙමමින් හිස
නිල්ල වරල බිදිමින් එති මඟ බැස

(12)
සල්වන මල් යහනේ දැකලා මුනිදු
සල්වන සොල්වන සේ හැඬු නිරිඳු
සිල්වදනින් ඒ අනුරුද තෙරිදු
මල්ල රජුන් හට පවසයි මෙබදු

(13)
ඔවා අසන් දුක් නිස්පල වන්නේ
යවා සදුන් දර රැස්කර ගන්නේ
දවා සොහොන්කර මුනි රජිදුන්නේ
නිවා ධාතු ගනුවයි පවසන් නේ

(14)
කෙලෙසින් සෑයට මුනිදුන් ලන්නේ
කෙලෙසින් මුනිඳුගෙ ධාතු ලබන්නේ
කෙලෙසින් පෙරමුනි දැවුදැයි වන්නේ
එලෙසින් වදහල මැන තෙරි දුන්නේ

(15)
රන් සළුවෙන් මුනි බඳපොර වන්නේ
නන් සුවදින් තෙල්වත් කරමි න්නේ
රන් තොරණින් රන් දෙණ සරස න්නේ
වන්දනයෙන් දර සෑ කරවන් නේ
(16)
සක්විති රජ පෙර දවනා විලස ට
වික්මැති මුනිදුන්ගේ ගූණ සිහි කොට
දුක් නැතිවම රන් දෙණ ඔසවා සිට
නික් මෙනු මුනිඳුගෙ ආදාහන යට

(17)
සතියක් ගිනිලා සෑය නොදන් නේ
මෙපවත් රහතුන් ගෙන් විමසන් නේ
ගුණයුත් එකසුප් මහ තෙරිඳුන් නේ
අදිටන් විලසින් ඒ සිදුවන් නේ

(18)
නැණ බල තෙරිඳුන් කොතැන සිටින් නේ
ගෙන ඒ සමවත් ලෙනක වෙසෙන් නේ
දැනගත් විට මේ පුවත බුදුන් නේ
එන තෙක් සෑයේ ගිනි නොවදින් නේ

(19)
සිප්පලි ගුහා උන්
එකසුප් තෙරිඳු සැනෙකි න්
සමවත් නැගීයෙමි න්
කොයි ද අප මුනි බලා දිවසි න්

(20)
පිරි නිවන් පා ලා
රන් දෙණ තුළ හොවා ලා
බුදුන් රුව දැක ලා
යන්ට නික්මුණි සැනින් එක ලා

(21)
කුසිනාරාපුර මල්ල රජුන් නේ
වෙසෙනා සැට දහසක් වැසියන් නේ
සැදෙනා අන්දම සල් සෙවනින් නේ
දකිනා මෙන් පිරිනිවන බුදුන් නේ

(22)
සුරපති සෑයට මල්වැසි ලන් නේ
නිමනැති දන වැද මල් අහුලන් නේ
පරසතු මල් කොතනින් අරගන් නේ
ගවුතම මුනිඳුගෙ සොහොනින් ගන් නේ

(23)
නොරහත් තෙර හඬලා වැටෙමින් නේ
සිරිමත් මුනි අපි කෙළෙස දකින් නේ
නොපනත් පැවිදා මෙලෙස සිතන් නේ
එමහත් මැරුණා අපි ජයගන් නේ
(24)
නායක යෙක් නැත අපට ඉතින් නේ
නෑ සැක දැන් අපි ජයගෙන ඉන් නේ
දායක දන්වැට නැත අඩුවන් නේ
ඒ දැක ඇයිදැයි අපි වැලපෙන් නේ

(25)
එබ සට සිතුවයි එකසුප් තෙරිඳු
අදසිට නැතිවෙයි ශාසන මුනිඳු
මතුවට මතුවේ නම් ඒ අවිදු
දහමට සංගායන වෙයි පසිදු

(26)
ගින්දර ඇයි නොවදින්නේ නොකියා
රන්දෙණ කින් මුනි ඉන්නේ නොකියා
මන්ද නිවන්පුර වැඩියේ නොකියා
ඇන්ද සිවුර ඇයි දුන්නේ නොකියා

(27)
සිදු කොට සිරිපා තෙරිඳු දිසාවට
සිරුරට වැන්දයි නළල තබා සිට
අදසිට බුදු දැක්මක් නැත මේ ලෝකෙට
පදසිව් ගාතාවෙන් අදිටන් කොට

(28)
මුනි සිරිපා යුග රන්දෙණ වන් නේ
තනියම සෑයට ගිනි ඇවිළෙන් නේ
මුනි පුද ධාතුව සිව් කොටසින් නේ
එහිවුන ගිනි මැද වැඩ සිට ඉන්නේ

(29)
බුදුන් පිරිනිවි අසා රජ සත් දෙනෙක්
දඹදිව රට පුරා
යොදුන් ගනනින් මුදුන් බලකොටු
සියල් සේනා පිරිවරා
පුදන්නට අප බුදුන් සැමදින
බෙදන් ධාතුව නොමසුරා
රදුන් කොළ හල බසින් පැමිණෙයි
දෝන බමුණා එම වරා

(30)
කුසිනාරා වේට දීප අල්ල කප්ප
විසල් පුර ද
සිරිසාරා පාවා රට රාමාග‍්‍රය
ගෙන තෝරා සාවස්තිය අටක් නගර
බමුණු එස ද
දුනි බේරා ධාතු සැමට සව්
සතනගෙ ආසිරි මැද

දයානන්ද ගුණවර්ධන
(ජේ .ඊ සේදරමන් ගේ බලි යාග විචාරය ඇසුරින් )

Friday, 31 October 2008

බදාගැනීම සහ බෙදා ගැනීම



බදාගැනීමයි, බෙදා ගැනීමයි ගැන ලියද්දි චන්දන ගැන කියන්න ඕනි. මොකද මමත් දන්න වොලිබෝල්ව බදා ගත්තටත් මාත් එක්ක බෙදා ගත්තටත්.

වොලිබෝල්ගෙ නම විපුල.පාසලේ විභාගෙට ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත්තරේ නම ලියන්න දැනගෙන හිටියේ නෑ ඉංග‍්‍රීසියෙන්, කොළටික පෙරලල බැලූව. තැනක (වී) අකුරෙන් පටන් ගන්න නමක් තිබුණ. නම ලියන්න ඕනි තැන ඒක බලාගෙන නම ලිව්ව. ටීචර් අහනව කවුද වොලිබෝල් කියල. විපුලත් අහනව කවුද වොලිබොල් කියල? ඔන්න ඔහොමයි වොලිබෝලි බිහිවෙන්නෙ.

කට්ටි පැනල ගෙවල්වල බැල මෙහෙ කරල, අන්තිමට බිල්ඩින් සයිටි එකකදි චන්දනට හමුවෙන වොලිබෝල් අකුරු ඉගෙන ගන්නව. අනිත් අය කියවන පොත් කියවන්න. ඩබල් රූල් පොතේ අන්තිම පිටුවෙ පකෝරිස් කියල ලියල අහුවෙන දවසෙ චන්දන විපුලට කියනව දැන් උඹ අකුරු ඉගෙන ගත්ත ඇති කියල. අම්ම බලන්න ගෙදර ගිහින් වොලිබෝල් වහ බොන්නෙ පුංචිම කාලෙ අම්ම විකිණුව කියන නංගිගෙ තොරතුර දැන ගන්න බැරිව. තමන් වගේම බිහිවෙචිච සහොදරී ගැන රට්ටු කියන කතා දරා ගන්න බැරිව නොවෙයි, ඒ සහෝදරීව හොයාගන්න බැරි වේදනාවටයි වහබොන්නෙ. නැවතුම එතන නොවෙයි තියෙන්නෙ ආරංචිය නංගි ප‍්‍රංසෙ ඉන්නව කියල. අලියොන්ස් එකට යන විපුල ප‍්‍රංස ඉගෙන ගන්නව. මේ වෙනකොට වෙද්‍ය ශිෂ්‍යාවක් වන ඒ සහෝදරී වොලිබොල් බදාගන්න ලංකාවටත් ඇවිත් ගිහිල්ල ඉවරයි

මුලදි හුගක් අයට වොලිබෝල් එක්ක බෙදා ගත්ත දේවල් තිබුණ. උඹ අවජාතකය, උඹේ අම්ම බඩට ආපු දරුව විකුණන් කාපූ එකී. උඹල කැලේ කොලේට හැදුනු එවුන්,.......මේ වගේ තව හුගක් දේවල්. ඊට කාලෙකට පස්සෙ චන්දනටත් ඔහුගේ මිතුරන්ටත් ‍චන්දනව බදාගන්න ඔනි වුණා. ඒ තමන්‍ ගේ කඩේ ‍වෙළදාමට හවුල් වෙන්න ආව අත්උදව් කාරයෙක් විදිහට නෙවෙයි තවත් මනුස්සයෙක් විදිහට. තමන්ගෙ බාල සහෝදරයා විදිහට, ඇස් දෙක පාදගන්න ඕනි වෙනව. ලෝකය දකින්න. ඒ සතුට දුරට වෙලා හදවතින්ම විදින්නත් චන්දනට පුලුවන් වෙලා ති‍යෙනව.දැනෙනවද බදා ගැණිමෙයි. බෙදා ගැනීමෙයි වෙනස.

ලිහිණි

Thursday, 30 October 2008

හුදකලාව


පුංචිම කාලේ ඉදල
මම හුදකලාවට කැමතියි
ඒ කවුරුත් මට කරදර කරනවට
මම කැමති නැති හින්ද

හුදකලාව කොච්චර නම් ලස්සනද...................
දේදුන්න වගේ,
ඇදිල මැකිල යනව
මීදුම වාගේ ගලාගෙන ඇවිත්,
නොපෙනී යනව

හුදකලාවෙ ඉන්න
මල් පොහොට්ටුත් එක්ක කතා කරන්න
පිපෙන්න ලංවෙච්ච
බෝවිටියා මල් දිහා බලන් ඉන්න
මම හුගක් ආසයි
ඒ එයාල මගේ කතාවඅහගෙන ඉන්න හන්ද

දිය හවරිය පදුරුත් එක්ක සෙල්ලම්කරන පුංචි මාළු පැටවු
මගෙත් එක්කඒ හිනාවෙන්නෙ,
සෙල්ලම්කරන්න එන්න කියල.

පංති කාමරේ කෙටි බිත්තියෙන්
පිටිටනියට උඩින් පේන
නිල් අහස දිහා මම බලන් ඉන්නෙ,
කාටවත්ම මාව නොපෙනෙන හන්ද
වලාකුළු මගෙ කදුළු උරා ගන්න හින්ද

අදුරෙ ඉදගෙන රැඑළිය කරන
තරු දිහා මම බලාගෙන ඉන්නෙ
කාටවත්ම මගේ ඇස්,
ඇස නොගැටෙන හින්ද

ළගට වඩා දුර යාළු කමට මම කැමති
අනිත් අයට මාව දැනෙන්න පුළුවන් හින්ද
පුංචිම පුංචි දේටත් මගේ හිත රිදෙන්නෙ,
ආදරේ බලාපොරොත්තුවෙන හින්ද.
හැම තිස්සෙම හිනා වෙන්නෙ
අඩන්න බැරි හින්ද
කාෂ්ඨක පොළවට වැටුන
එකම එක වැහි බින්දුවකටත්,
ජීවිතයක් තියෙනව කියල
අනිත් අයට දැනෙනව නම්........

ගැබිබර වෙච්ච මන්දාරම උසුල ගන්න
හුළගෙ පාවෙනවළාකුළු වලට පුළුවන් නම්
ඇයි ......................
එක වැහි බිදුවක් දරාගන්න
මේ වැහි ලිහිනිට බැරි!!!