Saturday, 25 October 2008

කඳුළු

ඊයේ පෙරේදා දවසක දුරකතන ඇමතුමක් ලැබුණා. මගේ සොහොයුරියක ගෙන්. ඇය මගෙන් ඇහුවා අපේ කඳුළු නතර වෙන්නේ කවද්ද කියලා. මට දෙන්න තිබුණේ එකම උත්තරයයි. ගංගාවල් ගලාගෙන යනවා හිදෙන්නේ නැහැ. අපේ කඳුළුත් ඒ වගේ. අපි ඉන්නේ ක්‍ෂෙම භූමියක,ඉතින් ගහකොල තියෙනකම් පොලොවේ තෙත රැදෙනවා, දිය උනනවා. අපේ ජීවිතත් ඒ වගේ තමයි. අපි අපේ හැඟීම් අපේ ජීවිත බෙදාගන්න තාක්කල් අපේ කඳුළු නතර වෙන්නේ නැහැ. මොකද සතුටටයි, දුකටයි දෙකටම අපි කඳුළු බෙදා ගන්න හින්දා කියල

ඔබ මොකද හිතන්නේ? ඔබ එකඟ නොවෙන්න පුළුවන්. කඳුළු කියන්නේ වේදනාවක්. කඳුළුත් එක්ක ජීවත් වෙනවා කියන්නේ මොන මූසලකමක්ද? ඔබට එහෙම හිතේවි. ඒ වුණත් කඳුළ කියන්නේ හොඳ යාළුවෙක්. කාත්කවුරුවත් නැති වෙලාවකත් ඇති වෙලාවකත් ජීවිතේ තනියෙන් හුදකලාව දරාගන්න වෙලාවකත් අපිව දරා ගන්න කඳුළු බිංදුවලට පුළුවන්. ඉතින් අපි කොහොමද කඳුළු හෑල්ලූ කරන්නේ.
ජීවිතය විඳගන්න බැරි අසීරුතම බර මහමෙරක් නම් ඒ මහමෙර දියකරන්න පුළුවන් කඳුළුවලට විතරයි. සමහරක් වෙලාවට ඒ කඳුළු හෙලන්නත් අපි හැංගෙන්න ඕන. නාන කාමරයකදී, ළිඳක් ළඟකදි එහෙමත් නැත්නම් කාටත් නොපෙන අඳුරෙදී තමයි අපි මහමෙර දිය කරලා හරින්නේ. කොපුල් තෙමා ගෙන ගලා යන වතුර බිංදුවල හංඟලා අපි ඒ බර නිදහස් කරනවා. මට කඳුළු ගැන මෙහෙම කියන්න හිතුනේ ඇයි? එළියට එන්න පාරක් නැතිව බරට, ඒත් නොවැටි තියෙන කඳුළු බිංදුවක් ඇහැමුළ බරට දැනුන හින්දා. මට හිතෙනවා මගේ කඳුලේ බර ඇයි අනිත් අයට දෙන්නේ කියලා. ඒ වුණත් ඒ කඳුළු තියෙන්නේ බෙදා ගන්න. මගේ කඳුළු වැටන්නේ කලින් ඒ කඳුළු බෙදා ගන්න ඉන්න අයට මාව දැනෙනවා. මට මාව හංඟන්න බෑ.

අපි ජීවිතය බෙදා ගන්නවා නම් සතුටයි දෙකම බෙදා ගන්න ඕන. හැබැයි ඒ සතුටු කඳුළු වගේම දුක් කඳුළු වලටත් වටිනාකමක් දෙන වටිනාකමක් තියෙන අයත් එක්ක. ඔබත් ඔබේ කඳුළු බෙදා ගන්නවද? මහමෙර දියකර හරිනවද? උත්සාහ කර බලන්න ඔබට දැනේවී අප‍්‍රමාණ සැහැල්ලූවක්. හුළගේ පාවෙන කුරුළු පිහාටුවක් වගේ.

ජීවිතේ දරාගන්න බැරි බර දර තියාගෙන යන්න එපා. මොකද මහ මෙර වුණත් දිය කරන්න ඒ බර අපිත් එක්කම දරා ගන්න කඳුළු අපේ ඇහැමුල තියෙන හින්දා... සමීපතමයන්ගේ ඇහැමුල තියෙන හින්දා...

ලිහිණි

3 comments:

PooH ලියූ කවි... said...

මට නම් හිතෙන්නෙ කඳුළු හරිම සුන්දරයි කියලා...
කඳුලක සුන්දරත්වය දන්නෙ කඳුල හෙලන කෙනා විතරයි... කඳුලෙ වටිනාකම තියෙන්නෙ හෙලන මොහොතෙදි විතරයි... කඳුලක්‌ හරියටම විග්‍රහ කරන්න පුළුවනුත් කඳුල හෙලන කෙනාටම විතරයි නේද...

Harshana Weerasinghe said...

සෑම වෙලාවකම කඳුළු සුන්දරයි කියල කියන්න අපහසුයි නේද ?

හිතට දුකක් ආවහම වෙලාවකට හිතෙනව කෑ ගහල අඩල අමතක කරන්න, නමුත් සමහර වෙලාවකට ‍සිතටත් හොරෙන් කදුළු වැටෙනව නේද ? හැබැයි කදුළු හෙළන වෙලාවෙ දැනෙන හැගීම ලියන්න උත්සහ කලොත් අපට ලියාගන්න බෑ නේද ? ඒ වගේම පසුව කියන්නත් බෑනේද ? කේන්ති ගියාමත් ඒ වගේමයි නේද ?

nidhahasa said...

අහල ඇතිනෙ ටී.එම්. ජයරත්න මහත්මයා කියන සිංදුවක මද පේලි.

"කඳුල මට කරුණා කරන්නැයි , අයදිමී නිබඳේ"

ගීතය "සිතින් මා නොසැලී"