Wednesday, 22 October 2008

මඟ නොහැරුණු රීදී රැහැන්(කෙටි කතා)


අහස වගේම තෙරක් නැතිව නිල්ම නිල් පාටින් බබලන සාගරය මට හොද යාළුවෙක් වගේ සමීපයි. නිහඩතාවය බිදගෙන බුබුලූ බුබුලු පෙණ කැටිති ගොඩාරියක් වෙරළ ඉම බිඳිල යන හැටි, හීන් වැල්ලෙ සීරුවට ඇදෙන පා සටහන්, රළ බිදෙන මායිමේ මැකිල යනහැටි මට හරියට කවියක් වගේ. සුනාමිය ආවහම මට දැනුනෙ මම හිටිය තැනින් උස්සල පොළේ ගැහැව්ව වගේ හැඟීමක්. ඒ හින්දම වෙන්නැති හුඟ දවසකින් මම මුහුදට ගියේ නැත්තෙ.

අවුරුදු දෙකක් කියන්නෙ ටිකක් දිග කාලයක්. විරාමයකට පස්සෙ මුහුදට යන්න මම ලෑස්තිවුණේ දිය කිඳුරියක් වගේ සතුටින්. හුග කාලෙකින් යාළුව බලන්න යන්න කලින් මම නවාතැනේ කන්ණාඩියෙන් මගේ දෙපා දිහාව බැලුව. මම කැමති ඕනම තැනකට මාව ගෙනියන්න ඒව සැදී පැහැදී හිටියෙ මට යන්න ඕන තැන මම තීරණය කරනකම් වගේ. නොගැඹුරු මුහුද තීරයට මාව අරගෙන යන්න කියල මගේ සිත කිව්වට පස්සෙ ඔන්න මගේ දෙපා වැඩ කරනව. මාව සතුටින් තියන්න දුවන්න පනින්න පීනන්න එයාල මගෙත් එක්ක හරි හරියට වැඩ.

මට මුහුද දාල යන්න දුක හිතුන. හවස ආවේ හරිම ඉක්මනින්. ලස්සන වසිලිස්සා බබායිගා යකින්නගෙ ගෙදර හැංඟිලා ඉන්න කොට අහස කළු කරගෙන ඉර එළිය වසාගෙන අªර ආවලු. ක්ෂිතිජය අදුරුවෙලා ඉර එළිය ඈතට ගියාට, කලූ අදුරක් පලාතම වසාගත්තට, අනේ මට මගෙ යාළුවව දාල යන්න හිත දුන්නෙ නෑ. මට තව පුංචිම මොහොතක් ඇයත් එක්ක ඉන්න ඕන. මේ සීතල ලූණු වතුරට පනින්න මම කොච්චරකල් බලාහිටියද? ඉතිං ඇයි මට හදිස්සියක්?

මම මට විතරක් නෙමෙයි අවට හැමෝටම ඇහෙන්න හයියෙන් හිනාවුණා, ඒ හැමෝම මා දිහා බලන් ඉන්නවත් මම දැක්ක. ඒත් ඒ හැම දේම වෙනස් වෙන්න ගතවුනේ එකම එක නිමේශයක් විතරමයි. ඒ නිමේශයෙ මොන තරම් දේවල් වුණාද? පලාතම අදුරුවුනේ එක පාරට, මේ සියල්ල එක්කම මට දැනුන මුවහත් පිහියක් බත්කෙන්ඩෙ වැදෙනව වගේ හැඟීමක්, ලොකු වේදනාවක්, හරියට විදුලි දහරාවක් මුහුද දෙබෑකරල ඇවිදින් ඇඟට ඇතුල් වුණා වගේ. අනිත් අය මාව වතුරෙන් ගොඩටගන්න කොට මට දැනුන ටිකින් ටික බඩ රිදෙන්න ගන්නව.

වතුරෙන් මාව ගොඩට ගන්නත් දොස්තර කෙනෙක් ගාවට මාව අරන් යන්නත් ඒ හැටි වෙලාවක් උන්නෑ. මාව දොස්තර ගාවට එක්ක යන්න වාහනේට දාගත්තු අන්කල් බුදුන් වැදල වාහනේ එළියට ගත්ත. ඩොක්ටර් තව ලෙඞ්ඩු ගොඩක් දාල ඇවිත් ගිලන් රථයකට මාව දා ගත්ත, ඔක්සිජන් බටේ අල්ලන් හිටිය ඇස්දෙක එක තප්පරේකට හෙල්ලූනේ නැහැ, අම්මයි තාත්තයි දෙන්නත් මා එක්කම.
මරණ බය ඇත්තටම මට ඒක දැනුනද?. මට දැනුනෙ බොහොම සාමකාමී නිරවුල් සැනසීමක්, අඳුරක් තිබුනත් ඒ අඳුර දිහාට මාව තල්ලූවෙලා ගියත් මට වේදනාවක් දැනුන් නෑ, බොහොම සාමකාමී සැහැල්ලූවක් මාව වෙලා ගත්ත. මරණය මේ තරම්ම සැහැල්ලූවක් නම් ඇයි මම එතනට නොයා ඉන්නෙ, මට හිතන්න ඉඩක් හොයා ගන්න කලින්ම කම්මුල පුපුරු ගහන්න කම්මුල් පාරක් වැදුන. කවුද ඔයාට නිදා ගන්න කිව්වෙ, මොකක්ද ඔයාගේ නම, ඔයා අහැරිලා ඉන්න ඕනි, ඔයාට එහෙම නිදාගන්න බැහැ. මම උත්තර දෙන්න හදනව.

මගේ තාත්ති, මගේ අතින් අල්ල ගෙන මට කියනව, මම කරපු දේවල්, තව කරන්න තියෙන දේවල්, මගේ බලාපොරොත්තු ගැන. එයාලගේ ජිවිතවල මට තියෙන තැන ගැන, මම දැනගෙන හිටිය මගේ පවුලෙ නිශ්චිත තැනක් මට තියෙනව කියල. හැබැයි කවදාවත්ම මාව මගේ පවුලට කොච්චර වටිනවද කියල හොයන්න, ඒ ගැන හිතන්න මට උවමනාවක් උන් නෑ මෙච්චර දවසකට, ඉතින් මම කොහොමද එයාලව දාල යන්නෙ.

මරණ බය නොදැනුත් මම හිතනව මට ඒ වේදනාව දැනුනු කියල, ඔව් මම හිතනව මම ඒක දැක්ක මගේ දෙමව්පියන්ගේ ඇස්වල. ඒ ඇස්වල තිබුණු කදුළු, බලාපොරොත්තු, වේදනාව මම මගේ ඇස් දෙකින්ම දැක්ක. මගෙන් අහකට නොගිය හැම ඇහැකම තිබුනෙ ඉල්ලීමක් ධෙර්යමත්වෙන්න, ජීවත්වෙන්න කියන ඉල්ලීම, හදවතේ ගැස්ම දෙගුණ තුන්ගුණ වෙද්දිත් මම කොහොමද මගේ අයව දලා යන්නෙ, මම ඔරසන් කියන්න පටන්ගත්ත. හැමදාම යාඥා පොත බලාගෙන කියපුව මට කටපාඩම් හිටල, මම ජීවත් වෙනව තව දුරටත්, මට එහෙම හිතුණ.

හීනයක් ද .... දිය කිඳුරියක් ..
.. මුහුද වෙරලක්... නාදුනන මාළුවෙක්(ජෙලි ෆිෂ්)... පහරදීමක් ..... දොස්තර කෙනෙක්... ගිලන් රථයක් රෝහලක් ... දැඩි සත්කාර ඒකකයක්, නැවත ජීවිතය ලැබීමක්......

කලින් එන අඳුර කියන්නෙ මොකක්ද? ආලෝකය කොච්චර වටිනවද කියලද? එහෙමත් නැත්නම් වෙනසක් වෙන්න මොහොතක් ගතවෙන්නෙ නෑ කියලද? ඒත් නැතිනම් හැම ආලෝකයක් පසුපසම අඳුරක් තියෙනව කියලද? අදුරට පස්සෙ ආලෝකය එනව කියලද?

මම ජීවිතයේ මරණීය අත්දැකීම වරණියව අත්දුටුව, මම හිතනව මම හින්ද තවත් අයට ඒ අත්දැකීමෙන් ගැලවෙන්න ඉඩ ලැබේවි කියල. මොකද ඒ හරහා තව ගොඩක් අයට මේ අනතුර ගැන දැන ගන්න ඉඩක් ලැබුණ හින්ද, මම හරිම වාසනාවන්තයි, මම දැන් දන්නව මගේ අයට මාව කොච්චර වටිනවද කියල, මම දන්නව වෙනදටත් වඩා මට කරන්න දේවල් තියෙනව කියල, මේ ලෝකය වෙනුවෙන්, අපි වෙනුවෙන්, මම වෙනුවෙන්, ස්තුතිය සියලූ බලවේගයන්ටම, මට නැවතත් ජීවිතය අත්දකින්න ඉඩ සැලසුවාට. සිහිනයක්ව මියදෙන්නට ඉඩනොදී.

ලිහිණී

2007 වසරේ හික්කඩුව නොගැඹුරු මුහුදු තීරයේදී මා මිතුරියක අත්විදි සැබෑ ජීවන අත්දැකීමක් මගේ බසින් නැවත අකුරු කෙරුවා පමණී. මේ සෑම සිතිවිල්ලකම සැබෑ හිමිකාරීත්වය ඇය සතුය.

1 comment:

nidhahasa said...

හරි අපූරු ලිපියක්. කලාතුරකින් කියවන්න ලැබෙන ජාතියෙ එකක්